
ඊශ්‍රායෙලය සම්බන්ධයෙන් නිතර ම අසන්නට, දකින්නට ලැබෙන පුවත් පිටුපස පලස්තීනය සිටීම අපට දැන් ඉතා හුරු පුරුදු දෙයක්. ඊශ්‍රායෙලයේ පුවත් මවන්නා පලස්තීනය වන අතර, පලස්තීනයේ පුවත් මවන්නා වන්නේ ඊශ්‍රායෙලය යි. දෙපාර්ශවය අතර ඇති උණුසුම් වාතාවරණය නිසා ම ඒ ඒ රටවල ඇති අභ්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් විශාල ජාත්‍යන්තර අවධානයක් නොලැබෙන තරම්. දැන් උද්ගත ව ඇත්තේ හාත්පසින් ම වෙනස් තත්ත්වයක්. ඊශ්‍රායෙලයේ පුවත් මවන්නන් ඊශ්‍රායෙලයේ මිනිසුන් ම වීම ඊට හේතුව යි.
වැඩවර්ජන සහ විරෝධතා
මේ වනවිට ඊශ්‍රායෙලය මෑත ඉතිහාසයේ දරුණුත ම අභ්‍යන්තර අර්බුදයකට මුහුණ පා සිටිනවා. ඊශ්‍රායෙලයේ විශාලත ම වෘත්තීය සමිතිය වන “Histadrut”, පසුගිය සඳුදා ජාතික වැඩවර්ජනයක් කැඳවූ අතර, එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාල පවා අඩපණ වීමට තරම් එම වර්ජනය ප්‍රබල වුණා.
රෝහල්වල හදිසි නොවන ප්‍රතිකාර අවලංගු කරමින් වෛද්‍යවරුන් විරෝධතාවට එක් වීමත් විශේෂත්වයක්. විශ්වවිද්‍යාලවල කටයුතු අත්හිටුවමින් ආචාර්යවරුන් විරෝධතාවයට සහාය දැක්වූ අතර, ප්‍රධාන ගුවන්තොටුපොළත් වසා දැමුණා. මේ සියලු දේවල් හමුවේ ඊශ්‍රායෙලයේ වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහු ගේ රජය අසරණ වීමට වැඩි දිනක් ගත වූයේ නැහැ.

වසර ආරම්භයේ සිට ම ඊශ්‍රායෙල රජයේ අත්තනෝමතික ප්‍රතිසංස්කරණ සැලසුම්වලට එරෙහි ව ඊශ්‍රායෙලයේ විරෝධතා පැවැත්වුණා. වරින් වර පැන නැඟුණු එම විරෝධතා ඊශ්‍රායෙලයේ වාණිජ අගනුවර වන ටෙල් අවිව් සහ වෙනත් නගර කරා අඛණ්ඩ ව සහ දරුණු අන්දමින් පැතිර ගියේ අධිකරණයේ ස්වාධීනත්වයට රජය එල්ල කළ බලපෑමත් සමඟ යි.
ආරක්ෂාවත් තර්ජනයක
උග්‍ර වූ විරෝධතා හමුවේ සක්‍රීය සේවයේ නොමැති සංචිත බළ ඇණි කැඳවීමටත් ඊශ්‍රායෙල් රජය ක්‍රියා කළා. එලෙස සක්‍රීය සේවයේ නොසිටි ඇතැම් සෙබළුන් විරෝධතා ව්‍යාපාරයට සහාය දැක්වීමක් වශයෙන් සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා. අර්බුදය ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් වීම ඇරඹුණේ ඉන් පසුව යි. සියලු මහජන බලවේග ඉතා වේගයෙන් එකතු වෙමින් තිබුණා.

බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු රජයට විරුද්ධ දේශපාලන ප්‍රවාහ පවසන පරිදි අධිකරණ ප්‍රතිසංස්කරණ හරහා අධිකරණ පද්ධතිය දුර්වල විය හැකි අතර, රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් මරු පහරක් එල්ල වෙනවා. ප්‍රතිසංස්කරණ හරහා දූෂණ චෝදනා එල්ල වී ඇති බෙන්ජමින් නෙතන්යාහු වටා ආරක්ෂක පළිහක් නිර්මාණය විය හැකි බවත්, ඇතැමුන් අනතුරු අඟවා තිබුණා.
මොනවද මේ ප්‍රතිසංස්කරණ?
නෙතන්යාහු ගේ රජය සිදු කිරීමට නියමිත අධිකරණ ප්‍රතිසංස්කරණ කරුණු තුනකට බෙදා විස්තර කළ හැකි යි.
- නීති සමාලෝචනය කිරීමට සහ ඉවත දැමීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය, ප්‍රතිසංස්කරණ හරහා දුර්වල වනු ඇති. ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුව ආකාරයෙන් ක්‍රියාත්මක වන “Knesset” හි සරල බහුතරයකට පවා අධිකරණ තීන්දු අවලංගු කිරීමට මෙමඟින් හැකි වෙනවා.
- රජය පත් කරන කමිටුවක නියෝජනය වැඩි කිරීම හරහා ශ්‍රේෂ්ඨාධිකරණයත් ඇතුළු ව විනිසුරුවරයෙක් බවට පත් වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ තීරණාත්මක ප්‍රකාශයක් රජයට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.
- ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුවහොත්, අමාත්‍යවරුන් තම නීති උපදේශකයන් ගේ (නීතිපතිවරයා විසින් මෙහෙයවනු ලබන) උපදෙස්වලට කීකරු වීමේ අවශ්‍යතාවක් පැන නඟින්නේ නැහැ.

එක් ප්‍රතිසංස්කරණයක් දැනටමත් නීතියක් බවට සම්මත කර ඇති බව වාර්තා වෙනවා. බලයේ සිටින අගමැතිවරයෙක් එම ධූරයට නුසුදුසුයැ යි ප්‍රකාශ කිරීමේ බලය, නීතිපතිවරයා ගෙන් ඉවත් කිරීම එහි මූලික අරමුණ යි. වත්මන් අගමැතිවරයාට එරෙහි නඩු විභාගයක් දැනටමත් ඇති බැවින්, මෙම ප්‍රතිසංස්කරණය හරහා ඔහු යම් ආරක්ෂාවක් සලසා ගෙන ඇති බව යි පෙනී යන්නේ.
සංවේදී ජාතිය
පසුගිය සඳුදා සිට පෙර නොවූ විරූ තරමේ විරෝධතා සහ වැඩ වර්ජන ඊශ්‍රායෙලයේ ඇති වීමට තරම් ඉහත ප්‍රතිසංස්කරණ අනතුරුදායක බව ඔබට වැටහෙනවා ඇති. ජාතික ආරක්ෂාවට නිරන්තරයෙන් තර්ජන එල්ල බැවින්, ඊශ්‍රායෙලය යනු සිය අභ්‍යන්තර ස්ථාවරත්වය කෙරෙහි ඉතා සංවේදී වන රාජ්‍යයක්. අත්තනෝමතික ප්‍රතිසංස්කරණවලට එරෙහි ව ඊශ්‍රායෙල් ජනයා ක්ෂණික ප්‍රතිචාර දැක්වීම පිටුපස ඒ සංවේදීකමත් ප්‍රබල සාධකයක් ලෙස පවතින්නට ඇති.
“සිදුවෙමින් පවතින විරෝධතාවලින් අගමැතිවරයා විසන්ධි වූ බවක් පෙනෙන්න තිබෙනවා. හදිසියේ ම නැගුණු මේ ශක්තිය සන්සුන් කිරීම සඳහා ඔහු දක්වන දායකත්වය ප්‍රමාණවත් නැහැ. මේ තත්ත්වය සිවිල් යුද්ධයකට හෝ ඒ හා සමාන දෙයකට තුඩු දිය හැකි තරම් භයානක යි.”
විරෝධතා ව්‍යාපාරයට සහාය දැක්වූ පුරවැසියෙක් සිය අදහස ප්‍රකාශ කළේ එලෙසින්.

විරෝධතා ව්‍යාපාරය ජාතික අර්බුදයක් දක්වා වර්ධනය වූ හෙයින්, අඩියක් පිටුපසට ගැනීමට බෙන්ජමින් නෙතන්යාහු තීරණය කළා. ඒ අනුව පාර්ලිමේන්තුවේ මීලඟ සැසිවාරය තෙක් යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණ නවතා දැමීමට ඔහු ක්‍රියා කරනු ඇති. එමෙන්ම, සිය දේශපාලන විරුද්ධවාදීන් සමඟ සංවාදයක් ඇරඹීමට සහ සම්මුතියකට එළඹීමටත් ඔහු අපේක්ෂා කරනවා.
යහපත් සමාජයක් තැනූ අධිකරණ තීන්දු
ඊශ්‍රායෙලයට ලිඛිත ව්‍යවස්ථාවක් නොමැති අතර, අත්‍යවශ්‍ය අයිතිවාසිකම් සහ නිදහස සහතික කරන අයිතිවාසිකම් පනතක් ස්ථාපිත කර නැහැ. එබැවින්, ඊශ්‍රායෙල් ජනයා ජීවත් වන අන්දම තීරණය කිරීමේ දී උසාවිය ඉටු කරන කාර්යභාරය ඉතා ප්‍රබල යි. රට ක්‍රියාත්මක වන්නේත් මූලික නීති මාලාවක් අනුව යි. ඊශ්‍රායෙලයේ ජනාවාසීකරණයේ සිට LGBTIQ අයිතිවාසිකම් සහ පලස්තීන භූමි ප්‍රදේශ අත්පත් කර ගැනීමේ ගැටලු දක්වා කරුණු ගණනාවක් අධිකරණය මේ දක්වා තීරණය කර තිබෙනවා.

ඊශ්‍රායෙලය යනු ඉතා යහපත් ජීවන මට්ටමක් පවත්වා ගෙන යන රාජ්‍යයක්. ඊශ්‍රායෙල් ජාතිකයන් සහ රට තුළ ජීවත් වන සංක්‍රමණිකයන් ගේ මානව නිදහස සහ අයිතිවාසිකම් ඉහළින් ම ආරක්ෂා කිරීමටත් රාජ්‍යය බැඳී සිටිනවා. මැද පෙරදිග කලාපයේ අන් සියලු රටවලට වඩා ඉතා නිදහස් ජීවන රටාවක් පවත්වා ගැනීමට ඊශ්‍රායෙල් අධිකරණ පද්ධතියෙන් ලැබුණු පිටුවහල ඉතා විශාල යි. එවැනි ශක්තිමත් තැනකට ජනතා ඡන්දයෙන් ම පත්වූ තැනැත්තෙක් බලපෑම් එල්ල කරනවා නම්, ඊශ්‍රායෙල් ජනයා කුපිත වීම අරුමයක් නොවෙ යි. ප්‍රතිසංස්කරණ හරහා ඊශ්‍රායෙල් අධිකරණය දුර්වල වුවහොත්, අධිකරණය සතු අධිකාරී බලය තවදුරටත් ජාත්‍යන්තර අධිකරණ පද්ධති මඟින් හඳුනා නොගැනීමේ අවදානමක් ද පවතිනවා.
ව්‍යවස්ථා අර්බුදයකට අත වැනීමක්
විරෝධතා හමුවේ අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කල් තැබීමට බෙන්ජමින් නෙතන්යාහු තීරණය කළත්, ඔහුට එම තීරණයේ රඳා පැවතිය හැකි කාලය සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නෙතන්යාහු ගේ තනි අභිමතය අනුව ඉදිරිපත් වූ යෝජනාවක් නොවෙ යි.
ඔහු නියෝජනය කරන දේශපාලන සන්ධානයෙන් ම එම යෝජනාව ඉදිරිපත් වී තිබුණා. එබැවින්, ජනතා විරෝධයට කන් දෙමින් නෙතන්යාහුට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අතහැර දැමීමේ හැකියාවකුත් නැහැ. එවිට ආණ්ඩුව පිහිට වූ හවුල්කරුවන් ඉවත් වීමේ අවදානමක් පැන නඟිනවා.

ඊශ්‍රායෙල් පාර්ලිමේන්තුව කවදා හෝ අධිකරණ ප්‍රතිසංස්කරණ සම්මත කරගතහොත්, අධිකරණය සීමා කිරීමට උත්සහ කරන නීති අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කරනු ඇති. එවිට නීතිය යනු කුමක්ද යන්න වග රජයේ ශාඛා දෙකක් ප්‍රතික්ෂේප කරන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වීම වැලැක්විය නොහැකි යි.
ඒ අනුව දශක ගණනාවක් අප්‍රතිහත ධෛර්යයකින් යුතු ව ඊශ්‍රායෙලය පැමිණි ගමන් මඟ අභ්‍යන්තර අර්බුදයක් හේතුවෙන් දුර්වල වීමට ඉඩ තිබෙනවා. අගමැති නෙතන්යාහු, තමා නියෝජනය කරන දේශපාලන සන්ධානය සමඟ නොව පුරවැසියා සමඟ සම්මුතියකට එළඹිය යුත්තේ ඒ නිසා යි.