Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ට්‍රම්ප්ගේ අධි චෝදනා පිටුපස අදිසි හස්තයක්?

මෑත ඉතිහාසයේ අමෙරිකා එක්සත් ජනපදයේ බිහි වූ මතභේදාත්මක ම ජනාධිපතිවරයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, නැවත වතාවක් ජාත්‍යන්තර මාධ්‍යවල පුවත් මවන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. ඒ ඔහුට අපරාධ චෝදනා සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු වීමත් සමඟ යි.

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු අපරාධ චෝදනා සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු වූ පළමු එක්සත් ජනපද හිටපු ජනාධිපතිවරයා වන අතර, 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඔහු පිඹුරුපත් සකසමින් ද සිටියා. ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයන් කිහිප දෙනෙක් එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා පක්ෂ අපේක්ෂකත්වය ලබා ගැනීමේ තරගයක සිටියත්, රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර ට්‍රම්ප් ගේ ජනප්‍රියත්වය සිතන තරම් අවම මට්ටමක තිබුණේ නැහැ. ඒ අනුව දෙවැනි වරටත් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වීමේ භාග්‍යය ට්‍රම්ප් අතින් සම්පූර්ණයෙන් ම ගිලිහී ගොස් නැති බව පෙනෙන්නට තිබෙනවා.

2024 ට නැවතත් “ට්‍රම්ප් බලාපොරොත්තුව” ගෙන ඒමට උත්සහ දරණ පාක්ෂිකයෝ – www.nytimes.com

ට්‍රම්ප්ට එරෙහි අනපේක්ෂිත අපරාධ චෝදනා මැතිවරණ උණුසුම ළං වෙමින් තිබෙන කාලයක එල්ල වීම විශේෂත්වයක්. සිදුවීම සම්බන්ධයෙන් ජෝ බයිඩන් ඇතුළු ඩිමොක්‍රටික් පාක්ෂිකයන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ඊටත් වඩා විශේෂත්වයක්!

මොනවද මේ චෝදනා..?

ව්‍යාපාර වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා 34 ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වී ඇති අතර, ඒ සියලු චෝදනාවල වරද නොපිළිගැනීමට ට්‍රම්ප් ක්‍රියා කර තිබුණා. සාමාන්‍යයෙන් එක්සත් ජනපදය තුළ මෙවැනි චෝදනා සුළු අපරාධ ලෙස පිළිගැනුණත්, ට්‍රම්ප්ට චෝදනා එල්ල කොට ඇත්තේ උපරිම සිර දඬුවම් ලබාදිය හැකි බරපතල වැරදි ආකාරයෙන්.

ස්ටෝමි ඩැනියෙල්ස් – edition.cnn.com

මේ සියලු චෝදනා අතුරින් බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූයේ වැඩිහිටි චිත්‍රපට නිළි ස්ටෝමි ඩැනියෙල්ස් සම්බන්ධ චෝදනාව වෙතට යි. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ස්ටෝමි ඩැනියෙල්ස් අතර ලිංගික සබඳකමක් තිබුණු බවත්, එම සබඳතාව හෙළි නොකිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 130,000 ක මුදලක් ට්‍රම්ප් ගේ නීතිඥ මයිකල් කොවන් හරහා ස්ටෝමි ඩැනියෙල්ස්ට ගෙවා තිබුණු බවත් චෝදනාවෙන් පැවසෙනවා.

නිහඬ ව සිටීම සඳහා ගෙවූ මුදල නීති විරෝධි නොවන නමුත්, අදාළ මුදල නීතිඥවරයා ගේ ගිණුම්වල සටහන් වී තිබූ ආකාරය ගැටලු සහගත යි. එම මුදල මයිකල් කොවන් වෙත ගෙවූ නීති සේවා ගාස්තුවක් ආකාරයෙන් ව්‍යාපාරික වාර්තා සකස් කොට තිබූ බව සඳහන්. චෝදනාව සමඟ ට්‍රම්ප්ගේ පුද්ගලික ජීවිතයේ කාරණාවකටත් තටු ලැබුණේ එලෙසින්.

සිරගත කිරීමේ හැකියාවක් පවතිනවා ද?

වාර්තා වන ආකාරයට නීතිමය ක්‍රියාවලිය අවසානයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඩ මුදලක් නියම වීමේ වැඩි හැකියාවක් තිබුණ ද සිරගත කිරීමේ අවස්ථාවකුත් නැතිවා නොවෙ යි. කෙසේ නමුත්, එවැනි දුෂ්කර ප්‍රතිපලයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අත්වීමේ හැකියාව ඉතා අවම යි. ට්‍රම්ප්ගේ නීතිඥ කණ්ඩායම දින කිහිපයක් ඇතුළත ඔහුට එරෙහි චෝදනා අභියෝගයට ලක් කරන බව ප්‍රතිඥා දී තිබූ අතර, ඒ වෙනුවෙන් හැකි සෑම පැතිකඩකින් ම ඔවුන් සටන් කරනු ඇති.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනා 34 ක් යටතේ ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් වෙමින් – abcnews.go.com

ට්‍රම්ප්ට සහාය දෙන නීතිඥ‍යන් පවසන ආකාරයට එල්ල වූ චෝදනාවලට ගැළපෙන නීතියක් නොමැති බැවින්, අධිකරණ තීන්දුවක් හෝ නියෝගයක් ලබා ගැනීම සඳහා සිදු කරන විධිමත් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් පවතිනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිරගත කළ ද ඉන්පසු එළඹෙන ක්‍රියාවලිය අතිශයින් සංකීර්ණ ස්වභාවයක් ගන්නා බව පැවසෙනවා. ඔහු හිටපු ජනාධිපතිවරයෙක් වන බැවින්, සිරකුටිය අවට විශේෂ ආරක්ෂාවක් සැපයීමට සිදු වෙනවා. අනෙක් අතට, දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඉහළ නිලධාරීන් සිරගත වීමෙන් මිදීම සඳහා මඟක් සොයා ගත් අවස්ථා අමෙරිකානු ඉතිහාසයෙනුත් සොයා ගැනීමට පුළුවන්. එබැවින්, ඩොනල්ඩ් ට්‍රම්ප් සිරගත වීම යනු තවමත් යතාර්ථයෙන් ඉතා ඈත් ව පිහිටි කාරණයක්.

ජනාධිපතිවරණයට තරග කළ හැකි ද?

වත්මන් එක්සත් ජනපද දේශපාලන ප්‍රවාහය සැලකීමේ දී රිපබ්ලිකන්වරුන් නැවත හිස ඔසවන ආකාරයක් පෙනී යන අතර, එහි වාසිය නැවත වතාවක් තමා වෙතට හරවා ගැනීමේ විභවය ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතින් සම්පූර්ණයෙන් ගිලිහී තිබුණේ නැහැ. 

කෙසේ නමුත්, චෝදනා හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ හැකියාව ගැන සැක සංකා මතු වුණා.

“ට්‍රම්ප්ට අධි චෝදනා පවතිද්දී හෝ වරදකරු වී සිටිය දී පවා ජනාධිපතිවරණය වෙනුවෙන් තරග කිරීමේ හැකියාව පවතිනවා.”

ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය රිචඩ් හැසන් පවසනවා.

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනපති අපේක්ෂකයෙක් වීම සඳහා අවශ්‍ය වන්නේ කරුණු තුනක් පමණ යි.

1. එක්සත් ජනපදය තුළ ස්වභාවික ව උපන් පුරවැසියෙක් වීම.

2. අවම වශයෙන් වයස අවුරුදු 35 ක් වීම.

3. අවම වශයෙන් වසර 14 ක් එක්සත් ජනපදයේ පදිංචි ව සිටීම.

එම කරුණු තුන වෙනවා.

න්‍යායාත්මක ගැටලු නැහැ. ඒත්, ප්‍රායෝගික ගැටලු? – www.bbc.com

ප්‍රායෝගික ගැටළු

න්‍යායයික කරුණුවල ගැටලුවක් නොතිබුණත්, ප්‍රායෝගික ව සැලකීමේ දී වරදකරුවෙක් වූ අපේක්ෂකයකුට (ට්‍රම්ප්ට චෝදනා එල්ල වීමක් පමණයි සිදු ව ඇත්තේ.) මැතිවරණයක් ජයග්‍රහණය කිරීම ඉතා දුෂ්කර වනු ඇති. එබැවින්, දඩ මුදලකින් හෝ වරදකරුවෙක් නොවන තැනට මේ අභියෝගය ජයග්‍රහණය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිදු වෙනවා.

අනෙක් අතට, දීර්ඝ නීතිමය අරගලයකට පසු මැතිවරණයක් සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නොලැබෙන බැවින්, සිය ජනප්‍රියත්වය මැතිවරණ ව්‍යාපාර හරහා අඛණ්ඩ ව පවත්වා ගැනීමේ අවස්‍ථාව ට්‍රම්ප් ගෙන් දුරස් වෙනවා. රිපබ්ලිකන් පක්ෂයටත් කලානුරූප ව තීරණ ගැනීමට සිදුවන බැවින්, වෙනත් අපේක්ෂකයෙක් මත සිය ශක්තිය යොදවන්න සිදු වේවි.

දේශපාලනයේ බෙදීම් තවදුරටත්

අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන පක්ෂ අතරින් ප්‍රබල වන්නේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ පමණ යි. ඔවුන් අතර විශාල මතවාදී බෙදීම් පවතිනවා. දේශපාලනයේ දී මතවාදී විවිධත්වය වැදගත් වන නමුත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි ව නැඟුණු චෝදනා හේතුවෙන් එම බෙදීම සමාජීය බෙදීමක් දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවක් තිබෙනවා.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාර රොන් ඩීසැන්ටිස් – www.nbcnews.com

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාර රොන් ඩීසැන්ටිස්, 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කර නැති නමුත්, ට්‍රම්ප්ට පසු රිපබ්ලිකන් පක්ෂයේ වඩාත් ජනප්‍රිය චරිතයක් ලෙස ඉස්මතු වෙමින් සිටින දේශපාලනඥයෙක්. ට්‍රම්ප්ට නැඟුණු චෝදනා ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බව ඔහු සෘජුව ම චෝදනා කරන අතර, ඒ සඳහා අමෙරිකානු නීති පද්ධතිය අවභාවිත කොට ඇති බවත්, ප්‍රකාශ කර තිබුණා.

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ප්‍රකාශ කළ රිපබ්ලිකන් පාක්ෂික නිකී හේලි ද ඩිමොක්‍රටික් පක්ෂය විවේචනය කර තිබුණා. ඇය මෙම චෝදනා සමාන කර තිබුණේ යුක්තිය ට වඩා පළිගැනීමක් ලෙසට යි. ට්‍රම්ප් පාලන සමයේ දී රාජ්‍ය ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ මයික් පොම්පියෝ, ට්‍රම්ප්ට එරෙහි ව චෝදනා ගොනුකළ පුද්ගලයන් දේශපාලනය සමඟ ක්‍රීඩා කරන බව පවසා තිබුණා. ඔහුත් එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් පසුවන දේශපාලකයෙක්.

ඩිමොක්‍රටික්ලා නිහඬ යි!

මේ සියල්ලන්ගේ ම අදහස් ඔවුන් ගේ ආධාරකරුවන් වෙත කාන්දු වී සමාජගත වන තත්ත්වයක් දැන් උද්ගත වී තිබෙනවා. යුක්‍රේන යුද්ධය සමඟ අමෙරිකාව කටයුතු කරන ආකාරය සහ ආසියානු ආර්ථිකය ඩොලරයට එල්ල කරන බලපෑම් සම්බන්ධයෙන් අමෙරිකානුවන් වඩාත් සංවේදී වී සිටින අතර, උද්ධමනය කළමනාකරණය කිරීමේ දී වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ගැනත් ඔවුන්ට එතරම් ප්‍රසාදයක් නැහැ. රිපබ්ලිකන් පක්ෂය ජනප්‍රිය වීම ඇරඹුණේ ඉන් පසුව යි. ඩොනල්ඩ් ට්‍රම්ප්, යුද විරෝධියෙකු ලෙස ක්‍රියා කරමින් අමෙරිකානු ආර්ථිකය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ ආකාරය අමෙරිකානුවන්ට නැවතත් සිහිපත් වෙමින් තිබෙනවා.

පක්ෂවලට සහාය දක්වන්නන් අතර පවතින බෙදීම දැන් පෙරට වඩා පුළුල් – www.latimes.com

ඩිමොක්‍රටික් දේශපාලකයන් පවතින තත්ත්වය හමුවේ සාපේක්ෂ ව නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. ඔවුන් පොදුවේ පවසන්නේ නීතිය සෑම අමෙරිකානුවකුට ම එක සමාන ලෙස බලපැවැත්වෙන බැවින්, ඒ අනුව කටයුතු කිරීමට සිදුවන බව යි. ඩිමොක්‍රටික් පාක්ෂිකයන් දරන්නේත් ඊට සමාන මතයක්.

“නිහඬතාව” රන් හා සමාන යි

සිදුවීම සම්බන්ධයෙන් වත්මන් ජනපති ජෝ බයිඩන් අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතක්. ඒ ගැන විමසු විට ට්‍රම්ප් සම්බන්ධ අධි චෝදනා ගැන කතා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ජෝ බයිඩන් බලයට පත් වූ දා සිට ට්‍රම්ප් ගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් හඬක් අවදි නොවූ තරම්.

නිහඬතා රන් හා සමාන වටිනා ප්‍රතිපත්තියක් වශයෙන් ඔවුන් මේ දක්වා පවත්වා ගෙන යනවා. එහෙත්, හදිසියේ ම ට්‍රම්ප් ට අධි චෝදනා ගොනු වීම පිටුපස අදිසි හස්තයක් ඇති බවත්, ඒ හස්තය ඩිමොක්‍රටික් පක්ෂය විය හැකි බවටත්, බොහෝ දෙනා සැක කරනවා. ඒ සැකය සාර්ථක ව අමෙරිකානු දේශපාලන පොර පිටියේ පැළ කිරීමට රිපබ්ලිකන් පාක්ෂිකයන් සැලකිය යුතු උත්සාහයක් ද ගනිමින් සිටිනවා.

කවරයේ ඡායාරූපය: මැතිවරණ උණුසුම දැනෙමින් තිබෙන කාලයක තම යි ඩොනල්ඩ් ට්‍රම්ප් හට මෙවැනි චෝදනා එල්ල වුණේ - www.politico.com

මූලාශ්‍ර:
www.bbc.com
www.bbc.com
www.voanews.com
www.tbsnews.net

Related Articles