Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෘහස්ථ හිංසන කුණාටුවට හසු වූ “ජැක් ස්පැරෝ”

ජනප්‍රිය හොලිවුඩ් නළු ජොනී ඩෙප් සහ ඇම්බ(ර්) හර්ඩ් අතර පැවතුණු නඩුව මේ වනවිට විසඳුමකට පැමිණ අවසන්. නඩුවේ තීන්දුව ජොනී ඩෙප්ට හිතකර ආකාරයෙන් ලැබුණු අතර, ඔහු වටා සිටින මිලියන ගණනක් වූ රසිකයන් ගේ ප්‍රාර්ථනය වූයේ ද ඔහුගේ නිර්දෝෂීභාවය යි. අමෙරිකා එක්සත් ජනපදයට අයත් වර්ජීනියා ප්‍රාන්තයේ ෆෙයාෆැක්ස් හි උසාවියක විභාගයට ගැනුණු මේ නඩුව, සති හයක පමණ කාලයක් ලෝකයේ බොහෝ දෙනකු ගේ අවධානය දිනා තිබුණා.

විභාගයෙන් අනතුරුව දින දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා පැවතුණු අතර, ජූරි සභිකයන් සිය අවසාන තීරණය දැනුම් දුන්නේ ඉන් පසුව යි. ඒ අනුව ජුනි 01 වැනිදා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

විවාහ ගිවිස ගැනීමෙන් පසු ඇම්බ(ර්) හර්ඩ් සහ ජොනී ඩෙප් – edition.cnn.com 

කුණාටුවකට හසු වූ “ජැක් ස්පැරෝ”

ජනප්‍රිය සහ සම්මානනීය චිත්‍රපට රැසක රංගනයෙන් දායකත්වය සැපයූ ජොනී ඩෙප්, Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ “කපිතාන් ජැක් ස්පැරෝ” චරිතය හරහා රසික හදවත් විශාල සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුණා. නිහතමානී රංගන ශිල්පියෙක් ලෙස ප්‍රචලිත ව සිටියත්, ඇම්බ(ර්) හර්ඩ් සමඟ ගත කළ කෙටි විවාහ ජීවිතයෙන් පසු ඔහු ගේ පෞද්ගලික ජීවිතය තුළ කුණාටුවක් හට ගත්තා. ඉන් ඩෙප් ගේ වෘත්තීය ජීවිතයට මෙන් ම, රසිකයන් ඔහු මත ගොඩ නඟා තිබූ ප්‍රතිරූපයටත් යම් හානියක් සිදු වුණා.

2017 දී ඩෙප් සහ හර්ඩ් දෙපළ ගේ විවාහ ජීවිතය අවසන් වීමෙන් පසු ව පවා ඔවුන් අතර තිබූ ගැටලුකාරී වාතාවරණය අවසාන වුණේ නැහැ. ඉන් පසුවත් ඔවුන් පෞද්ගලික ජීවිතයේ සිදුවීම් දාමයකට මුහුණ දුන්නා. මේ සීතල ගැටුමේ උච්චත ම අවස්ථාව සනිටුහන් වූයේ 2018 වර්ෂයේ අවසාන භාගයේ දී යි. එහි දී ඇම්බ(ර්) හර්ඩ් “The Washington Post” පුවත්පතට සිදු කළ ප්‍රකාශයක් හමුවේ තමාට අපහාසයක් සිදු වූ බව සැලකූ ජොනී ඩෙප්, ඇයට එරෙහි ව නඩු පැවරීමට ක්‍රියා කළා.

අධිකරණ ශාලාව තුළ – www.vanityfair.com 

පෙර විවාහය තුළ තමා ගෘහස්ථ හිංසනයට ලක් වූ බව ඇම්බ(ර්) හර්ඩ් අදාළ පුවත්පතට ප්‍රකාශ කර තිබූ අතර, එහිදී ඍජු ව ජොනී ඩෙප් ගේ නම ඇය සඳහන් කර තිබුණේ නැහැ. එහෙත්, ආන්දෝලනාත්මක පුවත්පත් ලිපියෙන් පසු ජොනී ඩෙප් ගේ කීර්තියට සැලකිය යුතු හානියක් සිදු වූ බැවින්, නඩු මඟට පිවිසීමට වීමට ඔහු තීරණය කළා. ඇම්බ(ර්) හර්ඩ් ද පෙරළා ඩෙප් ට විරුද්ධ ව නඩු පැවරුවා.

එකිනෙකාට නඟා ගත් චෝදනා සහ නීතිමය ක්‍රියාවලියේ දී හමු වූ අභියෝගවලට මුහුණ දෙමින් 2021 අගෝස්තුවේ දී ඩෙප් ගොනු කළ අපහාස නඩුව ඉදිරියට ගෙන යෑමේ අවසරය වර්ජීනියාවේ විනිසුරුවරයෙක් ලබා දුන්නා. ඊට පෙරාතුව ඇම්බ(ර්) හර්ඩ්ට එරෙහි ව ගොනු කළ නඩුව ඉවත ලෑමට ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම උත්සහ කර තිබුණා. ඔවුන් ගේ උත්සාහයන් නිෂ්ඵල කරමින් 2022 අප්‍රියෙල් 11 වැනිදා ජොනී ඩෙප් ගොනු කළ නඩුව විභාගයට ගැනුණා.

ලිංග භේදය බලනොපාන වින්දිතයෝ

යුක්‍රේනයේ යුද්ධය සහ ගබ්සාව පිළිබඳ ව ඓතිහාසික තීන්දුවක් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලාපොරොත්තු වීම යන පුවත්වලටත් වඩා ඩෙප්-හර්ඩ් නඩු විභාගය අමෙරිකානුවෙන් ගේ අවධානයට පාත්‍ර වූ බව පැවසෙනවා. නඩු විභාගයට මාධ්‍ය ආවරණය ලබා දීම සඳහා මාධ්‍ය ආයතන අතර විශාල තරගයක් පැවතුණු අතර, නඩුව සම්බන්ධ ව සමාජ මාධ්‍ය වෙත නිකුත් වූ වීඩියෝ පට මිලියන ගණනක් දෙනා නරඹා තිබුණා.

ජොනී ඩෙප් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු – www.geo.tv 

ජූරි සභිකයන් ගේ තීරණයට අනුව විවාහය සම්බන්ධයෙන් ඇම්බ(ර්) හර්ඩ් සිදු කළ ප්‍රකාශ අසත්‍ය හා ද්වේෂ සහගත වූවා. අවසානයේ දී ජොනී ඩෙප්ට ජයග්‍රහණය හිමි කර දෙමින් ඔහුට සිදු වූ අපහාසයට වන්දි වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 15 ක් ගෙවීමට හර්ඩ් පාර්ශවයට නියම වුණා. කෙසේ නමුත්, ජොනී ඩෙප්ට එරෙහි ව ඉදිරිපත් වූ චෝදනාවලින් එකක් ඔප්පු කිරීමට ඇම්බ(ර්) හර්ඩ් සමත් වූ නිසා ඇයටත් ඩොලර් මිලියන දෙකක වන්දි මුදලක් ලැබීමට නියමිත යි.

මෙම නඩු විභාගය හොලිවුඩයේ ජනප්‍රිය ම නළු නිළි දෙපළක් අතර සිදු වූ නිසා අවධානය විශාල වශයෙන් ලැබී තිබුණත්, නඩුවේ පසුබිම බොහෝ සමාජ තුළ යටපත් ව පවත්නා ගැටලුවක් ඉස්මතු කරනවා. ගෘහස්ථ හිංසනයේ වින්දිතයන් සෑම විටෙක ම ස්ත්‍රීන් නොවන බවත්, පුරුෂයන් පවා එම හිංසනයට ගොදුරු විය හැකි බවත්, මෙම නඩු විභාගය හරහා දෘශ්‍යමාන වුණා. සරල ව ම ගෘහස්ථ හිංසනයට සහ ඉන් අත් වන මානසික පීඩාවට ලිංග භේද‍යේ බලපෑමක් ද නැහැ. නඩු තීන්දුව ලැබුණු පසු ජොනී ඩෙප් සිදු කළ ප්‍රකාශයෙනුත් එම කරුණ ගම්‍ය වෙනවා.

අධිකරණ ශාලාව තුළ – www.usnews.com 

“ජූරි සභාව මට මගේ ජීවිතය නැවත ලබා දුන්නා. සත්‍යය කිසි විටෙකත් විනාශ වන්නේ නැහැ. පිරිමි හෝ ගැහැනු වේවා සත්‍ය පැවසීම වෙනුවෙන් මා සිදු කළ ගවේෂණය, මාගේ තත්ත්වයට පත් වූ ඕනෑම අයකුට උපකාරයක් වේයැ යි සිතනවා. එමෙන්ම, ඔවුන්ට සහාය දක්වන අය කිසිවිටෙකත් උත්සාහය අත් නොහරිනු ඇති බවත් මං බලාපොරොත්තු වෙනවා.”

කෝපයේ උත්ප්‍රේරකය

ලෝරල් ඇන්ඩර්සන් යනු ඇම්බ(ර්) හර්ඩ් සහ ජොනී ඩෙප් විවාහ වී සිටි සමයේ ඔවුන්  උපදේශන සේවා සැපයූ සායනික මනෝවිද්‍යාඥවරියක්. ඇයට අනුව ඩෙප් සහ හර්ඩ් යුවළ එකිනෙකාට චෝදනා කර ගනිමින් දෙදෙනා ම සිය අස්ථීර සබඳතාවෙන් ඉවත් ව යෑමට උත්සහ කර තිබුණා. එහි දී දෙදෙනා ම ආවේගාත්මක වුව ද, ජොනී ඩෙප් යනු මනා ස්වයං පාලනයක් සහිත මනුෂ්‍යයකු බවත්, ඔහුත් සමඟ මීට පෙර සිටි කිසිදු සහකාරියකට ප්‍රචණ්ඩත්වය හරහා පිළිතුරු සපයා නැති බවත්, ලෝරල් ඇන්ඩර්සන් ජූරි සභාවට පවසා තිබුණා. ඒ අනුව බොහෝ දබරවල මූලිකත්වය ගෙන තිබුණේ ඇම්බ(ර්) හර්ඩ්.

“ඔහු ගේ කෝපයට ප්‍රේරකය ලෙස ක්‍රියා කළේ ඇම්බ(ර්). මං දකින විදිහට ඔවුන් අන්‍යෝන්‍ය අපයෝජකයන්.”

ෆෙයාෆැක්ස් අධිකරණ භූමිය අසළ රැඳුණු ජොනී ඩෙප්ගේ ආධාරකරුවන් – people.com 

 ලෝරල් පවසන පරිදි දෙදෙනා අන්‍යෝන්‍ය අපයෝජකයන් ලෙස ක්‍රියා කළත්, ඩෙප් එම තත්ත්වයට පත් වීම පිටුපස හර්ඩ්  ගේ කටුක හැසිරීම බලපා තිබෙනවා. ලෝරල් ගේ පහත ප්‍රකාශයෙනුත් එම කාරණය ඉස්මතු වෙනවා.

“ඇයට අගෞරවයක් සිදු වූ බව දැනෙනවා නම්, ඩෙප් සමඟ සටනක් ආරම්භ කිරීම ඇයට සතුටක් වුණා.”

මීට අමතර ව, ජොනී ඩෙප් නිවසින් පිටව යාම වැලැක්වීම සඳහා ඇම්බ(ර්) හර්ඩ් ඔහුට පහර දී ඇති බව ලෝරල් ජූරි සභාව හමුවේ හෙළි කර තිබුණා.

ආචාර්ය ෂැනන් ගේ සාක්ෂිය

ජොනී ඩෙප් ඉදිරිපිට ඇම්බ(ර්) හර්ඩ් ගේ හැසිරීම තවත් පැතිකඩකින් විග්‍රහ කිරීම සඳහා ඩෙප්ගේ නීතිඥ කණ්ඩායම ආචාර්ය ෂැනන් කරි කැඳවා තිබුණා. ඔහු වෘත්තියෙන් අධිකරණ මනෝවිද්‍යාඥයෙක්. ආචාර්ය ෂැනන් විශ්වාස කරන පරිදි ඇම්බ(ර්) හර්ඩ් “Borderline personality disorder” සහ “Histrionic personality disorder” යන මානසික සංකූලතාවලින් පෙළෙමින් සිටිනවා. 2021 දෙසැම්බරයේ දී හර්ඩ් සමඟ පැය 12 කට ආසන්න කාලයක් මානසික සෞඛ්‍ය පරීක්ෂණ පවත්වමින් සහ ඇය ගේ වෛද්‍ය වාර්තා සමාලෝචනය කිරීමෙන් පසු මෙම නිගමනයට පැමිණි බව ආචාර්ය ෂැනන් පවසා තිබුණා.

“Borderline personality disorder” යනු අස්ථාවරත්වය සමඟ සබැඳි සංකූලතාවක් වන අතර, ඉන් පෙළෙන පුද්ගලයන් බොහෝවිට ඉවසීම අඩු, ඉක්මනින් කෝප වන සහ තමා වෙනුවෙන් නැඟී සිටීමට ශක්තියක් නැති මිනිසුන්ට කෲරත්වය පෙන්වන අය විය හැකි බව පැවසෙනවා. එමෙන්ම, ඔවුන් අවධානය සොයන පුද්ගලයන් ද විය හැකි යි. මෙම ලක්ෂණ “අත් හැරීමකට ලක් වේයැයි යන බිය” මත මෙහෙයවීමකට ලක් වෙනවා.

ඇම්බ(ර්) හර්ඩ් – www.npr.org 

කෙසේ නමුත්, හර්ඩ්ගේ නීතිඥ කණ්ඩායම කැඳ වූ වෛද්‍ය ඩෝන් හියුස්, ආචාර්ය ෂැනන් ගේ පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට හර්ඩ් පශ්චාත් කම්පන සහගත ආතති තත්ත්වයකින් පෙළෙන බව වෛද්‍ය හියුස් පැවසූ අතර, එය ඩෙප් ප්‍රදර්ශනය කළ ප්‍රචණ්ඩත්වය මත ඇති වූ මානසික සංකූලතාවක් ලෙස ඔහු කරුණු ගෙන හැර දැක්වූවා.

හඬපට සහ සටහන්

කෙසේ නමුත්, ආචාර්ය ෂැනන් ගේ නිගමනය සත්‍යයට වඩාත් ආසන්න බව හැඟවෙන සිදුවීම් කිහිපයක් නඩු විභාගයේ දී හෙළි වී තිබුණා. ජොනී ඩෙප් අතින් හර්ඩ් හිංසාවට පත් වුණායැ යි එල්ල වූ චෝදනා ඔහු දිගින් දිගට ම ප්‍රතික්ෂේප කළ අතර, හර්ඩ් අතින් තමා අපයෝජනයට ලක් වූ බව ඩෙප් ප්‍රකාශ කළා.

“හිංසනය කම්මුලට පහර දෙන එකෙන් හෝ තල්ලු කිරීමකින් ආරම්භ වෙන්න පුළුවන්. සමහර වේලාවට රූපවාහිනියේ දුරස්ථ පාලකය මගේ හිසට එල්ල කිරීමෙන් එය ආරම්භ වෙනවා. ඇයට හැම තිස්සේ ම ගැටුමක් ඇති කර ගන්න ඕනෑ. ඇයට ප්‍රචණ්ඩත්වයේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින් කොතැනක හෝ එය පුපුරා යනවා.”

මේ කරුණු සනාථ කිරීම සඳහා ඩෙප් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ පාර්ශවය ඇම්බ(ර්) හර්ඩ් ගේ හඬපට සහ සටහන් භාවිත කළා. එක් හඬ පටයකට අනුව ඇම්බ(ර්) ඩෙප්ට පහර දුන් බව පිළිගනිමින් ඔහු ළදරුවෙක් වැනියැ යි අපහාස කර තිබුණා. එම සිදුවීම්වලින් පසු ලිපියක් හරහා තමාගේ හැසිරීම සම්බන්ධයෙන් ඩෙප් ගෙන් සමාව අයැදීමටත් ඇය කටයුතු කළා. ඒ අනුව ජොනී ඩෙප් හිංසාවට පත් වූ බව හෙළි වුණා, කෙසේ නමුත්, එම හිංසනකාරී ක්‍රියා හර්ඩ්ගේ මානසික ස්වභාවය හේතුවෙන් සිදු වූ බව නිගමනය වුණේ නැහැ.

ජැස් ස්පැරෝ චරිතය හරහා විශාල රසික පදනමක් ගොඩනඟා ගැනීමට ජොනී ඩෙප් සමත් වුණා – wall.alphacoders.com 

අලුත් අත්දැකීමක් වූ නඩු විභාගය

ඩෙප්-හර්ඩ් නඩු විභාගයේ දී විමසීමට ලක් වූ මූලාශ්‍ර සඳහා සැමට ම සමාන ප්‍රවේශ ලබා දී තිබීම විශේෂත්වයක් වුණා. එවැනි ප්‍රවේශයක් සඳහා මිලියන ගණනකට සම්බන්ධ වී සාකච්ඡා කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබුණු අතර, නඩුව සඳහා සහභාගී වූ ප්‍රධාන පාර්ශවකරුවන් ගේ මුහුණේ ඉරියව් පවා දැක ගැනීමට හැකි වුණා. තවත් අවස්ථාවක නඩු විභාගය වෙනුවෙන් සාක්ෂි සැපයූ ඇලහන්ඩ්‍රෝ රොමේරෝ, සාක්ෂි ලබාදීම සඳහා “Zoom” තාක්ෂණයෙන් සම්බන්ධ වූයේ සිය මෝටර් රථයේ සිට යි. සාක්ෂි විමසීම අවසන් වූ පසු ඔහු සාමාන්‍ය පරිදි වාහනය පදවා ගෙන අයුරු අමෙරිකානු අධිකරණයට පවා අලුත් අත්දැකීමක් වුණා. නඩු විභාගයක දී අප දැකීමට බලාපොරොත්තු වන ආකෘතික ස්වභාවය මෙහි දී සෑම විටෙක ම පාහේ දකින්න ලැබුණේ නැහැ.

ජුනි පළවැනිදා ලැබුණු තීන්දුවෙන් පසු ජොනී ඩෙප් තමන්ට අහිමි වෙමින් තිබූ ප්‍රතිරූපය නැවතත් ක්ෂණික ව ගොඩ නඟා ගැනීමට සමත් වුණා. නඩුව කැඳවීමට පෙර සිට ම ඩෙප් ගේ නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් ධනාත්මක මත පළ වුණත්, එය නීත්‍යානුකූලව ම විසඳෙන තුරු ඔහු ට ගැලවීමක් නොමැති බව පෙනෙන්නට තිබුණා. මීට වසර දෙකකට පමණ පෙර ඩෙප් එක්සත් රාජධානියේ පැවති ඇම්බ(ර්) හර්ඩ් සම්බන්ධ නඩු විභාගයක දී පරාජිත පිල නියෝජනය කළ අතර, ඔහු ගේ වෘත්තීය අනාගතය පවා ඉන් අනතුරේ වැටුණා. නමුත්, දිගට ම නිහඬ ව නොසිටීමට ගත් තීරණය නිසා තීරණාත්මක ම නඩු විභාගයේ දී ඔහු ජයග්‍රහණය ලැබුවා.

අන්‍යෝන්‍ය අපයෝජනය

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාළ වන්නේ භෞතික ව සිදු කරන හානි පමණක් නොවෙයි. එය වාචිකවත් සිදු විය හැකි යි. නමුත්, හානිය සිදු වන්නේ මනසට බැවින්, ඇතැම් විට එය භෞතික හිරිහැරයකටත් වඩා උග්‍ර වන්නට පුළුවන්. පුරුෂ මූලික සමාජ පවතින බොහෝ දකුණු ආසියාතික රටවලට පුරුෂයා මූලික කර ගනිමින් සිදු වන ගෘහස්ථ හිංසනයට අවධානයක් නොලැබෙන තරම්. පුරුෂ මූලිකත්වය නිසා ම එම අයිතිය පුරුෂයාට අහිමි වී තිබෙනවා. එය බොහෝවිට වාචික ව සිදුවන මානසික පීඩාවක් බැවින්, දෘෂ්‍යමානව පවතින්නේත් නැහැ.

බොහෝ රටවල දැන් විවාහ ජීවිතයේ පවතින ගැටලු සහ යහපැවැත්ම සඳහා මනෝ විද්‍යාත්මක උපදේශන පැවැත්වෙනවා. අපේ රටේත් සාධනීය මට්ටමෙන් ගෙන යන සේවා තිබෙනවා. ගැටලුව වන්නේ ඒවාට යොමු වීමේ උනන්දුවක් බොහෝ විවාහක යුවළ අතර නොතිබීම යි. ඒවා ගෘහය තුළ ම ආයාසයෙන් විසඳීම හෝ මඟහැර යෑමෙන් සිදු වන්නේ නොදැනුම්වත්ව ම දෙදෙනා ම අන්‍යෝන්‍ය අපයෝජකයන් බවට පත් වීම යි. උපදේශන සේවා ගැන දැනුම්වත් වී සිටියත්, ඒවාට යොමු විය යුත්තේ කුමන අවස්ථාවේදීදැ යි හඳුනා නොගැනීමත් ගැටලුවක්.

අධිකරණයෙන් නික්මෙන ජොනී ඩෙප් වෙත ළඟා වීමට උත්සහ කරන රසිකයෙක් – www.fox2detroit.com 

ඩෙප්-හර්ඩ් සිදුවීමේදී ත් ඔවුන් අන්‍යෝන්‍ය අපයෝජකයන් බවට වූ නිගමන සාක්ෂි විමසීමේ දී ඉදිරිපත් වී තිබුණා. ජොනී ඩෙප් පවා හර්ඩ්ට අපහාස කළ කෙටි පණිවිඩ සහ ඊ-මේල් පණිවිඩ නඩුවේ දී ඉදිරිපත් කර තිබුණා. විවාහය අතරතුර ජොනී ඩෙප් ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැනත් කතා බහක් ඇති වුණා. කෙසේ නමුත්, අපයෝජනයේ ප්‍රේරකය ඇම්බ(ර්) හර්ඩ් බව ඔප්පු වන සාක්ෂි ඉදිරිපත් වීම නිසා ජොනී ඩෙප්ට නඩුවේ දී වාසි සහගත වාතාවරණයක් උදා වුණා.

 කවරයේ ඡායාරූපය: ජොනී ඩෙප් සහ ඇම්බ(ර්) හර්ඩ් අතර නඩු විභාගය අන්තර්ජාල තුළ වැඩිපුර ම කතාබහට ලක් වූ මාතෘකාවක් බවට පත් වුණා. - techmende.com

මූලාශ්‍ර:

 people.com

 edition.cnn.com 

 www.bbc.com 

 www.bbc.com/sinhala 

Related Articles