Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්කොට් විල් තෙර කැලඹු දිය රකුසා

අපි පුංචි කාලෙ හරි ආසයිනෙ සුරංගනා කතා කියවන්න. රාක්ෂයො, මකරු, පියාඹන අශ්වයො, කතා කරන සර්පයො, දිය කිඳුරියො වගේ සැබෑ ලෝකෙ දකින්න නොලැබෙන නුහුරු නුපුරුදු  අමුතු සත්තු පිරුණු කතන්දර එකක් දෙකක් හරි ඔබට මතක ඇති.

(www.inspiringwallpapers.net)

මේ එක එක විදියේ අමුතු යාළුවො අතරෙ, අහලා තියෙනවද ලොක් නෙස් කියලා දිය රාක්ෂයෙක් (Loch Ness Monster) ගැන? මෙයා ඉන්නෙ ස්කොට්ලන්තෙ කියලා තමයි ආරංචිය. අවුරුදු 1500කටත් වඩා පැරණි අතීත කතා වලට අනුව මේ අමුතු සත්ත්වයා ඉන්නෙ වතුරෙ. අපි බලමු මේ යාළුවාගේ තවත් විස්තර ටිකක්.

පුරාණ කතා

ස්කොට්ලන්තයේ පිහිටි ලොක් නෙස් (www.meros.org)

මුලින්ම සඳහන් කළ විදියට Loch Ness Monster ගැන තොරතුරු ලැබිලා තියෙන්නෙ ස්කොට්ලන්තයේදියි. ලොක් නෙස් කියන්නෙ ස්කොට්ලන්තයේ පිහිටා තිබෙන විශාල, ගැඹුරු විලක්. මේ විලේ තමයි ලොක් නෙස් රාක්ෂයා ඉන්නෙ.

උතුරු ස්කොට්ලන්තයට එන පළමු රෝමානුවො පිරිස ඉස්සෙල්ලාම දකින්නෙ මුළු ශරීරයෙම පච්ච කොටාගත්ත ගෝත්‍රිකයො පිරිසක්. පික්ට් (Picts) ලෙස හඳුන්වපු මේ ගෝත්‍රික පිරිස සත්ත්ව රූප ඇඟපුරා ඇඳගන්න මහත් කැමැත්තක් දැක්වූවා. මේ අතර කෙණ්ඩියක හැඩැති දිගු ගෙලක් සහිත, පාද වෙනුවට අවල් පත් ඇති අසාමාන්‍ය රූපයක් ඇති සතෙකුත් හිටියා. සමහරෙක් මේ සතාව පිහිනන අලියෙකු ලෙස නම් කළා.

ලොක් නෙස් දිය රකුසා (www.pinterest.com)

ජනකතා වලට අනුව කුඩා ඇළ මාර්ග වල ඉඳන් මහා විශාල විල් දක්වා හැම ජල ප්‍රභවයකම ජලයට අධිපති අශ්ව වෙස් ගත් සතුන් ඉන්න බව කියනවා. මේ අරුම පුදුම අශ්වයින් තමන්ගෙ අඳුරු මායා බල පාවිච්චි කරලා පුංචි ළමයින්ව වතුරට ආකර්ශනය කරගෙන මරණයට පත් කරනවා කියලයි ප්‍රබන්ධ වල සඳහන් වෙන්නෙ.

ලිඛිත සටහන්

කොලම්බා ඉසිවරයා ලොක් නෙස් රකුසාගෙන් මිනිසුන් ගලවා ගත් අවස්ථාව. (wheremonstersdwell.com)

මුලින්ම ලොක් නෙස් රාක්ෂයා ගැන ලිබිත මූලාශ්‍රයක් ලැබෙන්නෙ ක්‍රිස්තු වර්ෂ 565දියි. ස්කොට්ලන්තයට ක්‍රිස්තියානි ආගම හඳුන්වා දුන්නා යැයි සැලකෙන කොලම්බා නම් ඉසිවරයා පෙර සඳහන් කල පික්ට් ගෝත්‍රිකයන් බැහැදැකීමට යන අතරමඟදී ලොක් නෙස් රාක්ෂයා දැකලා තියෙනවා. විලේ පිහිනමින් හිටපු මනුස්සයෙක් රාක්ෂයාට අහුවෙලා බේරෙන්න බැරුව ඉන්න වෙලාවේ කොලම්බා ඉසිවරයා දෙවියන් ගේ බලය සත්‍යය නම් මෙහි ආ වේගයෙන්ම ආ දිශාවකට නැවත යන ලෙස විධාන කළාට පස්සෙයි මේ දරුණු සතා එතනින් ගිහින් තියෙන්නෙ.

20 වන සියවසේ අළුත් කතාව

1933දි ලොක් නෙස් ඉවුර දිගේ අළුත් මාර්ගයක් හැදීම ආරම්භ වෙනවා. අප්‍රේල් මාසේ දවසක හවස් වරුවේ විවාහක යුවළක් මේ අසළින් නිවසට යමින් හිටියා. එක්වරම ඔවුන් දැක්කා දැවැන්ත සතෙක් ජලයේ පිහිනමින්, ගිලෙමින් ඉන්නවා.

මේ සිදුවීමෙන් දින කීපයකට පස්සෙ විල අසළ සිව්පාවෙකුගේ විශාල පා සටහන් දකින්න ලැබිලා තියෙනවා. බැලූ බැල්මට මේක හිතින් මවාගත්තු මනස්ගාතයක් වගේ පෙනුණට දවසින් දවස ලොක් නෙස් රාක්ෂයා ඇසින් දුටු සාක්ෂිකරුවන් වැඩි වෙනවා. දැනට 4000ක පමණ පිරිසක් තමන් මේ අද්භූත සත්ත්වයා දුටු බවට වාර්තා කරලා තියෙනවා. මේ පිරිස අතර නීතිවේදීන්, පූජකයන්, විද්‍යාඥයන්, පාසැල් ගුරුවරු, පොලිස් නිලධාරීන්, ධීවරයින් වගේම නොබෙල් සම්මානලාභියෙකුත් ඉන්නවා.

ආන්දෝලනාත්මක ඡායාරූපයක්

1934දි ඩේලිමේල්හි පලවූ ඡායාරූපය (wallpapercave.com)

1934දි ජලයෙන් උඩට මතුව තිබෙන දිගටි ගෙලක් සහිත සත්ත්ව රුවක ඡායාරූපයක් ලන්ඩන් ඩේලිමේල් පුවත්පතේ පල වීමත් එක්කම ලොක් නෙස් රාක්ෂයා ලෙස හඳුන්වන සත්ත්වයා ඇත්තටම ජීවත් වන බව බොහෝ අය විශ්වාස කරන්න පටන් ගත්තා. මේ රූපය ඩේලිමේල් වෙත ලබා දීලා තියෙන්නෙ ලන්ඩනයේ ජීවත් වන වෛද්‍ය කෙනත් විල්සන් විසින්. නමුත් මෙය සත්‍ය ඡායාරූපයක් නොවන බවත් ලොක් නෙස් සත්ත්වයාගේ අනුරුවක් භාවිතයෙන් ලබා ගත්තක් බවත් 1994දි තහවුරු වුණා.

එක පොතකින් ලොකු වෙනසක්

කොන්ස්ටන්ස් වයිට් විසින් රචිත “More Than a Legend” කෘතිය. (www.abebooks.co.uk)

1950දි කොන්ස්ටන්ස් වයිට් නම් ස්කොට් ජාතික වෛද්‍යරිය මේ සම්බන්ධ ඇසින් දුටු සාක්ෂි වල වාර්තා එකතු කිරීම අරඹනවා. ඉන්පසුව ඇය 1957දි ඒවායේ කියවෙන විස්තර වලට අදාල රූප සටහන්ද ඇතුළත් “More Than a Legend” නම් කෘතිය ප්‍රකාශයට පත් කරනවා.

අළුත් පරම්පරාවට ලොක් නෙස් රාක්ෂයා ගැන තව තවත් සොයාබැලීම් කරන්නට වයිට්ගේ මේ කෘතිය පෙළඹවීමක් ඇති කරනවා. ටිම් ඩින්ස්ඩේල් එවන් අයෙක්. 1960දි ලොක් නෙස් වෙත පැමිණෙන මොහු විල හරහා යනෙන අද්භූත සත්ත්වයා ගැන අධ්‍යයනය කිරීමේ ආශාවෙන් ඔහුගේ ඉංජිනේරු රැකියාවටත් සමු දුන්නා.

ලොක් නෙස් රකුසාගේ අනුරුවක් (www.history.com)

වයිට්ගෙ පොතෙන් සිදු වුණු වැදගත්ම දේ තමයි කටකතා, මිත්‍යා මත, ප්‍රබන්ධ වලින් මිදිලා විද්‍යාත්මක පදනමකින් මේ ගැන සොයා බැලීමක් ආරම්භ වීම. 1958දි ලොක් නෙස් රාක්ෂයා ගැන වෙන වෙනම ගවේෂණ හතරක් ආරම්භ වුණා.

පළමුවැන්න බී.බී.සී (BBC) යෙන් ඇරඹුන අතර අනෙක් ගවේෂණයන් ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් සහ බ්‍රිමින්ග්හැම් සරසවි වලින් ආරම්භ වුණා. කැමරාවකින් ඡායාරූප ගැනීමට හා දුරදක්නයකින් ජල තලය පිරික්සීමට පමණක් සීමා නොවී සෝනා (Sonar) තාක්ෂණය යොදා ගනිමින් ශබ්ද මඟින් ජලාශයේ ඇතුළත පරිසරය නිරීක්ෂණය කිරීම සිදුවුණා. නමුත් මෙහිදි ගැඹුරු ජලයේ එහා මෙහා යන විශාල වස්තූන් වල සංකේත හැර නිශ්චිත නිගමනයකට එළඹිය හැකි සවිස්තරාත්මක කරුණක් හොයා ගන්න ලැබුණෙ නැහැ.

අධි තාක්ෂණය භාවිතය

පර්යේෂණ වලදී සෝනා තාක්ෂණයෙන් ලබාගත් ඡායාරූපයක්. (www.scotlandnow.dailyrecord.co.uk)

1970දි බොස්ටන් සරසවිය මඟින් මේ පිළිබඳව ගවේෂණ මාලාවක් සිදු කළා. මෙහිදී පළමු වතාවට සෝනා තාක්ෂණයත් දිය යටදි ඡායාරූප ලබා ගැනීමත් යන ක්‍රම දෙකම එකවර භාවිතා කරමින් තොරතුරු සෙවීම සිදු වුණේ භෞතික විද්‍යාඥයෙකු වූ රොබට් රයින්ස්ගේ අධීක්ෂණය යටතේයි.

මොවුන් සෑම තත්පර 45කට වරක්ම ජලය තුළ ඡායාරූප ගත හැකි පද්ධතියක් ස්ථාපනය කළ අතර 1975දි මේ උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් විදියට එහි දිය යට එහා මෙහා ගමන් කරන විශාල වස්තුවක දත්ත සටහන් වුණා. මෙහිදි ලබාගත් ඡායාරූප පරිගණකය මඟින් වැඩි දියුණු කිරීමෙන් පසු දිය යට එහා මෙහා ගමන් කළ තැනැත්තා අවල් පත් සහිත විශාල ශරීරයකින් හෙබි ජලජ සත්ත්වයකු බව තහවුරු වුණා.

මේ හැම දේකින්ම පස්සේ තියෙන ප්‍රශ්නෙ තමයි ඇත්තටම මේ දිය රකුසා ඉන්නවද කියන එක. ඇසින් දුටු සාක්ෂි, වයිට් ගෙ පොත, සෝනා තාක්ෂණයෙන් ලැබුණු දත්ත වගේ දේවල් නිසා කෙනෙක් මේක ඇත්ත කියලා විශ්වාස කරන්න පුළුවනි.

ඒත් තවත් අයෙක් විල්සන්ගෙ ව්‍යාජ ඡායාරූපය නිසා ලොක් නෙස් කියන්නෙ ප්‍රබන්ධ කතාවක් විතරයි කියලා තර්ක කරන්නත් පුළුවනි. ඒ කොහොම වුණත් ලෝකේ කොයිතරම් නම් නොවිසඳුණු අභිරහස් තියෙනවද? සමහර දේවල් පවතින්නෙ අපේ සංවේදී ඉන්ද්‍රියයන්ට අසු නොවන ඉහළ සංඛ්‍යාත මට්ටම් වල. ඉතින් ඇහෙන්නෙ, පේන්නෙ නැති හැමදෙයක්ම මායාකාර සුරංගනා කතාවක් වෙයිද නැද්ද කියලා හිතන එක නම් ඉතින් ඔබට බාරයි.

කවරයේ පින්තූරය (www.scotlandnow.dailyrecord.co.uk)

මූලාශ්‍ර – www.pbs.org

Related Articles