මුහුදක් අසලකවත් නැති ලීච්ටන්ස්ටයින් රාජ්‍යයේ විශේෂතා

මුහුදක් අයිති නොමැති රටවල් එහෙම නැත්නම්, ලෑන්ඩ් ලෝක් රටවල් ගැන ඔබ අසා තිබෙන්න පුළුවන්. එවැනි රටවල්වලට මුහුදක් අයත් නොවන අතර වට වී තිබෙන්නේ අසල්වැසි රටවල්වලින් පමණ යි.

මුහුදක් නොමැතිව වෙනත් රටවල්වලින් පමණක් වට වී තිබෙන රටවල් 49ක් ලෝකය පුරා විසිරී තිබෙනවා. මෙවැනි රටවල් ආනයන, අපනයන  ක්‍රියාවලියේ දී දැඩි අපහසුතාවලට ලක් වෙන්නේ ඔවුන් සතුව වරායන් නොමැතිකම හේතුවෙන්. රට කුමන පැත්තකින් හෝ මුහුදට නිරාවරණය නොවීම රට තුළ ආර්ථිකය දුර්වල කිරීමට බලපාන එක් සාධකයක්. එවැනි බොහෝ රටවල්වල ආර්ථිකය එතරම් යහපත් නෑ.

යම් රටක් වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ තවත් රටවල් කිහිපයකින්නම් එවැනි රටවල් හඳුන්වන්නේ ඩබල් ලෑන්ඩ් ලෝක්ඩ් රටවල් ලෙස යි. එවැනි රටවල් දෙකක් ලෝකයේ පිහිටා තිබෙන අතර, ඒවා මධ්‍යම යුරෝපයේ පිහිටි ලීච්ටන්ස්ටයින් හා ආසියානු කලාපයේ පිහිටි උස්බෙකිස්තානය ලෙස නම් කළ හැකියි.

රටවල්වලින් වට වීම ආර්ථිකය කඩා වැටීමට බලපාන හේතුවක් වුව ද, ලීච්ටන්ස්ටයින් යන රට එම කරුණු මුසාවක් බවට පත් කරමින් දළ දේශීය නිෂ්පාදිතය අතින් මෙන්ම පුද්ගල රැකියා නියුක්තික ප්‍රතිශතය ද ඉහළ මට්ටමක පවතින ප්‍රමුඛ පෙළෙහි රටක් ලෙස හඳුන්වා දිය හැකියි. ඉතින් අද ලිපිය ලීච්ටන්ස්ටයින්  පිළිබඳව යි.

ලීච්ටන්ස්ටයින්හි පිහිටීම

ලීච්ටන්ස්ටයින්හි පිහිටීම (Mapsland)

මධ්‍යම යුරෝපීය රටක් වන ලීච්ටන්ස්ටයින් බටහිරෙන් හා දකුණෙන් සීමා වී තිබෙන්නේ ස්විස්ටර්ලන්තයට යි. ස්විස්ටර්ලන්තයට ද මුහුදක් නොමැති අතර වට වී තිබෙන්නේ රටවල් කිහිපයකින් ය. ලීච්ටන්ස්ටයින්හි නැගෙනහිර හා උතුරු දේශ සීමා අවසන් වන්නේ ඔස්ට්‍රියාවෙන්. ඔස්ට්‍රියාව ද  ගොඩබිමෙන් පමණක් වට වූ රාජ්‍යක් ලෙස නම් කළ හැකියි. මේ පිහිටීම හේතුවෙන් වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ ගොඩබිමෙන් පමණක් හෙවත් ඩබල් ලෑන්ඩ් ලෝක්ඩ් රටක් ලෙස ලීච්ටන්ස්ටයින් හඳුන්වනු ලබනවා.

ව. කි. මී. 160ක වැනි කුඩා ඉඩ ප්‍රමාණයක් මෙම රටට අයත් වන අතර, ලෝකයේ කුඩාම රටවල් අතරින් හය වන ස්ථානය ද, යුරෝපයේ පිහිටි කුඩාම රටවල් අතරින් හතරවන ස්ථානය ද හිමිකරගෙන සිටිනවා.

38,000කට ආසන්න කුඩා ජනගහනයකින් යුක්ත මෙම රට පාලනය සඳහා කොටස් 11කට බෙදා වෙන්කර තිබෙනවා. ප්‍රධාන නගරය ලෙස හඳුන්වන්නේ ෆදුට්ස්.

ඉතිහාසය

ධජය (Wikipedia)

ලීච්ටන්ස්ටයින්වලට 1719 වසරේ දී රෝමානු අධිරාජ්‍යාගෙන් අර්ධ නිදහසක් හිමිවෙන අතර එය සම්පූර්ණ නිදහස් රටක් බවට පත්වන්නේ 1866 වසරේ දී යි. පළමු ලෝක යුද්ධයේ දී ඔස්ට්‍රියා අධිරාජ්‍යයා විසින් මෙම රට තම පාලනයට නතු කරගන්නවා.

නැවතත් 1929 වසරේ දී ලීච්ටන්ස්ටයින් රාජ වංශිකයෙක් රජු බවට පත්වෙන අතර දෙවන ලෝක යුද්ධයේ දී කිසිඳු පාර්ශවයකට සහය නොදක්වන රටක් ලෙස කටයුතු කරනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ද රාජාණ්ඩුවක් ක්‍රියාත්මක වන අතර, වර්තමානය වන විට ද රටේ පාලනය හා තීරණ ගැනීම සම්බන්ධයෙන් යම් බලතල රජ පවුල සතුව පවතිනවා.

ආර්ථිකය

සංචාරක ආකර්ෂණය ඉහළ නගරයක දර්ශනයක් (CareerAddict)

විශේෂත්වයක් ලෙස රටේ ජනගහනයට වඩා ලියාපදිංචි කළ වෙළඳ ආයතන ප්‍රමාණය වැඩි අගයක් ගැනීම සඳහන් කළ හැකියි. වර්තමානය වන විට එහි විරැකියා ප්‍රතිශතය 1.9%ක තරම් ඉතා කුඩා අගයක් ගන්නවා. තව ද ඔවුන් අඩුම විරැකියා ප්‍රතිශතය සහිත රටවල් අතරෙන් 12 වන ස්ථානය හිමිකරගෙන සිටිනවා. අදායම් බදු අය කිරීමේ ප්‍රතිශතය ඉතා අඩු අගයක් ගන්නා අතර මහජනයාට හිතවත් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සිදුවෙනවා.

2014 වසරේ එළිදැක්වුණු CIA World Factbook වාර්තාවට අනුව ඒක පුද්ගල අදායම අතුරෙන් ලෝකයේ මුල් පෙළෙහි සිටින රටක් ලෙස ලීච්ටන්ස්ටයින් නම් කර තිබෙනවා. ප්‍රධාන කාර්මික නිෂ්පාදන වන්නේ ලෝහ නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ, නැංගුරම්, හා කැල්කියුලේටර යි. ඊට අමතරව බෙහෙත් ද්‍රව්‍ය නිෂ්පාදනය, ඇඟලුම් නිෂ්පාදන, හා ආහාර නිෂ්පාදනය තුළින් ද විදේශ විනිමය ලබා ගැනීමට ඔවුන් විසින් කටයුතු කරනවා. තව ද ලෝකයේ විශාල සමාගමක් වන හිල්ටි බහුජාතික සමාගම මෙහි පිහිටා තිබීම ආර්ථික දියුණුවට බලපෑ එක් සාධකයක් ලෙස සඳහන්.

ජාතික ආරක්ෂාව

ඉපැරණි රජ මාළිගා (Wikipedia)

ලීච්ටන්ස්ටයින් ජාතික පොලිස් සේවය සඳහා නිලධාරීන් 87 දෙනෙකුගෙන් හා සිවිල් වැසියන් 38 දෙනෙකුගෙන් සමන්විත බලකායක් සිටින අතර මුළු රටේම පොලිස් බලකායේ එකතුව 125ක් පමණ වෙනවා. මිනීමැරුම් හා අපරාධ ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉතා අඩු බැවින් පොලිස් සේවාව සඳහා එතරම් පිරිසක් අවශ්‍ය නොවන බව වර්තමානයේ එරට අගමැතිවරයා වන එයිද්‍රියන් හසලර් පවසනවා.

ලෝකයේ හමුදාවක් නොමැති රටවල් අතරට ලීච්ටන්ස්ටයින් අයත් වන අතර, 1866 වසරට ප්‍රථම සොල්දාදුවන් 80කගෙන් සමන්විත යුධ හමුදාවක් මෙහි ස්ථාපිතව තිබී තිබෙනවා.

2007 මාර්තු මාසයේ දී යුධ සන්නද්ධ ස්විස්ටර්ලන්ත හමුදා භටයන් 170 දෙනෙකු පමණ ස්විස්ටර්ලන්ත දේශ සීමාව හරහා කි. මි. 1.5ක පමණ ප්‍රදේශයක් ආක්‍රමණය කරමින් ලීච්ටන්ස්ටයින් වෙත ඒමට පටන් ගත් නමුත්, පැය කිහිපයකට අනතුරුව ලීච්ටන්ස්ටයින් රජය මේ බව ස්විස් රජයට දැනුම්දීමෙන් පසු එම ආක්‍රමණය වහා ආපසු හැරවීමට ඔවුන් විසින් කටයුතු කරනවා.

තව ද මේ සම්බන්ධයෙන් ස්විස් රජය, ලීච්ටන්ස්ටයින්  රජයෙන් සමාව ඉල්ලා සිටිනවා.

ලීච්ටන්ස්ටයින්හි විශේෂතා

පොලීසිය (Fürstentum Liechtenstein)

අපරාධ හා මිනීමැරුම් අඩු රටවල් අතරට මෙම රට ද ඇතුළත් වෙනවා. එහි අවසන් මනුෂ්‍ය ඝාතනය වාර්තා වෙන්නේ 1997 වසරේ දී යි. තව ද සිර කඳවුරුවල දිවි ගෙවන පිරිස ඉතා අඩු අගයක් ගන්නවා.

ලෝකය තුළ භාවිතා වෙන බොරු දත් කුට්ටම්වලින් 20%ක් සපයනු ලබන්නේ ලීච්ටන්ස්ටයින්හි කර්මාන්තශාලා විසින්. තව ද බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය සමග මෙම කර්මාන්තශාලා බොරු දත් වෙළඳාම පිළිබඳව සම්බන්ධතා පවත්වනු ලබනවා.

මුළු රටේම වැසියන්ව වසරේ එක දිනයක රජ මාළිගයට කැඳවන අතර එම දිනය පුරා මුළු රජ මාළිගාවම උත්සවශ්‍රීයෙන් ඇලළී යාම ද මෙරට දකින්න පුළුවන් තවත් විශේෂ ලක්ෂණයක්.

වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ තවත් රටවල් කිහිපයකින් වූවත්, එය බාධාවක් නොකරගෙන ඉතා ඉහළ ආර්ථිකයකට හිමිකම් කියන කුඩා ලීච්ටන්ස්ටයින් රාජ්‍යය ලෝකයේ අනෙකුත් රටවලට මනා ආදර්ශයක්.

කවරයේ ඡායාරූපය – රජ මාළිගය (Happy to Wander)

Related Articles