Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මේරි රීසර් මියගියේ ඇය තුළම හටගත් ගිනිදැල් නිසා ද?

වර්ෂ 1951 ජූලි මස එක්තරා හිමිදිරි උදෑසනක, “ටැම්පා බේ” නම් මහල් නිවාස සංකීර්ණයේ සිටි එක් කුලී නිවැසියෙකුගේ නමට විදුලි පණිවුඩයක් ලැබුණා. නමුත් මේ විදුලි පණිවුඩය මුලින්ම භාර ගන්නේ එම මහල් නිවාස සංකීර්ණය භාරව සිටි පැන්සි කාපෙන්ටර් නම් තැනැත්තිය යි. ඇය එම විදුලි පුවත නියමිත පුද්ගලයාට ලබාදීම පිණිස මහල් නිවාස සංකීර්ණයේ අදාළ කුලී නිවසේ දොරට තට්ටු කළා. නමුත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. අවසානයේ දී ඇය දොර විවෘත කිරීමට තීරණය කළා. නමුත් දොරගුලට අත තැබූ විගස එය ඉතා උණුසුම් වී ඇති බව ඇයට දැණුනා. කිසියම් දෙයක් සිදුවී ඇති බව ඇයට තේරුම් යන්න වැඩි වේලාවක් ගියේ නැහැ. ඇය ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය ලෙස පොලීසිය ඇමතුවා.

පොලිසිය අදාළ කුලී නිවසට පැමිණ දොර විවෘත කළ වහාම, ඔවුන් තම වෘත්තිය ජීවිතයේ දුටු අත්භූතම සිදුවීමකට මැදි වුණා. එම නිවසේ වාසය කළ 67 හැවිරිදි මේරි රීසර් නම් තැනැත්තිය සහ ඇය වාඩිවී සිටි පුටුව සම්පූර්ණයෙන්ම දැවී අළුවී ගොස් තිබුණා. රීසර්ගෙන් ඉතිරි වූ වම් පාදය, හිස් කබල, සහ කොඳු ඇට පෙළේ කොටසක් නොවන්නට, මෙය සම්පූර්ණයෙන්ම දැවී අළුවී ගිය මිනිස් ශරීරයක් බව එම අවස්ථාවේ දී හඳුනා ගැනීමට නොහැකි වෙන්න ඉඩ තිබුණා.

අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් මේරි රීසර්/discover.hubpages.com/

පිළිස්සී අළුව ගොස් තිබූ ඇයගේ ශරීරය සහ ඇයගේ පුටුවේ සුන්බුන් අසලම පුවත්පත් ගොන්නක් තිබුණා. නමුත් ඒ පුවත්පත් ගොන්නට කිසිදු හානියක් සිදුව තිබුණේ නැහැ. උණුසුම නිසා මෘදු වී ගිය ප්ලාස්ටික් උපකරණ කිහිපයක්, තාපය සහ දුමාරය හේතුවෙන් සිවිලිමේ ඇති වූ දැලි පමණක් එම කුලී නිවසේ ගින්නක් ඇති වූ බවට ඉතිරි වූ අනෙක් සාක්ෂ්‍යයන් වූවා. නමුත් එම කුලී නිවසේ තිබුණු අනෙකුත් ගෘහ භාණ්ඩ, බුමුතුරුණු සහ බිත්තිවලට කිසිදු හානියක් සිදුව තිබුණේ නැහැ. ෆ්ලොරිඩා ප්‍රාන්තයට අයත් ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ සිදුවූ මේ මරණය, අදටත් ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ අභිරහස්ම සිදුවීමක් ලෙස සැලකෙනවා.

මේරි රීසර් කියන්නේ කවුද?

1884 වර්ෂයේ මාර්තු මස 8 වැනි දින පෙන්සිල්වේනියා ප්‍රාන්තයට අයත් කොලොම්බියා ප්‍රදේශයේ දී මේරි රීසර් උපත ලබනවා. එහිම ජීවත් වූ ඇය සිය ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පසු තම වැඩිමහල් පුතු රිචඩ් සහ ඔහුගේ පවුලේ අයට සමීපව ජීවත්වීම පිණිස ෆ්ලොරිඩාවට සංක්‍රමණය වෙනවා. ෆ්ලොරිඩාවේ උණුසුම් කාලගුණයට ඇය එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇය දුම්පානයට පුරුදු වී සිටි අතර, නිතිපතා නිදිපෙති භාවිතා කිරීමක් ද සිදු කළා. තමා නැවත පෙන්සිල්වේනියාව බලා යාමට සැලසුම් කර ඇති බව මරණයට පෙර දින ඇය රිචඩ්ට පවසා තිබුණා. ෆ්ලොරිඩාවේ උෂ්ණ කාලගුණයෙන් මඳකට හෝ මිදීමට ඇයට අවැසි වූ අතර, ගමන නිෂ්ඵල වේයැ යි කියා කණස්සල්ලකින් පසු වූ බව ද සඳහන්. මේරිගේ පිළිස්සී ගිය සිරුර සොයා ගැනීමට මුල් වූ විදුලි පණිවුඩය ලැබී තිබුණේ පෙන්සිල්වේනියාවේ සිටි ඇයගේ මිතුරෙකුගෙන්. ඇයගේ සංචාරය සඳහා සියලු කටයුතු නිසි පරිදි සැලසුම් කර ඇති බවට එයින් කියවුණා.

පරීක්ෂණ ඇරඹෙයි…

මේරි රීසර් පිළිස්සී ගොස් ඇත්තේ මියගිය අයෙක් ආදාහනය කෙරුනා හා සමාන පරිද්දෙන් බව කියවෙනවා. ඒ අයුරින් මිනිස් සිරුරක් සම්පූර්ණයෙන්ම අළු වී යෑමට සෙල්සියස් අංශක 1000කට අධික උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. නමුත් එවැනි අති විශාල උෂ්ණත්වයක් හමුවේ ඇය වාසය කළ නිවස්නය විනාශ නොවී තිබීම පුදුමයට කරුණක් වුණා. එමෙන්ම ඇයගේ හිස් කබල ප්‍රමාණයෙන් කුඩා වන පරිදි හැකිළී ගොස් තිබුණු බව ද කියැවෙනවා.

ගින්නෙන් දැවී අළුව ගිය මේරි රීසර්ගේ ශරීරයේ පාදයක කොටසක් ඉතිරිව තිබුණා/arieslothratu.wixsite.com/

මේරි රීසර්ගේ මරණය හා සම්බන්ධ පරීක්ෂණයට එකතු වී සිටි ජේ. ආර්. රීචර්ට් නමැති පොලිස් නිලධාරියා, මේරි රීසර්ගේ පිළිස්සුන සිරුරෙන් ඉතිරි වූ පාද කොටසේ තිබූ සපත්තුව, දත්යැ යි සිතිය හැකි අවශේෂයන් කිහිපයක්, අළු අතර තිබී සොයා ගන්නා ලද බිම් ඇතිරිල්ලෙන් කොටසක්, සහ වීදුරු කැබලි පෙට්ටියක බහා FBI සංවිධානයේ අධ්‍යක්ෂකවරයෙකු වූ එඩ්ගා හූවර් වෙත යවනු ලැබුවා. පොලිස් නිලධාරියා පහත සඳහන් අයුරින් වූ ලිපියක් ද ඒ සමගම එඩ්ගා හූවර් වෙත ලැබීමට සැලැස්සුවා.

“මිනිස් සිරුරක් මේ ආකාරයෙන් විනාශ විය හැකි ආකාරය සහ ගොඩනැගිල්ලට හා කාමරයේ ගෘහ භාණ්ඩවලට සුළු හානියක් සිදු කරමින් කුඩා ප්‍රදේශයකට ගින්නක් සීමා විය හැකි අන්දම ගැන පැහැදිලි කරන තොරතුරු හා උපකල්පනයන් අප මේ සමග ඉල්ලා සිටිමු. මෙහිදී එම කාමරය, මතුපිටින් දැවීමක් හෝ දුමෙන් සිදුවූ හානියක සලකුණු නොපෙන්වයි”

සති කිහිපයකට පසු උක්ත ලිපියට ප්‍රතිචාරයක් වශයෙන්, FBI සංවිධානය මෙම සිදුවීම “වික් ආචරණය” නම් සංසිද්ධිය නිසා සිදුවූවක් බව ප්‍රකාශ කළා. ඉටිපන්දමක් ආකාරයෙන් මිනිස් සිරුරක් ගින්නෙන් දැවීම ගැන පැහැදිලි කරන එක්තරා න්‍යායක් ලෙස “වික් ආචරණය” හැඳින්විය හැකි යි. ඉටිපන්දමක ඉටි ඉන්ධනය ලෙස භාවිතා වෙමින් එය දහනය වන්නා සේ, මිනිස් සිරුරක තිබෙන මේදය ඉන්ධනයක් වෙමින් සිරුර දැවී යාමක් ගැන කියවෙනවා.

මේරි රීසර්ගේ මරණය, ඇගේ ගිනි ගන්නාසුළු රාත්‍රී ඇඳුම, ඇයගේ දුම්වැටිය සහ නිදි පෙති ලබාගැනීම යන සාධකවල එකතුවෙන් සිදුවූ අවාසනාවන්ත මරණයක් ලෙස FBI සංවිධානය කරුණු දැක්වූවා. හෘදයාබාධයකින් ඇතිවෙන හදිසි මරණයක් නිසා හෝ, නිදිපෙතිවල බලපෑම නිසා සිහිසුන්වීමෙන් පිළිස්සීමක් වැනි ඉතා වේදනාකාරී ඉරණමකට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් මේරි රීසර් මියගිය බවට මෙයින් අනුමාන කෙරෙනවා.

“ශරීරය පිළිස්සෙන්න පටන්ගත් පසු, මේදය සහ වෙනත් ගිනිගන්නා සුළු ද්‍රව්‍ය නිසා පිළිස්සුම් හානිය වැඩිවෙනවා. ඇතැම් විටෙක පිළිස්සීමෙන් සිදුවන විනාශය දුරදිග ගොස්, එමඟින් ශරීරය සම්පූර්ණයෙන්ම දහනය වේ. ”

FBI ප්‍රකාශයේ තවදුරටත් දැක්වුණා.

FBI නිගමනය ප්‍රතික්ෂේප වෙයි

මේරි රීසර්ගේ කුලී නිවස්නයේ දළ සැලැස්මක්. අඳුරු කර ඇති කොටසෙන් දැක්වෙන්නේ ඇය පිළිස්සී මිය ගොස් සිටි ස්ථානය සහ පිළිස්සීමෙන් වූ හානියේ වපසරිය යි/thedeadhistory.com/

මේරි රීසර්ගේ මරණය ගැන FBI කළ ප්‍රකාශයෙන් පසු, පොලිස් නිලධාරී රීචර්ට් තව පියවරක් ඉදිරියට තබමින් මානව විද්‍යාඥයෙකු වූ විල්ටන් ක්‍රොග්මන්ගෙන් මෙම සිදුවීම ගැන විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටියා. එහිදී වික් ආචරණය මඟින් මේරි රීසර්ගේ මරණය පැහැදිලි කිරීමේ දී පැහැදිලි කළ නොහැකි කරුණු පැන නඟින බව කිව් ක්‍රොග්මන් FBI නිගමනය ප්‍රතික්ෂේප කළා.

“මිනිස් සිරුරකට ගිනි ඇවිළුනහොත්, ඉටිපන්දමක් ආකාරයෙන් අවසාන ශේෂය දක්වා එය තමා විසින්ම දවා ගනිමින් අවසන් වේයැ යි මට විශ්වාස කිරීමට අපහසු යි. 1951 ජූලි 1 වන දින ෆ්ලොරිඩාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි දී සිදුවූයේ කුමක්ද යන වග අපට කිසිදා දැනගැනීමට නොහැකි වෙන්න පුළුවන්. මේ සිදුවීම තවමත් මා තුළ හොල්මන් කරනවා. මහල් නිවාසයම ගිනිබත් නොකර එවැනි පූර්ණ ආදාහනයක් සිදුවන අන්දම ගැන මට සිතා ගන්නට බැහැ. ඇත්ත වශයෙන්ම මෙම මහල් නිවාසය සහ එහි ඇති සියල්ල මේ සිදුවීමෙන් විනාශ විය යුතු යි. මෙතෙක් මා දැක ඇති පුදුම සහගතම සිදුවීම මෙම මරණය යි. ඒ ගැන සිතන ඕනෑම විටෙක මගේ රෝම කූප නොපැහැදිලි බියකින් කෙලින් වෙනවා. මම මධ්‍යකාලීන යුගයේ ජීවත් වුණා නම් මෙම සිදුවීම අඳුරු මායාවක් සමග සම්බන්ධ කිරීමට ඉඩ තිබුණා.”

1961 වර්ෂයේ ක්‍රොග්මන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ දී මේරි රීසර්ගේ මරණය ගැන ඔහු එලෙසින් අදහස් දක්වා තිබුණා.

ගින්න හටගත්තේ මේරි රීසර් තුළින්ම ද?

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් විවිධාකාර වූ මතවාදයන් සමාජය තුළ පැතිරීමට පටන් ගත්තා. ඒ අතරින් වඩාත් ජනප්‍රිය වූයේ “ස්වයංසිද්ධ මානව දහනය” නම් මතවාදය යි. මෙම මතයට මාධ්‍ය හරහා සැලකිය යුතු ප්‍රචාරයක් ලැබුණා. මේරි රීසර් මරණයට පත්වී මේ වන විට අවුරුදු හැත්තෑවක් පමණ ගෙවී තිබුණත්, බොහෝ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල මෙම මරණය විස්තර වන්නේ ස්වයං සිද්ධ මානව දහනය නම් විශ්වාස කිරීමටත් පවා අපහසු, ගූඨ සංසිද්ධිය මුල් කරගෙන යි. සරලවම, ස්වයංසිද්ධ දහනය යනු කිසිදු බාහිර ප්‍රභවයක සහභාගීත්වයෙන් තොරව වස්තුවක් ඇවිලී දැවීයාම යි. එලෙස සිදුවූ ස්‍වයංසිද්ධ දහනයකින් මේරි රීසර් මරණයට පත්වූ බව තමයි මෙම මතවාදයෙන් කියවෙන්නේ. කෙසේ නමුත්, බාහිර සාධකයකින් තොරව පුද්ගලයෙක් තුළින් ඉබේ හටගත් ගින්නකින් ඔවුන් විනාශ විය හැකියැ යි යන සැකය මුලින්ම ඇතිවුණේ මේරි රීසර් හරහා නොවෙයි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ මේ අත්භූත සංසිද්ධිය ගැන මිනිසුන් විවාද කරනවා.

මේරි රීසර් මිය ගිය කුලී නිවස්නයේ ඇතුළත දර්ශනයක්/tampabay.com/

ස්වයංසිද්ධ මිනිස් දහනය පිළිබඳ ප්‍රථම තොරතුරු වර්ෂ 1641 තරම් ඈත අතීතයට විහිදී යන අතර, 19 වන සියවසේ ජීවත් වූ චාල්ස් ඩිකන්ස් නම් කතුවරයා අතින් ලියවුණු “බ්ලීක් හවුස්” නම් නවකතාවේ එක් චරිතයක් ස්වයංසිද්ධ මිනිස් දහනය හේතුවෙන් මරණයට පත්වීමක් ගැන සඳහන් වූ නිසා මෙම සංසිද්ධියට සමාජයේ පැතිරුනා.

මිනිස් සිරුර බොහෝ දුරට ජලයෙන් සමන්විත වන අතර, එහි අධික ලෙස දැවෙන ද්‍රව්‍යයන් වන්නේ මේද පටක සහ මීතේන් වායුව වන නිසා, ස්වයංසිද්ධ මිනිස් දහනය සැබෑ සංසිද්ධියක් වීමේ හැකියාව ඉතාම අවම යි. බොහෝ විද්‍යාඥයින් මෙම සිද්ධාන්තය බැහැර කරමින්, මෙවැනි අත්භූත ගිනිගැනීමකට පරීක්ෂණවලට හසු නොවූ ගිනිකූරක් හෝ දුම්වැටියක් වැනි යමක් හේතුවන බවට තර්ක කරනවා. අනෙක් අතට, ස්වයං සිද්ධ මානව දහනය සත්‍ය සංසිද්ධියක් නම්, මිනිස් සිරුරක් අළු බවට පත්වීම සඳහා අවශ්‍ය වන සුවිශාල උෂ්ණත්වය හමුවේ එම දැවෙන සිරුර වටා ඇති පරිසරයට හානි නොවන්නේ මන්දැයි විද්‍යාඥයින් ප්‍රශ්න කර සිටිනවා.

මේ අපූරු සංසිද්ධියට හේතු වන සාධක පවා ඇතැමුන් යෝජනා කර තිබෙනවා. එලෙස යෝජනා වූ හේතුන් අතර බැක්ටීරියා, ස්ථිතික විදුලිය, තරබාරුකම, ආතතිය, සහ අධික ලෙස මත්පැන් පානය කිරීම වැනි කාරනා ඇතුළත් වන අතර, ඒ කිසිවක් විද්‍යාවෙන් මේ දක්වා සනාථ වෙලා නැහැ. නමුත් බ්‍රයන් ජේ. ෆෝඩ් නම් බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයා 2012 අගෝස්තු මාසයේ දී නිව් සයන්ටිස්ට් සඟරාව හමුවේ ස්වයංසිද්ධ මානව දහනය ගැන තරමක වෙනස් වූ අදහසක් ප්‍රකාශ කර තිබෙනවා. මත්පැන්, දියවැඩියාව, හෝ විශේෂිත ආහාර වේලක් හේතුවෙන්, ගිනිගන්නාසුළු ඇසිටෝන් ශරීරය තුළ සෑදීමෙන් ස්වයංසිද්ධ දහනයක් බලාපොරොත්තු විය හැකි බව ඔහු පවසා තිබෙනවා.

මරණය පිටුපස ඝාතකයෙකු සිටී ද?

සිදුවීමෙන් දශකයකට පසු මරණය සම්බන්ධයෙන් ක්‍රොග්මන් විකල්ප මතවාදයක් යෝජනා කළා. එම මතයෙන් මේරි රීසර් වෙනත් තැනක ඝාතනයකොට පුළුස්සා දැමූ බව යෝජනා කෙරෙනවා. ආදාහනාගාරයකට ප්‍රවේශ වීමට හැකියාව ඇති ඝාතකයෙක් මෙම මරණය සිදු කළ බවත්, ඉන්පසු ඇයගේ අවශේෂයන් මහල් නිවාසයට ප්‍රවාහනය කළ බවටත් මෙම විකල්ප මතයෙන් කියවෙනවා. නමුත් එම විකල්ප මතයෙත් ගැටළු රාශියක් තිබෙන බව පැහැදිලිවම පෙනී යනවා.

ස්වයංසිද්ධ මානව දහනය යනු ලෝකයට අළුත් සංසිද්ධියක් නොවෙයි. එයට සැළකිය යුතු ඉතිහාසයක් තිබෙනවා/deviantart.com/truman-burbank/

මහල් නිවාසයේ භාරකාරිනිය කලබලයට පත්කළ උණුසුම් වූ දොර අගුල මෙම විකල්ප මතයෙන් පැහැදිලි කරන්නේ කෙසේ ද?

මිනීමරුවා මේරි රීසර්ව ඇගේ පුටුවෙන් පැහැරගෙන, මරා දමා පුළුස්සා දැමුවේ ඇයි?

අවසාන වශයෙන්, ආදාහනාගාරයකට පිවිසීමට මිනීමරුවෙකුට හැකි නම්, දේහයේ අවශේෂ නැවත මියගිය තැනැත්තියගේ නිවසට ගෙන එන්නේ ඇයි?

මේරි රීසර්ගේ අසාමාන්‍ය මරණයේ සියලු අංග පැහැදිලි කරන තෘප්තිමත් න්‍යායක් හෝ මරණය ආශ්‍රිතව පැන නැඟුණු ගැටළුවලට තෘප්තිමත් පිළිතුරු අද වනවිටත් ලැබී නැහැ. ඒ අනුව වසර 70කට පසු මේරි රීසර්ගේ මරණය, නූතන ඉතිහාසයේ නොවිසඳුණු විශාලතම අභිරහස්වලින් එකක් ලෙස සැලකෙනවා.

Cover photo: "Hereditary" චිත්‍රපටියේ එන දර්ශනයක්/indiewire.com

මූලාශ්‍රයයන්: medium.com/

rd.com/

history.com/

Tampa Bay Times/

Related Articles