Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තුර්කි-සිරියානු භූමිකම්පාවෙන් දෙදරා නොගිය මනුස්සකම

ඉස්ම‍යෙල් අල්රිජ් යනු සය හැවිරිදි පුත්‍රයෙක් සිටින ආදරණීය පියෙක්. සිය පුත්‍රයා රෝහලට ඇතුළත් කිරීමට සිදු වූ බැවින්, ඉස්ම‍යෙල් තරමක කැළඹිලි සහගත අවස්ථාවකට මුහුණ දෙමින් සිටින්නට ඇති. එසේ නොවුණත්, ඉස්ම‍යෙල් සිටගෙන සිටි මහ පොළොව නම් හදිසියේ ම කැළඹෙන්න පටන් ගත්තා. මේ අවස්ථාවේ දී ඉස්ම‍යෙල් රෝහලෙන් පිටතට පැමිණ තිබුණා. තම ජීවිතයට භීතිය ගෙන දිය හැකි නරකම දේ සිහිපත් වීමට ඔහු ට නිමේෂයක්වත් ගත වුණේ නැහැ.

“භූමිකම්පාව එන්න එන්නම ශක්තිමත් වෙන්න ගත්තා. විදුලියත් විසන්ධි වුණා. රෝහලට ඇතුල්වෙන වීදුරු දොරත් කැඩිලා බිඳිලා ගියා.”

ඒ ඉස්ම‍යෙල් ගේ වචන යි.

භූකම්පනයේ බලපෑමට ලක් වූ ප්‍රදේශය – edition.cnn.com

භූ කම්පනයට එරෙහි වෙමින් ස්ථාවර වීමේ හැකියාවක් රෝහල් ගොඩනැඟිල්ලට තිබුණේ නැහැ. මොහොතකින් ඉස්ම‍යෙල් ගේ දෑස් ඉදිරිපිට ම තම පුත්‍රයා ප්‍රතිකාර ලබන රෝහල බිඳ වැටීම ඇරඹුණා!

වින්දිතයා ම සහන සේවකයෙක් වූ හැටි

“ඒක හරියට නිකම් ලෝක විනාශයක් වගේ. මගේ පුතා සුන්බුන් අතරින් බේර ගන්නේ කොහොමද කියන එක ගැන තමයි හිතුවේ.”

ඉස්මයෙල් අල්රිජ් සහ ඔහුගේ පුතා – www.bbc.com

මොහොතකින් ඉස්ම‍යෙල් අල්රිජ් ගේ පුත්‍රයා වන මුස්තාෆා, සුන්බුන් අතරින් මතු වී සිය පියා වෙත දිව ආවා. වේදනාවෙන් පරිපීඩිත ව සිටි සය හැවිරිදි මුස්තාෆා ගේ බාහුවක රුධිරය වෑස්සෙමින් තිබුණා. භීතිය සහ ව්‍යාකූලත්වය මධ්‍යයේ සිය පුත්‍රයා පමණක් නොව අනෙක් අයටත් සුන්බුන් අතරින් ඉවත් වීමට ඉස්මයෙල් උදව් වුණා. තම පවුලේ ඉතිරි සාමාජිකයන් ගේ තත්ත්වය සොයා බැලීමට මත්තෙන් හෙදියන්ට රැකවරණය ලබා දීමටත්, මිනිත්තු විස්සක් පුරා සිය මෝටර් රථයේ ගැබිණි කාන්තාවක් තබා ගනිමින් ඇය ගේ දරු ප්‍රසූතියට සහය වීමටත් ඉස්මයෙල් ක්‍රියා කර තිබුණා.

ඔහු තම නිවස ගැන සොයා බැලුවේ ඉන් පසුව යි. වාසනාවට මෙන් ඔහු ගේ බිරිය සහ අනෙකුත් දරුවන්ට කිසිදු හානියක් සිදු ව තිබුණේ නැහැ. ඔහු ගේ නිවසත් නිරූපද්‍රිත ව ඉතිරි වී තිබුණා.

සෝ සුසුම් මැද මනුෂ්‍යත්වය

ඔබ දැනටමත් මේ දරුණු ස්වභාවික ව්‍යසනය කුමක්ද යන්න වග හඳුනාගෙන ඇති. ඔව්, අප මෙතෙක් විස්තර කළේ තුර්කි-සිරියානු දේශසීමාව අසල සිදු වූ දරුණු භූමිකම්පාවට මුහුණ දුන් මිනිසකු ගේ අත්දැකීම්. ඉස්මයෙල් සහ ඔහු ගේ පුත්‍රයා සැබෑ වාසනාවන්තයන්යැ යි පැවසුවහොත්, එය අතිශයෝක්තියක් නොවෙයි.

මෙම ලිපිය ගොඩනඟන මොහොතේ දී භූමිකම්පාවෙන් මරණයට පත් වූ සංඛ්‍යාව අවම වශයෙන් 24,596 ක් ලෙස වාර්තා වී තිබුණා. මරණ සංඛ්‍යාව දෙරටේ ම එකතුව වන අතර, ඉන් වැඩි පිරිසක් තුර්කි ජාතිකයන්. නිරන්තරයෙන් යාවත්කාලීන වන පුවත් හරහා මෙම සංඛ්‍යා දත්ත ලබා ගන්නා බැවින්, අගයන් වෙනස් විය හැකි යි.

උතුරු ඇලෙපෝ ප්‍රදේශයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර ගලවා ගැනීමේ මෙහෙයුමක නිරත වන සිරියානු සොල්දාදුවෝ – edition.cnn.com

මේ ඛේදවාචකය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ශ්‍රීලංකාවේත් සංසරණය වෙනවා. එබැවින්, භූමිකම්පාවේ මූලික තොරතුරු බෙදාහදා ගැනීමක් මෙම ලිපියෙන් සිදු වන්නේ නැහැ.

අප ගේ උත්සාහය වන්නේ ඉස්මයෙල් වැනි ව්‍යසනය ඇසින් දුටු වන් ගේ අත්දැකීම් ඔබ වෙත ගෙන ඒම යි. දරුණු ඛේදවාචකයක් වුවත්, සෝ සුසුම් මැද මනුෂ්‍යත්වය මතුවන අයුරු විස්තර කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

විනාශයක තරම!- edition.cnn.com

මාපියන් අහිමි දරුවෝ

වයඹ දිග සිරියාවේ නගරයක් වන ඇෆ්‍රින් හි රෝහලක සේවය කරන වෛද්‍ය අහමඩ් අල්-මස්රි, භූමිකම්පාව සිදු වී පැය 30 කට පසුත් සේවයේ නිරත වී තිබුණා. ඔහු තම සහායක වෛද්‍යවරයාත් සමඟ කොතරම් වෙහෙස මහන්සි වී වැඩ කළත්, පැමිණෙන තුවාලකරුවන් ගේ අඩු වීමක් සිදු වුණේ නැහැ. අධික වෙහෙසට පත් වී සිටියත්, මොහොතකින් ඒ සියල්ල අමතක වන අන්දමේ සිදුවීමකට වෛද්‍ය අහමඩ් මුහුණ දුන්නා.

“ඒ දරුවගේ ඇස්වල බැල්ම ඇත්තටම මට දැණුනා. ඇයි කියල නම් දන්නේ නැහැ. ඒත්, ඒ දරුවා මා දිහා බලන කොට මට ඇඬෙන්න ගත්තා.”

අහමඩ් මේ පවසන්නේ ප්‍රතිකාර සඳහා පැමිණි සත් හැවිරිදි දරුවෙක් ගැන යි. භූමිකම්පාවෙන් විනාශ වූ තම නිවසේ සුන්බුන් අතර සිරවී සිටි මේ දරුවා, කෙසේ හෝ බේරාගත්ත ද ඔහු ගේ පියා, මව සහ සහෝදර සහෝදරියන් සුන්බුන් අතර සිර වී අවසන් හුස්ම හෙළා තිබුණා. 

සුන්බුන් අතර ගලවා ගැනීමේ මෙහෙයුම් – www.nytimes.com

“දරුවා බලාගෙන ඉන්න විදිහෙන් අපිට තේරුණා එයා අපිව විශ්වාස කරනවා කියලා. තුවාලවල වේදනාව දරාගෙන ඉන්න විදිහෙන් එයාට ලොකු ශක්තියක් තියෙන බව මට දැනුනා. අවුරුදු හතක් වගේ වයසැති දරුවෙක් මෙතරම් ඔරොත්තු දීමේ ශක්තියක් ඇති තැනැත්තෙක් වුණේ කොහොම ද?”

දුෂ්කර ම අවස්ථාවක පවා ඇතැම් මිනිසුන් පෙන්වන ආත්ම ශක්තිය අත්දකිමින් වෛද්‍ය අහමඩ්, දිගට ම සේවයේ නිරත වුණා.

රළ මෙන් පැමිණි තුවාලකරුවෝ

නොබෝ වේලාවකින් වෛද්‍ය අහමඩ් හමුවට තවත් තුවාලකරුවෙක් පැමිණියා. සහන සේවකයන් රැගෙන ආ ඒ තුවාලකරුගේ වයස යන්තම් මාස 18 ක් පමණ යි!

වාසනාවකට මෙන් ඒ පිරිමි දරුවාට භූමිකම්පාවෙන් හානි සිදු ව තිබුණේ නැහැ. කෙසේ නමුත්, ඔහු ගේ මාපියන් රෝහලට පැමිණ තිබුණේත් නැහැ.

“එක පාරට ම තාත්තා දුවගෙන ඇවිත් ඒ දරුවව බදාගෙන හඬනවා මම දැක්කා. ඒ තාත්තා මට කිව්ව විදිහට පවුලේ දැන් ජීවතුන් අතර ඉන්නේ මේ පිරිමි දරුවා විතර යි. ඉතිරි සාමාජිකයන් සියල්ලම ජීවිතයට සමුදීලා ඉවර යි.”

දකුණු දිග තුර්කියේ ගොල්බාසි ප්‍රදේශය – www.cbsnews.com

භූමිකම්පාවකින් මෙතරම් හානියක් සිදුවිය හැකි බව වෛද්‍ය අහමඩ් කිසිවිටෙකවත් සිතුවේ නැහැ. ඔහු එවැනි සිතුවිල්ලකට මැදි වුණේ රෝහලට පැමිණි අති විශාල රෝගීන් සංඛ්‍යාව නිසා යි. රළ මෙන් පැමිණෙන තුවාලකරුවන් හරහා ව්‍යසනයේ පරිමාණය ගැන යම් අදහසක් ලබා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට හැකි වුණා.

අලුත උපන් බිළිඳිය

භූමිකම්පාවෙන් විනාශයට පත් වූ ගොඩනැඟිලිවල සුන්බුන් අතරින් සොයාගත් අලුත උපන් බිළිඳියක් ලෝකයේ විශාල අවධානයක් දිනා ගත්තා. බිළිඳිය, ඇය ගේ මව සමඟ පෙකණි වැලෙන් සම්බන්ධ වී සිටි අතර, එම පවුලෙන් දිවි ගලවා ගැනීමට සමත් ව තිබුණේ ඇය පමණ යි.

ප්‍රාතිහාර්යයක් බඳු “අයා” – www.bbc.com

ව්‍යසනයෙන් පසු බිළිඳිය ගේ මව ප්‍රසව වේදනාවට පත් ව ඇති බවත්, දරුවා බිහි කිරීමෙන් පසු මව මිය ගොස් ඇති බවත්, බිළිඳිය ගේ ඥාතියෙක් පවසා තිබුණා. දැරිය බේරා ගත් අවස්ථාව පෙන්නුම් කළ වීඩියෝව ලෝකය පුරා ප්‍රසිද්ධ වීමට වැඩි වේලාවක් ගත වුණේ නැහැ. දැරිය සුන්බුන් අතරින් ගලවා ගත් අවස්ථාවේ දී එතැන සිටි කලීල් අල්-සුවාදි, වහාම ඇය රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා. කලීල් යනු දැරිය ගේ පවුලට ඥාතීත්වයක් දැක්වූ පුද්ගලයෙක්.

“අපි කැණීම් සිදු කරන අතරතුර හඬක් ඇහුණා. දරුවා හම්බ වුණේ පෙකණි වැල එක්කම යි. අපි ඒක කපලා දරුවා රෝහලට අරගෙන ගියා.”

ඉන්පසු දැරිය ගේ වගකීම හනී මාරූෆ් වෙත පැවරුණා. ඔහු සිරියාවට අයත් අෆ්‍රින් ප්‍රදේශයේ රෝහලක සේවය කරන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්.

“අයා” හෙවත් ප්‍රාතිහාර්යය

වෛද්‍යවරයා පවසන පරිදි ඇය රෝහල් ගත කරන විට ශරීරයේ තැලීම් සහ ඉදිමීම් දක්නට ලැබුණු අතර, ශරීරය සීතල වී හුස්ම ගැනීමත් අක්‍රමත්ව සිදු වෙමින් තිබුණා. දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙමින් සිටියත්, දින කිහිපයක් ඇතුළත දරුවා ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට වෛද්‍යවරුන් සමත් වුණේ බිළිඳිය ගැන අවධානයෙන් සිටි සියල්ලට ම අස්වැසිල්ලක් ගෙන එමින්. දැන් ඇය හඳුන්වන්නේ “අයා” නමින්. එය “ප්‍රාතිහාර්යය” යන අරුතට සමීප නාමයක්.

“අයා” බේරාගත් අන්දම (සංවේදී දර්ශන සහිත යි. සැළකිලිමත් වන්න!) – www.youtube.com

භූමිකම්පාව හේතුවෙන් “අයා” අනාථභාවයට පත් වුව ද ලෝකය පුරා ඇය හදාවඩා ගැනීම සම්බන්ධයෙන් ඉල්ලීම් ගලා ඒම ඇරඹුණා.

“නීතිමය ක්‍රියාපටිපාටියකට ඉඩ දෙනවා නම්, මේ දරුවා හදාවඩා ගන්න මං කැමති යි.”

කුවේට් ජාතික නිවේදකයෙක් ඉදිරිපත් වෙමින් එසේ ප්‍රකාශ කර තිබුණා.

තාවකාලික පියකු වූ වෛද්‍යවරයා

“අයා” බිළිඳිය ප්‍රතිකාර ලබමින් සිටින රෝහලේ කළමනාකරු වන කාලිඩ් අටියාහ්, තමාගේ ම දරුවකු මෙන් “අයා” රැකබලා ගැනීමට කැපවී සිටිනවා. ඔහුත් “අයා” වැනි ම ළදරුවකුගේ පියෙක් වන අතර, කාලිඩ් ගේ බිරිය ඇයට මව්කිරි ලබා දීමට පවා ඉදිරිපත් වුණා.

“අයා” ගේ භාරකාරීත්වය ඉල්ලා ඇමතුම් දුසිම් ගණනක් කාලිඩ්ට ලැබී තිබුණා. එහෙත්, බිළිඳිය ගේ දුරස්ථ ඥාතීන් පැමිණෙන තුරු ඒ කිසිවකුටත් ධනාත්මක ප්‍රතිචාර ලබා දීමට කාලිඩ් උත්සුක වුණේ නැහැ. “අයා” සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ඉතා ක්‍රමානුකූල අන්දමින් සිදු කිරීමට කලිඩ් බලාපොරොත්තු වන බව මින් පෙනී යනවා.

“අයා”ගේ භාරකාරීත්වය ඉල්ලා ඇමතුම් දුසිම් ගණනක් කාලිඩ්ට ලැබී තිබුණා – www.bbc.com

ව්‍යසනය සිදු වූ භූමිය මත තවමත් හඬා වැළපීම් සිදු වෙනවා. අපේක්ෂා භංගත්වයෙන් පිරුණු මිනිසුන් ගේ සෝ සුසුම් තවමත් වා තලයට මුසු වෙමින් තිබෙනවා. ඒ අතරින් “අයා” ගේ සිදුවීම වැනි මනුෂ්‍යත්වයට පණ පොවන සිදුවීම් ද ඕනෑ තරම් මේ ඛේදවාචකය මැද අසන්නට ලැබෙන්නේ, උදව් කිරීමට කැමති මිනිසුන්ට යම් අභිප්‍රේරණයක් ද ලබා දෙමින්. ලෝකය පුරා සංවිධාන මට්ටමින් හෝ පුද්ගලික මට්ටමින් ස්වෙච්ඡා සේවකයන් තුර්කියට සහ සිරියාවට පැමිණෙන්නේ ඒ නිසා යි.

තුර්කියට සහ සිරියාවට උපකාර කිරීම සඳහා ගෝලීය ප්‍රජාව ඉදිරිපත් වන අන්දම සිතියමකින් – www.statista.com

එකතු වන ‘මිනිස්සු’

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට උපකාර කිරීම සඳහා දකුණු එංගලන්තයේ පුරවැසියන් එකට එකතු වෙමින් සිටිනවා. ඔවුන් නගර පුරා සමූහ ලෙස සැරි සරමින් ආධාර එකතු කරන අයුරු දැක ගත හැකි යි. විදෙස්ගත ව සිටින තුර්කි ජාතිකයන් ද සිය මව්බිමට අවශ්‍ය ආධාර එක්රැස් කිරීම අරඹා තිබෙනවා.

ඩිලෙක් ඔක්සුස් යනු එංගලන්තයේ දිවි ගෙවන තුර්කි ජාතික කාන්තාවක්. ඇය සමාජ මාධ්‍යය ඔස්සේ පෙනී සිටිමින් වින්දියන්ට අවශ්‍ය පරිත්‍යාග කරන මෙන් ඉල්ලා සිටියා.

“මෙහෙම දෙයක් මං බලාපොරොත්තු වුණේ නැහැ. මුකුත් හිතා ගන්න බැරුවයි හිටියේ. අපි කල්පනා කළේ කුඩා උදව්වක් ප්‍රමාණවත් වේවි කියලා. නමුත්, මේක ඊට වඩා එහාට ගිය දෙයක්.”

වින්දිතයන් වෙනුවෙන් ආධාර එක්රැස් කරන විදෙස්ගත තුර්කි ජාතිකයෝ – www.bbc.com

සියලු ම වයස්වල පුද්ගලයන් සඳහා අවශ්‍ය බ්ලැන්කට්, ආහාර, සනීපාරක්ෂක නිෂ්පාදන සහ ඇඳුම් එකතු කිරීම ඔවුන් ඇරඹුවේ ඒ අනුව යි. මෙවැනි කුඩා කණ්ඩායම් රාශියක් සංවර්ධිත රටවල සංවිධානගත වෙමින් ආධාර එකතු කිරීම ක්‍රියාශීලි ව සිදු කරමින් සිටිනවා.

අවතැන් වීමේ වේදනාව දන්නා බෙසිර්ලි

අසර්බයිජානියානු පුරවැසියෙක් වන සර්වර් බෙසිර්ලි, භූමිකම්පාවෙන් අවතැන් වූවන්ට උපකාර කිරීම සඳහා තනිව ඉදිරිපත් වූ පුද්ගලයෙක්. පැරණි මෝටර් රථය මත මෙට්ට කිහිපයක් පටවා ගනිමින් තුර්කි ධජය ප්‍රදර්ශනය වන සේ ගමන් කරන බෙසිර්ලි ගේ ඡායාරූපය මිලියන ගණනක ගේ හදවත් දිනා ගත්තා. ඔහු එලෙස ගමන් කරමින් සිටියේ බාකු නුවර පිහිටි ආධාර එකතු කරන මධ්‍යස්ථානයක් වෙත යි.

“ශීත සෘතුව මැද නිවාස අහිමි වීම මොන වගේ අත්දැකීමක්ද කියලා අපි දන්නවා. ඔවුන් ව උණුසුමින් තබා ගැනීම සඳහා අපට කළ හැකි අවමය මෙය යි.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් බෙසිර්ලි පවසා සිටියා.

අසර්බයිජාන ජාතිකයා ගේ මානුෂිකත්වය – www.dailysabah.com

බෙසිර්ලි යනු ආර්මේනියානු බලපෑම යටතේ පැවති නගෝර්නෝ-කරබාක් ප්‍රදේශයේ අවතැන් වූ අසර්බයිජානියානු පුරවැසියන් ගෙන් එක් අයෙක්. ඔහුට භූමිකම්පාවෙන් අවතැන් වූ පුද්ගලයන් ගේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා හොඳ සහකම්පනයක් තිබෙනවා.

මුළු ලෝකය ම තුර්කියේ සහ සිරියාවේ පීඩාවට පත් වූවන්ගේ කදුළු පිස දැමීම සඳහා හැකි අයුරින් ඒකරාශි වෙමින් සිටිනවා. මනුෂ්‍යත්වය ඉස්මතු කරන හුදෙකලා කතා විශාල ගණනක් තුර්කි-සිරියානු භූමිකම්පාව සම්බන්ධයෙන් අසන්නට ලැබෙන්නේ ඒ නිසා යි.

කවරයේ ඡායාරූපය: මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ඛේදවාචකයක් ලෙස තුර්කි-සිරියානු භූමිකම්පාව ඉතිහාසගත වනු ඇති- ANP via Getty Images
මූලාශ්‍ර:
www.bbc.com
www.bbc.com/news
www.dailysabah.com

Related Articles