Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැති වූ භාණ්ඩ අතටම ලැබීමට සලස්වන ජපාන පොලිසිය

සිය ජංගම දුරකථනය අස්ථානගත වූ බව පවසමින් මෛතිලි ජඩේජා (20) ක්යෝටෝ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළේ මෙම වසරේ පෙබරවාරි මාසයේදීය. ජපානයේ විශාලතම ක්‍රියාශීලි ගිනිකන්ද වන අසෝ ශිඛරයේ ඡායාරූප ගනිමින් සිටියදී ඇය අතින් එය අතහැරී තිබුණි.

පැමිණිල්ලෙන් මාස දෙකකට පසු ක්යෝටෝ සිට කිලෝමීටර 500කට වඩා දුරකින් තිබූ කුමමොටෝ ප්‍රාන්ත පොලිසියෙන් ඇගේ නමට ලිපියක් එවා තිබුණි. එහි සඳහන් වූවේ අස්ථානගත වූ ජංගම දුරකථනය කඳු නගින්නෙකු විසින් සොයාගැනීමෙන් අනතුරුව එය පොලිසිය වෙත බාර දී ඇති බවය. එහි මුහුණත බිඳී ඇති බවත්, ජඩේජා නැවත එය ලබා ගැනීමට කැමැත්තක් දක්වනවා නම් ඒ බව දැනුම් දෙන ලෙසත් එම ලිපියෙන් පවසා තිබුණි.

දුරකථන ඇමතුම් කිහිපයකින් පසු සතියක් යාමට මත්තෙන් ඇගේ නමට ආරක්ෂිතව අසුරා තිබූ පාර්සලයක් ලැබුණ අතර අස්ථානගත වූ ජංගම දුරකථනය ඒ තුළ විය.

“මම එය පණගැන්වූවා. මුහුණත බිඳී තිබුණත් එය වෙනදා වගේම ක්‍රියා කළා. ඇත්තටම යමෙක් අනුන්ගේ නැතිවූ භාණ්ඩයක් යළි ලබා දීම වෙනුවෙන් මෙතරම් දේවල් කරනවා යන්න සිතා ගැනීමටත් අපහසු කරුණක්,” ඒ පිළිබඳව අදහස් දක්වමින් ජඩේජා පවසා සිටියා ය.

හිමිකරුවෙකු නොමැති භාණ්ඩ බාරදිය හැකි පොලිස් කුටියක් (Rocket news 24)

‘’ජැපෑන් ටයිම්ස්’ පුවත්පතට ලිපියක් ලියන මාධ්‍යවේදී ජේක් ඇඩෙල්ස්ටන් තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් මෙසේ විස්තර කර සිටියේ ය.

“ගිය මාසේ (ජනවාරි, 2017) මම ATM යන්ත්‍රයකින් යෙන් 100,000ක් (ඇමරිකන් ඩොලර් 1000ක් පමණ) ආපසු ගත්තා. ඒ ටෝකියෝ හි ශිබුයා දුම්රියපොළ අසලදී යි. කොහොම නමුත් වෙනත් දෙයක් ගැන සිත සිතා හිටි නිසා කාඩ් පතයි, රිසිට් පතයි ලබා ගත්තට මට මගෙ මුදල් ATM යන්ත්‍රයෙන් ගන්න අමතක වුණා. ඒ බව තේරුම් ගියේත් පැය කිහිපයක් ගියාට පසුවයි.

මම අදාළ බැංකුවට කතා කර ඒ ගැන විමසු විට ලැබුණ පිළිතුර වූවේ කිසිවෙකු එවන් මුදලක් නැවත බැංකුව වෙත බාර දී නොතිබුණ බවයි. පොලිසියට ගොස් බලන ලෙසයි මට ඔවුන් උපදෙස් දුන්නේ.”

ඒ අනුව ඇඩෙල්ස්ටන්, ශිබුයා පොලිසියේ නැතිවූ භාණ්ඩ තබා ඇති ස්ථානය වෙත ගොස් වාර්තාවක් ගොනු කළ අතර ඔහුට සවන් දුන් පොලිසි නිලධරයා දුරකථන ඇමතුම් කිහිපයකින් අනතුරුව පැමිණිලි අංකයක් ලබාදෙමින් එය නැති කර නොගන්නා මෙන් පවසා සිටියේ ය.

ඒ වනවිට ජේක් සිය මුදල් පිළිබඳව සියළුම බලාපොරොත්තු අත් හැර තිබුණි. නමුත් පසු දින පෙරවරු 10ට පමණ ලැබුණ ඇමතුමකින් විමසා සිටියේ ජේක්ට හිමිව තිබූ යමක් පෙර දිනයේදී අස්ථාන ගත වූවේ ද යන්න ය.

පුදුමයට පත්වූ ඔහු එයට අදාළ විස්තර පැවසූ අතර අනෙක් පස සිටි පුද්ගලයා ජේක්ගේ අනන්‍යතාව ඔප්පු කළ හැකි සාක්ෂිත් රැගෙන පස්වරු 5.15ට පෙර පොලීසිය වෙත පැමිණෙන ලෙස කියා සිටියේ ය.

ඒ අනුව පොලිසියට ගිය ඔහුට හිමිකාරිත්වය ඔප්පු කිරීමෙන් පසුව සම්පූර්ණ කරන්නට ලැබුණේ එක් ෆෝරමයක් පමණි. අනතුරුව නැති වූ මුදල ඔහුගේ අතට දෙනු ලැබිය.

තමාට අමතක වූ මුදල් පොලිසිය වෙත ලබා දුන් පුද්ගලයාට කෘතඥතාව පළ කිරීමක් ලෙස එම මුදලින් යම් ප්‍රතිශතයක් තෑගි දීමට තමා කැමති බව ජේක් පොලිසියට දැනුම් දුන්නත් අදාළ පුද්ගලයා ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවන බවත්, එම පුද්ගලයාගේ අනන්‍යතාව හෙළි නොකර සිටීමට තීරණය කර ඇති බවත් පොලිසියෙන් දැනුම් දුනි.

ජපානය – භාණ්ඩ නැති කරගන්නාවුන්ගේ පාරාදීසය

පොලිස් ස්ථාන තුළ ඇති නැතිවීම් සහ සොයාගැනීම් ඒකකයක් (Al Jazeera)

මිචිගන් නීති විද්‍යාලයේ පීඨාධිපති මෙන්ම ගත්කතුවරයෙකුද වන මාක් ඩි. වෙස්ට් ජපානය යනු ‘භාණ්ඩ අස්ථානගත කරගන්නා අයගේ පාරාදීසය’ ලෙස හඳුන්වා දෙයි.

2016 වසරේ ටෝකියෝ මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ නැතිවීම් සහ සොයාගැනීම් අංශය තුළින් හුවමාරුවුණ මුදල් ප්‍රමාණය යෙන් බිලියන 3.67 (ඩොලර් මිලියන 32) ක් පමණ වන අතර මිලියන 3.83 ක් පමණ වූ අස්ථානගත බඩු භාණ්ඩත් ඒ වෙත ලැබී තිබුණි. ඒ භාණ්ඩ අතර නැතිවූ කුඩ 381,135ක් ද විය.

මේවායින් හතරෙන් තුනක්ම ඒවායේ නියම හිමිකරුවන්ට ආපසු ලැබී ඇති බව පොලිස් වාර්තාවල දැක්වේ.

මාක් ඩි. වෙස්ට් පැහැදිලි කරන ආකාරයට ජපානයේ අස්ථානගත දෑ කළමනාකරණ ප්‍රතිපත්තිය අතිශය සාර්ථක වීමට බලපාන හේතු කිහිපයකි.

“ජපානය සතුව ඉතාම ක්‍රමානුකුලව දියුණු වූ නීති පද්ධතියක් තිබෙනවා. මිනිස්සු දන්නවා නැතිවූ දෙයක් තමන් අතට ලැබෙන විට එහි වටිනාකමට එය සොයා ගත පුද්ගලයාට ඒ වෙනුවෙන් දරන්නට වුණ වියදමත් ඇතුළත් වෙන බව. ඒ වගේම යමක් හමුවූ විට එය ‘කෝබෑන්’ (Koban) වෙත බාර දිය යුතු බවත් ඔවුන් දන්නවා.”

විශේෂයෙන්ම මිනීමැරුම් හා වෙනත් අපරාධ සිදුවීමේ ප්‍රතිශතය ඉතා අවම මට්ටමක පවතින රටක් වන ජපානයේ, පොලිසියට මෙවන් කාර්යයන් සඳහා කාලය සහ මුදල් වියදම් කිරීමේ හැකියාව පැවතීමත් ප්‍රධානතම හේතුවක් බව මහාචාර්ය වෙස්ට්ගේ මතය ය.

කෝබෑන් (පොලිස් කුටි) යනු ජපානයේ අස්ථානගත වූ බඩු භාණ්ඩ සම්බන්ධයෙන් කටයුතු කරන ස්ථාන යි. ජපානයේ ප්‍රධාන සහ උප නගර සියල්ලම පාහේ ආවරණය කෙරෙන ලෙස පිහිටවූ කෝබෑන් 6000ක පමණ ජාලයක් තිබේ. මේ කුටි එතරම් විශාල නැත. එහෙත් ජපානයේදී ඔබේ යමක් අස්ථානගත වූවේ නම් හෝ අස්ථානගත වූ යමක් සොයා ගත්තේ නම් ඔබ යා යුත්තේ මෙම ස්ථානයන්ගෙන් එකකට යි.

අස්ථානගත වන භාණ්ඩ සම්බන්ධයෙන් වන ජපාන නීතිය

කෝබෑන් පිළිබඳව කුඩා ළමුන් දැනුවත් කිරීමට ප්‍රදර්ශනය කර ඇති පුවරු (Al Jazeera)

ක්යෝටෝ පොලිස් දෙපාර්තමේන්තුව පවසන අන්දමට හිමිකරුවෙකු නොමැති භාණ්ඩයක් හමුවූ විට එය පෞද්ගලිකව අදාළ තැනැත්තාට නැවත බාර දිය හැකි අතර එසේ නොමැතිනම් එය ආසන්නතම පොලිස් ස්ථානය වෙත බාර දිය හැකිය. භාණ්ඩය හමුවී සතියක් තුළ එසේ බාරදීමට අපොහොසත්වන්නන්ට ඒ සඳහා සන්තෝසමක් (reward) ලබා ගැනීමේ අවස්ථාව අහිමි වනු ඇත. මෙය අයිතිකරුවෙකු නොමැති භාණ්ඩයක් හමුවූ විගස අදාළ තැනැත්තා සොයා හෝ පොලීසියට භාර දීමට ජනතාව පොළඹවයි.

හිමිකරුවෙකු නොමැති භාණ්ඩයක් සොයාගන්නා තැනැත්තෙකු ජපාන නීතියට අනුව පහත කරුණු 03ට යටත් වේ.

සොයා ගැනීමෙන් මසක් ඇතුළත භාණ්ඩයේ නියම හිමිකරුවා එය සොයා පැමිණියේ නැති නම් ණයපත්, හරපත්, ජංගම දුරකථන අැතුළු පෞද්ගලික තොරතුරු අඩංගු භාණ්ඩ හැර අනික්වා සොයා ගන්නා තැනැත්තාට හිමි වේ.

භාණ්ඩය සොයා ගැනීමෙන් අනතුරුව නැවත භාර දීම දක්වා කාලය තුළ ඒ වෙනුවෙන් යම් වියදමක් දරන්නට සිදුවූවේ නම් එයද නැවත ලබා ගැනීමට හැකියාව ජපාන නීතියෙන් ලබා දී ඇත.

අස්ථානගත වූ භාණ්ඩයේ හිමිකරුවා එය තමන්ට ආපසු ලැබුණු විට එහි වටිනාකමින් 5% සිට 20% දක්වා ප්‍රතිශතයක් භාණ්ඩය සොයා දුන් තැනැත්තාට සන්තෝසමක් ලෙස ගෙවිය යුතුය. එය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම භාණ්ඩය සොයා දෙන්නා සතු වේ.

එමෙන්ම හිමිකරුවෙකු නොමැති භාණ්ඩයක් නැවත ලබා දීම වෙනුවෙන් සන්තෝසමක් බලාපොරොත්තු වන්නේ නම් අදාළ පුද්ගලයා ඒ බව භාණ්ඩය සොයා දී මසක් ඇතුළත දැනුම් දීමක් කළ යුතු ය.

ජපානයේ දරුවන්ට ඉතා කුඩා කාලයේදී පටන්ම මේ පිළිබඳව දැනුමක් පාසල් විෂය නිර්දේශයෙන් සහ වැඩිහිටියන්ගෙන් ලැබේ. දරුවෙකු යමක් සොයාගෙන එය පොලිසියට බාර දුන් විට එහි වටිනාකම ඉතා පහළ අගයක් ගත්තත් දරුවාට රසකැවිලි, සෙල්ලම් බඩු ආදිය ලබා දීමට ජපාන පොලිසිය කටයුතු කරයි. ඒ හිමිකරුවෙකු නොමැති භාණ්ඩයක් හමුවූ විට එය අදාළ පුද්ගලයාට ලබා දීමේ වැදගත්කම කුඩා වියේදී සිටම වටහා දීම පිණිස ය.

හිමිකරුවෙකු නොමැති භාණ්ඩ විකිණීමට තබා ඇති සාප්පු

මාස තුනක් පොලිස් කුටිවල තැබෙන හිමිකරුවෙකු නොමැති භාණ්ඩ මිලදී ගෙන ඒවා අලෙවි කිරීමට ඇතැම් සාප්පු හිමියන් කටයුතු කරයි.

කෙන්ජි තකහෂි මහතා (Al Jazeera)

ඔසාකා නගරයේ එවන් සාප්පුවක් පවත්වාගෙන යන 37 හැවිරිදි තකහෂි ඒ පිළිබඳව මෙසේ පවසා සිටියි.

“මම හිතන්නෙ අපේ ව්‍යාපාරයෙන් සමාජයට විශාල සේවයක් වෙනවා. මොකද අයිතිකරුවෙකු නැති භාණ්ඩ ගැනීමට කිසිවෙක් පැමිණෙන්නේ නැතිනම් ඒවා නිරපරාදේ වීසි කරන්නටයි සිදුවන්නේ.”

කවරයේ රූපය – The Business Insider

මූලාශ්‍ර:

  • Al Jazeera
  • The Business Insider
  • Japan Times

Related Articles