Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මේ අපූර්ව දේශ සීමා ගැන ඔබ දන්නවාද?

යුද්ධයක් වැනි යමකින් හෝ දේශපාලනික බලපෑමක් නැති අවස්ථාවකදී බොහෝ විට ප්‍රාන්ත, දිස්ත්‍රික්ක හෝ රටවල් දෙකක් අතර සීමාවන් නිර්ණය වන්නේ ස්වභාවික කාරණයක් මුල් කොටගෙනයි. එය සමුද්‍ර තීරයක්, ගංගාවක්, විලක් හෝ කඳු වැටියක් විය හැකියි. මේවා බෝහෝ විට සොබා සෞන්දර්යයෙන් අනූන​ වෙනවා. තවත් ඒවා වෙනයම් කරුණු නිසා විශේෂිත වෙනවා. යුද්ධයක් වැනි යමක් නිසා වෙන් වන දේශ සීමාවලත් සමහර විටෙක අහඹුවෙන් අපූර්ව පිහිටීම් ඇති වෙනවා.ලෝකයේ පිහිටා ඇති බොහෝ දේශ සීමා අතුරින් ඉතාම විශේෂිත, මනස්කාන්ත, අපූර්ව හෝ මතභේදයට තුඩුදුන් දේශ සීමා කිහිපයක් ගැන තොරතුරු අපි ඔබත් සමඟ බෙදාගන්නට සිතුවා.

ඉන්දු – බංග්ලාදේශ දේශ සීමාව

businessinsider.com

දකුණු ආසියානු කලාපයට අයත්, අපට ඉතාමත් හුරුපුරුදු මේ රටවල් දෙකේ දේශ සීමාව ලෝකයේ ඉතාමත් පැටළිලි සහගත දේශසීමාවක් බව කිසිවෙකුටත් බැලූ බැල්මට සිතෙන්නේ නැහැ. ඉන්දියාවේ බටහිර බෙංගාලයට අයත් කුච්-බෙහාර් නම් දිස්ත්‍රික්කය මායිමෙන් බංග්ලාදේශ දේශ සීමාව වැටී ඇති අතර පුදුමයට කාරණාව වන්නේ මේ සීමාව ආසන්නයේ, බංග්ලාදේශ භූමියෙන් සම්පූර්ණයෙන් වට වූ, ඉන්දියාවට අයත් භූමි භාග 102ක් හා අනෙක් පසින් සම්පූර්ණ ලෙස ඉන්දියානු භූමියෙන් වටවුණු, බංග්ලාදේශයට අයත් භූමි භග 71ක් පිහිටා තිබීමයි. විශ්මයජනකම කාරණය වන්නේ මේ කුඩා බිම් කොටස් තුලත්, නැවතත් අනෙක් රටට අයත් බිම් කොටස් පිහිටා තිබීමයි.

ඉන්දු-බංග්ලාදේශ දේශ වීමාව මේ තරමටම අවුල් ජාලයක් වී ඇත්තේ අතීතයේ රජවරු අනෙක් රජුගේ පාලන ප්‍රදේශයට පැන කුඩා කොටස් අත්පත් කරගෙන ඇති නිසයි. 1947 වසරේ නැගෙනහිර​ පාකිස්ථානය (වර්තමන බංග්ලාදේශය) ඉන්දියාවෙන් වෙන වන විට රටේ අභ්‍යන්තරික ප්‍රාන්ත සීමාවක තිබූ මේ ගැටළුව ජාත්‍යන්තර එකක් බවට පත් වුණා. 2011 වසරේදී දෙරට ගිවිසුමක් ගසමින් පැහැදිළි දේශ සීමාවකට පිඹුරුපත් සකස් කළේ ඒ ඒ ස්ථාන වල සිටින ජනතාවට ජීවත් වීමට තමන් කැමති රටක් තෝරාගැනීමට ඉඩ දෙමින්. 2015 වසරේදී මේ අවුල නිරාකරණය වුණා.

අතීතය හා අනාගතය එකට හමුවන ඩයොමිඩ් දූපත්

en.wikipedia.org

රුසියාව හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලෙස්කාව අතර පිහිටි ඩයොමිඩ් දූපත් කුඩා හා විශාල යනුවෙන් දූපත් දෙකකින් සමන්විත වෙනවා. මින් විශාල ඩයොමිඩ් දූපත රුසියාවට අයත් වන අතර සම්පූර්ණයෙන්ම ජනශුන්‍ය වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් කුඩා ඩයොමිඩ් දූපත තුල මිනිසුන් 150ක් පමණ ජීවත් වෙනවා. මේ දෙක වෙන් වන්නේ පටු සමුද්‍ර තීරයකින්. මේ තීරය පටු වුණත් ඒ ඔස්සේ ඉතා විශේෂ කාල රේඛාවක් ගමන් ගන්නවා. ඒ ජාත්‍යන්තර දින රේඛාවයි. ඒ අනුව කුඩා ඩයොමිඩ් දූපතේ වැසියන්ට, තමන්ට යම් දිනයක් උදා වන විටම ඔවුන් අසබඩ ඇති විශාල ඩයොමිඩ් දූපතේ ඒ දිනයම අවසන් වන හැටි අත්දැකිය හැකියි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞදි හා ඕමාන දේශසීමා

anexpatabroad.com

එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා එහි අසල්වාසී රටවල් දෙක වන සෞදි අරාබිය හා ඕමානය අතර දේශසීමා වල පවතින්නේ යම් නොපැහැදිළිතාවයක්. එමීරය හා සෞදි අරාබිය අතර සමහර ස්ථාන වල දේශ සීමාව 1974 දී පැනවුනත් එය තවමත් නිළ ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැහැ. මේ නිසා සිතියම් ලකුණු කරන විට යම් අනුමානයන් වලට යාමට සිදු වෙනවා. එමීරය හා ඕමානය අතර දේශ සීමාවක් සමහර තැනෙක හරිහැටි පනවා නැහැ. එක් අතෙකින් ජනශුන්‍ය කතරක් වන මේ සීමා නිර්ණය කිරීමට අදාල ප්‍රදේශයේ නිල දේශසීමාවක් තිබීමේ තදබල අවශ්‍යතාවයක් නැති තරම්.

නෙදර්ලන්ත – බෙල්ජියානු දේශ සීමාව

npr.org

නෙදර්ලන්ත – බෙල්ජියානු දේශ සීමාව ආවරණය වන පරිදි පිහිටා ඇති කුඩා නගරයක් වන බාර්ලේ නෙදර්ලන්තය හා බෙල්ජියම යන රටවල් දෙකටම අයිති වෙනවා.  මෙහි බෙල්ජියමට අයත් කොටස බාර්ලේ-හෙර්ටෝ ලෙස හැඳින්වෙන අතර නෙදර්ලන්තයට අයත් කොටස බාර්ලේ-නසෞ ලෙස හැඳින්වෙනවා. ඉන්දියානු බංග්ලාදේශ දේශ සීමාවේ මෙන්ම මෙහිද අනෙක් රටේ භූමියෙන් සම්පූර්ණයෙන් වට වුණු, එක් රටක භූමි කොටස් රාශියක් තිබෙනවා. මෙහි ප්‍රධාන දේශ සීමාව ආපනශාලා, විසිත්ත කාමර, වාහන නැවතුම්පොළවල් වැනි දෑ මැද්දෙන් වැටී තිබෙනවා. මෙයත් අතීතයේ රජවරුන් භූමිය බෙදාගත් ආකාරය අනුව සකසාගෙන ඇති අතර ඔබට හා මිතුරෙකුට එක මේසයකම, එහෙත් රටවල් දෙකක වාඩි වී තේ කෝප්පයක් රස විඳින්නට හැකි ආකාරයේ ආපනශාලා මෙහි ස්ථාපිත කර තිබෙනවා.

ලෙසොතෝ

stylehiclub.com

එක් රටකට අයත් එහෙත් තවත් රටකින් සම්පූර්ණයෙන්ම වටවී ඇති විශාලම භූමි භාගය ඇත්තේ කුමන රටකට අයත්ව දැයි කිසිවෙක් විමසුවහොත් සැපයිය හැකි පිළිතුර වන්නේ දකුණු අප්‍රිකාවෙන් වට වී ඇති ‘ලෙසොතෝ රාජ්‍යය’ යන්නයි. ඇත්තෙන්ම මෙය එක් රාජ්‍යකට අයත් භූමිය සම්පූර්ණයෙන්ම​ තවත් රාජ්‍යයක් තුළ පිහිටීමක්. මෙය වර්ග​ සැතපුම් 11,720 ක් විශාල වන අතර මිලියන 2 ක පමණ ජනගහනයක් වෙසෙනවා.

මීට අමතරව වතිකානුව සහ සැන් මැරීනෝ යන රාජ්‍යයන් සම්පූර්ණයෙන්ම ඉතාලි භූමියෙන් වටවී තිබෙනවා. නමුත් එම රාජ්‍යයන් ලෙසොතෝවට වඩා බොහෝ සෙයින් කුඩායි.

ගැම්බියාව

operationworld.org

ගැම්බියාවවත් ලෙසොතෝව මෙන්ම සම්පූර්ණයෙන්ම තවත් රටක් හෙවත් සෙනගාලය තුල පිහිටා තිබෙන රටක්. මෙහි එකම වෙනස එය බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් මායිම් වීමයි. මෙලෙස මේ රට බිහි වීමට හේතු වී තිබෙන්නේ අතීතයේදී මෙහි පැමිණි බ්‍රිතාන්‍ය ජාතික වෙළෙන්දන් ගැම්බියා ගංගාව හා එහි පෝෂක ප්‍රදේශය සම්බන්ධයෙන් වෙළඳ කටයුතු සඳහා අයිතිවාසිකම් ප්‍රකාශ කර වෙන්කරගැනීම නිසායි. බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ව තිබූ ගැම්බියාව පසු කලෙක නිදහස් රටක් බවට පත් වෙනවා.

කිසිවෙකුටත් උවමනා නැති භූමි කොටස

Dmitry Zhikarev

ක්‍රි.ව 1899 වන විට ඊජිප්තුව හා සුඩානය බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබුණා. මෙහිදී ඊජිප්තුවේ හා සුඩානයේ සීමා නිර්ණය කොට ඔවුන් සිතියමක් ඇන්දා. එයින් කියැවුණේ 22nd parallel නම් භූමි භාගයෙන් දකුණට වන්නට ඇති භූමිය සුඩානයටත්, උතුරට ඇති භූමිය ඊජිප්තුවටත් අයත් බවයි.

වසර තුනක් ගත වන තුරු මේ සීමා නිර්ණය ගැන ගටළුවක් තිබුණේ නැහැ. නමුත් 1902 වසරේදී නැවත අඳින ලද සිතියමක සුඩානයට සරුසාර භූමියෙන් වැඩි කොටසක් වෙන්ව තිබුණා. සරුසාර හලා’ඉබ් ත්‍රිකෝණය තමන්ට අයිති බව රටවල් දෙකම ප්‍රකාශ කල අතර  මේ ත්‍රිකෝණය වෙනුවට ඊජිප්තුවට එක්කාසු කරන ලද බිර් ටවිල් නම් නිසරු කාන්තාරික භූමි භාගය රටවල් දෙකම ප්‍රතික්ෂේප කර තිබුණා. අදටත් එය කිසිදු රටකට අයිති නැහැ. 2014 වසරේදී මේ බිම් කොටසට ඇමෙරිකානුවෙක් හිමිකාරීත්වය ප්‍රකාශ කලා. මේ අතර මෙයට රුසියානුවෙකුත් හිමිකාරීත්වය ප්‍රකාශ කිරීම නිසා තවත් ශීතල යුද්ධයක් උද්ගත වී තිබෙනවා.

රටවල් හතරක් එකට හමු වන ස්ථානය

earthobservatory.nasa.gov

මුළු ලෝකයෙන්ම රටවල් 4 කට අයත් දේශ සීමා එකට හමු වන ස්ථානයන් ඇත්තේ එකක් පමණයි. එයත් ඉතා ආසන්න වශයෙන්. අප්‍රිකාණු මහාද්වීපයේ සැම්බියාව, නැමීබියාව, සිම්බාබ්වේ හා බොට්ස්වානා යන රටවල් හතර ඉතා ආසන්න වශයෙන් එකම ස්ථානයකදී මුණ ගැසෙනවා. සමහරු මෙය රටවල් 3ක් එකට හමු වන ස්ථාන දෙකක් පමණක් බවට තර්ක කරන්නේ හරියටම එකම ස්ථානයකින් එසේ බෙදී නැති නිසායි.

කවරයේ පින්තූරය -independent.co.uk

මූලාශ්‍ර

  1. mentalfloss.com
  2. travelandleisure.com
  3. thoughtco.com

Related Articles