Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාහ්සාගේ මරණයත් සමඟ ඉරානයේ මතු වූ හිජාබ් විරෝධය

අත්අඩංගුවට ගැනීමෙන් පසු හෘදයාබාධයකට ගොදුරු වූවායැ යි පැවසෙන 22 හැවිරිදි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් මේ දිනවල ඉරානයේ නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා. මහ්සා අමීනි ලෙසින් හඳුන්වන මෙම තරුණිය, හිජාබය නිසි ලෙස නොපැළඳීම නිසාඉරානයේ “සදාචාරය සුරකින පොලිස් ඒකකය” මඟින් පසුගිය සතියේ දී අත්අඩංගුවට ගැනුණා. එදින ඇය තම සොහොයුරා සමඟ බටහිර කුර්දිස්තානයේ සකේස් සිට ටෙහෙරාන් අගනුවර කරා පැමිණියේ ඥාතීන් පිරිසක් හමුවීම උදෙසා යි.

ඉරානයේ කාන්තාවන් උදෙසා ඇඳුම් කේතයක් තිබෙන අතර, එය කඩ කරන කාන්තාවන්ට එරෙහි ව නීතිමය පියවර ගන්නවා. ඇඳුම් කේතය කඩ කරන්නන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා පිහිටුවා ඇති විශේෂ පොලිස් ඒකකය හඳුන්වන්නේ “සදාචාරයේ පොලීසිය” ලෙස යි. අත් අඩංගුවට ගැනීමේ දී අමිනීට පොලිසියෙන් හේතු දැක්වීමක් නොලැබුණු බවත් සඳහන්. ඇඳුම් පැළඳුම්වල තිබූ ගැටලුවක් මත අමිනී රැඳවුම් භාරයට ගත් බව වාර්තා කළේ මාධ්‍ය යි. කෙසේ නමුත්, සිය දියණිය නීතියට අනුකූල ව ඇඳුම් පැළඳ ගෙන සිටි බව මහ්සා අමීනි ගේ මව මාධ්‍ය හමුවේ පවසා තිබුණා.

මාහ්සා අමිනී ගේ (දකුණ) අවසන් කටයුතු සාකේස් හි සිදු වූ අතර, ඊට සමගාමීව විරෝධතා රැල්ලේ ආරම්භයත් සනිටුහන් වුණා – www.timesofisrael.com 

ඉරානයේ හිජාබ් නීතිය

1978-79 අතර කාලය තුළ පැවති ඉරාන විප්ලවයෙන් පසු 1981 දී අනිවාර්ය හිජාබ් නීතියක් ඉරානයේ සම්මත වුණා. එරට දණ්ඩ නීති සංග්‍රහයේ 638 වගන්තියට අනුව හිජාබයක් නොමැති ව කාන්තාවන් ප්‍රසිද්ධියේ හෝ වීදිවල පෙනී සිටීම අපරාධයක් ලෙස ගණන් ගැනෙනවා. හිජාබ් නීතිය නිසි ලෙස අනුගමනය නොකරන කාන්තාවන් හඳුනා ගැනීම සඳහා පොදු ප්‍රවාහනයේ දී මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණයක් පවා භාවිත කිරීමට ඉරාන බලධාරීන් සැලසුම් කරමින් සිටියා.

හිජාබ් නීතිය එලෙසින් ප්‍රතිපෝෂණය කිරීමේ උත්සාහයන් ක්‍රියාත්මක වුවත්, පසුගිය ජූලි මාසයේ දී “ජාතික හිජාබ් සහ නිර්මලත්වය” නම් විශේෂ දිනයට සමගාමී ව ඉරානයේ සාමකාමී විරෝධයක් ඇරඹුණා. එහි දී ඇතැම් කාන්තාවන් පොදු ප්‍රවාහනය භාවිත කරන අතරතුර හිජාබය පැළඳ නොසිටීමේ රැල්ලක් ක්‍රියාත්මක වුණා. මහ්සා අමීනි ගේ ආන්දෝලනාත්මක සිද්ධිය සිදු වන්නේ මෙවැනි පසුබිමක් මැද යි.

සැක සහිත වීඩියෝවක්

අත් අඩංගුවට ගත් මහ්සා අමීනි, ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගිය අතර, ඇය ගේ සොහොයුරා ද එහි පැමිණ සිටියා. එහි දී අමිනි ගේ සොහොයුරාට ඇතුළතින් කිසිවෙක් කෑගසන ශබ්දයක් ඇසුණු බවත්, පසුව ගිලන් රථයක් කැඳවූ බවත්, ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණා. රෝහලට රැගෙන ගිය පසු අමිනි කෝමා තත්ත්වයට පත් වූ අතර, ඇය ගේ තත්ත්වය ගැන විස්තර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වීම ඇරඹුණා.

මාහ්සා අමිනී කෝමා තත්ත්වයේ සිටිය දී ගත් ඡායාරූපයක් – turkey.postsen.com 

 ඉරානයේ ආරක්ෂ අංශ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ හිජාබ් නීති පිළිබඳ ව අධ්‍යාපනික පුහුණුවක් ලබමින් සිටිය දී අමිනි හදිසියේ ම ඇද වැටුණු බව යි. ඇද වැටීම, හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූ බව ඔවුන් වැඩි දුරටත් පවසා සිටිනවා. කෙසේ නමුත්, අත් අඩංගුවට ගැනීමට පෙර අමිනි ඉතා නිරෝගී ව සිටි බවත්, මින් පෙර හදවත ආශ්‍රිත කිසිදු රෝගාබාධයකට ඇය ලක් වී නොසිටි බවත්, පවුලේ සාමාජිකයන් අවධාරණය කර තිබෙනවා. 

තමා පවසන දෑ තහවුරු කිරීම සඳහා ඉරාන ආරක්ෂක අංශ රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින අමිනි ගේ වීඩියෝ පටයක් නිකුත් කිරීමටත් කටයුතු කළා. මහ්සා අමීනි තවත් කාන්තාවක් සමඟ කතා කිරීමට උත්සහ ගැනීමේ දී හදිසියේ ම හිස අල්ලා ගෙන ඇද වැටෙන දර්ශනයක් එහි පටිගත වී තිබුණා. එම වීඩියෝව අධික වශයෙන් සංස්කරණයටලක් කර ඇති බව යි පැවසෙන්නේ. 

විරෝධතා රැල්ලක ආරම්භය

සැක සාංකා මැද මහ්සා අමීනි පසුගිය සැප්තැම්බර් 16 වැනිදා අවසන් හුස්ම හෙළූ අතර, ඉන්පසු ඉරාන සමාජය තුළ යම් ආන්දෝලනයක් ඇති වුණා. දැඩි නීති පද්ධතියක් ඇති රටක් වුව ද ඉරාන කාන්තාවන් මහ්සා අමීනි ගේ මරණයට එරෙහි ව විරෝධය දැක්වීමට තරම් නිර්භීත වීම ඊට හේතුව යි.

අමිනි ගේ අවමංගල්‍ය දිනයේ දී සාකේස් හි සිය ගණනක් අවසන් ගෞරව දැක්වීම සඳහා එක් ව සිටි අතර, ඊට සමගාමී ව කුර්දිස්තාන් පළාතේ විරෝධතා ආරම්භ වුණා. පසුව එම විරෝධතා අණ්ඩුකාරවරයාගේ කාර්යාලය දක්වා ම පැතිරුණා. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන පරිදි විරෝධතාකරුවන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනීටත් සිය විරෝධය පළ කර තිබෙනවා.

මාහ්සා අමිනී ගේ මරණයට විරෝධය පාමින් සිය හිසකෙස් කපා දමන ඉරාන කාන්තාවන් ගේ වීඩියෝ පට අන්තර්ජාලය පුරා සංසරණය වුණා – indianexpress.com 

කුර්දි මානව හිමිකම් සංවිධානවලට අනුව කදුළු ගෑස් භාවිතයෙන් සාකේස් හි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ඉරාන පොලිසිය උත්සහ කර තිබෙනවා. ආරක්ෂක අංශ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පසක් කරමින් සංචරණය වන ඇතැම් වීඩියෝ පටවල වෙඩි හඬ පවා පසුබිමින් ඇසෙන අයුරු නිරීක්ෂණය කළ හැකි යි. එහෙත්, ඉරානයේ දැඩි නීති පද්ධතියට විරෝධතාකරුවන් පාලනය කිරීම අපහසු වුණා.

ක්‍රම ක්‍රමයෙන් අමිනි ගේ උපන් ගම් පළාතේ සිට ටෙහෙරාන් දක්වා විරෝධතා රැල්ල පැතිරුණු අතර, ටෙහෙරාන් විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨයේ සිසුන් ද සාමකාමී උද්ඝෝෂණයකට එක් වෙමින් එය අරගලයක් කරා ගෙන යෑමේ පදනම සැකසුවා.

මාර්ග අත්පත් කරගත් ඉරාන විරෝධතාකරුවෝ – www.cbc.ca 

ඉරානය ම නොසන්සුන්

 මේ වනවිට අමිනි ගේ මරණයෙන් කම්පනයට පත් වූ බොහෝ දෙනෙක් කාන්තා ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඉරානයේ පවතින නීතිය සහ කාන්තාවන් රඳවා තබා ගනිමින් හිරිහැර කිරීමට එරෙහි ව හඬ නඟමින් සිටිනවා. මහජන විරෝධය අඛණ්ඩව වර්ධනය වීමේ ප්‍රතිපලයක් ලෙස ඉරාන කාන්තාවන් වීදි බැස තම කොණ්ඩය කපා දමමින්, හිජාබය පුළුස්සා දැමෙන වීඩියෝ ගණනාවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත වුණා.

“#Mahsa_Amini” යන හෑෂ් ටෑගය යටතේ විරෝධතාවල දසුන් සහ මහජන අදහස් ෆේස්බුක් තුළ ප්‍රචාරය වෙමින් තිබෙන අතර, ඉරානයේ මෙන්ම ලෝකයේ නන් දෙසින් ඊට සහයෝගය ලැබෙමින් පවතිනවා. 

ටෙහෙරාන් නුවර විරෝධතා අතරතුර දේපළ හානිවීම් ද සිදු වුණා – www.cbc.ca 

ඉරාන මාධ්‍යවේදිනියක් සහ සමාජ ක්‍රියාකාරිණීයක් වන මාසිහ් අලිනෙජාද් පවසන පරිදි වයස අවුරුදු හත වැනි කුඩා වයසක පටන් ඉරාන කාන්තාවෝ අදාළ ඇඳුම් කේතය පිළිපැදිය යුතු යි. පිළිනොපදින කාන්තාවන්ට පාසලකටවත් ඇතුළු වීමට අවසර ලැබෙන්නේ නැහැ. රැකියාවක් ලබා ගැනීමේදීත් ඇඳුම් කේතය වැදගත් වෙනවා. ඔවුන් එම නීතිවලට බොහෝ දුරට අනුගත ව සිටියත්, අමිනි ගේ මරණයත් සමඟ සිය ඉවසීමේ සීමාව අවසන් කිරීමට පෙලැඹෙන බවක් පෙනී යනවා.

 ඉරානයේ විරෝධතා සතියකට අධික කාලයක් මුළුල්ලේ පැවැත්වෙමින් තිබෙන අතර, පසුගිය සැප්තැම්බර් 22 වනවිට නගර 80 ක් පුරා විරෝධතා පැවැත්වුණු බව සඳහන්. එරට රාජ්‍ය රූපවාහිනි සේවා පවසන අන්දමට විරෝධතා සහ ආරක්ෂක අංශ අතර සිදු වූ ගැටුම්වලින් මරණ 17 ක් පමණ සිදු වී තිබෙනවා. කෙසේ නමුත්, මානව හිමිකම් සංවිධානවලට අනුව එම අගය 31 දක්වා ඉහළ යන අතර, ඒ සියල්ලන් ම සිවිල් වැසියන් බවයි පැවසෙන්නේ.

කලබල වූ දැඩි මතධාරීහු

 බීබීසි පර්සියානු සේවය වෙනුවෙන් අදහස් දක්වන රානා රහීම්පූර්ට අනුව විරෝධතා සඳහා පුරුෂයන් ද වැඩි වැඩියෙන් සහාය දක්වන පසුබිමක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඉරානය මෙතෙක් පවත්වා ගෙන ආ නායකත්ව ක්‍රමයට එමඟින් විශාල අභියෝගයක් එල්ල වන බවත් ඇය පවසනවා. 

විරෝධතා සඳහා පුරුෂ පාර්ශවයේ සහභාගීත්වයත් ක්‍රමයෙන් ඉහළ ගියා – www.lbc.co.uk 

 සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂක අංශවල සහාය ඇති ව කැරලි මර්දන පොලිසිය ටෙහෙරානයේ මධ්‍යම සහ උතුරු ප්‍රදේශ වල විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පසුගිය බදාදා ඒ ප්‍රදේශ කදුළු ගෑස්වලින් ගහණ වූ අතර, උද්ඝෝෂකයන් විශාල අපද්‍රව්‍ය බහාලුම්වලට ගිනි තබමින් ඇතැම් වීදිවලට පිවිසීම අවහිර කර දැමුවා.

ආරක්ෂක අංශ නිවෙස් සහ වෙළෙඳසල්වලට කඩා වදිමින් විශාල ගණනක් අත් අඩංගුවට ගැනීමටත් ක්‍රියා කළා. ආරක්ෂක අංශ දැඩි ව ක්‍රියා කළ ද විරෝධතාකරුවන් ඇතැම් පොලිස් ස්ථාන සහ රජයේ ගොඩනැඟිලි අත්පත් කර ගැනීමට පවා සමත් වූ බව සඳහන්.

ලොව පුරා සිටින ඉරාන ජාතිකයින් මාහ්සා අමිනී ගේ මරණයට එරෙහිව එකමුතු වුණා. (ස්ථානය: කැනඩාවේ කැල්ගරි නගරය) – www.cbc.ca 

නොසන්සුන් වාතාවරණය උග්‍ර වීමේ සන්දර්භය තුළ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනී, කාන්තා ඇඳුම් කේතයට අනුකූල නොවන කාන්තාවන් කෙරෙහි මෘදු ආකල්ප දැක්වීමේ ක්‍රියාවලියකට සහය දක්වා තිබෙනවා. දැඩි මතධාරීන් හිජාබය හෝ පූර්ණ ඇඳුම් කේතයට අනුගත නොවන කාන්තාවන් සඳහා කස පහර වැනි දැඩි දඬුවම් ලබාදිය යුතු බව අවධාරණය කරනවා.

කාන්තාවන් හිසකෙස් පෙනෙන සේ හැසිරීම නිසා සදාචාරාත්මක පරිහානියක් සහ පවුල් ඒකක බිඳ වැටීම් සිදුවිය හැකි බව ඉරානයේ දැඩි මතධාරීන් පෙන්වා දෙනවා. හිජාබය පැළඳ නොසිටින කාන්තාවන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස එරට අධිකරණය මහජනතාව ගෙන් ඉල්ලා සිටින්නේත් මෙවැනි පසුබිමක් මැද යි.

මධ්‍යම ටෙහෙරානයේ විරෝධතා අතරතුර කාන්තාවක් සිය හිස් ආවරණය පුළුස්සා දමන අයුරු – edition.cnn.com 

සම්ප්‍රදායක් ද තනි අභිමතයක් ද?

 2017 සිට ඉරාන කාන්තාවන් වරින් වර ප්‍රසිද්ධියේ තම හිජාබය ඉවත් කරමින් විරෝධය දැක්වීමට උත්සහ කර තිබුණා. බලධාරීන් ඊට එරෙහි ව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ බැවින්, වර්තමාන විරෝධතාව මෙන් තත්ත්වය බැරෑරුම් වුණේ නැහැ. විරෝධතාවලට පුරුෂ පාර්ශවයෙන් පවා විශාල සහයෝගයක් ලැබීමෙන් පෙනී යන්නේ ඇඳුම් කේතයේ නීතිය සම්ප්‍රදායක් මෙන් රැක ගැනීමේ අවශ්‍යතාවක් ඉරාන ජාතිකයන්ට නොතිබුණු බව යි. එම නීති ආගමික නායකයන් සහ පාලකයන් ගේ තනි අභිමතය තුළ ක්‍රියාත්මක වෙමින් පැවතුණා. ඉන් හට ගත් මහජන පීඩනය පාලනය කළ නොහැකි මට්ටමකින් නිදහස් වන අයුරු දෙස බලා සිටීමට ඉරාන පරිපාලකයන්ට සිදු වෙලා.

 ඉරානයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය දැන් ජාත්‍යන්තරයටත් උණුසුම් මාතෘකාවක් වී අවසන්. ගෝලීය දේශපාලනය තුළ තරමක් ආන්දෝලනාත්මක භූමිකාවක් නිරූපණය කරන රටක් ලෙස ඉරානයේ තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ සංවිධාන අවධානයෙන් සිටිනවා. උදාහරණයක් ලෙස යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී ජෝසෙප් බොරෙල්, අමිනි ගේ මරණය සම්බන්ධයෙන් ඉරාන ආරක්ෂක අංශ දැක්වූ අදහස් සියල්ල ප්‍රතික්ෂේප කරමින් පවසා සිටින්නේ එය ඝාතනයක් බව යි. විනිවිද පරීක්ෂණයක අවශ්‍යතාව මතු කරමින් ප්‍රංශ රජය ද අමිනි ගේ මරණය හෙළා දැක තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අදාළ මරණය සහ ඉන් පසුව ඇති වූ විරෝධතා රැල්ල මැඬ පැවැත්වීම සඳහා ආරක්ෂ අංශ ගත් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව වාර්තා වෙනවා.

කවරයේ ඡායාරූපය: දැඩි පාලනයක් පවතින රාජ්‍යයක් වුව ද ඉරානයේ විශාල විරෝධතා රැල්ලක් හිජාබය ඇතුළු ඇඳුම් කේතයේ නීතිය නිසා හටගෙන තිබෙනවා - www.moneycontrol.com

 මූලාශ්‍ර:

timesofindia.indiatimes.com

 www.hindustantimes.com

indianexpress.com

www.bbc.com

www.firstpost.com

Related Articles