Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අළු මතින් නැවත නැඟිටින බ්‍රසීලයේ ලූලා ද සිල්වා

මීට දින කිහිපයකට පෙර පැවැති බ්‍රසීලයේ ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද ප්‍රතිඵල අනුව වත්මන් ජනාධිපති ජයර් බොල්සොනාරෝ 1% ක පමණ වැඩි ඡන්ද ප්‍රමාණයකින් පරාජයට පත් කළ, හිටපු ජනාධිපතිවරයෙක් වූ ලූලා ද සිල්වා එරට ජනාධිපතිවරයා ලෙස නැවත පත් වී තිබේ.

මේ ලිපිය බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා වන ලූලා ද සිල්වා පිළිබඳ යි.

ලතින් අමෙරිකා කලාපයේ විශාලත ම රාජ්‍යය වනුයේ බ්‍රසීලය යි. ඇමසන් වැසි වනාන්තරයෙන් වැඩි ප්‍රමාණයක් බ්‍රසීලයේ පිහිටා තිබීම බ්‍රසීලය විශේෂ වීමට එක් හේතුවකි. බ්‍රසීලය 1969 සිට 1985 දක්වා පාලනය කළේ හමුදා පාලනයක් මඟිනි.

සටන් කරුවකුගේ සිට ජනපති ධූරය දක්වා

ඒ වකවානුවේ දී ලූලා ද සිල්වා වෘත්තීය සමිති නායකයකු ලෙස දේශපාලනය කරලිය පිවිසී සිටියේ ය. ඔහුගේ නායකත්වයෙන් බ්‍රසීල හමුදා පාලනයට එරෙහි දැවැන්ත උද්ඝෝෂණ, වැඩ වර්ජන ආදිය සංවිධානය විය.

වෘතීය සමිති නායකයකු වූ ලූලා – conteudo.imguol.com.br

පසු කාලීනව ඔහු කම්කරු පක්ෂය නමින් වාමාංශික දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත් අතර ඊට සක්‍රීය ව දායක වූවන් අතර කම්කරුවන්, අඩු ආදායම්ලාහීන්, අප්‍රිකානු බ්‍රසීල ජාතිකයන් හා ආදී වාසීහු ද ප්‍රධාන තැනක් ගත්හ.

ඒ අනුව 1989 දී බ්‍රසීලයේ පැවැති ජනාධිපතිවරණයට ලූලා තම පක්ෂයෙන් තරග කළ අතර ඔහු දෙවන වටයේදී ජන්ද මිලියන හතරකින් හෙවත් 6% ඡන්ද ප්‍රතිශතයකින් පරාජයට පත්විය. ඔහු 1994 දී හා 1998 දී පැවති ජනාධිපතිවරණවලින් ද පරාජයට පත් විය. ඉනික්බිති බ්‍රසීලය දැවැන්ත ආර්ථික අවපාතකයට මුහුණ දුන් අතර ඒ හේතුවෙන් එරට දිළිඳුකම 20% වැඩි අගයක් ගත්තේ ය.

සාමාන්‍ය ජනයාට දරා ගත නොහැකි උද්ධමනයක් ද එරටින් වාර්තා විය. එවකට පැවති රජය ආර්ථික ප්‍රතිසංස්කරණ හදුන්වා දෙමින් උද්ධමනය හා දිළිඳුකම පාලනය කළ ද එය හුදු තාවකාලික පියවරක් විය. එම අර්බුද මධ්‍යයේ 2002 දී බ්‍රසීල ජනාධිපතිවරණය කැඳවුණු අතර එම මැතිවරණයේ දී ලූලා වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කළේ ය.

සාම්ප්‍රදායික දිළිඳු වාමාංශික ඡන්ද පදනම

එම මැතිවරණය සඳහා ලූලා තමන් ගේ සාම්ප්‍රදායික දිළිදු වාමාංශික ඡන්ද පදනමට අමතර ව, ව්‍යාපාරිකයන්, බැංකුකරුවන්, මධ්‍යස්ථ මතධාරීන් එකතු කර ගත්තේ ඔහුගේ මැතිවරණ සටනට නව මුහුණුවරක් ලබා දෙමිනි. මෙම නව සන්ධානය හරහා ලූලා 2002 බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත් වූයේ 60% කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. ඔහුගේ පාලන කාලය තුළ දී බ්‍රසීලයේ ආර්ථිකය දැවැන්ත ලෙස වර්ධනය වූ අතර, ඊට චීනය සමඟ ඇති කර ගත් වෙළෙඳ ගනුදෙනු ප්‍රධාන ලෙස බල පෑ බව විචාරක මතය යි.

එම ආර්ථිකයේ වර්ධනය පාදක කර ගනිමින් ලූලා ගේ රජය බ්‍රසීල දිළිඳු ජනතාව සහන රැසක් ලබා දුන්නේ ය. Bolsa Familiya ලෙස හැදින් වූ මෙම සහන වැඩපිළිවෙළ ඔස්සේ දිළිඳු ජනයාට අත්‍යවශ්‍ය අවශ්‍යතා සලසා ගැනීමට මඟ පෑදිණි. විශේෂයෙන් ම, අධ්‍යාපන අවස්ථා අහිමි වී සිටි බ්‍රසීල දරුවන්ට පාසල් යාමට මෙම සහන වැඩපිළිවෙළ ඔස්සේ හැකියාව ලැබිණි.

Bolsa Familiya කාඩ් පතක් – cbdu.com.br/bolsa-familia/

ලූලා ගේ රජය අවම වැටුප් තලයක් හඳුන්වා දුන් අතර බ්‍රසීල ජනතාව අතර එන්නත්කරණය ද වේගවත් කළේ ය. ඒ සමඟ ම ලූලා බ්‍රසීලයේ ජනප්‍රිය ජනාධිපතිවරයෙක් බවට පත් විය. ලූලා ගේ පළමු ධූර සීමාව අවසාන වනවිට ජනප්‍රියභාවයේ ප්‍රතිශතය 60%කට වැඩි අගයක් ගත්තේ ය. අනිත් පසින් ඒ වනවිටත් ලූලා ගේ රජයට එරෙහි ව දූෂණ චෝදනා මතුවෙමින් පැවතිණි.

ඒ අතර ම 2006 දී පැවති ජනාධිපතිවරණයෙන් ලූලා නැවත වරක් එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූයේ 60% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකිනි. තම දෙවන වාරය ලූලා අවසන් කළේ බ්‍රසීලයේ වැඩි ම ඒක පුද්ගල ආදායමක් වාර්තා කරමිනි.

ලූලා ගේ බිඳ වැටීම

2010 දී පැවති ජනාධිපතිවරණයට එරට ව්‍යවස්ථාව අනුව ලූලාට තරග කළ නොහැකි වූ බැවින් තම පක්ෂයේ අපේක්ෂකයා ලෙස ලූලා, දිල්මා රූසෙෆ් තෝරා ගත්තේ ය. ඇය ලූලා සෙවණැල්ලේ හිඳිමින් 2010 හා 2014 යන මැතිවරණ දෙක ම ජය ගත්තා ය.

ලූලා ද සිල්වා හා දිල්මා රූසෙෆ් – peru21.pe

දිල්මා ගේ පාලන කාලයේ දී බ්‍රසීලයේ අර්බුද රැසක් පැන නැඟිණි. විශේෂයෙන් ම, එරටට ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදු වූ අතර ඒ හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාව රජයෙන් ඈත් විය. ඊට සමගාමී ව රජයට එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් සාමාන්‍ය ජනයා ද රජයෙන් ඈත් විය. දිල්මා ජනාධිපතිවරයා හා කොන්ග්‍රස් සභාව අතර නිරන්තරයෙන් ඇති වූ ගැටුම් ද ආර්ථික කෙරෙහි සෘණාත්මක ලෙස බල පෑවේ ය.

ආර්ථික අර්බුද මෙන් ම දේශපාලන අර්බුද

මෙම ආර්ථික අර්බුද මෙන් ම දේශපාලන අර්බුද මධ්‍යයේ වුව ද ඇය 2014 පැවති ජනාධිපතිවරණය ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජය ලැබුවා ය.

ඒ සමඟ ඇයගේ රජයට ඩොලර් බිලියන පහක අති දැවැන්ත වංචාවක් පිළිබඳ චෝදනා එල්ල විය. පෙට්‍රරෝබ්‍රාස් වංචාව හෙවත් Operation Car Wash ලෙස හඳුන්වන මෙම වංචාව හේතුවෙන් ඇයට තම තනතුර අහිමි වූ අතර ලුලා ද සිල්වා අල්ලස් චෝදනාවකට 2017 දී වසර 12කට සිරගත කෙරිණි.

සිරගත කළ ලුලා ද සිල්වා – theconversation.com

ලූලා වංචනියකු ලෙස එරට අධිකරණය තීරණය කළ ද එරට සාමාන්‍ය ජනයාගේ සහය ලූලාට නොමඳ ව ලැබිණි. ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණන් ජනයා එරට වීදිවල උද්ඝෝෂණය කරන්නට වූහ. එරට බොහෝ අයගේ අදහස වූයේ සියලු දේශපාලකයන් හොරුන් බවත් සාමාන්‍යය ජනයාට සැලකූ එක ම නායකයා ලුලා බවත් ය.

2018 දී නැවතත් ජනාධිපතිවරණයක් පැවති අතර ඒ සඳහා ලුලා ගේ පාර්ශවයේ සහභාගිත්වය අතිශය දුර්වල වී තිබිණි. එම ජනාධිපතිවරණයට දක්ෂිණාංශික පාර්ශවයෙන් ඉදිරිපත් වූයේ හමුදා නිලධාරියකු ව සිටි බොල්සොනාරෝ ය.

බොල්සොනාරෝ මුල් සිට ම දැඩි මතධාරියෙක් විය. සමලිංගිකයන්ට තමන් ගරු නොකරන බවත්, සමලිංගිකයන් තමන්ට ගරු කළ යුතු බවටත් ඔහු තුළ මතයක් විය. ජනතාවට ආයුධ ලබා දී මැර කල්ලි මර්දනය කළ යුතු බව ද ඔහු දැරු තවත් මතයකි. බොල්සොනාරෝ හමුදා නිලධාරියෙක් වීම නිසා බ්‍රසීලය තුළ විනයක් ගෙන ආ හැකි පාලකයා ඔහු බවට බොහෝ අය අතර මත පළ විය. ඒ අනුව 2018 පැවති ජනපතිවරණයෙන් බොල්සොනාරෝ ජය ලැබී ය.

බොල්සොනාරෝ – nivpat.com

ඇමසන් වනාන්තරයට සිදු වූ දැවැන්ත හානිය බොල්සොනාරෝගේ පාලන යුගයේ දී සිදු විය. ඔහුගේ රජයේ සමහර පිරිස් එය හානියක් නොව සංවර්ධනයක් ලෙස ද අර්ථ දැක්වීම බොල්සොනාරෝ රජයේ අපකීර්තිමත් බවේ ආරම්භය විය. 2019 අවසානයේ ලොව ම වෙළා ගත් කොරෝනා වසංගතය පාලනය කිරීමට බොල්සොනාරෝ රජය අපොහොසත් විය. බොල්සොනාරෝ රජය අමෙරිකාවේ ට්‍රම්ප් මඟ යමින් කොරෝනා රෝගය සැහැල්ලුවට ගත් අතර තමන් කොරෝනා එන්නත ලබා නො ගන්නා බවට ඔහු කළ ප්‍රකාශයට ලෝක සෞඛ්‍යය සංවිධානයේ පවා විරෝධය පළ විය. ඒ අනුව වරක් බ්‍රසීලයේ කෝරෝනා රෝගයේ කේන්ද්‍රස්ථානය බවට පත් වූයේ එරටට දරා ගත නොහැකි රෝගීන් මෙන් ම මරණ සංඛ්‍යාවක් ද උරුම කරමිනි.

සිරගත ව සිටි ලූලාට අධිකරණයෙන් නිදහස

සියල්ල උඩු යටිකුරු කරමින් සිරගත ව සිටි ලූලා ද සිල්වා එරට අධිකරණයෙන් 2019 දී නිදහස් කළ අතර ඔහුට 2022 ජනාධිපතිවරණයට තරග වැදීමේ අවස්ථාව ද හිමි විය. ලූලා මැතිවරණ ව්‍යාපාරය ආකර්ෂණීය එකක් විය. සිරෙන් නිදහස් වූ නායකයෙක් වූ නිසා ම ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ජනතාව තුළ අමුතු පිබිදීමක් ඇති කර තිබූ අතර, ඔහු ගේ වාග් විලාසය ද ආකර්ශනීය විය. තමන් සිරගත කරන විට රට ද සිරගත වූ බවත්, තමාගේ අරමුණ තමන් නිදහස් වූ ලෙස ම රට ම නිදහස් කර ගැනීම බවත් ඔහු නිරන්තරයෙන් සිය මැතිවරණ ප්‍රචාරක රැළිවලදී ප්‍රකාශ කර සිටියේ ය.

ලූලා හා ඔහුගේ පාක්ෂිකයෝ – Pedro Vilela/Getty Images

ලූලා ගේ අභියෝග

සිරෙන් නිදහස් වුව ද ලූලාට හා ඔහුගේ පාක්ෂිකයන්ට එරෙහි දූෂණ චෝදනා නැවත වරක් දේශපාලනයේ මතුපිටට පැමිණිය හැක. වර්තමානයේ ඔහුගේ ජනප්‍රියතාව හේතුවෙන් මෙම චෝදනා වැසී තිබුණ ද එය වෙනත් විටක මතු විය හැකි ය. චෝදනාවලින් ලූලා නිදහස් වූයේ ඔහු නිවැරදි ම නිසා නොව, ඔහුට එරෙහි ව විනිශ්චකාරවරයෙක් අනුගමනය කළ පක්ෂාග්‍රාහි ක්‍රියාකාරීත්වය ය.
බොල්සොනාරෝ, ට්‍රම්ප් මෙන්ම පසු බසින්නෙක් නොවේ. ඔහු මේ වනවිටත් පරාජය බාර ගෙන නැත. ඔහු ගේ ආධාරකරුවන් ඡන්ද ප්‍රතිඵලය දුෂිත යැයි ද, ඒ අනුව හමුදාවට රජය භාර ගන්නා ලෙස ද ඉල්ලමින් විවිධ උද්ඝෝශණ පවත්වයි. මීට වසර කිහිපයකට පෙර එවෝ මොරාලෙස්ට එරෙහි ව බොලිවියාවේ සිදු වූයේ ද එවැනි තත්තවයකි.

ලූලා හමුවේ ඇති ඊළඟ අභියෝගය ඔහුගේ පක්ෂට කොංග්‍රස් මණ්ඩලයේ බහුතර බලය නැතිවීම ය.

ලූලා ද සිල්වා, අපට ද පාඩම් ගණනාවක් කියා දෙයි. විටෙක පූජාසනයේ හිඳුවන අය ම තමන්ට එරෙහි වී නැඟී සිටින බව එහි වැදගත් පාඩම ය. සාර්ථක හමුදා නිලධාරියෙක් වූ පමණින් ම එය රටක් පාලනය කිරීමට සුදුසු කමක් නොවන බව ද අනෙක් අතට බොල්සොනාරෝ පෙන්වා දෙයි. වැදගත් ම පාඩම නම්, හොරෙක් ලෙස හංවඩු ගසා කුණු කූඩයට විසි කළ නායකයන් වීරයන් සේ නැවතත් නැඟී සිටින බව ය.

කවරයේ ඡායාරූපය: හිටපු ජනාධිපතිවරයෙක් වූ ලූලා ද සිල්වා - CARL DE SOUZA/AFP via Getty Images
මූලාශ්‍ර:
Brazil's crumbling political culture laid bare as impartiality of Operation Car Wash judge questioned - theconversation.com
Brazil presidential election: Bolsonaro defeated – but the struggle is not over - Socialist Party - socialistparty.org.uk

Related Articles