Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ ලොකුම බහුබලී ප්‍රතිමාව හා මහාමස්තකාභිෂේකය

මීට කීප දවසකට කලින් දුර රටක පිළිමයක් ගැන අප ඔබට විස්තර ගෙන ආවා නෙ. අද අපි හිතුවා ටිකක් ළඟ රටක තියන පිළිමයක් හොයාගෙන යන්න. පිළිමේ තියෙන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ. ඔබ බොහෝ විට බහුබාලී සිනමාපටය නරඹා හෝ ඒ ගැන අසා හෝ ඇති. අද මේ කතා කරන්න යන පිළිමයත් බහුබාලි පිළිමයක්. හැබැයි චිත්‍රපටියේ ඉන්න බහුබලීගේ නෙවෙයි, ජෛන ආගමේ එන බහුබලී දෙවියන්ගේ. ඒ විතරක් නෙමෙයි, දැනට ඉන්දියාවේ තියෙන ලොකුම බහුබාලී පිළිමය ලෙසත් මේ පිළිමය සැලකෙනවා. එම පිළිමය කේන්ද්‍ර කරගනිමින් 12 වසරකට වරක් පැවැත්වෙන මහාමස්තකාභිෂේක උත්සවය මෙවර පෙබරවාරි 7 වෙනි දා සිට 26 වෙනි දා දක්වා පැවැත්වුණා.

බහුබාලී 2 සිනමා පටයෙන් – ( www.hdwallpapers )

ජෛන ආගම ඉන්දියාවේ තියෙන පැරණිතම ආගමක්. කෙතරම් පැරණි ද කියනවා නම් ජෛන ආගම ඉන්දියාවට පැමිණ තිබෙන්නේ ක්‍රි.පූ. හත්වන සියවසටත් එපිට කාලයක යි. මේ බහුබලී ජෛන ආගමේ ශාස්තෘවර රිෂාභනාථගේ පුතෙකු ලෙස සැලකෙනවා. රිෂාභනාථ ජෛන ආගමේ ශාස්තෘවරුන් (තීර්තංකර) 24 දෙනාගෙන් පළමුවෙනියා යි. බහුබලීව ගෝමාතෙෂ්වර ලෙසින් ද හඳුන්වනු ලබනවා.

පිළිමයේ ඉතිහාසය

කර්ණාටක ප්‍රාන්තයේ තියෙන මේ ලොකුම ගෝමාතෙෂ්වර, එහෙමත් නැත්නම් බහුබලී, පිළිමය ගැන ජනප්‍රවාදයන් කිහිපයක්  තියෙනවා. ඉන් එක කතාවක දැක්වෙන විදියට ගංගා රජ පෙළපතේ රාෂ්ට්‍රකූට රජවරුන්ගේ ශූර ජෙනරාල්වරයෙකු හා අණදෙන නිලධාරියෙකු වුණු චාමුන්දරාය ඇමැතිගේ අම්මා වුණු කලලා දේවිය විසින් බහුබාලීගේ විශාල ප්‍රතිමාවක් සිහිනෙන් දැක තිබෙනවා. එය දෙවියන් විසින් දැක්වූ සලකුණක් බව අදහන ඇය, එම සිහිනය යතාර්ථයක් වන තුරු ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. එනිසා ස්‍රවණබෙලගොල නම් ප්‍රදේශයේ බහුබලී ප්‍රතිමාවක් හදන්න චාමුන්දරාය තීරණය කරනවා.

තවත් එක ජනප්‍රවාදයක දැක්වෙන ආකාරයට චාමුන්දරාය ඇමැති තම මව සමඟ එකල පූජනීය ස්ථානයක් ලෙස සැළකුණු (අද මෙම පිළිමය පිහිටා තිබෙන ස්ථානය) ස්‍රවණබෙලගොල ප්‍රදේශයට වන්දනාවේ ගොස් තිබෙනවා. චන්ද්‍රගිරි හා වින්ධ්‍යගිරි නම් කඳු මුදුන් දෙකට මැදිව තිබෙන ප්‍රදේශය හරහා යද්දී එක රාත්‍රියක චාමුන්දරාය සිහිනයක් දුටුවාලු. ඒ සිහිනයේ දී ඔහු කුෂ්මන්දීනි නම් යකින්නගේ අනුබලය අනුව, චන්ද්‍රගිර මුදුනේ සිට වින්ධ්‍යගිරි මුදුනේ තිබුණු ගෝමාතෙෂ්වර පිළිමයට හීයකින් විද එය විනාශකොට තිබෙනවා. එම සිහිනය සළකුණක් සේ සැලකූ චාමුන්දරාය එම ස්ථානයේ ඔහු සිහිනයේ දී විනාශ ආකාරයේ පිළිමයක් නෙලා තිබෙන බව කියනවා.

මෙම කඳු මුදුන් දෙකට මැදිව ඇති, ස්‍රවණබෙලගොල නමින් හැඳින්වෙන ප්‍රදේශය ජෛනයින්ගේ පූජනීය ස්ථානයන් රැසක් පිහිටා ඇති පෙදෙසක්. ‘ස්‍රවණ’ යන්නෙන් ශාන්ත යන්නත්, ‘බෙලගොල’ යන්නෙන් පොකුණ යන්නත් අරුත්ගැන්වෙනවා.

ස්‍රවණබෙලගොල පොකුණ – (www.mahamasthakabhisheka.com)

බහුබලී පිළිමය

බහුබලී දෙවියන්ගේ පිළිමය කර්ණාටක ප්‍රාන්තයේ ස්‍රවණබෙලගොලහි වින්ධ්‍යගිරි නම් කඳු මුදුනේ පිහිටා තිබෙනවා. මෙම පිළිමය උසින් අඩි 57ක් හෙවත් මීටර 17.5ක උසකින් යුතු වෙනවා. මෙය වර්ෂ 978 දී වැඩ කටයුතු ආරම්හ කර, වර්ෂ 981 දී නිමා කර තිබෙනවා. මෙය තනි කළු ගලක කොටා මතුකර නිමවා තිබීම තවත් විශේෂත්වයක් වන අතර මෙම පිළිමය ජෛන සංස්කෘතියට අනුව සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍ර පිළිමයක් ලෙස නිර්මාණය කර තිබෙනවා.

බහුබලී පිළිමය – (wikimedia.org)

මෙම පිළිමයට පහළින් ශිලා ලේඛන කිහිපයක් සොයාගත හැකියි. ඒවා රචනා කර තිබෙන්නේ කන්නඩ භාෂාවෙන් වන අතර ඒවා හරහා පැරණි කන්නඩ සංස්කෘතියේ තොරතුරු අනාවරණය කරන බව කියනවා. දැනට ලොව ඇති තනි ගලකින් නෙලූ විශාලතම පිළිමය ලෙස ද මෙය සැලකෙනවා. පිහිටන ස්ථානයෙන් කිලෝමීටර 30ක පමණ දුරකට එය දර්ශනය වන බව කියනවා.

මහාමස්තකාභිෂේක උත්සවය

චාමුන්දරාය විසින් මෙම පිළිමය නිමවා අවසන් වූ පසු එය අභිෂේක ගැන්වීමට ඉතා උත්කර්ෂවත් උත්සවයක් පවත්වා තිබෙනවා. මුල් කාලීනව මෙම උත්සවය වසර 10කට හෝ 15කට වරක් පවත්වා තිබෙනවා. ජෛන ආගමිකයන්ට අදාල වූ සංස්කෘතිකාංග රාශියකින් සමන්විතව තිබූ මෙය කාලයත් සමඟම වසර 12කට වරක් පැවැත්වීම සිරිත වී තිබෙනවා. දින කීපයක් පුරා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන මෙම උත්සවයට දසදහස් ගණනක් වූ ජෛන ආගමිකයන් සහැභාගී වෙනවා. එම උත්සවය මේ වසරේ පෙබරවාරි 7 වෙනි දා සිට 26 වෙනි දා දක්වා පැවැත්වුණු අතර නැවත එය පැවැත්වෙන්නේ 2030 දී යි.

මෙවර එම උත්සවයට නරේද්‍න්ර මෝදී අගමැතිවරයා ද සහභාගී වුණා – (www.newsbharati.com)

වෙනත් බහුබාලී පිළිම

මෙම විශාල පිළිමය හැරුණු කොට ඒකශෛලමය, විශාල බහුබලී පිළිම 4ක් කර්ණාටක ප්‍රාන්තයෙන් සොයාගන්නට පුළුවන්. ඒවා අතර,

කර්කාලාහි බහුබාලී ප්‍රතිමාව

ඉන්දියාවේ තිබෙන දෙවන විශාලතම බහුබාලි ප්‍රතිමාව යි. එහි උස අඩි 42ක්.

walkthroughindia.com

ධර්මස්තාලාහි බහුබාලී ප්‍රතිමාව

ධර්මස්තාලා යනු ඉන්දියානු දේවාල නගරයක්. එය ශිව කෝවිල නිසා වඩාත් ප්‍රසිද්ධ අතර මෙහි පරිපාලන කටයුතු කරනු ලබන්නේ ජෛනවරුන් විසිනුයි. තනි ගලෙන් කරන ලද මෙම ප්‍රතිමාව උසින් අඩි 39ක් පමණ වන අතර එහි බර ටොන් 175කට ආසන්න යි. මෙය මංජුනාථ ශිව දේවාලය ආශ්‍රිතව පිහිටා තිබෙනවා.

walkthroughindia.com

වෙනූර්හි බහුබාලී ප්‍රතිමාව

ෆල්ගුණි ගංගාව ආශ්‍රිතව නිර්මාණය කර ඇති මෙම පිළිමය උසින් අඩි 38ක් වෙනවා.

walkthroughindia.com

ගෝමාතගිරිහි බහුබාලී ප්‍රතිමාව

මෙම ප්‍රතිමාව උසින් අඩි 20ක්. එය මයිසූර් වලට කිලෝමීටර 20ක් පමණ ඈතින් පිහිටා තිබෙනවා.

walkthroughindia.com

මේ පිළිම නරඹන්නට ඔබත් එහි ගොස් තිබෙනවා ද? එහෙනම් ඒ ගැන ඔබ දන්නා තොරතුරු අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.

කවරය – newindianexpress.com

මුලාශ්‍ර –

www.culturalindia.net

famouswonders.com

www.revolvy.com

Indianexpress.com

www.walkthroughindia.com

Related Articles