Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉතාමත් උසින් නිවෙස් තනන ඉන්දුනීසියාවේ කොරවැයි ගෝත්‍රය

ගෝත්‍රික ජනතාව සම්බන්ධයෙන් ලෝකයෙන් වාර්තා වන තතු බොහෝමයි. මෙම ගෝත්‍රිකයන් හට ආවේණික චාරිත්‍ර, සම්ප්‍රදායන් හා සමාජ වටිනාකම් සතු වන අතර, ඔවුන් නවීනත්වයට මුහු වීමක් නොමැතිව වසර ගණනාවක් අඛණ්ඩව පවත්වාගෙන එන ලද සිරිත් විරිත් පවත්වාගෙන යනවා. මෙම ගෝත්‍රික කණ්ඩායම් අතරින් ඉන්දුනීසියාවේ කොරවැයි ගෝත්‍රිකයන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මොවුන් ලොව ප්‍රසිද්ධ වන්නේ, ඉතාමත් උසින් ඉදිකරන නිවෙස් හේතුවෙනි.

කවුද මේ කොරවැයි ගෝත්‍රිකයන්?

documentarytube.com

මෙම ගෝත්‍රිකයන් ඉන්දුනීසියාවේ පැපුවා නිව් ගීනියා මායිම ආසන්නයේ වාසය කරනු ලබනවා. මොවුන් කොරවැයි යනුවෙන් හඳුන්වනවාට අමතරව කොලුෆෝ යනුවෙන් ද හඳුන්වනු ලබනවා. මෙම ගෝත්‍රිකයන් 3,000 ක් පමණ දැනට වාසය කරනු ලබන අතර, වර්ෂ 1970 දී පිටස්තර පුද්ගලයන් මොවුන්ව හමුවීමට පෙර ඔවුන්ට අමතරව ජීවත් වූ මිනිසුන් සම්බන්ධයෙන් මෙම කොරවැයි ගෝත්‍රිකයන් දැන නොසිටි බව සඳහන්. ඇතැම් මූලාශ්‍රයයන් හි දැක්වෙන්නේ 1970 මොවුන් පළමුවරට හමුවූයේ ලන්දේසි මිෂනාරීන්ට බවයි. එතෙක් මොවුන් වෙනත් මිනිස් කොට්ඨාශයක ආශ්‍රයෙන් තොරව​ හුදෙකලාව​ වාසය කොට තිබෙනවා.

ඉතාමත් උසින් තනන නිවෙස්

exotravel.ru

කොරවැයි එසේත් නැතිනම් කොලුෆෝ ගෝත්‍රික ජනතාව ලොව වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ ඉතාමත් උසින් තනන නිවෙස් හේතුවෙනි. සාම්ප්‍රදායිකව මෙම ගෝත්‍රිකයන් හුදකලා කුඩා කණ්ඩායම් ලෙස වාසය කරන අතර, සෑම කණ්ඩායමක්ම හෙවත් සෑම කාණ්ඩයක් සතුවම විශේෂ භූමියක් තිබෙනවා. එමෙන්ම සාමාන්‍යයෙන් එක් ජනාවාසයක වෘක්ෂ මත ඉදිකරන ලද නිවාස පහකට වඩා නොපවතින අතර,  වනාන්තර භූමි තලයේ සිට මීටර් 8 සිට 12 දක්වා උසට පවුලේ නිවස තැනීම සිදු කරනවා. කෙසේ නමුත් සමහරක් ස්ථාන වල වෘක්ෂ වල තනන ලද නිවෙස් මීටර් 45 ක් පමණ උසින් යුක්ත වනවා. නිවාස සෑදීමට අවශ්‍ය සියළු ගොඩනැගිලි ද්‍රව්‍ය වනාන්තරයෙන්ම ලබා ගනු ලබනවා. රාමුව ශාඛාවන්ගෙන් නිර්මාණය කොට තිබෙන අතර සාගෝ ගසෙහි පොත්ත, බිම සහ බිත්ති නිර්මාණය කිරීම සඳහා භාවිතා කරනවා.

දිනයක් සහ දෙකකදී මොවුන්ගේ නිවාස සාදන අතර, අවුරුදු තුනත් පහත් අතර කාලයක් සඳහා මෙම නිවෙස් පැවතෙනවා. කෙසේ නමුත් සාගෝ ගස් සංඛ්‍යාව අඩු වේනම් හෝ සම්පත් සංඛ්‍යාව අවම මට්ටමක පවතී නම් ගෝත්‍රිකයන් මොවුන්ගේ වර්තමාන දඩයම් භූමියේ අලුත් ස්ථානයක් සෙවීම සිදු කරන අතර උසින් පිහිටි පැල්පත් නැවතත් තැනීම සිදුකරනු ලබනවා.

මෙපමණ උසින් නිවෙස් තැනීම එක්තරා ආකාරයක ආරක්ෂාකාරී පියවරක් වනවා. එනම් ගංවතුර මට්ටමෙන් උඩින් පිහිටා තිබීම ආරක්ෂාකාරී වනවා. එදිරිවාදී කණ්ඩායම්වල ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීමට මෙය ප්‍රයෝජනවත් වනවා. එනම්, වහල් සේවය සහ මිනීමස් කෑම සඳහා විශේෂයෙන්ම කාන්තාවන් සහ ළමුන් අල්ලා ගැනීම සිදු කරනවා. මීට අමතරව කෘමීන් හපා කෑමෙන් ආරක්ෂා වීමද අරමුණකි.

කෙසේ නමුත් මෙම ගස් වල තනන ලද නිවෙස් වල වාසය කරන්නන් හට මුහුණ දීමට සිදුවන වඩාත්ම භයානක සිදු වීම වන්නේ, ගින්දරයි. මොවුන් සිය කටයුතු සඳහා ගින්දර භාවිතා කරන අතර එහිදී ඉතා ප්‍රවේශම් වනවා.

මෙම ගෝත්‍රයේ බොහෝමයක් දෙනා මොවුන්ගේ හුදකලා භූමි වල වෘක්ෂ මත තනන ලද නිවෙස් වල වාසය කරනු ලබනවා. කෙසේ නමුත් 1980 සිට මෙම ගෝත්‍රයෙන් කිහිප දෙනෙක් අලුතින් ස්ථාපිත කරන ලද යනිරුමාහි විවෘත කරන ලද ගම්මාන වලට ගමන් කරනු ලැබුවා.

සමාජ සංවිධානය

dr-weiglein-expeditions.de

මෙම ගෝත්‍රිකයන්ගේ සමාජ සංවිධානය ඉතාමත් කුඩා වන අතර, දහයේ සිට විස්ස දක්වා මිනිසුන් සිටින ගෝත්‍රයේ එකිනෙකා ස්වාධීනව ජීවත් වනු ලබනවා. මෙම ගෝත්‍රිකයන් අතර ධූරාවලියක් නොමැති අතර කාන්තා පිරිමි සියලුම සාමාජිකයන් හට එක සමාන අයිතිවාසිකම් හිමි වනවා. කෙසේ නමුත් බලවත් හෙවත් වයසක පිරිමින් වඩාත් ගෞරවනීය පුද්ගලයන් වනවා. කොරවැයි හි නායකත්වය ලබා දෙන ආකාරයද අනෙකුත් ගෝත්‍ර හා සන්සන්දනය​ කිරීමේදී සුවිශේෂී වනවා. ඒ අනුව චාරිත්‍රානුකූල නියමයන්ට වඩා පුද්ගලික ගුණාංග මත මෙම නායකත්වය පිරිනමනු ලබනවා.

තරුණ ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන් ඔවුන්ගේ මව්වරුන්, වැඩිමහලු සහෝදරියන් සහ අත්තමලා සමඟ වාසය කරනවා. පිරිමි දරුවන් වයස අවුරුදු 8 හෝ 10 ලැබූ පසු ඔවුන් පියවරුන් සමඟ දඩයම් කටයුතු ආදිය සඳහා එකතු වනු ලබනවා.

මෙම ගෝත්‍රයේ පවුල් සඳහා ආරක්ෂාව සැපයීම පිරිමි පුද්ගලයින් සිදු කරනු ලබනවා. එමෙන්ම ඔවුන් නිරන්තරයෙන් අන්තර් ගෝත්‍ර රණකාමයන් සඳහා එකතු වී සිටිනවා. කෙසේ නමුත් මෙම ක්‍රියාවන් නිළ වශයෙන් ඉන්දුනීසියා හමුදා මඟින් තහනම් කර තිබෙනවා. ආගම සඳහාද සුවිශේෂී ස්ථානයක් මෙම ගෝත්‍රිකයන් අතර හිමි වනවා.

ආහාර සපයා ගන්න අයුරු

123rf.com

මොවුන් ගංගාවලින් මාළුන් ඇල්ලීම සිදු කරන අතරම ලැහැබවලින් වල් ඌරන් දඩයම් කිරීම ආදිය සිදු කරනු ලබනවා. මොවුන්ගේ ආහාර ක්‍රමයේ ප්‍රධාන ආහාරය වන්නේ, සාගෝ යි. එක් කුටුම්භයක් සෑම එක් සතියක් සඳහා එක සාගෝ ගසක් ප්‍රයෝජනයට ගනු ලබනවා. ගෘහස්ථ ඌරන් සඳහා මෙම ගෝත්‍රික සමාජයේ සංස්කෘතික වටිනාකමක් තිබෙන අතර, ඔවුන් අනුභව කරන්නේ පූජාවිධි අතරතුරේ හෝ උත්සව වැනි විශේෂ අවස්ථා වලදී පමණි. සුනඛයන් දඩයම් කටයුතු සඳහා යොදා ගනු ලබන අතරම මොවුන්ගේ දත් ඉතාමත් වටිනා ලෙස සලකනු ලබනවා. ඌරු දඩයම දුනු හී භාවිතා කොට සිදු කරනු ලබනවා. අතීතයේ මොවුන්ගේ ආහාර රටා වල වැදගත් කොටසක් ලෙස කිඹුලන් ඇල්ලීමක් සිදු කරනු ලැබුවා.

කවරයේ පින්තූරය: booksplease.org

Related Articles