Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැමති නම් කුළියටත් ගත හැකි රට, “ලිච්ටෙන්ස්ටයින්”

ලෝක සිතියමක් දිගහැර බැලුවහොත්, අපට එම සිතියම මත ලෝකයේ සියළුම රටවල් සළකුණු වෙලා තියෙනවා කියලා සහතික වෙන්න පුළුවන් ද?

සමහර වෙලාවට සිතියම ඇඳ තිබෙන පරිමාණයට අනුව ලෝක සිතියමක ලකුණු කළ නොහැකි තරම් කුඩා රාජ්‍යයන් ද මේ ලෝකය තුළ තිබෙනවා. ලෝකයේ කුඩාම රාජ්‍යය ලෙස හඳුන්වන වතිකානුව අප හැමෝම දන්නේ, වතිකානුවේ ඇති ආගමික වැදගත්කම නිසා යි. නමුත් වැඩිය කතාබහට ලක් නොවන ඉතා කුඩා රාජ්‍යයන් රාශියක් මේ ලෝකය තුළ තිබෙනවා. මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කරපු, විශාල ෆොස්ෆේට් නිධියක් පිහිටි නාඋරු රාජ්‍යය කියන්නෙත්, එවැනි වැඩි අවධානයකට ලක් නොවුණු රටක්. ඉතින් මේ ලිපිය වෙන් වන්නේත්, එවැනි කුඩා අප්‍රසිද්ධ රාජ්‍යයක් වූ ලිච්ටෙන්ස්ටයින්හි සිත් ගන්නා සුළු විස්තරයක් ඔබ වෙත ගෙන ඒමට යි. 

ලිච්ටෙන්ස්ටයින් සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ රාජ්‍යයන් දෙකකට මැදිව පිහිටා තිබෙනවා/https://www.britannica.com/place/Vaduz

භූගෝලීය තොරතුරු

ලිච්ටෙන්ස්ටයින් යුරෝපයේ මධ්‍යම දෙසට වන්නට පිහිටි ඉතා කුඩා රාජ්‍යයක්. මෙහි පිහිටීම සිතියමකින් සොයා ගත හැකි පහසුම ක්‍රමය වන්නේ, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව වෙන්වන දේශසීමාව නිරීක්ෂණය කිරීම යි. එහිදී ඔබට මෙම රාජ්‍ය‍යන් දෙකට මැදිව පිහිටි ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය සොයා ගත හැකි වෙනවා. මේ පිහිටීම තරමක් සුවිශේෂීයි. ලොව සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ රටවල් රැසක් තිබුණත්, ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය මායිම් වන්නේ, තවත් සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ රටවල් දෙකකට යි. මෙම පිහිටීම “දෙපසින් ගොඩබිමට මායිම් වූ” යන අර්ථය ගෙනදෙන “Double Landlocked” රාජ්‍යයක් ලෙස හැඳින්වෙනවා. මෙවැනිම පිහිටීමක් අපට උස්බෙකිස්ථානයෙනුත් දැකිගත හැකියි.

ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය වර්ග සැතපුම් 62ක් තරම් වූ කුඩා රාජ්‍යයක් වන අතර, ජනගහණය 38,000ක් පමණ යි. අගනුවර වන්නේ “වාඩුස්” නම් නගරය යි. රටේ නැගෙනහිර කොටසෙන් තුනෙන් දෙකක්ම මධ්‍යම ඇල්ප්ස් කඳුකරයේ කොටසකින් ආවරණය වී පවතිනවා. ඒ අනුව එම භූමි භාගය මීටර 1800ට වඩා උන්නතාංශයකින් පිහිටා තිබෙනවා. මෙම කඳුකර ප්‍රදේශයන් විවිධ සපුෂ්ප ශාකවලින් ගහණව පවතින නිසා සුන්දර පරිසර පද්ධතියකට මෙරට උරුමකම් කියනවා. සරලවම, ලෝකය පුරා චිර ප්‍රසිද්ධියට පත් ස්විට්සර්ලන්තයේ සොබා සුන්දරත්වයට සමාන සුන්දරත්වයක් ලිච්ටෙන්ස්ටයින්වලත් පවතිනවා. එමෙන්ම දකුණු දිගින් හමන උණුසුම් සුළං ප්‍රවාහයන් නිසා මේ රටේ පවතින්නේ සෞම්‍ය දේශගුණයක්. කොහොම නමුත් රටේ ස්වභාවය ගැන දළ අදහසක් ගැනීමට භූගෝලීය තොරතුරු ඉදිරිපත් කළත්, ලිපියේ අරමුණ වන්නේ ලිච්ටෙන්ස්ටයින් ලෝකය තුළ සුවිශේෂී වන කාරණා පමණක් ඔබ වෙත ගෙන ඒමට යි.

රටේ අගනුවර වන වාඩුස්හි දර්ශනයක්/globeguide.ca

නොදැනුවත්භාවය නිසා ආක්‍රමණයට ලක්වූ රටක්

ලිච්ටෙන්ස්ටයින් ලෝකයේ අඩුම අපරාධ අනුපාතයක් සහිත රාජ්‍යයක් වන අතර, 1997 වර්ෂය වනවිට එහි බන්ධනාගාර තුළ සිටියේ රැඳවියන් අතළොස්සක් පමණ යි. වසර දෙකකට වඩා වැඩි කාලයක් සිර දඬුවම් නියම වූ පුද්ගලයන් ඔස්ට්‍රියාව වෙත මාරු කර යවන වැඩපිළිවෙලක් තිබෙන නිසාත්, ඉතා අවම අපරාධ ප්‍රතිශතය නිසාත්, ඔවුන්ගේ බන්ධනාගාර තුළ රැඳවියන් එකතු වෙන්නේ බොහොම අඩුවෙන්. මේ ආරක්ෂිත බව නිසා ලිච්ටෙන්ස්ටයින්හි වැසියන් තම නිවෙස්වල ඉදිරිපස දොර අඟුළු දැමීමට පවා උනන්දු නොවන බව සඳහන්.

ජාතික ධජය/britannica.com

නමුත් මේ සාමකාමී රාජ්‍යය 2007 වර්ෂයේ මාර්තු මාසයේ දී යම් ආක්‍රමණයක් නිසා සසල වෙනවා. අසල්වැසි ස්විට්සර්ලන්තයේ පාබල හමුදාවේ සෙබළුන් 170ක් පමණ දේශසීමාව තරණය කරමින් සැතපුමකට වඩා වැඩි දුරක් ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය තුළට ගමන් කර තිබුණා. නමුත් ඔවුන් අතින් මෙම ආක්‍රමණය සිදුවී ඇත්තේ හුදෙක්ම නොදැනුවත්භාවය නිසා යි. ලිච්ටෙන්ස්ටයින් සතුව හමුදාවක් නොපවතින නිසා මේ අනවසර ඇතුල්වීම පිළිබඳව ඔවුන් දැනුවත් වුණෙත් ප්‍රමාද වෙලා. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් වූ කාරණා අසල්වැසි ඔස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තය සමග එකතුව කරගෙන යන නිසා ලිච්ටෙන්ස්ටයින්, මේ දෙරට අතර දේශසීමාවන් බාධකවලින් සළකුණු කරලා නැහැ. මේ හේතුවෙන් ස්විස් පාබල හමුදා කණ්ඩායමක් අත්වැරදීමකින් දේශසීමාව තරණය කොට ලිච්ටෙන්ස්ටයින් තුළට ඇතුළු වී තිබුණා. කෙසේ හෝ මෙය සාමාන්‍ය කාරණාවක් ලෙස සළකා ස්විට්සර්ලන්තය සමග මෙම සිදුවීම සාමකාමී ලෙස සමථයකට පත් කරගැනීමට ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය උනන්දු  වුණා.

මාළිගයේ සාදය

ලිච්ටෙන්ස්ටයින් ජාතික නිවාඩු දිනයේ දී විශේෂ සාදයක් පැවැත්වෙනවා. මෙම සාදය පවත්වන්නේ වර්තමානයේ රටේ රාජ්‍ය නායකයා ලෙස ක්‍රියා කරන දෙවන හැන්ස්-ඇඩම් කුමරු සහ ඔහුගේ පුත් කුමරු ඇලොයිස්ගේ ප්‍රධානත්වයෙන්. රටේ සාමාන්‍ය මහජනතාවත් මෙම සාදයට ආරාධනා ලබන නිසා තමයි මෙම උත්සව අවස්ථාව ලෝකය පුරා විශේෂ වී තිබෙන්නේ. මෙම සාදයේ දී, තම මුතුන්මිත්තන්ගේ වාස භවන වූ වාඩුස් මාළිගයේ උද්‍යානයට ජනතාව කැඳවා බියර් සංග්‍රහයක් ලබාදීමට එම රාජකීයන් කටයුතු කරනවා.

රටේ ප්‍රධානීත්වය දරණ දෙවන හැන්ස්-ඇඩම් කුමරු /conceptualfinearts.com

ලෝකයේ ප්‍රමුඛතම බොරු දත් නිෂ්පාදකයා

ස්විට්සර්ලන්තය චොක්ලට්, ඔරලෝසු වැනි නිෂ්පාදනවලින් ලෝකයේ නමක් දිනා ගෙන ඉන්නවා වගේ ලිච්ටෙන්ස්ටයින්, ව්‍යාජ දත් නිෂ්පාදයෙන් ලෝකය පුරා නමක් දිනාගෙන සිටිනවා. ලිච්ටෙන්ස්ටයින් රටේ “ස්ෂාන්” නම් නගරය මූලික කරගෙන නිෂ්පාදන කටයුතු කරගෙන යන “අයිවොක්ලර් විවඩන්ට්” නම් සමාගම තමයි මේ ව්‍යාජ දත් නිෂ්පාදනයේ ප්‍රමුඛත්වය හිමි කරගෙන සිටින්නේ. ලෝකය පුරා ව්‍යාජ දත් සඳහා තිබෙන ඉල්ලුමෙන් 20%ම සපුරන්න මෙම සමාගම සමත් වෙනවා. බොලිවුඩ් පුරයේ දන්ත වෛද්‍යවරුන් සමග පවත්නා ශක්තිමත් සබඳතාවලට ස්තූතිවන්ත වෙන්න, සෑම වසරකම විවිධ මාදිලි 10,000කට අධික සංඛ්‍යාවක බොරු දත් කුට්ටම් මිලියන 60ක් නිෂ්පාදනය කිරීමේ වගකීම මේ සමාගම මත පැටවිලා තිබෙනවා.

මෑතක් වෙනකම් තිබ්බ නෝක්කාඩුව

දෙවන ලෝක සංග්‍රාමය අවසාන වීමෙන් පසුව අතීත චෙකොස්ලොවැකියාව (වර්තමානයේ චෙක් ජනරජය සහ ස්ලොවැකියාව ලෙස බෙදී වෙන්ව පවත්නා භූමිය) විසින් ලිච්ටෙන්ස්ටයින් රාජකීය පවුලට අයත් දේපළ, පරාජයට පත්වූ ජර්මනිය විසින් බුක්තිය විඳපු භූමියක් ලෙස සළකා රාජ සන්තක කරන්න ක්‍රියා කළා. මේ අත්පත් කරගත් භූමි භාගය වර්තමාන ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය මෙන් දස ගුණයක් විශාල වූ භූමියක් බව කියැවෙනවා. මොරාවියාව නම් කලාපයට අයත් භූමියක් ලෙස සළකපු මේ භූමියේ, වනාන්තර, කෘෂිකාර්මික ඉඩම් මෙන්ම ලිච්ටෙන්ස්ටයින් රාජකීය පවුලට අයත් මාළිගා කිහිපයක් ද තිබුණා.   

නමුත් පසුකාලීනව චෙක් ජනරජය විසින් මතභේදයට තුඩු දුන් එම භූමියේ පිහිටි මාළිගා කිහිපය පමණක් නැවත ලිච්ටෙන්ස්ටයින් රජ පවුලට ලබා දෙන්න ඉදිරිපත් වුණත්, ලිච්ටෙන්ස්ටයින්  රාජ්‍යය එම ගණුදෙනුව ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ඔවුන් චෙක් ජනරජය සහ ස්ලොවැකියාව ස්වාධීන ජාතීන් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කළා. මේ ප්‍රතික්ෂේප කිරීම ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය 2009 වර්ෂය තෙක් පවත්වා ගෙන ගියත්, රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් චෙක් ජනරජය සහ ස්ලොවැකියාවේ වැදගත්කම සළකා වත්මන් රජු, දෙවන හැන්ස්-ඇඩම් විසින් අත්පත් කරගත් වත්කම් සම්බන්ධයෙන් තවදුරටත් චෙක් ජනරජයට හා ස්ලොවැකියාවට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවට නිවේදනයක් නිකුත් කළා. අද එම රජයන් තුනම එකිනෙකා හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වමින් සිටිනවා.  

සොබා සුන්දරත්වයෙන් අනූන වූ රාජ්‍යයක් තමයි ලිච්ටෙන්ස්ටයින්/thecrazytourist.com

බදු සුරලොව

ව්‍යාපාර සහ ආයතනික බදු ඉතා අවම අනුපාතයකින් පවත්වා ගෙන යන රටක් නිසා එහි වෙසෙන ජනගහණයට වඩා දෙගුණයක්, එනම් සමාගම් 70,000ට වඩා වැඩි සංඛ්‍යාවක් ලිච්ටෙන්ස්ටයින් තුළ ලියාපදිංචි වී තිබෙනවා. භූ ගෝලීය වශයෙන් දුෂ්කර, සම්පත් සහ ශ්‍රම බලකායෙන් අවම රටක් වුවත්, ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය ලෝකයේ ධනවත්ම සහ ඉහළ ඒක පුද්ගල ආදායමක් සහිත රටක් වී තිබෙන්නේ මෙහි පවතින බදු නිදහස නිසා යි. ඒ අනුව බොහෝ ප්‍රකෝටිපතියන් බදුවලින් නිදහස්ව තම ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා ඇල්පයින් කඳුකරයට නතුවී තිබෙන ලිච්ටෙන්ස්ටයින්  කියන මේ කුඩා රාජ්‍යය දෙසට ඇදෙමින් සිටිනවා.

කෙසේ වෙතත්, විසිවන සියවසේ අගභාගයේ දී, ලිච්ටෙන්ස්ටයින් මුදල් විශුද්ධිකරණය සඳහා මධ්‍යස්ථානයක් බවට පත් වූ අතර, එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමය විසින් එල්ල කළ පීඩනය හමුවේ, මෙම රාජ්‍යයට 21 වන සියවසේ මුල් භාගය වනවිට බැංකු ක්ෂේත්‍රයේ කටයුතු සඳහා වඩා හොඳ අවධානය යොමු කරන්න සිදු වුණා.

කැමති නම් ඔබට මේ රට කුලියට ගන්නත් පුළුවන්

තම රාජ්‍යයට සංචාරක ආකර්ෂණය වැඩි කරගැනීමට 2011 දී ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය අපූරු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ අනුව ඇමරිකානු ඩොලර් හැත්තෑදහසක් වැනි මුදලකින් එක රැයකට මෙම රට කුලියට ගත හැකි පැකේජයක් සංචාරකයන් වෙත හඳුන්වා දීමට මෙම රාජ්‍යය ක්‍රියා කළා. ඔබ නිවසක් කුළියට ගෙන එය යම් කිසි කාල පරාසයක් තම බුක්තියට සවි කර ගන්නා සේ මෙම මුදල රජයට ගෙවීම මඟින් ඔබට අනෙකුත් සංචාරකයන්ට වඩා වැඩි වරප්‍රසාද කිහිපයක් ලබා දීමට රජය කටයුතු කරනවා. ඒ අනුව ඔබට අමුත්තන් 150ක් සඳහා නවාතැන් පහසුකම් ලබා දීමට අවසර ලැබීම, මාර්ග සලකුණු තම අභිමතය පරිදි වෙනස් කිරීමට ඉඩ දීම, දෙවන හැන්ස්-ඇඩම් කුමරු සමග වයින් වීදුරුවක් රස විඳීමට අවස්ථාව ලැබීම, ඔබේම කියා තාවකාලික මුදල් ඒකකයක් පිහිටිවා ගැනීමේ හැකියාව වැනි වරප්‍රසාද කිහිපයක් ඔබට ලැබෙනවා.

නමුත් කිසිවෙකු තවමත් ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය සමග මේ ගනුදෙනුව කර නොමැති බව සඳහන් වෙනවා. වරෙක ජනප්‍රිය රැප් ගායක ස්නූප් ඩෝග් මෙලෙස ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය කුලියට ගන්න උත්සහ කළත්, එරට ඔහුගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඔහු මෙම ගණුදෙනුව කිරීමට උනන්දු වූයේ තම ගීතයකට වීඩියෝවක් පටිගත කරගැනීමට අවස්ථාවක් උදා කර ගැනීම සඳහා යි.

ඉතින් ඔබත් මේ කුඩා කඳුකර රාජ්‍යය ගැන යමක් දන්නේ නම් සඳහන් කරගෙන යන්න පුළුවන්.

 

cover photo: propertylistings.ft.com/

මූලාශ්‍රයයන්: mentalfloss.com/

theguardian.com/

britannica.com/

Related Articles