Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර හයක් ඉක්වදෝර් තානාපති කාර්යයාලයේ සිරවී සිටින ජූලියන් අසාන්ජ්

විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ වන ජූලියන් අසාන්ජ් පිළිබඳව ඔබ අසා තිබෙනවා ඇති. ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ බුද්ධි තොරතුරු ඇතුළු ලොව පුරා විවාදයට තුඩුදුන් රහස් රැසක් හෙළි කළ ඔහු වසර හයක කාලයක් තිස්සේ රැඳී සිටින්නේ බ්‍රිතාන්‍යයේ ඇති ඉක්වදෝර් තානාපති කාර්යාලය තුල යි. ඉක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ මැද රැඳී සිටින ඔහුට යුධ රහස් එළි කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අපරාධ චෝදනා එල්ල වෙනවා.

තානාපති කාර්යයාලයෙන් ඉවතට පැමිණියොත් බ්‍රිතාන්‍ය නිලධාරීන් තමන්ව අත්අඩංගුවට ගෙන එක්සත් ජනපදයට උදර්පණය කරනු ඇතැයි අසාන්ජ් පවසනවා.

ජූලියන් අසාන්ජ්

ජූලියන් අසාන්ජ් (ABC)

ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන ජූලියන් අසාන්ජ් පරිගණක වැඩසටහන් නිර්මාණකරුවෙක්. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමර් කෙනෙක්. පරිගණක හැකර්වරයෙක් ලෙස කටයුතු කිරීමට ඉතා ආසාවක් දැක් වූ අසාන්ජ් ඒ සඳහා හොඳ දක්ෂතාවයක් දක්වනවා.

ඔහු හා ඔහුගේ මිතුරන් පිරිසක් එකතු වී පරිගණක හැක් කිරීම සඳහා කණ්ඩායමක් පිහිටුවාගන්නා අතර  Mendax යන ව්‍යාජ නමින් අසාන්ජ් පෙනී සිටිනවා. ඔහුගේ හැක් කිරීම්වලට කැනේඩියානු විදුලි සංදේශ කොමිසම, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය හසු වෙනවා. 1993 වසරේ දී ඔහුට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු පොලීසියේ තාක්ෂණික උපදේශක තනතුරක් හිමි වෙනවා.

විකිලීක්ස් හරහා යුධ හා රාජ්‍ය රහස් හෙළි කිරීම

විකිලීක්ස් (RT.com)

ඔහු විකිලීක්ස් වෙබ් අඩවිය ආරම්භ කරන්නේ 2006 වසරේ දී යි. එම වෙබ් අඩවිය හරහා හිටපු ඇමරිකානු හමුදා නිලධාරිනියක්‌ වුණු චෙල්සි මැනින්ග් ලබා දුන්නු රහස් ප්‍රකාශ කිහිපයක් පල වෙනවා. ඒ සමගම අසාන්ජ් හා විකිලීක්ස් වෙබ් අඩවිය ලොව පුරා ප්‍රසිද්ධ වෙනවා.

ඇෆ්ගනිස්‌ථානු යුද ලියකියවිලි, ඉරාක යුද ලියකියවිලි, ඉරාකයට එල්ල වූ ගුවන් ප්‍රහාර පිලිබඳ විස්තර හා රාජ්‍ය තාන්ත්‍රිකව හුවමාරු වූ කේබල් පණිවුඩ වැනි රහස්‌ තොරතුරු විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය ඔස්සේ පලවෙන්නේ ඉන් පසුවයි. විකිලීක්ස් වෙබ් අඩවිය මෙම තොරතුරු පල කිරීමත් සමග ලොවපුරා ආන්දෝලනයකට ලක්වෙනවා.

රහස්‍ය ලියකිවිලි විකිලීක්ස් ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමෙන් එක්සත් ජනපදයේ FBI හා CIA ආයතන දැඩි අපහසුතාවයකට ලක් වෙනවා. රාජ්‍ය රහස් හෙළි කිරීම පිළිබඳව පරීක්ෂණ පවත්වන ඔවුන් අසාන්ජ්ට විරුද්ධව අපරාධ චෝදනා එල්ල කරනවා. ඔහුව අත්අඩංගුවට ගැනීමට 2010 වසරේ දී එක්සත් ජාතීන්ගේ සහය ඉල්ලනවා.

ඉක්වදෝරයේ දේශපාලන සරණාගතභාවය ලැබීම

ඉක්වදෝර් තානාපති කාර්යයාලයේ ජනෙල් පඩියක සිට මාධ්‍යට මුහුණ දෙමින් (The European Institute for International Law and International Relations)

2010 වසරේ නොවැම්බර් මාසයේ දී ස්වීඩනයේ සංචාරය කරමින් සිටිය දී එරට කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික බලහත්කාරකම් කිරීම යටතේ අසාන්ජේට චෝදනා එල්ල වෙනවා. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමට ස්වීඩනය කටයුතු කරනවා.

මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන ඔහු මෙය දේශපාලන කුමන්ත්‍රණයක් බවත් තමන් ඇමෙරිකාවේ රහස් ලේඛණ විශාල ප්‍රමාණයක් හෙළිදරවු කර ඇති නිසා මේ චෝදනාව හරහා ස්වීඩනය තමන්ව අත්අඩංගුවට ගෙන ඇමෙරිකා එක්සත් ජනපදයට භාරදෙනු ඇති බවට සදහන් කරනවා.

ඒ හේතුවෙන් 2010 වසරේ දෙසැම්බර් මාසයේ දී අසාන්ජ් බ්‍රිතාන්‍ය පොලීසියට භාර වෙනවා. බ්‍රිතාන්‍ය පොලිසිය විසින් දින 10ක් ඔහුව රදවා තබා ගන්නා අතර පසුව ඇප මත නිදහස් කරනවා. ඇප ලැබී නිදහස් වූ පසුව තමන් නැවත ස්වීඩනයට පිටුවහල් කරනු ඇති යන සැකය මත ඔහු රුසියාවෙන් හා ඉක්වදෝරයෙන් දේශපාලන රැකවරණය සලසා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ඔහුගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වන ඉක්වදෝරය ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යයාලයේ රැකවරණය ලබා ගැනීමට අසාන්ජ්ට ඉඩ විවර කරනවා.

එළියට ආවොත් අත්අඩංගුවට

තානාපති කාර්යයාලයේ සිට (MintPress News)

සිය රැකවරණය පතා 2012 වසරේ සිට මේ වන තුරු ඔහු ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යයාලයේ රැකවරණ ලබමින් සිටිනවා. ඒ අතර ඔහුට ඉක්වදෝරයේ සරණාගත පුරවැසිභාවය ද හිමිවෙනවා. තම රටේ සරණාගතභාවය හිමි අසාන්ජ්ට ඉක්වදෝරයට පැමිණීමට අවස්ථාව ලබාදෙන මෙන් දිගින් දිගටම බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ජූලියන් අසාන්ජ් ඉක්වදෝර් තානාපති කාර්යයාලයෙන් එළියට යාමට උත්සාහ කළොත් 2012 වසරේ උසාවියේ පෙනී සිටීමට අසමත්වීමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා බව බ්‍රිතාන්‍ය කියා සිටිනවා.

කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තෙට්ටම් කිරීම පිළිබඳව ස්වීඩනය කළ පරීක්ෂණ 2017 වසරේ මැයි මාසයේ දී නතර කරනවා. පරීක්ෂණ නතර කරන්නේ අසාන්ජ් අත්අඩංගුවට ගන්නා මෙන් ස්වීඩනය කළ නියෝගයෙන් අවුරුදු හතකට පසුව යි. මේ තීරණය පිළිබඳව අදහස් දක්වන අසාන්ජ් පවසා සිටින්නේ තමාගේ නාමයට හානි කරමින් සිදුකළ මේ අවමානයට ස්වීඩනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව යි.

විකිලීක්ස් වෙබ් අඩවියට රුසියාව සම්බන්ධ බව ඇමෙරිකාවෙන් චෝදනා

මාධ්‍ය හමුවක (AL DÍA News)

2017 වසරේ දී ජනාධිපතිවරණ සමයේ දී ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ඉහළ පෙළ නායකන්ගේ ඊ මේල් ගිණුම් හැක් කිරීම සඳහා විකිලීක්ස් වෙබ් අඩවිය ද සහය පළ කර ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ සඳහන් කරනවා. තව ද රුසියානු ඔත්තුකරුවන් විසින් හැක් කරන ලද ඊමේල්, විකිලීක්ස් වෙත යවා ඇති බව ද සඳහන් කර තිබෙනවා.

විකිලීක්ස් වෙබ් අඩවිය තමන්ට එදිරිවාදී පාර්ශවයක් විසින් ක්‍රියාත්මක කෙරෙන රහස් ඔත්තු සේවයක් බව එක්සත් ජනපදයේ CIA ආයතනය නිවේදනය කර තිබෙනවා. එය රුසියාව වැනි රටවල ආධාර උපකාර ඇතිව ක්‍රියාත්මක වන බව ද එම ආයතනය විසින් ප්‍රකාශ කරනවා.

තව ද වරෙක ජූලියන් අසාන්ජ්ව තානාපති කාර්යාලයේ සිට රුසියාව වෙත හොර රහසේ රැගෙන යාමේ වැඩ පිළිවෙලක් සැලසුම් කර තිබූ බවත්, සැලසුමේ තිබූ අධික අවධානම් සහගත බව හේතුවෙන් එය ක්‍රියාත්මක නොවූ බවත් බ්‍රිතාන්‍ය පුවත්පතක වාර්තා වෙනවා.

නමුත් මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන විකිලීක්ස් වෙබ් අඩවිය පවසන්නේ ප්‍රවෘත්තිමය වටිනාකම් සහිත තොරතුරු ප්‍රකාශනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය මට්ටමින් සහතික කෙරුණ සත්‍යය හෙළිදරව් කිරීම පමණක් සිදු කරන බව ය.

එක්සත් ජාතීන්ගේ යෝජනාවට පයින් ගැසූ බ්‍රිතාන්‍යය

අසාන්ජ් නිදහස් කරන ලෙස කෙරෙන විරෝධතා (Yahoo News)

මේ අතර ජූලියන් අසාන්ජ් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ එක්සත් ජාතීන්ගේ කමිටුව ස්වීඩන් සහ බ්‍රිතාන්‍ය ආණ්ඩු විසින් 2010 පටන් ඔහු සිර කර තබා සිටින බව ප්‍රකාශ කරන්නේ 2016 වසරේ දී යි. ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ඔප්පු කළ නොහැකි බැවින් අසාන්ජ්ව නිදහස් කළ යුතු බව එක්සත් ජාතින් පවසනවා.

නමුත් මීට ප්‍රතිචාර දක්වන බ්‍රිතාන්‍යය පවසන්නේ අසාන්ජ්ට සමාවක් නොලැබෙන අතර ඔහු තානාපති කාර්යාලයෙන් ඉවතට පැමිණියහොත් වහාම අත්අඩංගුවට ගන්නා බව යි.

කවරයේ පින්තූරය: Monster Children

මූලාශ්‍රයයන්:

bbc.com

dw.com

theguardian.com

Related Articles