නයිරෝබි ප්‍රහාරය මර්දනය කළ බ්‍රිතාන්‍ය අමුත්තා

2019 වසරේ ජනවාරි 15 දින කෙන්යාවේ නයිරෝබි නුවර වෙස්ට්ලන්ඩ් ප්‍රදේශයෙන් DusitD2 හෝටල් පරිශ්‍රයට කඩා වදින අල් ශබාබ් ත්‍රස්තවාදීන් එහි සිටි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර තවත් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගන්නවා.

කෙන්යා පොලීසිය හා හමුදා විශේෂ බලකාය මුදාගැනීමේ මෙහෙයුම එදිනම ආරම්භ කරන අතර, දෙපාර්ශවය අතර සිදුවන දරුණු ගැටුම් හේතුවෙන් මෙහෙයුම පසුදින දක්වා ක්‍රියාත්මක වෙනවා. අවසානයේ දී ත්‍රස්තයන් පස් දෙනෙකු මරා දමන අතර තවත් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කෙන්යා හමුදාව සමත් වෙනවා. මෙහෙයුමෙන් සිවිල් වැසියන් 700ක් පමණ මුදා ගැනීමට හැකියාව ලැබුණු බව කෙන්යා ආරක්ෂක අංශය නිවේදනය කරනවා.

මෙම මෙහෙයුම සඳහා බ්‍රිතාන්‍ය විශේෂ ඒකකයක් වන SAS (Special Air Service) බළකායේ නිලධාරියෙකු ද සහභාගී වෙන අතර ඔහුගේ අනුදැනුම මත මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට හැකි වූ බව විදෙස් වාර්තාවල සඳහන් වෙනවා. SAS සෙබළා මෙහෙයුම සඳහා ස්වෙච්ජාවෙන්ම සහභාගී වී ඇති අතර ඔහු කෙන්යාවේ විශේෂ බළකාය පුහුණු කිරීම සඳහා එරටට ගිය නිලධාරියෙකු බව ද සඳහන්.

අල් ශබාබ්වරුන්ගේ කෙන්යා ප්‍රහාර

අල් ශබාබ් ත්‍රස්තයන් (Sky News)

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් වන අල් ශබාබ් සංවිධානය ක්‍රියාත්මක වෙන්නේ සෝමාලියාවේ සිට යි. ඔවුන් නැගෙනහිර අප්‍රිකාව පුරා සිය ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. සෝමාලි ආණ්ඩුවට එරෙහිව සෝමාලියාව පුරා භීෂණය පැතිරවීමට ද ඔවුන් සමත් වී සිටිනවා. ඇති වී තිබෙන සිවිල් යුද්ධයේ දී සෝමාලියා ආණ්ඩුවට එරෙහිව අල් ශබාබ්වරුන් ක්‍රියාත්මක වෙනවා.

මෙම සිවිල් යුද්ධයේ දී කෙන්යා රජය සෝමාලියා ආණ්ඩුවට පක්ෂව ක්‍රියා කිරීම පිළිබඳව අල් ශබාබ් සංවිධානය පසුවන්නේ දැඩි අකමැත්තකින්. ඇමෙරිකානු පාලනය පිළිබඳව ද ඔවුන් දක්වන්නේ දැඩි විරෝධතාවයක්. විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මෑත කාලයේ දී කෙන්යාවට එල්ල කරන ලද පළමු ප්‍රහාරය වන්නේ 1998 වසරේ ඇමෙරිකානු තානාපති කාර්යයාලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය යි. එහිදී 200කට අධික පිරිසක් මරණයට පත් වෙනවා.

2013 වසරේ දී නයිරෝබි අගනුවර පිහිටි වෙස්ට්ගේට් සාප්පු සංකීර්ණයට කඩා වැදුණු ත්‍රස්තයන් එහි සිටි ඉස්ලාම් ආගමිකයන් නොවන පුද්ගලයන් තෝරාගෙන වෙඩි තබනවා. ආරක්ෂක අංශ හා කැරලිකරුවන් අතර මෙම ගැටුම දින තුනකට වැඩි කාලයක් පැවති අතර අවසානයේ දී මිය ගිය සිවිල් පුද්ගලයන් ගණන 67ක් ලෙස වාර්තා වෙනවා.

මෑත කාලයේ කෙන්යාවේ සිදු වූ දරුණුම ප්‍රහාරය සිදු වන්නේ ඉන් පසුව යි. 2015 වසරේ කෙන්යාවේ ගරිස්සා විශ්වවිද්‍යාලයට එල්ල වෙන එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 150 දෙනෙක් පමණ ඝාතනයට ලක් වෙනවා.

ඔවුන්ගේ මෙම ප්‍රහාරවල විශේෂත්වය වන්නේ පිරිස අතරින් ඉස්ලාම් ආගමට අයත් නොවන විදේශිකයන් තෝරාගෙන ඝාතනය කිරීම යි.

DusitD2 හෝටල් සංකීර්ණයට කඩා වැදුණු සටන්කරුවෝ

කෙන්යා විශේෂ බළකාය මුදාගැනීමේ සටනේ (Sky News)

කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි සුඛෝපභෝගී හෝටලයක් වන DusitD2 පරිශ්‍රය වෙත ආයුධ සන්නද්ධ ත්‍රස්තයන් 15 වෙනි දා සවස 3ට පමණ ඇතුළු වෙනවා. එය හෝටල් කාමර 101කින් හා අවන්හල් කිහිපයකින් සමන්විත වන අතර ඒ පරිශ්‍රය  තුළ තවත් සුපිරි වෙළඳසල් කිහිපයක් ද පිහිටා තිබෙනවා.

ඔවුන් ඇතුළු වූ පසුව වෙඩි තැබීම් හා විශාල පිපුරුම් ශබ්ද ගණනාවක් ඇසුණු බව අවට සිටි පුද්ගලයන් සඳහන් කරනවා. වාහන දෙකකින් හෝටලය වෙත පැමිණි ත්‍රස්තයන් ගණන 4 ත් 6ත් අතර අගයක් ගන්නා බව වාර්තාවල සඳහන්. හෝටලයට පැමිණීමෙන් පසු දිගට හරහට වෙඩි තැබීමටත් ග්‍රෙන්ඩ් පුපුරවා හැරීමටත් ත්‍රස්තයන් කටයුතු කරනවා.

ගලවා ගැනීමේ ප්‍රහාරය මෙහෙයවූ අමුත්තා

මෙහෙයුමට එක් වූ SAS භටයා (Royal Marines)

වහා ක්‍රියාත්මක වෙන කෙන්යානු ආරක්ෂක අංශ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා පොලීසිය හා කෙන්යා විශේෂ බළකාය කැඳවනවා. විශේෂ බළකායේ කෙන්යානු සෙබළුන් අතරේ තවත් සුවිශේෂී සුදු පැහැති සමක් සහිත සටන්කරුවෙක් දකින්න ලැබෙනවා. ඔහු කෙන්යා විශේෂ බළකායට සටන් උපක්‍රම පුහුණු කිරීමට ගිය බ්‍රිතාන්‍ය SAS බළකායේ නිලධාරියෙක් බවයි සඳහන් වෙන්නේ.

ප්‍රහාරය සඳහා සැලසුම් සකස් කර තිබෙන්නේ එම නිලධාරියා බව මාධ්‍ය වාර්තාවල සඳහන්. SAS නිලධාරියා හෝටල් පරිශ්‍රයේ සිර වී සිටින පුද්ගලයන් බේරා ගන්නා පින්තූර කිහිපයක් ද කෙන්යා භටයන්ට උපදෙස් ලබා දෙන පින්තූර ද මාධ්‍යකරුවන් විසින් ලබාගෙන තිබෙනවා.

SAS භටයා සිවිල් ඇදුමින් සැරසී සිටින අතර වෙඩි නොවදින කබායක් ඊට උඩින් පැළඳගෙන සිටිනවා. විශේෂ බලකා භටයන් භාවිතා කරන Colt Canada C7 රයිෆලයකින් සන්නද්ධව සිටිනවා.

අමුත්තා සිවිල් වැසියන් ගලවා ගැනීමේ මෙහෙයුමේ (Sky News)

ඔහුගේ ආරක්ෂාව පිණිස නිලධාරියාගේ පෞද්ගලික තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය නොකරන බව කෙන්යානු ආරක්ෂක අංශ විසින් සඳහන් කර තිබෙනවා.

මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කිරීම

මෙහෙයුම අතරතුර (CBS News)

පසු දා වන තුරු දෙපාර්ශවය අතර ගැටුම පැවති අතර ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු මරණයට පත් වෙනවා. මරණයට පත්වූවන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයෙක් හා ඇමෙරිකානු ජාතිකයෙක් ද සිටිනවා. 28 දෙනෙක් තුවාල ලබනවා. තවත් 700ක් පමණ නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව, පසුව ජාතිය අමතමින් එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

මෙහෙයුම සාර්ථකව අවසන් කිරීම (Flipboard)

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර බවට ප්‍රකාශ කිරීම මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතු වූ මූලික කරුණ ලෙස ත්‍රස්ත සංවිධානය විසින් නිවේදනය කර තිබෙනවා.

කවරයේ පින්තූරය: thesunbest

මූලාශ්‍රයයන්:

mirror.co.uk

bbc.com

news.sky.com

theguardian.com

Related Articles