Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කිසිම වේදනාවක් නොදැනෙන අරුම පුදුම පවුල

රත්වුණ යමක් ඔබේ සමේ ස්පර්ශ වූ විට, රත්වුණු යමක් අප සමීපයේ පවතින විට අප එය කෙරෙන් දුරස් වන්නේ එහි උණුසුම සමට දැනීම, එසේ නොමැති නම් මීට පෙර එවැනි රත්වූ යමක් ස්පර්ශ වීමෙන් දැනුනු වේදනාව සිහිපත් වීම හේතුවෙනි. ජීවිතයේ එක්වරක් හෝ අස්ථියක් බිඳී ඇත්නම් එය කෙතරම් දැඩි වේදනාවක් දැයි ඔබ දන්නවා ඇත. වේදනාව දැනීම හේතුවෙන් අප නොදැනුවත්වම යම් තුවාලයක් හෝ පිළිස්සීමක් වී ඇති බව දැනේ. වේදනාව මනුෂ්‍ය වර්ගයාට මෙන්ම සියලුම දියුණු ජීවීන්ට පොදු වූ කරුණකි. නමුත් එම පොදු ධර්මතාවයට ඇතුළත් නොවන පුද්ගලයින් ද සිටීමේ

සම්භාවිතාවක් ඇති බව ඔබ දැන සිටියා? එවැන්නන් සිටී නම් එසේ වේදනා නොදැනීම යහපත් දෙයක් යැයි ඇතැම්විට ඔබට සිතෙනු ඇත.

එවැනි, වේදනාව නොදැනෙන පුද්ගලයන් ඉතාම දුර්ලභ නමුත්, ඉතාලියේ ජීවත්වන එක් පවුලක සාමාජිකයන්ට නම් වේදනා දැනෙන්නේ නොමැති තරම්ය.

ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම්

(radiosienatv.it)Letizia Marsili නම් 52 හැවිරිදි කාන්තාව

ලෙටීෂියා මර්සිලි වේදනාව නොදැනෙන පවුලේ සාමාජිකාවකි. ඇය තම අත්දැකීම් විස්තර කරමින් පවසන්නේ ඇයට පමණක් නොව ඇයගේ පවුලේ සියලුම දෙනාට කිසිදු වේදනාවක් නොදැනෙන බවයි. වේදනාවක් දැනුනත් එය තත්පර කිහිපයකට පමණක් සීමාවන අතර, එයත් දැනෙන නොදැනෙන මට්ටමේ සියුම් වේදනාවකි. මෙම පවුලේ සියලුම සාමාජිකයන් රෝගීවන්නේ අවම වශයෙනි. වෛද්‍යවරුන් විශ්වාස කරනු ලබන ආකාරයට මෙය ස්නායු පද්ධතියේ යම් විශේෂත්වයක් නිසා හටගන්නක් වන අතර එය ඇතැම් ස්නායු නිවැරදි ලෙස සංවේදනයන් සන්නිවේදනය නොකිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති වේ. එක්තරා ජානයක විකෘතිතාවයක් මෙම ස්නායුගත තත්ත්වයට හේතු වේ. මෙම පවුල මූලික කරගෙන සිදුකෙරුණු පර්යේෂණයන් මගින්, දිගුකලක් දරුණු වේදනාවන්ගෙන් පීඩා විදින පුද්ගලයන්ගේ වේදනාව අවම කිරීම සඳහා වේදනා නාශකයන් නිෂ්පාදනය කිරීමට පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.

ichef-1.bbci.co.uk

වේදනාව දැනීම සාමාන්‍ය මිනිසුන් වන අපට කරදරකාරී වුවත්, මේ පවුල නම් වේදනාව දැනීම යහපත් ලෙස සළකනු ලබයි. ඒ, දරුණු පිළිස්සීමක් හෝ අස්ථි බිදීයාමක් සිදුවූවත් වේදනාව නොදැනීම නිසා ඔවුන් ඒ පිළිබඳව නොදැනුවත් බැවිනි. පවුලේ වයස අවුරුදු විසි එකක තරුණයෙකු තම යතුරු පැදිය අනතුරට ලක්වීමෙන් අනතුරුව ඔහුගේ අතෙහි අස්ථි බිදීමක් සිදු වුවද ඒ පිළිබදව කිසිදු දැනීමකින් තොරව තවත් සැතපුම් නවයක් ගමන් කර ඇත. මෙම තරුණයාගේ මව දවස පුරා හිම මත ලිස්සායාමේ ක්‍රීඩාවේ නිරත වී ඇත්තේ එදින උදෑසන සිය උරහිසේ සිදු වූ අස්ථි බිදීමක්ගැන නොදැනුවත්වම ය. අනතුර සිදු වූ මොහොතේ කිසිදු වේදනාවක් නොදැනීම හේතුවෙන් දවස පුරාම ක්‍රීඩාවේ යෙදුන ඇය පසු දින උදෑසන රෝහල වෙත යාමට තීරණය කර ඇත්තේ අත ආශ්‍රිතව යම් වෙනසක් අවබෝධවීම හේතුවෙනි. එමෙන්ම තවත් අවස්ථාවක දී ඇය ටෙනිස් ක්‍රීඩා කරන විට ඇයගේ වැලමිට ආශ්‍රිතව අස්ථි බිදීයාමක් සිදු වුවත් කිසිම වේදනාවක් දැනී නැත. මේ පවුල එය කරදරකාරී තත්ත්වයක් ලෙස සළකනු ලබන්නේ බොහෝ අවස්ථාවල ශරීරයට දරුණු අනතුරක් සිදුවුවත් වේදනාව නොදැනෙන නිසා ප්‍රතිකාර ලබාගැනීම පමාවීමෙන් හෝ අතපසුවීමෙන් දරුණු තත්ත්වයන් උද්ගත විය හැකි බැවිනි.

(video-images.vice.com) Letizia Marsili සහ ඇයගේ පවුලේ සාමාජිකයන්

එක අවස්ථාවක ඔවුන්ගෙන් කෙනෙකුට කෘතීම දතක් සවිකිරීමේ දී එය වැරදි ස්ථානයක සවිකරනු ලැබුවේ අදාල තැනැත්තාට වේදනාවක් නොදැනීම හේතුවෙනි. මර්සිලිගේ මවගේ ශරීරයේ අස්ථි බිඳීම් ගණනාවක් සිදු වී ඇති අතර, ඒ ගැන නොදැනීම හේතුවෙන් එම අස්ථි බිදුන ආකාරයටම ස්වභාවිකව විකෘතිව සවි වී ඇත. පවුලේ අනෙකුත් සාමාජිකයන් අතරින් සංවේදනයන් අඩුවෙන්ම දැනෙන්නේ මරියා ඩොමිනිකා නමැති 78හැවිරිදි කාන්තාවට යි.

මෙහි තවත් එක ලක්ෂණයක් වන්නේ අධික උෂ්ණත්වයන්ගෙන් පිළිස්සෙන බව නොදැනීමයි. මර්සිලිගේ සොයුරියගේ මුඛය අභ්‍යන්තරයේ තුවාල ගණනාවක් සිදු වී ඇත්තේ ඉතාම උණුසුම් පාන වර්ග පානය කිරීම හේතුවෙනි. උණුසුම් පාන මගින් පිළිස්සීම් ඇතිවන බව නොදැනීම හේතුවෙන් ඇයට මෙලෙස තුවාළ සිදුවී ඇත.

ජීව විද්‍යාත්මක පසුබිම

වේදනාව පිළිබඳ සංවේදනයන්ට සංවේදී නොවන Congenital hypoalgesia නම් තත්ත්වයක් මෙම පවුලේ සාමාජිකයන්ට බලපා ඇති අතර, එය ජාන මගින් උරුම වන තත්ත්වයකි. වේදනාව දැනීමේ හැකියාව මේ හරහා අවම වේ. වේදනාවක් ඇතිවන යම් කැපීමක්, පිළිස්සීමක් සිදුවන අවස්ථාවල දී ස්නායු පද්ධතිය මගින් මොළයට යවන පණිවිඩයන්ට බාධා ඇතිවීම, මොළයට පණිවිඩ යැවීමට නොහැකි වීම මෙහිදී සිදුවන්නකි. මෙම තත්ත්වය හේතුවෙන් මෙවැනි පුද්ගලයන් නොදැනුවත්වම දිව, දෙතොල් ආශ්‍රිතව සැපීම නිසා දැඩි ලෙස තුවාළ සිදුකරගනු ලබන අතර, ඇඟිලි, පතුල් ආශ්‍රිතව ද තුවාල සුලභව දැකගත හැකිය.

වෛද්‍යවරුන් පවසන ආකාරයට ඔවුන්ට යම් සියුම් වේදනාවක් හටගනු ලැබුවත් එය තත්පර පනහත් හැටක් අතර කාලයක් තුළ සම්පූර්ණ වශයෙන් සංවේදනයන් නොමැති තත්ත්වයට පත්වේ.

විකෘති සෛල හරහා ප්‍රතිකර්ම

මොවුන්ගේ මෙම තත්ත්වයට අදාල ජාන සාම්පල යොදාගනිමින් විද්‍යාගාරයක් තුළ මීයන් පිරිසක් බෝකරනු ලැබූ අතර පරීක්ෂණ ප්‍රතිපල අනුව එම මීයන්ට සංවේදනයන් නොමැති ය. ඔවුනට දැඩි උණුසුම, සීතල ද නොදැනෙන බව හෙළිවිය. මෙම ජාන මගින් අනාගතයේ දී වේදනානාශක හඳුන්වාදීමේ හැකියාව පවතින අතර, එමගින් දීර්ඝ කාලයක් තිස්සේ දැඩි වේදනාවන්ගෙන් පීඩා විඳින රෝගීන්ට යම් සහනයක් ලබාගැනීමේ හැකියාව පවතින බවට මත පළ වී ඇත.

Cover image: video-images.vice.com

මුලාශ්‍ර

01..BBC.COM

  1. www.dsfta.unisi.it
  2. www.ilsecoloxix.it

Related Articles