Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තුන් බියක් මැද ජීවිතය යදින ඇෆ්ගනිස්තාන මිනිස්සු

 ඇෆ්ගනිස්තානය එතුළ ලෝකයේ දරුණුත ම මානුෂීය අර්බුදය හට ගැනීමේ අවදානම අද්දර ම සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එලෙස අනතුරු හැඟවීමක් නිකුත් කොට තිබෙන්නේ ඇෆ්ගනිස්තානය තුළ පවතින ත්‍රස්තවාදී අර්බුද නිසා පමණක් ම නොවේ. පසුගිය දශකයට සාපේක්ෂ ව ඇෆ්ගනිස්තානය ඉතා දරුණු ආර්ථික කඩා වැටීමකට ලක් වෙමින් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එළඹෙන ශීත සෘතුවේ දී ඇෆ්ගනිස්තානය විශාල ආහාර අර්බුදයකට ලක් වනු ඇති.

 මෙම තත්ත්වය යන්තමින් හෝ කළමනාකරණය කිරීමේ හැකියාවක් තලිබාන් පාලනය සතු ව නැති බව යි පෙනෙන්නට තිබෙන්නේ. උදාහරණයක් ලෙස මෑතක දී කුසගින්න බලවත් වීමෙන් මිය ගිය, මාපියන් අහිමි දරුවන් අට දෙනකුගේ සිරුරු බටහිර කාබුල් ප්‍රදේශයෙන් සොයා ගෙන තිබුණා.

ඇෆ්ගනිස්තානයේ ළඟ එන ශීත සෘතුව තුළ බරපතල ආහාර අර්බුදයකට මුහුණ පාන්න නියමිත යි –  www.statista.com 

මිය ගොස් සිටි දරුවන් අට දෙනා ම වයස අවුරුදු 10 ට අඩු බවත් වාර්තා වෙනවා. මව්පියන් මිය ගිය පසු කිසිවකුගේ පිළිසරණක් ඔවුන්ට ලැබී තිබුණේ නැහැ. ඉදිරි ශීත සෘතුව තුළ ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් අඩකටත් වඩා ආහාර හිඟයකට මුහුණ පෑමේ අවදානමක් තිබෙන හෙයින්, ඉදිරියේ දී මෙවැනි ශෝකජනක පුවත් වැඩි වැඩියෙන් වාර්තා වීමට ඉඩක් තිබෙන බව වාර්තා පවසනවා. 

බිළිඳකු විකිණූ මාපියෝ

 තවත් සිදුවීමකට අනුව එක්තරා යුවළක් තම බිළිඳිය ඩොලර් 500 ක් වැනි මුදලකට විකුණා ඇත්තේ පවුලේ සෙසු සාමාජිකයන් හාමතේ මිය යෑමෙන් වලක්වා ගැනීම පිණිස යි. බිළිඳිය මුදලට ගත් පුද්ගලයා එවැනි ක්‍රියාවකට යොමු ව ඇත්තේ තම පුත්‍රයා වෙනුවෙන්. සුදුසු කාලය පැමිණි වහාම මිලට ගත් ගැහැනු ළමයා තම පුත්‍රයාට විවාහ කර දීම ඔහුගේ අරමුණ වුණා. මෙතැන සුදුසු කාලය යනුවෙන් අදහස් කරන්නේ විවාහ වීමට “සුදුසු වයස” නම් නොවෙයි. බාල වයසේ දී ම සිදු කරන විවාහ ඇෆ්ගනිස්තානය තුළ ප්‍රචලිත හෙයින්, මෙවැනි ගනුදෙනු කුසගින්න වෙනුවෙන් දැන් දැන් එරට තුළ වැඩි වශයෙන් සිදු වෙනවා.

දුක් විඳින දරුවන් දෙස බලා සිටිනවා හැර මාපියන්ට වෙනත් විකල්පයක් නැහැ – www.nbcnews.com 

“මගේ අනෙක් දරුවන් කුසගින්නෙන් මිය යමින් සිටින නිසා දියණිය විකිණීමට සිදු වුණා. මට දුක් නොවී ඉන්න බැහැ. ඒ මගේ දරුවා!”

විකිණූ දැරියගේ මව ශෝකයෙන් භරිත ව, බීබීසි ප්‍රවෘත්ති කණ්ඩායම හමුවේ එසේ පවසා තිබුණා.

 “අපිට බඩගිනි යි. දැන් අපේ ගෙදර පිටි, තෙල්, මේ කිසිවක් නැහැ. මං දන්නේ නැහැ දුවගේ අනාගතය කොහොම වේවි ද කියලා. ඇයට ඒ ගැන කොයි විදිහට දැනේවිද කියලා මං දන්නේ නැහැ. ඒත් මට මෙහෙම කරන්න සිදු වුණා.”

දැරියගේ පියා කසළ එකතු කරන්නකු ලෙස සේවය කළ අයෙක්. නමුත්, දැන් ඔහුට කිසිදු ආදායම් මාර්ගයක් නැහැ.

මේ සියල්ල හුදෙකලා සිදුවීම් වුවත්, ඇෆ්ගනිස්තානයේ වර්ධනය වන ආහාර අර්බුදයේ තරම ගැන සංවේදනයක් ලබා ගැනීමට ඔවුන්ගේ ජන ජීවිතය හරහා යෑමට සිදු වෙනවා. ආර්ථික පරාමිතීන් සැලකීමෙන් පමණක් ඒ සංවේදනය ලබා ගැනීම උගහට ‍යි.

ඒ පුවතට අදාළ පහත වීඩියෝවත් නරඹන්න.

ආධාර අහිමි ඇෆ්ගනිස්තානය

 නියඟය, යුද්ධය සහ දරිද්‍රතාව හමුවේ දිගු කාලීන අර්බුදයකට මුහුණ දෙමින් සිටියත්, 2001 අග භාගයේ දී සිදු වූ අමෙරිකානු හමුදා ආක්‍රමණයෙන් පසු ඇෆ්ගනිස්තානු රජයට මානුෂීය ආධාර ‍යම් මට්ටමකින් ලැබුණා. 2021 අගභාගය දක්වා එරට ආර්ථිකය 2001 ට කලින් තිබූ තත්ත්වයට සාපේක්ෂ ව තරමක යහපත් මට්ටමකින් පවත්වා ගෙන යෑමටත් හැකි වුණා.

පසුගිය අගෝස්තුවේ දී, තලිබාන්වරුන් නැවත බලය අත්පත් කර ගැනීමත් සමඟ ඇෆ්ගනිස්තානයට ලැබෙන ජාත්‍යන්තර ආධාර අත් හිටැවුණා. තලිබාන්වරුන්ගේ අමනෝඥ ක්‍රියා සහ නීති හමුවේ ජනතාවගේ ආදායම් මාර්ග ඇහිරී යාමත් සමඟ සුවිශාල ආර්ථික පීඩනයක් ඉතා කෙටි කලකින් ඇෆ්ගනිස්තානය තුළ නිර්මාණය වුණා.

දෛනික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ඇෆ්ගන් වැසියන් තම ගෘහ භාණ්ඩ පවා විකිණීමට පෙලඹෙනවා – www.theguardian.com 

 ලෝක ආහාර වැඩසටහන ඇස්තමේන්තු කර ඇති පරිදි මිලියන 39 ක් වූ ඇෆ්ගනිස්තාන ජනගහනයෙන් මිලියන 23 කට ආසන්න පිරිසකට ප්‍රමාණවත් ආහාර සඳහා නිතිපතා ප්‍රවේශ වීමට නොහැකි තත්ත්වයක් උද්ගත ව තිබෙනවා. මාස දෙකකට පෙර එම අගය දැක්වුණේ මිලියන 14 ක් ලෙසට යි.

 “මිනිස්සු හාමත් වෙන්නෙයි යන්නේ. කුඩා දරුවෝ අකාලයේ මියැදේවි. තත්ත්වය එන්න එන්න ම නරක අතට හැරෙනවා. කඩා වැටුණු ආර්ථිකය සහ අරමුදල් නොමැතිකමින් මිලියන ගණනක ජනතාවක් මරණයට පත් වන වේගය සහ විශේෂයෙන්ම දරුවන්ට අත්වන ඉරණම ගැන මට අදහසක් නැහැ.”

 ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂ ඩේවිඩ් බීස්ලි, තත්ත්වයේ බරපතලකම ගැන අදහස් දක්වා තිබුණා.

ආහාර මිල ශීඝ්‍රයෙන් ඉහළට

 තලිබාන්වරුන් රටේ පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු දින ගණනාවක් බැංකු වසා දමා තිබූ අතර, විවෘත කිරීමෙන් පසු බැංකු පද්ධතියට මුදල් වෙත ප්‍රවේශ වීමේ දුෂ්කරතා මතු වුණා. ජීවිතාරක්ෂාව පතා බොහෝ ව්‍යාපාරිකයන් රටෙන් පලා ගොස් තිබෙනවා. රැකියා කළ බොහෝ දෙනකුට මාස ගණනකින් වැටුප් පවා ලැබී නැහැ. ආදායම් මාර්ග මෙලෙස එකින් එක අඩපණ වන අතරතුර වෙළඳපොළේ මුදල් නොමැති කමින් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල තියුණු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගෙන් ඇෆ්ගනිස්තානයේ රෝහල් පිරී ගොස් තිබෙනවා – www.nbcnews.com

තලිබාන්වරුන් ඇෆ්ගන් කාන්තාවන්ට පැනවූ දැඩි වාරණ හමුවේ ඔවුන්ට ගෙවල් වලට ම කොටු වීමට සිදු වුණා. පසුගිය දශකය තුළ ඇෆ්ගන් කාන්තාවන් විවිධ ක්ෂේත්‍රයන් හි රැකියාවල නියැළෙමින් ඇෆ්ගනිස්තාන ආර්ථිකය ශක්තිමත් කළා. ඔවුන් ගෙන් යැපුණු පවුල් සංඛ්‍යාවත් අති විශාල යි.  

 විදේශ රටවලින් සහ නියෝජිතායතන හරහා ලැබෙන ආධාර මුදල් ප්‍රවාහය අඩාල වී ඇති හෙයින්, සංවර්ධන ව්‍යාපෘතිවල සේවය කළ මිනිසුන්ටත් රැකියා අහිමි වී තිබෙනවා. ඇෆ්ගනිස්තානයට ආධාර ලබා දීමට ඇතැම් රාජ්‍ය සහ සංවිධාන කැමති වුණත්, තලිබාන් පාලනය රජයක් ලෙස පිළි නොගෙන දුක් විඳින ඇෆ්ගන් ජනයා වෙත ළඟා විය නොහැකි යි. ඒ අනුව ගෝලීය ප්‍රජාව ඇෆ්ගනිස්තානය හමුවේ තීරණාත්මක එකඟතාවකට ඉක්මනින්ම පැමිණිය යුතු යි. නැතහොත්, විශාල මනුෂ්‍ය ජීවිත සංඛ්‍යාවක් විනාශය අබිමුවට පැමිණේ වි.

විශාල කාලගුණික විපර්යාසයක්

අල් ජසීරා මාධ්‍ය ආයතනය වාර්තා කරන අන්දමට ඇෆ්ගනිස්තානය විශාල කාලගුණික විපර්යාසයකටත් මුහුණ දෙමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ නියඟයෙන් ඇෆ්ගන් ගොවියන් අන්ත අසරණ වී අවසාන යි. ඇෆ්ගනිතානයේ යුද තත්ත්වයට වඩා මෙය භයානක බව අල් ජසීරා පෙන්වා දෙනවා. රට තුළ සිදු කරන කෘෂි නිෂ්පාදන හරහා තරමකින් හෝ ආහාර අර්බුදයට සහනයක් ලබා දිය හැකි අවස්ථාවත් අහිමි වීම එයට හේතුව යි.

නියඟයෙන් ඇෆ්ගන් ගොවියන් අන්ත අසරණ වී අවසාන යි – www.aljazeera.com

 පසුගිය මාස කිහිපය තුළ ඇති වූ දරුණු ගැටුම් හේතුවෙන් බොහෝ මිනිසුන්ට නිවාස අහිමි වුණා. විශේෂයෙන්ම කාබුල්වල සිය ගණනක් මිනිසුන් තවමත් ජීවත් වන්නේ එළිමහන් ස්ථානවල ගොඩනැඟූ තාවකාලික කූඩාරම්වල යි. ඉදිරි දිනවල එළඹීමට නියමිත ශීත සෘතුවේ කටුක බව ඔවුන් කෙලෙස දරා ගනීවිදැ යි කිව නොහැකි යි. හාමත් වෙමින් සිටින ඔවුන්ට ශීතල පරිසරය හමුවේ දිවි රැක ගැනීම විශාල අරගලයක් බවට පත් වේවි.

හාමත් වෙනවා ද? සංක්‍රමණය වෙනවා ද?

 ඉදිරි මාස කිහිපය තුළ මිලියන ගණනක ඇෆ්ගනිස්තාන වැසියන්ට සාගින්න සහ සංක්‍රමණය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වන බව ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා පවසනවා. තලිබාන්වරුන්ගේ දුෂ්කර නීති සහ ගැටුම්වලට බියෙන් සාමය සොයා පලා ගිය ඇෆ්ගන් මිනිසුන්ට දැන් ආහාර වෙනුවෙන් සිය මව්බිම අත් හරින්නට සිදු වෙලා.

තම බැංකු ගිණුමෙන් මුදල් ලබා ගැනීමට පෝලිම් සෑදී සිටින ඇෆ්ගන් මිනිසුන්. තලිබාන්වරු මුදල් ආපසු ගැනීම සීමා කර තිබෙනවා – www.hrw.org 

 තලිබාන්වරුන් බලයට පැමිණීමට පෙර ඇෆ්ගනිස්තානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 40% ක් ම විදේශ ආධාර යි. ඒ සියල්ල ම දැන් නැවතී ඇති අතර, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ණය දෙන්නන් පවා ඇෆ්ගනිස්තානයට මුදල් නිකුත් කිරීම නවතා තිබෙනවා. මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක ගලනය හදිසියේ ම ඇණ හිටීම ගැන සංවේදිතාවක් හෝ අවබෝධයකින් සිටින බවක් තලිබාන් පාලනය තුළින් දකින්න ලැබෙන්නේ නැහැ.

අපේ මුදල් නිදහස් කරනු!

 පසුගිය සැප්තැම්බරයේ දී ඇෆ්ගනිස්තානයට සහාය දැක්වීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් වෙන් කිරීමට ජිනීවා නගරයේ පැවති ජාත්‍යන්තර සමුළුවක් අතරතුර එකඟතාවකට පැමිණියා. එයින් තුනෙන් එකක මුදල් ප්‍රමාණයක් ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක ලෝක ආහාර වැඩසටහනේ ක්‍රියාකාරකම් සඳහා ලබා දීමටත් තීරණය වුණා. නමුත්, මෙම මුදල් ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. ලෝක ආහාර වැඩසටහන ඇස්තමේන්තු ගත කර ඇති අන්දමට ශීත සෘතුව තුළ පමණක් ඇෆ්ගන් ජනයාට ආහාර සැපයීම සඳහා මසකට අවශ්‍ය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 220 ක් පමණ වෙනවා.

අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් අයගෙන් ළමයින් ප්‍රමුඛ යි –  www.bbc.com 

වර්ධනය වෙමින් පවතින ව්‍යසනයට ජෝ බයිඩන්ගේ පරිපාලනය වග කිව යුතු බව තලිබාන්වරුන් චෝදනා කරනවා. එක්සත් ජනපදය හරහා ඇෆ්ගන් රජයට පැමිණිය යුතු ඩොලර් බිලියන නවයක වත්කම් අත් හිටුවීම එයට හේතුව යි. ඕනෑම අනාගත මූල්‍යාධාරයක් රඳා පවතින්නේ තලිබාන්වරුන් මධ්‍යස්ථ ලෙස තම පාලනය ගෙන ගියහොත් පමණක් බව ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. අනෙකුත් බටහිර නායකයන් දරන්නේත් එවැනි ම අදහසක්. 

ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වී

 ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වී ඇති නිසා ඔවුන්ගේ මුදල් සංචිත අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් තලිබාන් පාලනය  ජනයාට බැංකුවලින් මුදල් ආපසු ගැනීම පවා සීමා කළා. බොහෝ ඇෆ්ගනිස්තානුවන්ට තමාගේ ඉතුරුම් සඳහා ප්‍රවේශ වීමට හැකියාවක් නැහැ. වෘත්තිකයන්ට වැටුප් ගෙවීමත් මේ හේතුවෙන් අඩාල වී තිබෙනවා.

 “මිලියන ගණනක් ළමයින් මිය යාවි කියලා ඔවුන් කියනවා. එහෙම කියන අතරේ අමෙරිකාව අපේ මුදල් නොදී නවත්ත ගෙනත් ඉන්නවා! එක්සත් ජනපදය වහාම අපගේ මුදල් නිදහස් කළ යුතු යි. එවිට දරුවන් බේර ගන්න අපිට පුළුවන්. “

තලිබාන් පාලනයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ්, චෝදනාත්මක ස්වරූපයෙන්  පවසා තිබුණා.

කාබුල් නගරයේ කාන්තාවක් අසරණභාවයට පත් වූ පිරිසකට ආහාර බෙදා දෙමින් – edition.cnn.com 

කෑමට කිසිවක් නැත!

 ඔර්ලයිත් මිනොග් යනු පුණ්‍යායතනයකට සම්බන්ධ වී සේවය කරන උපදේශකවරියක්. ඇෆ්ගන් දරුවන් සමඟ සමීප ව කටයුතු කරන තැනැත්තියක් ලෙස ළඟ එන අර්බුදයේ තරම ගැන ඇය මනා අවබෝධයකින් සිටිනවා.

 “තත්ත්වය මංමුළා සහගත යි. කෑමට පාන් කැබලි හැර වෙන කිසිවක් නැහැ. දරුණු මන්දපෝෂණයෙන් අන්ත අසරණ වූ දරුවන් නිතර අපේ සායනවලට පැමිණෙනවා.”

 ඔර්ලයිත් මිනොග්ට අනුව ඇෆ්ගන් දරුවන්ගේ වේදනාවට කෙළවරක් නැහැ. ළඟ එන ශීත සෘතුව හමුවේ ළමයින්ගේ තත්ත්වය ගැන ඇය බෙහෙවින් කනගාටු වෙනවා. මන්දපෝෂණයෙන් පීඩිත තම දරුවන් දෙස මව්වරුන් බලා සිටින්නේ හැඬූ කඳුළින්. ඔවුන්ට වෙනත් කිසිම විකල්පයක් නැහැ. ඔවුන්ගේ තත්ත්වය කාන්තාරයක මංමුළා වූ මිනිසකු හා සමාන යි. 

“කිසිම ආහාරයක් හොයා ගන්න නැහැ. ලබා ගන්න හැකි වුණත්, ඒවා අලෙවි වන්නේ දැරිය හැකි මිලකට නොවෙයි. ගිය අවුරුද්දෙ නම් මට වැටුප් ලැබුණා. හිඟ වැටුප් එනකම් මං තාමත් බලාගෙන ඉන්නවා. මට මගේ ළමයින්ට කන්න දෙන්න විදිහක් නැහැ”

 එක්තරා සිවිල් වැසියෙක් BBC මාධ්‍යය හමුවේ තම දුක් ගැනවිල්ල දිග හැරියේ එලෙස යි.

ඇෆ්ගනිස්තානයේ වර්තමාන තත්ත්වය මෙබඳු යි. එහි මිනිසුන්ගේ අනාගතයේ දිශානතිය යොමු ව ඇත්තේ කුමන අන්දමේ ඉරණමකටදැ යි  ඔවුන් අදහන දෙවියන්වත් නොදන්නවා ඇති.

බොහෝ මිනිසුන් තවමත් ජීවත් වන්නේ තාවකාලික කූඩාරම් තුළ යි. ශීත සෘතුව ඔවුන්ට වඩාත් කුරිරු විය හැකි යි – nymag.com 

කවරයේ ඡායාරූපය: කන්දහාර් ප්‍රදේශයේ ලෝක ආහාර වැඩසටහන මඟින් බෙදා දුන් ධාන්‍ය තොග රැගෙන යමින්.  news.cgtn.com

මූලාශ්‍ර:

www.bbc.com

www.telegraph.co.uk

www.theweek.co.uk

www.statista.com

www.aljazeera.com 

Related Articles