මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

මීට වසරකට පෙර තලේබාන්වරුන් ඇෆ්ඝනිස්ථානයේ බලය අත්පත් කරගත් පසු, නසීෆා වැනි එරට තරුණියන් දහස් ගණනකට ඉගෙනුම ලැබීමේ අවකාශ ඔවුන් සම්පූර්ණයෙන් පාහේ අවුරන්නට කටයුතු කළා.

කෙසේ නමුත් මෙමඟින් ඇෆ්ඝනිස්ථාන තරුණියන්ට ඉගෙනීම සඳහා වූ ඇති නොතිත් ආසාව නම් කිසිලෙසකින්වත් අඩු වී නැහැ.

දඬුවම් ලැබිය හැකි ඉගෙනුම

නසීෆා, තලේබාන් සංවිධානයට සම්බන්ධ සිය සොයුරාගෙන් තමන්ගේ පාසල් පොත් පත් සඟවා, ආරක්ෂා කර ගැනීම සඳහා සිය නිවසෙහි සුදුසු ස්ථානයක් සොයාගෙන තිබෙනවා. ඒ පුරුෂ පාර්ශවය වැඩිපුර නො එන, කුස්සිය තුළ යි.

"පිරිමි ළමයින්ට කුස්සියේ කිරීමට දෙයක් නැහැ, එනිසා මං මගේ පොත් එතැන සඟවනවා"

ගම්බද, නැගෙනහිර ඇෆ්ඝනිස්ථානයේ  රහස් පාසලකට සහභාගීවන නසීෆා පවසනවා.

"මගේ සොයුරා මෙය දැනගතහොත් මට පහර දෙනු ඇති"

 ඇෆ්ඝනිස්ථානයේ කාන්තාවන් වෙනුවෙන් රහස් පාසල් රාශියක් ඇති වී තිබෙනවා- nycitiesusa.com

මීට වසරකට පෙර, ඇෆ්ඝනිස්ථානයෙහි බලය අත්පත් කරගැනීමෙන් පසු, තලේබාන්වරුන් එරට තරුණියන් සහ කාන්තාවන්ට, ඉතා තදබල නීති සමුදායක් පැනවූවා. මෙමඟින් ඔවුන්ගේ සාමාජයීය ජීවිතය ඉතා දැඩි ලෙස සිමා වීමකට ලක් වුණා. වර්තමානය වන විට මෙම කාන්තාවන්ට, සිය පුරුෂයා හෝ ඥාති වන පුරුෂයකු නොමැතිව, තනි ව දිගු ගමන් යාම පවා තහනම් වෙනවා. ඔවුන් හිජාබය හෝ බුර්කාව භාවිත කර සිය ශරීරය සම්පූර්ණයෙන් වසා ගෙන ගමන් යා යුතු බවට ආඥා නිකුත් කර  තිබෙනවා.

අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසෙන් බැහැර වීමත් ඔවුනට තහනම්. මොවුන් තරුණියන්ට සිදු කළ වඩාත් බලවත් ම හානිය වන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය නැවැත්වීම යි. රට පුරා තරුණියන්ට ද්විතියික අධ්‍යාපනය ලබා දෙන පාසල් සියල්ල තලේබාන්වරුන් වසා දමා තිබෙනවා. කෙසේ නමුත්, මෙයින් අධ්‍යාපනය සඳහා එරට තරුණියන් තුළ වන ආසාව බිඳකදු අඩු වී නෑ. රට පුරා, සාමාන්‍ය නිවෙස්වල රහසිගත පාසල් ඔවුන් වෙනුවෙන් විවෘත වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. විසි හැවිරිදි නසීෆා ද එවැනි පාසලකට සහභාගී වන තරුණියක්.

තටු නොකැපුණු වෛද්‍ය සිහිනය

නසීෆා කාටත් හොරෙන් අධ්‍යාපනය ලබන බැව් දන්නේ ඇගේ මව සහ වැඩිමල් සොයුරිය පමණ යි. ඇගේ සොයුරා එවකට ඇෆ්ඝනිස්ථානයේ තිබූ රජයට සහ අමෙරිකානු හමුදාවට එරෙහි ව වසර ගණනාවක් තලේබාන්වරුන් සමඟ එක්වී සටන් කළ අයෙක්. තලේබාන්වරුන් එරට බලය අල්ලා ගත් පසු නැවත නිවසට පැමිණි ඔහු, නිවස තුළ ද දැඩි ඉස්ලාමික මත ක්‍රියාත්මක කර තිබෙනවා. ඔහු නසීෆාට ඉඩ ලබා දී ඇත්තේ කුරානය ගැන උගන්වන මද්‍රසා පාසලකට යාමට පමණ යි. උදෑසන එයට යන නසීෆා, සවස් වරුවෙහි ඔහුට හොරෙන්, ඇෆ්ඝනිස්ථාන විප්ලවීය කාන්තා සංගමය  පවත්වන පාසලකට ගොඩවෙනවා.

"මෙහි අවදානම අප ම ගත යුතුයි. එසේත් නොමැතිනම්, අප නූගත්ව සිටිනු ඇති" යි නසීෆා පවසනවා " මට වෛද්‍යවරියක වීමට අවශ්‍ය යි. අපට අප වෙනුවෙන් යමක් කරගැනීමට අවශ්‍ය යි. අපට සමාජයේ උන්නතිය සහ රටෙහි ගොඩනැඟීම සඳහා කටයුතු කිරීමට අනාගතය ගොඩ නඟා ගන්නට, නිදහස අවශ්‍ය යි"

නසීෆා යන පාසලෙහි ඇය වන් තවත් තරුණියන් දහයක් පමණ අධ්‍යාපනය ලබන අතර, භාෂණයේ නිදහස වැනි දේ ගැන ද ඔවුන් ඉගෙන ගන්නවා.

මෙම පාසලට පැමිණීම සඳහා, එය ආරම්භ කරන්නට පැය කිහිපයකට පෙර නිවසෙන් පිටත් වන ඇය, තලේබාන් හිතවාදී අවට ඈයන්ගේ අවධානයට ලක් නොවීම සඳහා විවිධ වට මාර්ග භාවිත කරමින් එහි ළඟා වෙනවා. තලේබාන්වරයෙක් ඇය නවත්වා කොහි යන්නේ දැයි විමසුවහොත් ඇය සිය පොත පත අබාය සහ බුර්කාව තුළ සඟවා, තමන් ඇඳුම් මැසීමේ පාථමාලාවකට යන බැව් පවසනවා. ඇගේ ඉගෙනුම සඳහා ඇගේ වැඩිමල් සොයුරිය සිය ඉගෙනුම පසෙක ලා තිබෙන්නේ සිය සොයුරාට ඒ ගැන සැකයක් ඇති නොවීම සඳහා යි.

 තලේබාන්වරු ඇෆ්ඝනිස්ථානයේ බලය තහවුරු කරගැනීමෙන් අනතුරු ව කාන්තා අධ්‍යාපනයට වැට බැන්දා - Rahmath gul / AP

ඉස්ලාමයේ තහනම් කර නොමැති කාන්තා අධ්‍යාපනය

ඉස්ලාමය පිළිබඳව වූ විද්වතුන් පවසන්නේ ඉස්ලාමය තුල කිසි ලෙසකින් කාන්තා අධ්‍යාපනය සීමා කළ යුතු යැයි සඳහන් නොවන බව යි. තලේබාන්වරුන් වෙනත් මගක යමින්, තමන් රාජ්‍යය අත්පත් කරගෙන වසරක් ගිය පසුත් කාන්තා අධ්‍යාපනයට එරෙහි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මේ වන විට මෙම ගැටලුව පිළිබඳ ව තලේබාන් සංවිධානය තුළ ම මත දෙකක් ඇති වී තිබෙන අතර, එක් පිරිසක් සිය නායක හිබතුල්ලා අකුන්සාදා කිසි ලෙසකින් කාන්තා අධ්‍යාපනය ස්ථාපිත කිරීමට ක්‍රියා නොකරන බැව් පවසද්දී, තවත් පිරිසක් ඉස්ලාමීය නිති නිසි ලෙස රටෙහි ස්ථාපිත කිරීමෙන් අනතුරුව කාන්තා ද්විතියික අධ්‍යාපනය නැවත අරඹන බැව් පවසා සිටිනවා.

 ගැහැනු දරුවන් පෙර සේම ප්‍රාථමික අධ්‍යාපනය ලබන අතර, තවමත් ඇෆ්ඝන් විශ්වවිද්‍යාලවලට කාන්තාවන්ට ඉඩකඩ වෙන් වී තිබෙනවා. කෙසේ නමුත් ආචාර්යවරුන් කාන්තා අධ්‍යාපනය පිළිබඳ ව විවිධ මත දැරීමත්, සමහර විෂයයන් කාන්තාවන්ට ඉගැන්වීමට කාන්තා ආචාර්යවරුන්ට පමණක් අවසර ලබා දීමත්, එරට කාන්තා ආචාර්යවරුන් හිඟ වීමත් නිසා එරටෙහි කාන්තා අධ්‍යාපනය එන්න එන්න ම වල පල්ලට යමින් තිබෙනවා.

එක සේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය

නිසි ලෙස ද්විතියික අධ්‍යාපනය නොලැබෙන නිසා, අනාගතයේදී එරට ගැහැනු දරුවන් හට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම ඉතා අසීරු වනු ඇති. මේ නිසා වර්තමානයේ එරට විශ්වවිද්‍යාලගත ව ඉගෙනගන්නා කාන්තා ප්‍රජාව බොහෝ කලකට එරට තෘතියික අධ්‍යාපනය ලබන කාන්තාවන් පිරිස වීමේ අවදානමක් මතුව තිබෙනවා.

අධ්‍යාපනයෙන් ඉහළට ගිය අබ්දුල් බාරි මදානි පවසන්නේ ඉස්ලාමය තුළ පුරුෂයන් හා කාන්තාවන් යන දෙපිරිසට ම එක සේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඇති බැව් සඳහන් ව ඇති බව යි. කාරණා මෙලෙස දිගට ම පැවතුණහොත් ඇෆ්ඝනිස්ථානය මධ්‍යතන යුගය කරා ගමන් කරනු ඇති බවට ඔහු බිය පළ කරනවා.

 ඉස්ලාමය තුළ කාන්තා අධ්‍යාපනයට වැට බැඳ නැහැ- Shuaib Mohamed 

කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දෙන දිරිය කතුන්

40 වියැති තම්කින් අෆ්ඝනිස්ථානයේ ගුරුවරියක් ව සිටි අතර, පසුගිය වසරෙහි තලේබාන් ආක්‍රමණයෙන් පසු සිය රැකියාව අහිමි වූ අයෙක් වෙනවා. ඇයට 1996-2001 තලේබාන් පාලන සමයෙහි අඳුරු මතක තවමත් සිහි වනවා. එකල සියලු ගැහැනු දරුවන්ට පාසල් යාම තහනම් කිරීම නිසා ඇති වූ අයහපත් තත්ත්වය පිළිබඳ අඳුරු මතක ද ඇය සතු ව තිබෙනවා.

මෙලෙස අධ්‍යාපනය අහිමිවීම නිසා, එක් පරම්පරාවක ම කාන්තාවන් අඳුරට පත්විය හැකි බවට බිය පල කරන ඇය සිය නිවස හොර රහසේ ම කාන්තා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන ඇත්තේ එබැවිනු යි. ගැහැනු ළමයින් 25 ක් පමණ ඇගෙන් අධ්‍යාපනය ලැබීම සඳහා එහි පැමිණෙන අතර, ඇය ඉන් සමහරකට පත පොත රැගෙන දීම සඳහා සිය නිවසෙහි සිටි ගවයෙක් පවා ඇය විකුණා තිබෙනවා. 

තම්කින් සිය නිවසෙහි ඉංග්‍රීසි, විද්‍යාව වැනි දේ උගන්වනවා. තලේබාන්වරුන් කිහිප වතාවක්ම ඇගෙන් මෙහි සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කර ඇති අතර, ඇය එහි මද්‍රසාවක් පැවැත්වෙන බව ඔවුන්ට පවසා තිබෙනවා. ඇය තලේබාන්වරුන්ට බිය නොමැති බවත්, අධ්‍යාපනය ලබාගත නොහී තමන් ගැටවර වියේදී මුහුණපෑ දුෂ්කරතා නව පරපුරට මුහුණපෑමට සිදු නොවන ආකාරයට කටයුතු කිරීම තම යුතුකම බවත් ඇය විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.

කාන්තාවන්ට නිදහස් අධ්‍යාපනයට ඉඩ

ලයිලා ද තම්කින් වැනි ම ගුරුවරියක්, කාබුල් අසල වෙසෙන ඇය තලේබාන් පාලන සමය ඉක්මනින් ම අහවර වී පෙර මෙන් කාන්තාවන්ට නිදහස් අධ්‍යාපනයට ඉඩ හසර ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටිනවා. තලේබාන් ආක්‍රමණය නිසා සිය දියණියගේ ද්විතියක අධ්‍යාපනය ද අවහිර වූවා.  ඇයට එය ලබා දීම සඳහා කටයුතු කරන්නට ගත් ඇය, වර්තමානය වන විට එවැනි ම තරුණ ගැහැනු දරුවන් කිහිප දෙනකුට ම අධ්‍යාපනය ලබා දෙනවා. එහි පැමිණෙන දරුවන් පවසන්නේ තමන් තලේබාන් වරුන්ට බිය නැති බව යි.

කෙසේ නමුත් මෙලෙස දිරිමත් ව අධ්‍යාපනය ලැබීමට පැමිණෙන සමහර දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ඇනහිටින්නේ අඩු වයසෙන් ඔවුන් විවාහ කර දීම නිසා යි. මෙලෙස ඔවුනට ලැබෙන බොහෝ පුරුෂයන් තලේබාන් මත දරන වුන් වෙනවා.

14 හැවිරිදි සහ්‍රා එලෙස විවාපත් අතර, අධ්‍යාපනයෙන් ඉහළට ම යන්නට පෙරුම් පිරූ ඇය, මේ වන විට ඇගේ ස්වාමි පුරුෂයාගේ පාර්ශවයෙහි විරුද්ධ වීම නිසා අධ්‍යාපනය ලබන්නේ ඉතා අසීරුවෙනු යි. ඇය මානසික ආතතිය සඳහා ප්‍රතිකාර පවා ලබා ගන්නා අතර,  භාණ්ඩ මිලදී ගන්නට යන බැව් පවසා හොර රහසේ ම පාසල වෙත පැමිණෙනවා.

මෙහි එන නම් ගම් මනඃකල්පිත යි.

කවරයේ ඡායාරූපය - Sara Perria

මූලාශ්‍ර:

Ft.com

Hindustantimes.com

BBC.com