Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෙබනන විදුලි අර්බුදයට ජෝර්දානයෙන් එළියක්

ලෙබනනය යනු දේශපාලනමය සහ ආර්ථිකමය වශයෙන් අධික ලෙස පීඩාවට පත් ජන සමාජයක් වෙසෙන රාජ්‍යයක්. 2020 වර්ෂයේ ආගෝස්තු මස එරට අගනුවර (බීරූට්) සිදු වූ දැවැන්ත රසායනික පිපිරුම නිසා රටේ පරිහානිය තවත් වේගවත් වුණා. ලෙබනනයේ ආර්ථික අර්බුදය ඉතා තදින් දැණුනු අංශයක් ලෙස එරට විදුලි සැපයුම දැක්විය හැකි යි.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය අවුරුද්දේ අග භාගයේ සිට දවසේ වැඩි කාලයක් විදුලිය නොමැති ව ජීවත් වෙන්නට ලෙබනන් වැසියන්ට සිදු වුණා. දිගු කාලීන අර්බුදයක් බවට පත් වූ ලෙබනනයේ විදුලි සැපයුම ස්වෝත්සාහයෙන් නැවත යථා තත්ත්වයට ගෙන ඒමට නොහැකි තරම් ලෙබනනය අසරණ වී අවසන්. විදුලිය වෙනත් රාජ්‍යයකින් ලබා ගැනීමේ තීරණය හැරෙන්න ඔවුන්ට වෙනත් විසඳුමක් තිබුණේ නැහැ.

අඳුරේ ගිලුණු ලෙබනනය – www.dailysabah.com 

ලෙබනනයේ අඳුර දුරලන ජොර්දානය

දිගු කාලීන විදුලි අර්බුදයට විසඳුමක් ලෙස ජොර්දානයෙන් විදුලිය ලබා ගැනීමේ ගිවිසුමකට ලෙබනනයේ බලශක්ති අමාත්‍යවරයා අත්සන් තබා තිබෙනවා. අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා සිරියාවේ නිලධාරීන් ද සහභාගී වී තිබෙනවා. ජොර්දානයේ විදුලි සැපයුම සිරියාව හරහා ලෙබනනයට ළඟා වීම ඊට හේතුව යි. ගිවිසුම අත්සන් කිරීම “ඓතිහාසික අවස්ථාවක්” ලෙස ලෙබනනයේ බලශක්ති අමාත්‍ය, වලිඩ් ෆයාඩ් ප්‍රකාශ කර තිබෙනවා.

කාර්මිකකරණයෙන් ආර්ථිකය ශක්තිමත් කරගත් රටවල පවත්නා අධික බලශක්ති ඉල්ලුම හේතුවෙන් වෙනත් රටවලින් හිඟ විදුලිය ලබා ගන්නා අවස්ථා තිබෙනවා. මීට අමතරව, ස්වභාවික හේතුන් හෝ වෙනත් සාධාරණ කරුණු විදුලිය ආනයනය කිරීම පිටුපස තිබිය හැකි යි. එහෙත්, විදුලිය අරබයා ලෙබනන් රජය ජොර්දානයෙන්  යැපීමට සූදානම් වන්නේ එරට දේශපාලනයේ ඇති අසමත්කම නිසා යි. එවැනි අසමත්කමක් “ඓතිහාසික අවස්ථාවක්” ලෙස ලෙබනනයේ බලශක්ති අමාත්‍යාවරයා හුවා දැක්වීම විමතියට කරුණක්. අනෙක් අතට, ගිවිසුම් ප්‍රකාර ව ලැබෙන විදුලි සැපයුම ලෝකයේ අස්ථාවර ම රාජ්‍යයක් වූ සිරියාව හරහා දිව යෑමත් විශේෂත්වයක්.

ව්‍යාපෘතිය පූර්ණ විසඳුමක් නොවෙයි

2021 මැද භාගයේ පටන් ජන ජීවිතය බෙහෙවින් අඩාල කර ඇති ලෙබනනයේ විදුලි අර්බුදයට මෙගාවොට් 250 ක සහනයක් ගිවිසුම හරහා ලැබෙනු ඇති. දැනට ලෙබනන් ජනයාට දිනකට යන්තම් පැය දෙකක විදුලි සැපයුමක් ලැබෙන අතර, ජොර්දානයෙන් එන සැපයුමෙන් පසු ඉදිරි මාසවලදී එම කාලය දෙගුණයක් වනු ඇතැයි පැවසෙනවා. කෙසේ වෙතත්, බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව ලෙබනනයේ බලශක්ති අර්බුදය විසඳිම සැක සහිත බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

2020 බීරූට් රසායනික පිපිරුමේ විනාශය – www.bbc.com 

ලෙබනනයේ රාජ්‍ය විදුලි සමාගමක් වන “ඉලෙක්ට්‍රිසිටේ ඩු ලිබන්”, ණයගැතිභාවයෙන් සම්පූර්ණයෙන් ම අසාර්ථක වීමේ අද්දර සිටින පසුබිමක අදාළ ගිවිසුම හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් මිලියන 200ක් වනු ඇතැයි වාර්තා වෙනවා. ගිවිසුමට බැඳෙන රටවල් ත්‍රිත්වයේ නායකයන් මෙම ව්‍යාපෘතිය අර්ථ දක්වා ඇත්තේ අරාබි සහයෝගීතාවයේ උදාහරණයක් ලෙසට යි. විශේෂයෙන් ම පසුකලෙක විනාශකාරී යුද්ධයක් දක්වා පැතිර ගිය සිරියාවේ රාජ්‍ය විරෝධී පසුබිම හමුවේ අනෙකුත් අරාබි ජාතීන් සිරියාව නොසලකා හැර තිබුණා. ගිවිසුම හරහා සිරියානු රජය නැවතත් ලෝකයට විවෘත වීමේ උත්සාහයක් දරන බව පෙනී යනවා.  එක්සත් ජනපදයත් ගිවිසුමට සහයෝගය දක්වා තිබෙනවා. සිරියාවට සම්බාධක පනවා ඇති වාතාවරණය මැද පවා ගිවිසුම සම්බන්ධයෙන් ලෙබනනයට කිසිදු බලපෑමක් නොවන බව එක්සත් ජනපද රජය සහතික වී තිබෙනවා.

අර්බුදය ඇරඹුණේ මෙහෙමයි

2021 ඔක්තෝබර් මස මුල් භාගයේ දී “ඩීර් අම්මාර්” සහ “සහරානි” යන ලෙබනනයේ විශාලත ම බලාගාර දෙක ඉන්ධන හිඟය හේතුවෙන් වසා දැමුණා. ලෙබනනයේ රාජ්‍ය විදුලි සමාගම වන “ඉලෙක්ට්‍රිසිටේ ඩු ලිබන්” ද රටේ විදුලියෙන් 40% ක අවශ්‍යතාව සපයන බලාගාර දෙක වසා දැමූ බව තහවුරු කර තිබුණා. ඒ සමඟ ම ලෙබනනයේ විදුලි බල ජාලය සම්පූර්ණ ඇණ හිටීමකට ලක් වූ අතර, නැවත මෙහෙයුම් ආරම්භ කළ නොහැකි අන්දමේ වාතාවරණයක් නිර්මාණය වුණා.

අර්බුදය හමුවේ ලෙබනන් වැසියන් විදුලිය නිපදවා ගත්තේ තමන්ගේම ක්‍රමවලින් – www.bbc.com 

 ලෙබනනයේ වැසියන් විදුලි කප්පාදුවකට කලක පටන් මුහුණ දෙමින් සිටියත්, මෙවැනි කඩා වැටීමකට ලක් වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු දිග හල්බා නගරයේ රාජ්‍ය විදුලි සමාගම ඉදිරිපිට සහ ට්‍රිපොලි නගරයේ (ලෙබනනයෙත් ට්‍රිපොලි නමින් නගරයක් පවතී.) විරෝධතා සංවිධානය වුණා. පසුව යම්තාක් දුරකට විදුලි ජනනය සක්‍රීය කළත්, දිගු පැය ගණනක් විදුලිය අඛණ්ඩව පවත්වා ගැනීමට එය කිසිසේත් ප්‍රමාණවත් වුණේ නැහැ. මාස 18 ක් මුළුල්ලේ ලෙබනනයට බලපෑ දැඩි ආර්ථික අර්බුදයේ සහ ඉන්ධන හිඟයේ උච්චත ම අවස්ථාව ලෙස මුළු රට ම අඳුරට නතු වුණා.

දේශපාලනිකව ඔත්පළ වීම

 ලෙබනනයේ ජනගහනයෙන් අඩක් දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, දූෂිත දේශපාලනයට එරෙහි ව ඇති වන විරෝධතාවලත් අඩුවක් නැහැ. අයහපත් වාතාවරණය මැද විදේශ මුදල් හිඟයත් උග්‍ර වූ නිසා විදේශීය බලශක්ති සැපයුම්කරුවන්ට ගෙවීම් සිදු කිරීමටත් ලෙබනන් රජය අපොහොසත් වුණා.

 පුද්ගලයන් 219 කට මරු කැඳවූ සහ තවත් 7000 ට තුවාල සිදු කළ 2020 බීරූට් පිපිරුමේ ආර්ථික හානිය පවා ලෙබනනයට සමනය කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. කලක පටන් පවතින දුර්වල පරිපාලනයෙන් රටට සිදු වූ හානිය බීරූට් පිපිරුමෙන් වඩාත් බරපතල අතට හැරුණා. පිපිරුමෙන් පසු පැවතුණු ආණ්ඩුව ඉල්ලා අස්වූ අතර, වත්මන් අගමැති නජිබ් මිකාටි, අගමැති ධූරයට පත් වූයේ පසුගිය රජය ඉල්ලා අස්වී වසරකටත් වැඩි කාලයක් ගත වූ පසුව යි. එතෙක් ලෙබනනය දේශපාලනමය වශයෙන් අකර්මණ්‍ය වූ කාල‍යක් ගෙවා දැමුවා.

විදුලිය නොමැති කමින් පීඩා විඳින ලෙබනනයේ මිනිසුන් – www.upi.com 

ලෙබනනයේ ක්‍රියාත්මක වන හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායම පවතින ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස ඉරානයෙන් ඉන්ධන ගෙන්වා ගැනීමට කටයුතු කළා. එහෙත්, ඉරාන ඉන්ධන තොගය හරහා හිස්බුල්ලා සංවිධානය තම බලය පුළුල් කරගත් බව ඔවුන්ගේ විරුද්ධවාදීන් චෝදනා කර තිබුණා. 2021 වසරේ ඔක්තෝබර් මස ලෙබනනයේ විදුලි බලාගාර වසා දැමීම දක්වා තත්ත්වය උග්‍ර වීම කෙරෙහි මේ සියලු හේතු සෘජු ව බලපෑවා.

අර්බුදය විසඳීමේ තැරැව්කරු

ලෙබනනයේ විදුලි අර්බුදය විසඳීම සඳහා පෙරට පැමිණි රට ජොර්දානය වුවත්, අදාළ ගිවිසුම හෝ ගනුදෙනුවේ තැරැව්කරු ලෙස කටයුතු කරන්නේ එක්සත් ජනපදය යි. සිරියාවට යොදා ඇති සම්බාධක ලෙබනනයේ බල ශක්ති ව්‍යාපෘතිය සඳහා බාධාවක් නොවන බව එක්සත් ජනපද රජය සහතික වීමෙන් එය මනාව පැහැදිලි වෙනවා. ජෝර්දානයේ සිට සිරියාව හරහා ලෙබනනයට විදුලිය සැපයීම අදාළ ගිවිසුමේ එක් කොටසක් පමණ යි. විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය වන ස්වභාවික වායු ඊජිප්තුව හරහා ජෝර්දානයට ලැබෙන අතර, එය ගිවිසුමේ දෙවන කොටස ලෙස ක්‍රියා කරනවා.

ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව – ca.news.yahoo.com 

ලෙබනනයේ මූල්‍ය අර්බුදයට පෙර ලෙබනනයේ රාජ්‍ය විදුලි සමාගමට දිනකට පැය 21 ක් අඛණ්ඩව විදුලිය සැපයීමේ හැකියාව තිබූ අතර, මූල්‍ය අර්බුද උග්‍ර වීමෙන් පසු ඩොලර් මිලියන සිය ගණනක හිඟ පියවීම් සමඟ ආයතනය දිගට ම පවත්වා ගැනීමට රජය අපොහොසත් වුණා. දිනකට පැය දෙකකට පමණක් විදුලි සැපයුම ලබා දෙන තත්ත්වයට ලෙබනනය අසරණ වූ පසු පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට රජය ක්‍රියා කළේ මේ පසුබිම මැද යි. එලෙස ලබාදුන් සහනාධාර පවා ලෙබනන් රජය පසුව ක්‍රමයෙන් ඉවත් කර ගත්තා. ජාත්‍යන්තර සංවිධාන සහ දේශීය විශේෂඥයින් බොහෝ දෙනෙක් රටේ බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා යි.

 අද ලෙබනනයේ විදුලි අවශ්‍යතාව සම්පූර්ණයෙන් ම පාහේ විදේශීය රටක ගොඩනැඟෙන ව්‍යාපෘතියක් මත රැඳෙන තත්ත්වයට පැමිණ අවසන්. ඒ පිටුපස සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදය යි. ඔවුන් ඉදිරියේ දී සිරියාව තුළ ක්‍රියා කරන අන්දම ලෙබනනයේ බල ශක්ති ක්ෂේත්‍රයට සෘජුව බලපානු ඇති. රටක මර්මස්ථානයක් වැනි ක්ෂේත්‍රයක් එවැනි තත්ත්වයකට පත් වීම කොතරම් අභාග්‍ය සම්පන්න ද?

කවරයේ ඡායාරූපය: ලෙබනනයේ විදුලි සමාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන ලෙබනන් ජනයා - www.hrw.org

මූලාශ්‍ර:

 www.bbc.com

www.aljazeera.com

 www.xinhuanet.com 

Related Articles