Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ත්‍රිමාණ දසුන් ගෙනෙන ගූගල් ‘immersive view’ සිතියම

බිලියනයකට අධික පිරිසකට ලොව පුරා විවිධ ස්ථානවල සැරිසැරීමට, විශේෂයෙන් ම ඔවුන් නොදන්නා ස්ථාන සොයා ගැනීමට ‘Google Maps’ මහඟු ලෙස උපකාරී වේ. ආරම්භයේ දී මාර්ග සිතියමක් ලෙස ක්‍රියාත්මක වූ මෙම යෙදවුමට පසුගිය කාලය ඇතුළත විවිධ විශේෂාංග එක් වී තිබේ. යම්කිසි ආයතනයක් විවෘත ව පවතින වේලා, මාර්ගවල පවතින වාහන තදබදය සහ පොදු ප්‍රවාහන සේවා සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු වැනි දෑ ලබා ගැනීමට ඇති පහසුකම් ඒ අතර වේ.

ත්‍රිමාණ දසුන්

නවීන තාක්ෂණයේ, විශේෂයෙන් ම කෘත්‍රිම බුද්ධියේ, ප්‍රතිපලයක් ලෙස මෙම යෙදවුමට එක් වී ඇති නවත ම විශේෂාංගය ‘immersive view’, එනම් ‘ත්‍රිමාණ පිළිබිඹුව’ ලෙස හැඳින්වේ. මෙම පහසුකම සමඟ යාවත්කාලීන වූ ගූගල් සිතියම් යෙදවුම භාවිතා කරන්නන්ට ඔවුන්ට සොයා ගැනීමට අවශ්‍ය ස්ථානයේ ත්‍රිමාණ දසුන් ලබා දේ.

බිලියනයකට අධික පිරිසක් ගූගල් සිතියම් භාවිතා කරති – www.gearrice.com

මෙම පහසුකම සමඟ යම්කිසි ප්‍රදේශයක්, සුවිශේෂී ස්ථානයක්, අවන්හලක් හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානයක් ඉතා පුළුල් ලෙස නැරඹීමට ගූගල් සිතියම් භාවිත කරන පුද්ගලයන්ට අවස්ථාව ලැබේ. ත්‍රිමාණ පිළිබිඹුව සමඟ එම ස්ථානයේ සැබැවින් ම රැඳී සිටින ආකාරයේ හැඟීමක් භාවිතා කරන්නන් තුළ ඇති කරවිය හැකි ආකාරයෙන් මෙම විශේෂාංගය හඳුන්වා දී ඇත.

අගය කිරීම්

උදාහරණයක් ලෙස යම්කිසි අයෙක් ලන්ඩනය වෙත යාමට බලාපොරොත්තු වන්නේ නම් මෙම පහසුකම භාවිතයෙන් එහි පිහිටි සුවිශේෂී ස්ථාන සහ, ආහාරපාන සහ වෙනත් පහසුකම් ලබාගත හැකි සියලු ස්ථාන පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකි ය. බිග්බෙන් ඔරලෝසු කණුව හෝ නගරයේ පිහිටි වෙනත් ඕනෑම සුවිශේෂී ස්ථානයක ඇතුළත පවා දැකගැනීමට ‘immersive view’, එනම් ‘ත්‍රිමාණ පිළිබිඹුව’ මඟින් පරිශීලකයන්ට අවස්ථාව ලැබේ.

ගූගල් සිතියම්වලට එක් වූ නවතම විශේෂාංගයකි, ‘immersive view’ – www.techNET.com

මෙම විශේෂාංගය භාවිතයෙන් අවන්හලක් හෝ හෝටලයක් වැනි ස්ථානයක් වෙත යාමට හෝ එහි පහසුකම් වෙන් කරවා ගැනීම සඳහා අත්තිකාරම් මුදලක් ගෙවීමට පෙර ඒවායේ බාහිර මෙන් ම අභ්‍යන්තර පෙනුම පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගත හැක. ඉතා ආකර්ශනීය බාහිර පෙනුමක් සහිත, නමුත් අභ්‍යන්තරයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ස්ථාන හඳුනාගෙන, ඒවා මඟහැරීමට මෙමගින් හැකියාව ලැබීම පිළිබඳ ව බොහෝ දෙනෙක් අගය කරති.

තවත් කලාපවලට හඳුන්වා දීමට සැලසුම්

ගූගල් සිතියම්වලට එක් වූ නවතම විශේෂාංග කිහිපයක් අතරින් එකක් වන ‘immersive view’ හරහා එකිනෙකට වෙනස් කාලවල යම්කිසි ස්ථානයක් දිස් වන අයුරු ද ත්‍රිමාණ ව දැකගත හැක. එමගින් උදෑසන, දහවල් සහ රාත්‍රී කාලවල, සහ වෙනස් කාලගුණ තත්ත්වයන් යටතේ යම්කිසි ස්ථානයක් පවතින්නේ කෙබඳු ආකාරයෙන් ද, ඒ ඒ කාලවල අදාළ ස්ථානවල ජනාකීර්ණ බව කෙබඳු ද යන්න ගැන පූර්ව අවබෝධයක් ලබාගත හැකි වේ.

මෙම විශේෂාංගය භාවිතයෙන් අවන්හල් වැනි ස්ථානවල බාහිර මෙන්ම අභ්‍යන්තර පෙනුම පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගත හැක – www.lifewire.com

‘immersive view’, එනම් ත්‍රිමාණ පිළිබිඹුවේ තවත් සුවිශේෂී කරුණක් වන්නේ ඕනෑම මාදිලියකට අයත් ජංගම දුරකථනයක් හෝ ලැප්ටොප් පරිගණයක් වැනි උපාංගයක් හරහා මෙම පහසුකම භාවිත කළ හැකි වීම යි. මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්, නිව්යෝර්ක් සහ සැන්ෆ්‍රැන්සිස්කෝ, බ්‍රිතාන්‍යයේ ලන්ඩන්, සහ ජපානයේ ටෝකියෝ යන නගරවලට අදාළ ත්‍රිමාණ දර්ශන මෙම පහසුකම හරහා ලබාගත හැකි ය.

ලෝකයේ තවත් ප්‍රධාන නගර කිහිපයකට ද මෙම පහසුකම හඳුන්වා දීමට ගූගල් සමාගම සැලසුම් කර ඇත. නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම්, ජර්මනියේ ඩබ්ලින් සහ ඉතාලියේ වැනීසිය සහ ෆ්ලෝරන්ස් යන නගර ඒ අතර වේ.

Google Maps නවත ම පහසුකම Immersive view – www.youtube.com/@RoarSinhala

පරිසර හිතකාමී මාර්ග?

බොහෝ දෙනාගේ කතාබහට ලක් වී ඇති ඉහත විශේෂාංගයට අමතර ව පරිසර හිතකාමී මාර්ග ඔස්සේ ගමන් කර සිය ගමනාන්තයට ළඟ වීමට පරිශීලකයන්ට හැකියාව ලැබෙන තවත් විශේෂාංගයක් මේ වන විට ගූගල් සිතියම්වලට හඳුන්වා දී ඇත. දැනට මෙම විශේෂාංගය එක්සත් ජනපදයේ සහ කැනඩාවේ පමණක් ක්‍රියාත්මක වේ.

මෙම විශේෂාංගය භාවිත කරන්නන්ට ඉතා අඩු ඉන්ධන ප්‍රමාණයක් වැය වන ගමන් මාර්ග හරහා සිය ගමනාන්තය කරා ළඟා විය හැකි ය.

පරිසර හිතකාමී මාර්ග ප්‍රවර්ධනය තවත් එක් විශේෂාංගයකි – www.economictimes.indiatimes.com

මෙම පරිසර හිතකාමී මාර්ග විශේෂාංගය භාවිතයෙන් වාහන ධාවනය කර ඇති දුර ප්‍රමාණය සැතපුම් බිලියන 86ක් ලෙස ගණන් බලා තිබේ. එමගින් කාබන් මෙට්‍රික් ටොන් මිලියන භාගයක් පමණ ඉතිරි කර තිබේ. එය ධාවනය වන මෝටර් රථ 100,000ක් පමණ නැවැත්වීමෙන් ඉතිරි කරගත හැකි කාබන් ප්‍රමාණයට සමාන වේ.

ඉදිරියේ දී යුරෝපා රටවල් ගණනාවක් සහ තවත් කලාප ගණනාවකට අයත් රටවල මෙම විශේෂාංගය අන්තර්ගත වන පරිදි ගූගල් සිතියම් යාවත්කාලින කිරීමට සැලසුම් කර ඇත.

විදුලි බලයෙන් ධාවනය වන වාහනවලට වාසියක්

ගූගල් සිතියම් සහිත, විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා වෙන් වූ තවත් විශේෂාංගයක් හඳුන්වා දීමට ගූගල් සමාගම සැලසුම් කර ඇත. කෙටි සංචාර අතරතුර වාහනයේ බැටරිය ආරෝපණය කරගත හැකි ආරෝපණ මධ්‍යස්ථානයක් හෝ එම පහසුකම සහිත වෙනත් ස්ථානයක් සොයා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම එමඟින් ලැබේ.

බැටරි ආරෝපණය කරගත හැකි ස්ථාන පෙන්වන අයුරු – www.ultralithium.com

රථවාහන තදබදය, වර්තමාන බැටරි මට්ටම සහ තවත් සාධක කිහිපයක් පදනම් කරගනිමින් බැටරිය ආරෝපණය කරගැනීමට වඩාත් ආසන්නත ම සහ සුදුසුම ස්ථානය කුමක්දැයි මෙම විශේෂාංගය සහිත ගූගල් සිතියම නිර්දේශ කරනු ඇත.

බැටරිය ආරෝපණය කරගත හැකි ස්ථානයට යාබද ව පිහිටි සුපිරි වෙළෙඳසල් සහ ඔසුසල් වැනි ස්ථාන සම්බන්ධ තොරතුරු ද මේ හරහා ලබාගත හැකි ය. එමඟින් බැටරිය ආරෝපණය වන තුරු නිවෙසට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම වැනි කාර්යයන් කරගැනීමට ද පරිශීලකයන්ට අවස්ථාව ලැබේ.

ගූගල් සිතියම් හරහා සජීවී දසුන් ලබාගැනීමට හැකියාව තිබේ – www.techcrunch.com

සජීවී දසුන්

ගූගල් සිතියම් මඟින් සජීවී දසුන් ලබාගැනීමට ද මේ වන විට පහසුකම් සලසා ඇත. ලන්ඩන්, ලොස් ඇන්ජලීස්, නිව්යෝර්ක්, සැන්ෆ්‍රැන්සිස්කෝ, පැරිස්, ටෝකියෝ, බාසිලෝනා, ඩබ්ලින් සහ මැඩ්රිඩ් වැනි නගර ආශ්‍රිත ව මෙම පහසුකම දැනට ක්‍රියාත්මක වේ. මෙමඟින් ගුවන්තොටුපොළ, දුම්රිය ස්ථාන, වෙළෙඳ සංකීර්ණ සහ වෙනත් ජනාකීර්ණ ස්ථානවලට අදාළ මඟපෙන්වීම් සජීවී දසුන් සමඟ ලබාගත හැක. ඉදිරියේ දී තවත් රටවල් ගණනාවකට මෙම පහසුකම හඳුන්වා දීමට ගූගල් සමාගම තීරණය කර ඇත.

කවරයේ ඡායාරූපය - නවීන තාක්ෂණයේ, විශේෂයෙන් ම කෘත්‍රිම බුද්ධියේ, ප්‍රතිපලයක් ලෙස ගූගල් සිතියම්වලට එක් වී ඇති නවතම විශේෂාංගය 'immersive view', එනම් 'ත්‍රිමාණ පිළිබිඹුව' ලෙස හැඳින්වේ - www.CNET.com
මූලාශ්‍ර :
www.theverge.com
www.google.com
www.lifehacker.com
www.techcrunch.com

Related Articles