Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජසින්ඩා ආ(ර්)ඩන්: නවසීලන්ත දේශපාලනයේ යුගයක අවසානය

ලෝකයේ ප්‍රසිද්ධ නායකයන් වගේ ම ජනප්‍රිය නායකයන් ද සිටිනවා. අමෙරිකානු ජනපති ජෝ බයිඩන්, ජනප්‍රිය නායකයකුට වඩා ප්‍රසිද්ධ නායකයෙක් ලෙස හැඳින්විය හැකි යි. ඔහුට පෙර එරට ජනපති ධූරය හෙබවූ බැරක් ඔබාමා, ප්‍රසිද්ධියට අමතර ව ජනප්‍රිය නායකයෙක් ලෙසත් නමක් දිනා සිටියා.

ඔවුන් ගේ පෞරුෂ ලක්ෂණ සහ අන්තර් පුද්ගල සබඳතා පවත්වා ගෙන යන අන්දම ඊට බලපාන බව සිතිය හැකි යි. ධූරයට පත් වී මුල් අවුරුදු කිහිපය තුළ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ වටාත් යම් ජනප්‍රියත්වයක් ගොඩනැඟී තිබුණා.

කම්කරු පක්ෂය ජසින්ඩා ආඩන් ගේ අදහස් ප්‍රවර්ධනය කළ අවස්ථාවක්- twitter.com

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආ(ර්)ඩන් ද එවැනි ජනප්‍රිය දේශපාලන චරිතයක්. ප්‍රියමනාප බව, පෞරුෂය සහ දුෂ්කර අවස්ථා මැදින් නවසීලන්තය මෙහෙය වූ නායකත්ව ගුණාංග නිසා ඇය ජනප්‍රිය නායිකාවක් ලෙස ලෝකයේ පිළිගැනීමට ලක් වුණා. කෙසේ නමුත්, පසුගිය සතියේ ලෝකයේ වඩාත් අවධානයට ලක් වූ පුවතක් බවට පත් වෙමින් ඇය සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළා. මේ වනවිට ජසින්ඩා ආ(ර්)ඩන් ගේ ජනප්‍රියත්වය තරමක් දුරට හායනයට ලක් වී තිබුණත්, වැරදි නිවැරදි කර ගනිමින් නැවතත් දේශපාලනය තුළ ස්ථාවර වීමේ අවස්ථා ඇයට ඕනෑ තරම් තිබුණා.

එසේ නම්, ඇය සමුගැනීම ප්‍රකාශ කළේ ඇයි?  

කාලය ඇවිත්..

“මා දැන් මාගේ ධූර කාලයේ හයවන වසරට ඇතුළත් වෙනවා. ඒ සෑම වසරක ම මම මගේ උපරිමය ලබා දී තිබෙනවා. රටකට නායකත්වය දීම ඕනෑම කෙනකුට කළ හැකි වඩාත් වරප්‍රසාදිත රැකියාව වන අතර, එය වඩාත් අභියෝගාත්මක කාර්යයක් බවත් මා විශ්වාස කරනවා. ඔබට ඒ සඳහා සම්පූර්ණ ශක්තිය තවදුරටත් නොමැති නම්, ඔබ එය නොකළ යුතු යි.”

ජනවාරි 19 වැනිදා පැවති කම්කරු පක්ෂයේ දේශපාලන බල මණ්ඩල රැස්වීමට සමගාමී ව සිය ඉල්ලා අස්වීමේ ප්‍රකාශය සිදු කරමින් ඇය එසේ පවසා තිබුණා.

ඉල්ලා අස්වීමේ කතාවෙන් කොටසක් – www.youtube.com

“මම යනවා. මක් නිසාද යත්, මෙවැනි වරප්‍රසාදිත භූමිකාවක් සමඟ විශාල වගකීමක් පැමිණෙනවා. ඒ තමයි ඔබ තවදුරටත් නායකත්වයේ රැඳීම සුදුසු ද නැද්ද යන්න වග තීරණය කිරීම. මම මේ තනතුරේ ස්වභාවය ගැන හොඳින් දන්නවා. ඉතින් තවදුරටත් මේ තනතුර වෙනුවෙන් සම්පූර්ණ කැප කිරීමක් සිදු කරන්න මට බැහැ. මම මනුෂ්‍යයෙක්. දේශපාලකයෝ කියන්නෙත් මිනිස්සු. අපිට හැකියාව තිබෙන තුරු හැකි සෑම දෙයක්ම අපි ලබා දෙනවා. නමුත්, දැන් මට කාලය ඇවිත්..”

ස්‍වයං විශ්ලේෂණය

ජසින්ඩා ආඩන් සිදු කළ ප්‍රකාශයට අනුව ඇය පෙබරවාරි 07 වැනිදා දක්වා නවසීලන්ත අග්‍රාමාත්‍ය ධූරයේ රැඳී සිටීමට බලාපොරොත්තු වෙනවා. ඉන්පසු එළඹෙන අප්‍රියල් මාසය දක්වා ඇය මවුන්ට් ඇල්බර්ට් හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස කටයුතු කරනු ඇති. ඇය නියෝජනය කරන කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය තරමක් හායනයට ලක් වී ඇති බැවින්, පක්ෂයේ අනාගතය සඳහා තමාට සිදුකළ හැකි වැඩ කොටස ඉෂ්ඨ කිරීම ඇය ගේ අරමුණ යි.

ආ(ර්)ඩන් මෙවැනි තීරණයකට පැමිණියේ පසුගිය ගිම්හාන විවේකය අතරතුර බව පැවසෙනවා. එහි දී තමාට දිගට ම අගමැති ධූරයේ රැඳී සිටීමට ශක්තිය තිබේ ද යන්න කල්පනා කළ බවත්, තවදුරටත් ඒ හැකියාව තමාට නොමැති බව ඇය තේරුම් ගත් බවත් සඳහන්. විවේකය අතරතුර පැමිණි තීරණය කිසිදු පැකිලීමකින් තොරව ප්‍රකාශයට පත් කිරීම සඳහා ආ(ර්)ඩන් විශාල කාලයක් මිඩංගු කළේ නැහැ. අල්ලාගත යුතු තැන වගේ ම අතහැරිය යුතු තැනත් ඇය දැන සිටියා. නිහතමානී ව ගත් තීරණයට පොදුවේ යහපත් සහ ස්තූති පූර්වක ප්‍රතිචාර ලැබෙන්නේත් ඒ නිසා යි.

ආඩන්, සිය සහකරු සමඟ – www.bloomberg.com

පසුගිය වසර කිහිපය පුරා ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි සමාජ විපර්යාසවල සලකුණු තැනින් තැන මතු වීමේ අවදානමක් නවසීලන්තය තුළ තිබුණා. ගෝලීය වසංගතය සහ රුසියානු-යුක්‍රේන යුද්ධය හේතුවෙන් ඉස්මතු වූ ගෝලීය ආර්ථික අර්බුද හමුවේ කාංසාව, අවිනිශ්චිතභාවයට තුඩු දුන් විවිධ කුමන්ත්‍රණකාරී න්‍යායන්වල ව්‍යාප්තියක් නවසීලන්ත‍යේ දක්නට ලැබීම ඊට හේතුව යි. කොවිඩ් හේතුවෙන් රට අගුළු දැමූ කාලයේ එන්නත් විරෝධී සමාජ කණ්ඩායම්වල ප්‍රකෝපකාරී ප්‍රතිචාර මධ්‍යයේ පාලන කටයුතු ගෙනයෑමටත් ආ(ර්)ඩන්ට සිදු වුණා.

අතහැරියා ද? අතහරින්න සිද්ධ වුණා ද?

ආරම්භයේ දී කොවිඩ්-19 වසංගතයේ පැතිරීම සහ එහි සමාජීය, ආර්ථික හානිය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඇයට සහ ඇය නියෝජනය කරන කම්කරු පක්ෂයට විශාල ජන ප්‍රසාදයක් හිමි වුණා. 2020 පැවති මහ මැතිවරණයේ දී කම්කරු පක්ෂයට කැපී පෙනෙන ජයග්‍රහණයක් හිමි වීමටත් එය බලපෑවා. කෙසේ නමුත්, දිගින් දිගට ම දේශසීමා වසා දැමීම සහ ලොක්ඩවුන් කිරීම් හේතුවෙන් ඇය ගේ ජනප්‍රියත්වය හීන වීම ඇරඹුණා.

සාර්ථක කොවිඩ් පාලනය නිසා ඇය ප්‍රසාදයට ලක් වුවත්, දිගු කාලීන ලොක්ඩවුන් කිරීම් නිසා විවේචනයටත් පාත්‍ර වුණ – /www.bbc.com

ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගැනීමට විරුද්ධ වූ ජන කණ්ඩායම් සහ දක්ෂිණාංශික විරෝධතා කණ්ඩායම් වෙතින් පැමිණි අනවරත විවේචන හමුවේ ජසින්ඩා ආ(ර්)ඩන් පීඩනයට පත්වීම සාමාන්‍ය කරුණක්. එවැනි පසුබිමක් මැද ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන මහ මැතිවරණයට මුහුණ දෙමින් තම පක්ෂය දිනවිය හැකි ද යන්න සැකය ඇයට ඉස්මතු වන්නට ඇති. කෙසේ නමුත්, ඉල්ලා අස්වීම සඳහන් කරමින් සිදු කළ ප්‍රකාශයේ දී මෙම පීඩනය ගැන කිසිවක් ඇය සඳහන් කළේ නැහැ. ඒ වෙනුවට ඇය පහත අන්දමේ ප්‍රකාශයක් සිදු කළා.

“දේශපාලනයේ දී මුහුණ දෙන දුෂ්කරතා හේතුවෙන් මිනිසුන් ඉවත් වෙනවායැ යි හැඟීමක් ඉතිරි කිරීමට මට අවශ්‍ය නැහැ. ඔව්, ඉන් යම් බලපෑමක් සිදු වෙනවා තමයි. අපි කොහොමත් මිනිස්සු. නමුත්, මගේ තීරණයේ පදනම එය නොවෙයි.”

වටිනාම දෙය පවුල යි

ගත වූ වසර පහකට වැඩි ධූර කාලය අභියෝගාත්මක සිදුවීම්වලින් ගහණ බව ඇය පිළි ගත් අතර, නිවාස ගැටලුව, ළමා දරිද්‍රතාව, දේශගුණ විපර්යාසය, ජෛව ආරක්ෂණය සම්බන්ධයෙන් මතු වූ ගැටලු ද අභියෝග වශයෙන් සැලකීමට ආ(ර්)ඩන් උත්සුක වුණා. ඒ සියල්ල සමඟින් ත්‍රස්ත අවදානම, ගෝලීය වසංගතය, ස්වභාවික විපත් සහ ආර්ථික අවපාතය සමඟ සටන් කිරීම පීඩනයක් නම්, තනතුරට පත් වී මාස දෙකක් ඇතුළත ඉල්ලා අස්වීමට ඉඩ තිබුණු බවත්, ඇය සඳහන් කර තිබුණා. දක්ෂිණාංශික බලපෑම සමඟ ආ(ර්)ඩන් තවදුරටත් සටන් කරමින් සිටින බව මින් ගම්‍ය වෙනවා.

ආ(ර්)ඩන් සිය දියණිය සමඟ – www.dailysabah.com

තවදුරටත් අනාගත සැලසුම් පසුපස හඹායෑමේ අවශ්‍යතාවක් තමාට නොමැති බව යි ජසින්ඩා ආ(ර්)ඩන් සඳහන් කර සිටින්නේ. ජීවිතයේ ඉතිරි කාලය තම පවුල වෙත වැඩි කැප කිරීමක් සිදු කිරීමේ අපේක්ෂාවකින් ඇය පසු වෙනවා. තම සහකරු වන ක්ලාක් ගේෆෝර්ඩ් සහ අගමැති ධූරය හොබවමින් සිටි අතරතුරේ දී බිහි කළ දියණියට ස්තූති කිරීමටත් ඇය අමතක කළේ නැහැ.

“ඔවුන් තමයි අපි හැමෝ ම අතරින් වැඩියෙන්ම කැප කිරීම් කළ උදවිය.

නීව් (දියණිය) වෙත: මේ අවුරුද්දේ ඔබ පාසල් යෑම ආරම්භ කරන විට අම්මා එහි පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම ක්ලාක්, අපි දැන් විවාහ වෙමු!”

ආ(ර්)ඩන් ගේ ගමන් මඟ

1980 ජූලි 26 වන දින නවසීලන්තයේ හැමිල්ටන් හි උපත ලද ජසින්ඩා කේට් ලෝරල් ආ(ර්)ඩන්, දියණියන් දෙදෙනෙක් සිටි පවුලේ ළා බාලතමයා යි. ඇය ගේ පියා වැදගත් නිලතල කිහිපයක් දැරූ අත්දැකීම් සහිත පොලිස් නිලධාරියෙක්. ආඩන් කම්කරු පක්ෂයට බැඳෙන විට 17 හැවිරිදි වියේ පසු වූ තරුණියක්. පක්ෂ කටයුතුවලට සමගාමී ව ඇය වයිකටෝ විශ්ව විද්‍යාලයේ සන්නිවේදන උපාධියක් හැදෑරුවා.

ජීවිතයේ මුල් වසර කිහිපයේ දී ආ(ර්)ඩන් ගත කළ ප්‍රදේශය තුළ තිබූ ජීවන තත්ත්වය දේශපාලනයට පිවිසීම සඳහා ඇයට උත්තේජනයක් වූ බව පැවසෙනවා. මඕරි ගෝත්‍රයට අයත් කල්ලිවල ක්‍රියාකාරකම් අධික ව එම ප්‍රදේශයේ පැවතුණු අතර, ආහාරයක්වත් සොයා ගැනීමට නොහැකි ව දුෂ්කරතාවට පත් වූ දරුවන් ද එහි ජීවත් වුණා.

උපාධිය ලබා ගැනීමෙන් පසු ජසින්ඩා ආ(ර්)ඩන්, කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන ෆිල් ගොෆ් සමඟ පර්යේෂකයෙක් වශයෙන් සේවය කළ අතර, ඉන් ලබා ගත් අත්දැකීම් හරහා ඉදිරි දේශපාලන ගමනට යහපත් පසුබිමක් සකසා ගැනීමට ඇයට හැකි වුණා.

තම පාලන කාලය තුළ ජසින්ඩා ආඩන් මුහුණ දුන් ආන්දෝලනාත්මකම සිදුවීම වන්නේ ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්ත ප්‍රහාරය යි. එහි දී ඇය ක්‍රියා කළ අන්දම ඉතා ප්‍රශංසනීය යි – edition.cnn.com

2008 දී ජසින්ඩා ආ(ර්)ඩන් ප්‍රථම වරට නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ඇය තේරී පත් වූයේ මැතිවරණ ජයග්‍රහණයක් හරහා නොවෙ යි. ජසින්ඩා ආ(ර්)ඩන් ඒ වනවිටත් පක්ෂයේ ඉදිරි පෙළ සාමාජිකයන් අතර සිටි බැවින්, පාර්ලිමේන්තු අසුනක් ඇයට පිරිනැමිය යුතු බව තීරණය වුණා. ඒ අනුව පක්ෂ ලැයිස්තුව හරහා ජසින්ඩා ආ(ර්)ඩන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිවිය ආරම්භ කළා. ජනතා ඡන්දයකින් තොරව පාර්ලිමේන්තුව වෙත ගෙන්වා ගැනීමට තරම් කම්කරු පක්ෂය ආඩන් මත විශ්වාසය තැබුවේ ඇය ගේ සහජ දක්ෂතාව නිසා යි. එවැන්නෙක් පක්ෂයේ පසු පෙළ තබා ගන්නවා වෙනුවට ජනතාවට හඳුන්වා දෙමින් ජනතා පදනමක් සදා දීමට තරම් කම්කරු පක්ෂය විචක්ෂණශීලි වුණා.

ජන පදනම සෑදුණු මවුන්ට් ඇල්බට්

2008 සිට 2011 දක්වා කාලය තුළ ඇය මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගැනීමට උත්සහ කළ ද සෑම අවස්ථාවකදී ම ජයග්‍රහණය පෙනි පෙනී පරාජයට පත් වුණා. කම්කරු පක්ෂය ජසින්ඩා ආ(ර්)ඩන් ව අතහැරියේ නැහැ. ඇය තම විභවය සාදා ගන්නා තුරු පක්ෂයේ වැදගත් තනතුරු ලබා දෙමින් අත්දැකීම්වලින් මුවහත් වීමට කාලය ලබා දුන්නා. මැතිවරණ පරාජ කාල සීමාව තුළ ඇය පක්ෂයේ තරුණ කටයුතු සඳහා ප්‍රකාශිකාව ලෙස නම් කළ අතර, ක්‍රමයෙන් වගකීම් පැවරෙන ආකාරයෙන් ඇය ගේ පරාසය පුළුල් කිරීමට පක්ෂ පරිපාලනය කටයුතු කළා.

මවුන්ට් ඇල්බට් හි මැතිවරණ ප්‍රචාරක පුවරුවක් – www.electionads.org

2017 පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත ව තිබූ මවුන්ට් ඇල්බට් ආසනයේ අතුරු මැතිවරණය සඳහා කම්කරු පක්ෂයෙන් නාම යෝජනා ලබා ගැනීමට ආ(ර්)ඩන් සමත් වුණා. මැතිවරණ පරාජ රැල්ල අවසාන කරමින් මවුන්ට් ඇල්බට් අතුරු මැතිවරණය ඇය ජයග්‍රහණය කළ අතර, ආ(ර්)ඩන් ගේ ජනප්‍රියතාව වේගයෙන් ඉහළ ගියා. ඒ වනවිට කම්කරු පක්ෂය වෙත නවසීලන්තයේ තරුණ ඡන්දදායකයන් සහ කාන්තා ඡන්දදායකයන් ආකර්ෂණය වෙමින් තිබුණා. ජසින්ඩා ආ(ර්)ඩන් සිය පක්ෂයේ උප නායක ධූරයට ඉතා ඉක්මනින් පත්කර ගැනීමට සාමාජිකයන් ක්‍රියා කළේ ඇති වූ නව ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින්.

කම්කරු පක්ෂයේ ජනප්‍රියතාවය කැපී පෙනෙන මට්ටමින් ඉහළ ගිය ද වසර නවයක ජාතික පක්ෂයේ පාලනය අවසාන කිරීමට නවසීලන්ත වැසියන් එතරම් උනන්දු වුණේ නැහැ. විපක්ෂයක් ලෙස කම්කරු පක්ෂයේ බලපෑම ප්‍රබල අන්දමින් නොදැනීමත් ඊට එක හේතුවක්.

බහුතරය කාටවත් නැහැ

2017 අගෝස්තු මාසයේ දී නව නායිකාව ලෙස තේරී පත් වෙමින් ළඟ එන මහ මැතිවරණය වෙනුවෙන් පක්ෂය සූදානම් කිරීමේ වගකීම ජසින්ඩා ආ(ර්)ඩන් භාර ගත්තා. කෙසේ නමුත්, 2017 මහ මැතිවරණය කුඩා පරතරයකින් ජය ගැනීමට “ජාතික පක්ෂය” සමත් වුණා. එහි දී ජාතික පක්ෂය 46% ක ඡන්ද ප්‍රතිශතයක් සහිතව ආසන 58 ක් ලබාගත් අතර, 36% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් කම්කරු පක්ෂයට ආසන 45 ක් හිමි වුණා. උණුසුම් ම අවස්ථාව එළඹුණේ ඉන් පසුව යි.

පක්ෂ දෙකට ම බහුතර බලයක් නොතිබූ බැවින්, අනෙකුත් පක්ෂ වල සහයෝගය ලබා ගැනීමට සිදු වුණා. ආසන හතක් දිනා ගත් හරිත පක්ෂයේ සහයෝගය කම්කරු පක්ෂයට තිබුණ ද රජයක් පිහිටුවීමට තරම් එය ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ අනුව ආසන 9 ක් දිනා තිබූ “නිව්සීලන්ඩ් ෆස්‍ට්” පක්ෂය රජුන් තනන භූමිකාව භාර ගත්තා. ඔවුන් නවසීලන්තයේ අනාගතය දින කිහිපයක් සැක සහිත තත්ත්වයක තබා ගනිමින් කම්කරු පක්ෂය සහ ජාතික පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වුවා. අවසානයේ දී “නිව්සීලන්ඩ් ෆස්ට්” හි සහය කම්කරු පක්ෂය වෙත ලබා දීමට තීරණය වූ අතර, ජසින්ඩා ආ(ර්)ඩන් ප්‍රමුඛ සභාග ආණ්ඩුවක් පිහිටුවූවා.

මෑත කාලයේ කම්කරු පක්ෂයට නව ජීවයක් ලබා දුන් නායිකාව ජසින්ඩා ආඩන් බව අවිවාදිත යි. ඒ අනුව නවසීලන්ත දේශපාලනයේ එක් සුවිශේෂී යුගයක අවසානය ආඩන් ගේ සමුගැනීමත් සමඟ සනිටුහන් වෙනවා – edition.cnn.com

2020 මැතිවරණයේ දී කම්කරු පක්ෂයට එවැනි උපකාරයක් අවශ්‍ය වුණේ නැහැ. එවර මැතිවරණයෙන් විශිෂ්‍ට ජයග්‍රහණයක් ලබා ගත් බැවින්, තනි ආණ්ඩුවක් පිහිටුවීමට කම්කරු පක්ෂයට හැකි වුණා.

කම්කරු පක්ෂයට එළඹෙන ඔක්තෝබරයේ මහ මැතිවරණයත් දිනා ගත හැකි බව ජසින්ඩා ආ(ර්)ඩන් විශ්වාස කරනවා. ඒ සඳහා අලුත් මුහුණුවලට ඉඩ දීමට ඇය සූදානම්.

“ක්‍රයිස්ට්චර්ච් ඛේදවාචකයෙන් පසු ජසින්ඩා ආ(ර්)ඩන් පෙන්වූ නායකත්වය ශක්තිමත් වාගේම දයානුකම්පිත යි. එය ඇයට ආඩම්බර විය හැකි දෙයක්.”

රටේ ප්‍රධාන විපක්ෂය වන ජාතික පක්ෂයේ නායක ක්‍රිස්ටෝෆර් ලක්සන්, ජසින්ඩා ගේ සමු ගැනීම අර්ථ දක්වා තිබුණේ එලෙසින්.

කවරයේ ඡායාරූපය: ජසින්ඩා ආඩන් ගේ ඉල්ලා අස්වීම ඉතා අනපේක්ෂිත පුවතක් ලෙසින් වාර්තා වුණා.
www.newsbytesapp.com

මූලාශ්‍ර:
www.twinkl.lk
www.theguardian.com
www.stuff.co.nz
www.britannica.com
www.bbc.com

Related Articles