Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව දීර්ඝතම උමං මාර්ග 5ක්

තාක්ෂණයේ දියුණුවත් සමග ලොව ප්‍රවාහනය ද කාර්යයක්ෂම වී තිබෙනවා. අතීතයේ යම් ස්ථානයක සිට ළඟාවීමට පැය ගණන් ගත වූ ප්‍රදේශවලට අද මිනිත්තු කිහිපයකින් ළඟාවන්නට පිළිවන්.

ගමනාගමනයේ කාර්යයක්ෂමතාව ළඟාකර ගැනීම සඳහා මිනිසා විසින් නිර්මාණ රාශියක් සිදුකර තිබෙනවා. කිලෝමීටර ගණන් දුරට දිවෙන උමං මාර්ග ඉන් එක් වර්ගයක් වෙනවා. මේ සටහන ලොව දීර්ඝතම උමං මාර්ග 5 ගැන යි.

ගොතාර්ඩ් භූගත උමඟ – ස්විට්සර්ලන්තය

mfgtalkradio.com

කිලෝමීටර 57ක් හෙවත් සැතපුම් 35ක් දිග මේ උමඟ තැනී ඇත්තේ ස්ව්ස්ටර්ලන්තයේ අර්ස්ට්ෆෙල්ඩ් හා බොඩියෝ නගර දෙක යා කරමිනුයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මේ උමඟ පොළොව මට්ටමේ සිට මීටර 2300ක් තරම් උපරිම ගැඹුරකට ළඟා වීයි. මේ උමංමග 2016 වසරදී තනා නිම කළ අතර ඒ වසරේ දීම ගමනාගමනයට විවෘත වුණා. මේ ඔස්සේ වැටී ඇති දුම්රිය මඟෙහි ගමන් කරන දුම්රිය පැයට කිලෝමීටර 250 දක්වා වූ වේගයකින් ගමන් කරන අතර ඒවාට මේ උමඟ සම්පූර්ණයෙන් තරණය කරන්නට ගතවන්නේ මිනිත්තු 20ක් පමණ කාලයකුයි.

සෙයිකාන් උමඟ – ජපානය

blog.roving-light.com

කිලෝමීටර 53.9 ක් හෙවත් සැතපුම් 33.5ක් දිග සෙයිකාන් උමඟ ජපානයේ සුගුරු සමුද්‍ර සන්ධියට යටින් වැටී තිබෙනවා. දුම්රිය උමඟක් වන මෙය හොන්ෂු හා හොකයිඩෝ දූපත් යා කරන අතර මුහුදු පත්ලේ සිට මීටර 140ක් පමණ පහතින් ඉදිකර තිබෙනවා. මෙය 1988 වසරේදී ඉදිකර ගමනාගමනය සඳහා විවෘත වුණා.

චැනල් උමඟ – එංගලන්තය හා ප්‍රංශය

ft.com

කිලෝමීටර 50ක් හෙවත් සැතපුම් 31ක් දිග මේ උමං මාර්ගය එංගලන්තය යුරෝපයේ ප්‍රධාන ගොඩබිම හා යා කරනවා. ඉංග්‍රීසි ඕඩය හරහා වැටී ඇති මෙහි කිලෝමීටර 37.9ක කොටසක් වැටී ඇත්තේ සමුදුරු පතුලට පහතිනුයි.

චැනල් උමඟ සම්පූර්ණයෙන් සාදා විවෘත කරන ලද්දේ 1994 වසරේ දී යි. කෙසේ නමුත් මේ පිළිබඳව වූ මූලික අදහසට වසර 200කටත් වඩා පැරණි ඉතිහාසයක් තිබෙනවා. 1802 වසරේ ප්‍රංශ ජාතික ඇල්බට් මැතියු ‘එංගලන්තය යාකරමින් ප්‍රංශයේ සිට උමඟක් ඉදිකළ යුතු යැ’ යි ප්‍රකාශ කර තිබුණා.

ලොචර්බර්ග් භූගත උමඟ – ස්විට්සර්ලන්තය

bls.ch

ස්විට්සර්ලන්ත දුම්රිය මාර්ග පද්ධතියට අයත් ලොචර්බර්ග් භූගත උමඟ කිලෝමීටර 34.6 හෙවත් සැතපුම් 21.5ක දිගකින් යුක්ත යි. මෙය ඇල්ප්ස් කඳු පන්තියට පහළින් භූගතව ඇදී යන අතර ඉදිකිරීම් අවසන් කර ඇත්තේ 2007 වසරේ දී යි. මීට පෙර මෙම නව උමඟ තදාසන්නයේම 1902 වසරේ ඉදිකරන ලද පැරණි උමඟක් තිබී ඇති අතර නව උමඟ තනා ඇත්තේ පැරණි උමඟට වඩා මීටර 400ක් පමණ පොළව තුළට වන්නට යි.

ලෙයර්ඩල් උමඟ – නෝර්වේ

flickr.com/photos/kjelljoran

බටහිර නෝර්වේහි ඉදිකර ඇති ලෙයර්ඩල් උමඟ කිලෝමීටර 24.5ක් හෙවත් සැතපුම් 15.2ක දිගකින් යුක්ත යි. මෙය ඉදිකරන්නට ඇමෙරිකානු ඩොලර් මිලියන 153ක් පමණ වැයවී තිබෙනවා. මෙය සැලකෙන්නේ දුම්රිය නොවන සාමාන්‍ය වාහන සඳහාම තැනූ ලොව දීර්ඝතම උමං මාර්ගය ලෙස යි. 1995 වසරේ වැඩ ආරම්භ කළ මෙය 2000 වසරේ දී සාදා නිම කරනු ලැබුණා. සාමාන්‍ය වාහනයකට මේ උමඟ ඔස්සේ ගමන් කරන්නට මිනිත්තු 20ක පමණ කාලයක් ගත වෙනවා.

කවරයේ පින්තූරය: ice.org.uk

Related Articles