Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පා ගමනකින් තම පුතුට සාධාරණය ඉටුකළ ජෝ බෙල්

මාක් වොල්බර්ග් කියන්නේ හොලිවුඩ් සිනමාව තුළ සිටින දක්ෂ වගේම බොහොම ජනප්‍රිය නළුවෙක්. විවිධ කතා මාතෘකාවන් මත පදනම් වූ සිනමා නිර්මාණ රාශියකින් ඔහු රසිකයන් පිනවා තිබෙනවා. මෑතකදී ඔහු බොහොම සුවිශේෂී වූ සිනමා කර්තව්‍යයකට දායක වුණා. ඒ චිත්‍රපටයේ නම තමයි “ගුඩ් ජෝ බෙල්”. මේ චිත්‍රපටය ඉදිරියේදී සිනමා ශාලාවලට නිකුත් කිරීමට නියමිත යි. දැනට “ටොරොන්ටෝ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්” නමැති සිනමා උළෙල වෙනුවෙන් මෙම චිත්‍රපටය තිරගත කර තිබුණු අතර විචාරක අවධානයට ද පාත්‍ර වුණා. එයට හේතු වන්නේ, මෙම සිනමා කෘතිය බොහොම සංවේදී වගේම සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් දිගහැරෙන නිසා යි.

ඔබ කවදා හෝ යම් කිසිවෙකු කොතැනක හෝ, විශේෂයෙන්ම පාසල තුළ දී, කුමනාකාරයේ හෝ හේතුවක් මත පීඩාවකට ලක්කිරීමේ සිදුවීමක් අත්දැක තිබෙනවා ද? නැතහොත් ඔබ පුද්ගලිකව එවැනි දුෂ්කර අවස්ථාවකට මුහුණ දී තිබෙනවා ද? එසේ නම් මේ ලිපිය ඔබට බොහෝ සෙයින් වැදගත් වේවි. ඔබ හෝ වෙනත් කෙනෙකු හෝ මානසික පීඩාවකට ලක් කරන හේතුව කුමක් වූවත්, පොදුවේ මේ ලිපියෙන් පාඨකයන් වෙත යම් පණිවිඩයක් ලබාදීම තමයි අරමුණ වන්නේ. එසේ නම් අපි “ගුඩ් ජෝ බෙල්” චිත්‍රපටයට පාදක වූ සත්‍ය සිදුවීම දෙසට හැරෙමු.

ජේඩින් බෙල්, තම පියාණන් වන ජෝ බෙල් සමග/dailymail.co.uk/

ජේඩින් බෙල් වටා වූ අඳුර

ජේඩින් බෙල් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ, ඔරිගන් ප්‍රාන්තයට අයත් ලා ග්‍රෑන්ඩ් ප්‍රදේශයේ ජීවත් වූ තරුණයෙක්. 1997 වර්ෂයේ ජුනි මස හතර වැනිදා මෙලොව එළිය දුටු ජේඩින් බෙල්, අධ්‍යාපනය සඳහා ලා ග්‍රෑන්ඩ් උසස් පාසලට ඇතුළත් වුණා. පාසල තුළ ඔහු දීප්තිමත් ශිෂ්‍යයෙක් ලෙස නමක් දිනාගෙන තිබුණා. ඔහු පාසල සහභාගී වන තරගවල දී තම පාසැල් ක්‍රීඩා කණ්ඩායම උද්‍යෝගීමත් කරන්නන්ගේ කණ්ඩායමේ (චියර්ලීඩර් කණ්ඩායම) සාමාජිකයෙකු ලෙස ක්‍රියා කළා. නමුත් සිනහවෙන් සහ කාරුණික වචනයෙන් යුතු ජේඩින් බෙල් වටා යම් අඳුරක් තිබුණා. ජේඩින් බෙල් කියන්නේ සමලිංගික නැඹුරුවක් තිබුණු යෞවනයෙක්. ඔහුගේ තිබුණ සමාජශීලි සහ විවෘතභාවය නිසාම ජේඩින් තම ලිංගික නැඹුරුතාවය සමාජයෙන් සඟවන්න උත්සහ කළේ නැහැ. නමුත් එයින් අනපේක්ෂිත ගැටළු රාශියක් ඔහු වටා නිර්මාණය වුණා. දිනපතාම ඔහු පාසල තුළ දී හා අන්තර්ජාලය හරහා මානසික පීඩනයකට ලක් වුණා.

ලා ග්‍රෑන්ඩ් උසස් පාසලේ තම ලිංගික නැඹුරුතාවය විවෘතව තබාගත් එකම ශිෂ්‍යයා ලෙස ඔහු තමාට සිදුවන හිරිහැර ගැන පැමිණිලි කළත්, ඒවා කොතරම් බරපතල ලෙස ඔහුට බලපෑවා ද කියන කාරණය ඔහු කිසිවෙකුටත් පවසා නැහැ. විවිධ හේතූන් මත හිරිහැරයට ගොදුරු වූවන් අතර එය සුලබ සිරිතක්. එයට බලපාන පොදු හේතුව වන්නේ වින්දිතයා තම අත්දැකීම් ඇති සැටියෙන්ම පැමිණිලි කළහොත්, හිරිහැර කරන්නන්ගේ පළිගැනීම්වලට ලක් වේයැ යි යන බිය යි. තමාට උදව් කළ හැකි පිරිස මත ජේඩින් සම්පූර්ණයෙන්ම විශ්වාසය නොතැබුවේ මන්දැ යි යන කාරණය ගැටලු සහගත වුවත්, පාසැලේ දී සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල හිරිහැර කරන්නන් සමග ගැටලු ඇති බව ඔහු තම පියා වූ ජෝ බෙල්ට පවසා තිබුණා.

ජේඩින්ගේ ලිංගිකත්වය ඔහුට සමීප අයට කවදාවත් ගැටළුවක් වුණේ නැහැ. ඔහු සමලිංගිකයෙක් යැයි පැවසූ විට ඔහුගේ පවුලේ අය ඔහුට සම්පූර්ණයෙන්ම සහයෝගය දැක්වූවා. ඒ හා සමානව, ඔහුගේ මිතුරන් බොහෝදෙනෙක් එක හා සමානව ඔහුගේ විවෘතභාවයට සහයෝගය දැක්වූවා. ඒ අනුව, ඔහුට හිරිහැර කළේ නිසැකවම සුළුතරයක් වූ පිරිසක් බව මෙයින් පැහැදිලි වෙනවා. නමුත් වචනවලින් කෙනෙකුගේ මානසික යහපැවැත්මට වන බලපෑම කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකියි. පුද්ගලයෙකුට ප්‍රශංසාවකට වඩා අපහාසයක් මතකයේ රැඳීම අප කාටත් අත්දැකීම් ඇති කාරණාවක් ද වෙනවා.

ඒ අනුව තමා විඳින මානසික පීඩනයේ උපරිම තලයට පැමිණි ජේඩින් බෙල්, 2013 ජනවාරි 19 වන දින සිය නිවසින් පිටව ගියේ ස්ථිර සැලැස්මක් ඇතුව යි. ලා ග්‍රෑන්ඩ් උසස් පාසල අසළ පිහිටි ප්‍රාථමික පාසල සති අන්තයේ දී පාළු ස්වභාවයක් ගන්නා බව ඔහු දැන සිටින්නට ඇති. එහිදී කඹයක ආධාරයෙන් ඔහු ගෙළ වැළලාගෙන සිය දිවි තොර කර ගැනීමට උත්සහ කළා. මිනිත්තු නවයකට පමණ පසු කිසිවෙකු විසින් ජේඩින්ව දැක ඇති අතර වහාම ඔහුව පෝට්ලන්ඩ් නගරයේ පිහිටි ඩෝර්න්බෙචර් ළමා රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ජෝ බෙල්ගේ පා ගමන වෙනුවෙන් පිහිට වූ ෆේස්බුක් පිටුවේ ඡායාරූපයක්/lohud.com/

ජේඩින් මුහුණ දුන් ඉරණම, ප්‍රදේශවාසීන්ට විශාල කම්පනයක් ඇති කළා. ජේඩින්ගේ හෘද ස්පන්දනය යථා තත්වයට පත් කිරීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණත්, ඔහුගේ සිහිය නැවත ලබා ගැනීමට කාර්ය මණ්ඩලය අපොහොසත් වුණා. ඒ අනුව ජේඩින් නැවත යථා තත්ත්වයට නොපැමිණෙන බව වෛද්‍යවරුන් ඔහුගේ දෙම්ව්පියන්ට දැනුම් දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2013 ජනවාරි 29 වන දින, එනම් ඔහු සියදිවි නසා ගැනීමට උත්සාහ කර හරියටම දින 10කට පසුව, තම දිවියේ අසීරුම තීරණය ගැනීමට එම දෙමව්පියන්ට සිදු වෙනවා. ඔවුන්ගේ කැමැත්ත පරිදි ජේඩින්ව ජීව ආධාරක පද්ධතියෙන් ඉවත් කළ අතර, පෙබරවාරි තුන් වැනිදා ජේඩින් බෙල් අභාවප්‍රාප්ත වුණා.

ජේඩින් සිය දිවි තොර කරගැනීමට උත්සහ කළ දිනට පෙරාතුව ඔහුගේ ට්වීටර් ගිණුමේ මෙලෙස සඳහනක් තිබුණා.

“මට වෛර කරන, මා මැරෙනවාට කැමති අයගෙන් මා වට වී ඇත. මගේ ආත්මය මගෙන් ගිලිහෙමින් පවතී, මට උදව් අවශ්‍ය යි.”

පුත්‍රයා වෙනුවෙන් මහ මඟට පිළිපන් ජෝ බෙල්

ජේඩින් බෙල්ගේ වේදනාකාරී සමුගැනීමත් සමග, ඔහුගේ පියාණන් වන ජෝ බෙල් තම පුත්‍රයා වෙනුවෙන් දුක් වෙනවාට වඩා යමක් කළ යුතු බව සිතනවා. ජේඩින්ගේ මරණය පිටුපස තිබෙන හේතූන් ගැන ඔහුගේ අවධානය යොමු වෙනවා. එක්තරා දිනෙක ඔහුට යම් අදහසක් පහළ වෙනවා. සමාජ යහපත සඳහා වන කාර්‍යයකට මුදල් රැස්කිරීම හෝ සමාජීය අරමුණු ප්‍රවර්ධනය කිරීම සඳහා රට පුරා සංචාරය කරන පිරිසකට එක් විය යුතු බව ඔහු තීරණය කරනවා. එලෙස සංචාරය කරනවා නම් එය තම පුත්‍රයා අරමුණු කර ගෙන ඇරඹිය යුතු බවත් ඔහු තීරණය කරනවා.

ප්ලයිවුඩ් කම්හලක රැකියාවක් කරමින් සිටි ඔහු, තම අභිලාෂය ක්‍රියාවට නංවමින් එම රැකියාවෙන් අස් වෙනවා. ඉන් පසුව නිදි මල්ලක්, ඇඳුම් කිහිපයක් සහ ආහාර, ජලය වැනි වෙනත් අවශ්‍ය දෑ පුරවාගත් අත් කරත්තයක් සමග් ඔහු මහමඟට ප්‍රවිෂ්ඨ වන්නේ දිගු සංචාරයක් ආරම්භ කිරීම උදෙසා යි.

මෙම සංචාරය ඇමරිකා එක්සත් ජනපදය පුරා වසර දෙකක් ඇතුළත සැතපුම් පන්දහසක් වූ දුරක් පා ගමනින් යෑමට ජෝ බෙල් සැලසුම් කර තිබුණා. ඒ අනුව  2013 වර්ෂයේ අප්‍රියෙල් මාසයේ දිනයක ඔහු මේ පා ගමන ආරම්භ කළා.  එම ගමන අතරතුරේ දී සමලිංගික භීතිකාව සහ උසස් පාසල් ආශ්‍රිතව ශිෂ්‍යයන් මුහුණ පාන විවිධාකාරයේ මානසික හිරිහැර සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම හා එමඟින් තම පුත්‍රයාට ගෞරවයක් අත්කර දීම ඔහුගේ අරමුණ වුණා.

එක්සත් ජනපදය පුරා උසස් පාසල්වල මෙම ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඔහු මානසික හිරිහැරවලට විරෝධය දක්වන, ලාබ නොලබන පදනමක්, “ෆේසස් ෆෝ චේන්ජ්” නමින් පිහිටුවා ගන්නවා. විවිධ දුෂ්කරතා මැද මේ පා ගමන යන ඔහු, තම පුත්‍රයා පාසලේ දී නින්දා සහ හිරිහැරයට ලක් වූ ආකාරය හා සියදිවි නසා ගත් ආකාරය ගැන ඔහුට සවන් දීමට සූදානම් ඕනෑම අයෙකුට විස්තර කිරීමට සැදී පැහැදී සිටියා.

පා ගමන අතරතුර මිනිසුන්ගෙන් නොමඳ සහයක් ජෝ බෙල්ට ලැබුණා/dailymail.co.uk

“මට මගේ පුතා, ජේඩින් බෙල්ගේ වියෝව මුළු හදවතටම දැනෙනවා. මම දන්නවා මේ පා ගමන අතරතුර ඔහු මා අසලම රැඳෙන බව”

වරෙක ඔහු තම ෆේස්බුක් ගිණුමේ එලෙස සටහන් කොට තිබූ බව කියවෙනවා.

හතළිස් අට හැවිරිදි ජෝ බෙල් , මාසකට හයකට ආසන්න කාලයක් පුරා තම කතාව ඔහුගේ පා ගමන අතරතුර හමුවෙන යතුරුපැදි රැළි, විද්‍යාලයීය ආපන ශාලා, සමරිසි ප්‍රජාව සඳහා වූ විවිධ සේවා මධ්‍යස්ථානවල සිටි මිනිසුන් සමග බෙදා ගත්තා.  ඒ වනවිට මේ පා ගමන දේශීය පුවත්පත්වල නොමඳ අවධානය දිනාගෙන තිබූ අතර, සමාජ මාධ්‍යවල දහස් ගණනක් වූ අනුගාමිකයින් ජෝ බෙල්ගේ මේ පරාර්ථකාමී ක්‍රියාවට ආකර්ෂණය වුණා.

නමුත් අවාසනාවන්ත ලෙස තම පා ගමන අවසාන කිරීමට ජෝ බෙල්ට හැකි වුණේ නැහැ. 2013 වර්ෂයේ ඔක්තෝබර් 6 වන දින, කොලරාඩෝ ප්‍රාන්තය තුළ ගමන් කරමින් සිටින අතරතුරේ දී ට්‍රක් රථයක ගැටීමෙන් ජේඩින් බෙල්ගේ පියා, ජෝ බෙල්, ජීවිතයෙන් සමුගන්නවා. ට්‍රක් රථයේ රියදුරු කෙනත් රේවන් හට නොසැළකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් අවසානයේ දී චෝදනා එල්ල වුණා.

සැතපුම් පන්දහසක් පා ගමනින් එක්සත් ජනපදය පුරා යෑමට ජෝ බෙල් සැලසුම් කර තිබුණා/standard.net

සිනමාවට නැගුණ බෙල් පවුලේ කතාව

ඇකඩමි සම්මාන රැසකට නිර්දේශ වූ හා, ඒවා දිනාගත් “බ්‍රෝක්බැක් මවුන්ටන්” නම් සිනමා කෘතියේ තිර රචනයට දායක වූ ලැරී මැක්මර්ට්‍රී සහ ඩයනා ඔසෑනා සුසංයෝගය මෑතක දී සිනමා ක්ෂේත්‍රය තුළ යළි කතා බහට ලක්වුණා. ජෝ බෙල් සහ ජේඩින් බෙල් යන පිය පුතු දෙපළගේ කතාව, “ගුඩ් ජෝ බෙල්” නමින් සිනමාව තුළට ගෙන ඒමේ කර්තව්‍යය සඳහා මොවුන් දෙපළ නැවත එක්වුණ නිසා මේ කතිකාවත ඇති වුණා. ඔවුන් දෙදෙනා බ්‍රෝක්බැක් මවුන්ටන් චිත්‍රපටය වෙනුවෙන් හොඳම ඇකඩමි සම්මානය දිනාගත්තේ අනුවර්තිත තිර රචනය උදෙසා හෙයින්, ගුඩ් ජෝ බෙල් චිත්‍රපටයත් ඉතා වැදගත් සංධිස්ථානයක් වනු ඇති බව අනුමාන කළ හැකියි. මෙම චිත්‍රපටයේ ජෝ බෙල්ගේ චරිතයට පණ පෙවීමට මාක් වොල්බර්ග් දායක කරගත් නිසා ඉදිරියේ දී හොඳ ප්‍රේක්ෂක අවධානයක් ලැබීමේ හැකියාවක් ද පවතිනවා. කොවිඩ් වසංගත තත්ත්වයට පෙරාතුව වැඩ කටයුතු අවසන් කළ ගුඩ් ජෝ බෙල්, ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලේ දී තම ප්‍රථම තිරගත කිරීම සිදුකළා. නමුත් වසංගත තත්ත්වය හමුවේ එය සිනමා ශාලාවන්ට පැමිණෙන දිනයක් ගැන තවම නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නැහැ.

කෙසේ හෝ වේවා ඉතා වැදගත් සමාජ පණිවිඩයක් රැගෙන මාක් වොල්බර්ග්, බෙල් පවුල වෙනුවෙන් හොලිවුඩ් තුළ සාර්ථක පා ගමනක් යාවියැ යි අපේක්ෂා කළ හැකියි.

ජෝ බෙල්ගේ චරිතයට පණ පොවන මාක් වොල්බර්ග්/towleroad.com

 

 

 

 

 

පි කාරුණික වෙමු

එක්සත් ජනපදයේ පාසල් තුළ මානසිකව සිදුවන හිරිහැරයන් සම්බන්ධයෙන් පිහිටුවා ඇති රජයේ නිළ වෙබ් අඩවියක් වන stopbullying.govට අනුව සිසුවෙකුට හිරිහැර සිදුවිය හැකි ආකාර තුනක් තිබෙනවා. එය වාචික, සමාජීය, සහ ශාරීරිකව සිදුවන හිරිහැරයන් ලෙස දැක්විය හැකියි.

ජේඩින් බෙල් මුහුණ දුන් සිදුවීම්වල දී ඔහුට ශාරීරිකව කිසිදු හිරිහරයක් සිදුවී නැහැ. බොහෝදුරට ඔහුට සිදුවී ඇත්තේ වාචික හා සමාජීය හිරිහැරයන් බව ඔහුගේ පසුබිම සැළකීමේ දී පෙනී යනවා. වාචික හිරිහැරයන් යටතට අනවශ්‍ය විහිළු කිරීම, විසුළු හෝ අපහාසාත්මක නම්වලින් ඇමතීම, නුසුදුසු ලිංගික අදහස් දැක්වීම්, නින්දා කිරීම, හානියක් කිරීමට තර්ජනය කිරීම යන අංග සැළකිල්ලට ගත හැකියි. සමාජීය වශයෙන් සිදුවන හිරිහැර යටතට යමෙකු අරමුණු සහගත ලෙස තනි කිරීම, වෙනත් දරුවන්ට යමෙකු සමග මිත්‍ර නොවන්නැ යි පැවසීම, යමෙකු ගැන කටකතා පතුරුවා හැරීම, ප්‍රසිද්ධියේ කෙනෙකු අපහසුතාවයට පත් කිරීම යන කාරණා සැළකිල්ලට ලක් වෙනවා.

තම දරුවා පාසල් යැවීමේ දී සැළකිලිමත් විය යුත්තේ ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපනය දෙස පමණක්ම නොවේ. තම දරුවා පාසල තුළ, සමාජය තුළ හා නිවස තුළ නිරාවරණය වන ප‍රිසරය, ඔවුන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි බලපාන අන්දම ද සැළකිල්ලට ගත යුතු වෙනවා. කිසිදු පුද්ගලබද්ධ කාරණාවක් මත පදනම්ව එකිනෙකාට වෙනස්කම් නොකරමින්, අන්‍යයන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීමේ වැදගත්කම, කාරුණික මිනිසුන් පිරි සමාජයක් ගොඩ නැඟීමේ පදනම වන්නේ නිරායාසයෙන්මයි. ඒ නිසා අපි අන්‍යෝන්‍ය අවබෝධය මත පදනම් වූ කාරුණික මිනිසුන් වෙමු.

Related Articles