ලෝකයේ විවිධ රටවලින් නොයෙකුත් ආකාරයේ උත්සව සම්බන්ධයෙන් වාර්තා වනවා. ඇතැම් උත්සව ඉතාමත් ත්‍රාසජනක​ වන අතර, තවත් විටෙක මෙම උත්සව හාස්‍ය උදපවන සුළු ස්වභාවයක් ගන්නවා. කෙසේ නමුත් රට රට වල පවත්නා මෙම උත්සව සඳහා ආගම, සංස්කෘතිය ආදී සංකල්ප ඍජුවම බලපානු ලබනවා. මේ ආකාරයට උත්සව වලින් ගහණ රටක් ලෙස ඉන්දියාව හැඳින්විය හැකියි. ආගමික කණ්ඩායම් හා ජනවර්ග බොහෝමයකින් යුක්ත වීම හේතුවෙන් උත්සව වල බහුල බවක් මෙන්ම, විවිධාංගීකරණයක් දැක ගත හැකි වනවා. මේ ආකාරයට ඉන්දියාව තුළ සමරන උත්සව අතර ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ උත්සවයක් ලෙස ‘හෝලි’ හැඳින්විය හැකියි.

ආරම්භය හා මේ හා බැඳි ඉතිහාස කතා

හෝලි ඉතිහාස කතාව (detechter.com)

හෝලි යනුවෙන් හඳුන්වන්නේ, ඉන්දියාවේ ඉතාමත් පැරණි උත්සවයකි. මෙය ආරම්භයේ දී ‘හොලිකා’ යනුවෙන් හඳුන්වනු ලැබුවා.  හොලිකා යන්නෙන් හෝලි බවට පරිවර්තනය වූ මෙම උත්සවයේ ආරම්භය කෙදිනකද යන්න සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් සඳහන් වීමක් නොමැත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විවිධ ඉතිහාස කතා තිබෙනවා. ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ ආරම්භයේ දීම මෙම උත්සවය ආර්ය ජාතිකයින් විසින් සැමරූ බවයි.

එමෙන්ම මෙම උත්සවය විවාහක කාන්තාවන් විසින් ඔවුන්ගේ පවුලේ සතුට සහ  ශුභ සිද්ධිය සඳහා පුර සඳ නමදිමින් කරනු ලැබූ බවටද අසන්නට ලැබෙනවා. හෝලි උත්සවය සම්බන්ධයෙන් වේද ග්‍රන්ථ,  නාරද් පූර්ණය හා භවිශ්‍යා පූර්ණයේ සඳහන් බව දැක්වෙනවා. මීට අමතරව පැරණි විහාර සහ දේවාල​ සතුව තිබෙන මූර්ති හා සිතුවම් වලද හෝලි උත්සවය සම්බන්ධ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් වාර්තා වීමක් සිදු වනවා.

මේ හා සම්බන්ධයෙන් පවත්නා ඉතිහාස කතාවකට අනුව​ හිරන්‍යකාශිපු යනුවෙන් දරුණු රජ කෙනෙකු රජකම් කර තිබෙන බවත්, ඔහුට වරයන් පහක් ලැබුණෙන් ඔහු අමරණීය වේ යයි සිතූ හෙයින්, තමන් දෙවියන් හා සමාන යයි සිතූ බවත් කියවෙනවා. මොහුගේ පුතා විෂ්ණු දේව භක්තිකයෙකු වූ ප්‍රහ්ලාද් නම් වුණා. මේ සම්බන්ධයෙන් රජු දැඩි විරෝධයක් දැක් වූ අතර එක් අවස්ථාවක ‘තමාද ශ්‍රේෂ්ඨ එසේ නොමැති නම් දෙවියන්ද?’ යනුවෙන් පැනයක් ප්‍රහ්ලාද්ගෙන් අසනු ලැබුවා. එයට පුත්‍රයා ඔබ නිකම් රජ කෙනෙක් පමණක් බවත්, දෙවියන් ශ්‍රේෂ්ඨ බවත් ප්‍රකාශ කරනු ලැබුවා. මෙයින් දැඩි කෝපයට​ පත් රජු පුත්‍රයා මැරීමට විවිධ උපක්‍රම යෙදුවද ඒවා අසාර්ථක වන අතර, අවසානයේ සිය සහෝදරිය වන හොලිකාගේ සහය ලබා ගන්නවා. ඇය විශාල ගින්නක් අවුලවා, ප්‍රහ්ලාද් පිළිස්සීමට උත්සාහ​ කළද ඔහු එයින් ගැලවෙන අතර හොලිකා ගින්නට හසු වනවා. මීට අමතරව දේව පෙම්වතුන් වන රාධා ක්‍රිෂ්ණා ආදරය සැමරීම සඳහාද මෙම උත්සවය යොදා ගැනීමක් සිදු කරනු ලබනවා. මෙසේ හෝලි උත්සවය පිළිබඳ වන පුරාවෘත ඉන්දියාවේ ද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වනවා.

රාධා ක්‍රිෂ්ණා (imnepal.com)

විවිධ නම්

මුල් කාලයේ හොලිකා ලෙස හැඳින්වූ මෙම උත්සවය අද වන විට ‘හෝලි’ යනුවෙන් හඳුන්වනු ලබනවා. මීට අමතරව ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල විවිධාකාර නම්වලින් හැඳින්වීමක් සිදු කරනවා. ලත්මාර් හෝලි, බසන්ට් උට්සව්, ශිම්ගෝ, දුලන්දි හෝලි, දොල් පුර්නිමා, කමන් පන්දිගායි, රන්ග්පන්චමි, හෝලා මොහල්ලා, පගු පුර්නිමා  ඉන් කිහිපයකි.

පවත්වන අයුරු

visitrenotahoe.com

මෙම උත්සවය එක් දහවල් කාලයක් හා රාත්‍රී කාලයක් පුරා පැවැත්වෙනවා. උත්සවයේ පළමු හවස් යාමය හොලිකා දහන් හෙවත් ‘චෝටි හෝලි’ යනුවෙන් හඳුන්වනු ලබනවා. පසු දින උත්සවය ‘හෝලි’ යනුවෙන් හඳුන්වනු ලබනවා. කෙසේ නමුත් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල හෝලි විවිධ නම් වලින් හැඳින්වීමක් සිදු කරනු ලබනවා.

වර්තමානය වන විට මෙම උත්සවය ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම පාහේ සමරනු ලබනවා. උත්සවය දිනයේ මිනිසුන් එක්සත්ව එකට එකතු වන අතරම, සියලුම අමනාපයන් හා නරක හැඟීම් අමතක කර දමනු ලබනවා.  ඉතාමත් ප්‍රසිද්ධ මෙම හින්දු උත්සවය සතුට හා උද්යෝග්‍ය මුසුව සැමරීමක් සිදු කරනු ලබනවා.

ආගමික පසුබිමක් සහිත උත්සවයක් වුවත් හෝලි සතු විශේෂත්වයක් වන්නේ, ඉන්දියාවේ හින්දු භක්තියන්ට පමණක් සීමා නොවී නේපාලය, පකිස්ථානය, මලයාසියාව, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය, ගයනාව ආදී රටවලද මෙම උත්සවය සංවිධානය කිරීමයි. ඉන්දියාව පුරා මෙය සැමරීමක් සිදු කලත් හෝලි උත්සවයේ ප්‍රධානතම සැමරීම දක්නට ලැබෙන්නේ, බ්‍රාජ් නමැති ප්‍රදේශයේ බව දැක්වෙනවා. මෙයට හේතුව වන්නේ, මෙම පළාත ක්‍රිෂ්ණා දෙවිදුන්ගේ ජීවිතය හා සම්බන්ධ බවට හින්දු භක්තිකයන් දැඩිව විශ්වාස කිරීමයි. විශේෂයෙන්ම හෝලි උළෙල ඉතාමත් උත්සවශ්‍රීයෙන් සමරන ප්‍රදේශ අතර මතුරා, විරින්දවන්. නන්ගදාන් හා බර්සනා ආදී ග්‍රාමයන් දැක්විය හැකියි. මෙම උත්සවය පවත්වන කාල සීමා වලදී මෙම ප්‍රදේශ වල දේශීය ජනතාවගෙන් මෙන්ම විදේශීය ජනතාවගෙන්ද ගහණ ප්‍රදේශයක් බවට පත් වනවා.

පරිසර හිතකාමී අයුරින් හෝලි සැමරීම සඳහා

හොලිකා දහන් (filmetriks.com)

රතු, කොළ, නිල් ආදී වර්ණයන්ගෙන් යුත් මෙම උත්සවය වර්ණයන් හා සම්බන්ධ උත්සවයකි. කෙසේ නමුත් වර්තමානයේ මෙම උත්සවය වානිජකරණයට ලක් වී ඇති, ඝෝෂාවන්ගෙන් යුක්ත උත්සවයක් බවට පත් වී තිබෙන බවට දැක්වෙනවා. මේ හේතුවෙන් මිනිසුන් දැනුවත් කිරීමේ ව්‍යාපාර පවත්වාගෙන යන අතරම හෝලි උත්සවය පරිසර හිතකාමී ආකාරයෙන් පවත්වාගෙන යාමට උනන්දු කිරීමක් සිදු කරනු ලබනවා. මුල් කාලයේ මෙම උත්සවය එතරම් වානිජකරණයට ලක් වීමක් සිදු නොවුන අතර, හෝලි වර්ණයන් ගස් වල මල් වලින් සපයා ගැනීමක් සිදු කළා. එමෙන්ම එවකට භාවිතා කළ මෙම වර්ණයන් සමට ඉතාමත් හිතකර වුණා. නමුත් මෑත කාලයේ ස්වභාවික වර්ණයන් රසායනික ක්‍රම වලින් සකසන කාර්මික ඩයි වර්ග වලට හුවමාරු වී තිබෙනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයන​ වලදී හෙළි වී තිබෙන්නේ මෙම රසායනික වර්ණ උපද්‍රව සහිත බවයි.

රසායනික වර්ණක භාවිතා කිරීම වෙනුවට තමන්ගේ මුළුතැන්ගේ ආදියෙන් තමන්ටම කහ, තැඹිලි- රතු, තද රෝස වැනි වර්ණක සාදා ගැනීම කෙරෙහි යොමු වී තිබෙනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන තවත් විවේචනයක් වන්නේ කුඩා කුඩා ගිනිමැල ගැසීමයි. හොලිකා දහන් උත්සවයේදී එනම් පසුදින හෝලි එළඹීමට මත්තෙන් රාත්‍රීයෙදී ගිනිමැල ගැසීමක් සිදු කරන අතර, මෙම සම්බන්ධයෙන් ගුජරාට් ප්‍රාන්තයේ කළ අධ්‍යනයක දී හෙළිදරව් වූයේ එක් ගිනිමැලයක් සඳහා දැව කිලෝග්‍රෑම් 100 ක් පමණ භාවිතා කරන බවයි. ගුජරාට් ප්‍රාන්තයේ එක් උත්සව කාලයක් සඳහා පමණක් ගිනිමැල ආසන්න වශයෙන් 30,000 ක් පමණ දල්වනු ලබනවා. මේ හේතුවෙන් දැව අපතේ යාමක් සිදු වන අතර, මේ සඳහා කණ්ඩායම් සමූහයක් සඳහා එක් සංකේතවත් ගිනිමැලයක් ගැසීම සඳහා පක්ෂව කරුණු දක්වනු ලබනවා. කෙසේ නමුත් හෝලි උත්සවයේ ගින්නක් ගැසීම මඟින් සංකේතවත් කරනු ලබන්නේ, අයහපත් දේ විනාශ කිරීමයි. එමෙන්ම මෙම හෝලි උත්සවය සඳහා විෂය වී ඇති කතා වස්තුවේ එන මනඃකල්පිත​ හොලිකා නම් චරිතයද ගින්නට දමනු ලබනවා.

කවරයේ පින්තූරය: visittrivalley.com