Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දේශයක බර කරට ගත් යපස් කෝච්චිය

දුම්රිය ගමන ශ්‍රී ලංකාවේ අපට කිසිසේත් නුහුරු දෙයක් නෙවෙයි. භූමි ප්‍රමාණයට සාපේක්ෂව සිව් දිශාවම සහ රටේ මධ්‍යම පළාත් ද ආවරණය කරන, පුළුල්ව විහිදුනු දුම්රිය මාර්ග පද්ධතියක් අපට තියෙනවා. එයින් බොහෝ දුම්රිය මාර්ග වෙනස් වෙනස් පරිසරයන් අතරින් දිවෙන නිසා බොහොම චමත්කාරජනක අත්දැකීම් ලබාදෙනවා. නමුත් සිතන්න, සැතපුම් සිය ගණනක් තිස්සේ සහරාව නම් රුදුරු වැලිකතර මැදින් දිවෙන දුම්රිය ගමනක් ගැන? දිවා කාලයේ මෙම දුම්රිය මාර්ගය වැටී ඇති කාන්තාර කොටසේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 37 – 40 පරාසයක පවතිනවා. සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙය පහසුකම් අනූන, වායුසමනය කළ දුම්රිය ගමනක් නම් පරිසරය කොතරම් කර්කශ වුණත් ගැටළුවක් නැහැනේ කියලා. නමුත් යථාර්තය එය නොවෙයි. මෙම දුම්රිය ගමන, ඔබ ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව තුළින් අත්විඳි නරකම අත්දැකීමටත් වඩා කර්කශ සහ භයානක වූ අත්දැකීමක්..! ඉතින් කිලෝමීටර් 700ක් පමණ දීර්ඝ මෙම චාරිකාව, මිනිත්තු කිහිපයක කියවීමකින් ඔබව රැගෙන යාමට යි මේ සූදානම් වෙන්නේ.

ගමනට කළින් මොරිටේනියාව ගැන දැනගනිමු

මොරිටේනියාව කියන්නේ එක් පැත්තකින් අත්ලාන්තික් සාගරයට මායිම්ව පිහිටි වයඹදිග අප්‍රිකානු රාජ්‍යයක්. එහි ගොඩබිම මායිම් ලෙස ඇල්ජීරියාව, මාලි, සෙනගාලය, සහ බටහිර සහරාව දක්වන්න පුළුවන්. මොරිටේනියාව කියන්නේ වර්ග කිලෝමීටර් 1,025,520ක පමණ භූමි ප්‍රමාණයක පැතිරුණු විශාල රටක්. රටේ වැඩි වපසරියක් ආවරණය වෙලා තියෙන්නේ සහරා කාන්තාරයෙන්. ඒ අනුව රටෙන් හතරෙන් තුනක්ම වගේ කාන්තාර හෝ අර්ධ කාන්තාරවලින් සමන්විත යි. මොරිටේනියාව කියන්නේ මානව සංවර්ධන දර්ශකයේ පහළින්ම ඉන්න දිළිඳු රාජ්‍යයක්. කාන්තාර දේශගුණයක් හෙබි රාජ්‍යයක් නිසා කෘෂි කර්මාන්තයෙන් මොරිටේනියාවට ඉදිරියට යන්න බැරි වුණත්, මේ අප්‍රිකානු රාජ්‍යය ස්වභාවික සම්පත්වලින් පොහොසත් තැනක්. ඒ නිසා මොරිටේනියානු ආර්ථිකයේ ජීවනාලිය යපස් අපනයනය මත රඳා පවතිනවා. ප්‍රතිශතාත්මකව, එය මොරිටේනියානු අපනයනයන්ගෙන් 50%ට ආසන්න වෙනවා. 

මොරිටේනියානු ආර්ථිකයේ කොඳු නාරටිය සිතියමකින්/Wikimedia

යපස්වලින් මේ රටට වැඩි විදේශ විනිමය එන නිසා, යපස්, පතල්වල සිට වරාය දක්වා රැගෙන ඒමට ඵලදායී ප්‍රවාහන මාධ්‍යයක් ඇති කිරීමට මොරිටේනියානු රජය උත්සුක වුණා. ඒ අනුව වර්ෂ 1963 දී විවෘත කරන ලද මොරිටේනියාවේ එකම දුම්රිය මාර්ගය, අත්ලාන්තික් වෙරළ තීරයේ නුවාඩිබූ වරාය නගරයේ සිට රටේ වයඹ දෙසින් පිහිටි සුවෙරට්හි යපස් පතල් දක්වා දෛනික දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරනවා. දේශපාලනිකව මතභේදාත්මක බටහිර සහරා භූමියේ මායිම දිගේ දිවෙන මෙම සම්පූර්ණ ගමන සඳහා පැය 20ක් පමණ ගත වන අතර, ගමනේ මුළු දුර කිලෝමීටර 704ක්. කිලෝමීටර 2කට වඩා දිගින් යුත් මෙම දුම්රිය, ඩීසල් එන්ජින් තුනක් හෝ හතරකින් ලබා දෙන බලය මඟින් එක් මඟී මැදිරියක් සහ යපස් පුරවා ගත් දුම්රිය ගැල් 200- 210ත් අතර ගණනක් ඇදගෙන නුවාඩිබූ වරාය දක්වා යනවා. මේ එක් ගැලකට යපස් ටොන් 84ක් විතර රැගෙන යන්න පුළුවන්. ඉතින් දුම්රියේ මුළු බර තක්සේරු කරන්න ඔබට පුළුවන් ද?

යපස්වලින් බරවූ ගමනාරම්භය

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් නිසා මෙහි මැදිරි අතරට භෝජනාගාර, නැරඹුම් මැදිරි, හෝ නිදන මැදිරි ඇතුළත් වෙලා නැහැ. එක් මඟී මැදිරියක් තිබුණාට ස්වදේශිකයන්ට​ මෙහි ගමන් කරන්න ප්‍රවේශපත්‍රයක් අවශ්‍ය වන්නේත් නැහැ. යපස් පතලකින් ගමන ආරම්භ වන නිසා දුම්රිය ගැන කිසිම තොරතුරක් නිවේදනයක් මඟින් දැන ගැනීමට නොලැබෙන අතර, කිසිම කාලසටහනකට ද මෙම දුම්රිය බැඳී නැහැ. ඒ නිසා මේ දුම්රියට තියෙන්නේ නියමිත වේලාවකට වඩා පුරුදු වේලාවක්. ඒ පුරුදු වේලාවට කලින් මේ දුම්රිය පිටත් වෙන්නත් පුළුවන්, ප්‍රමාද වෙලා පිටත් වෙන්නත් පුළුවන්. තත්ත්වය මෙසේ තිබියදීත් සැළකිය යුතු මඟීන් පිරිසක් මේ දුම්රියේ ගමන් කරනවා. පුදුමයට කාරණය නම්, ඒ මඟීන්ගෙන් වැඩි කොටසක් ගමන් කරන්නේ අර සිහින් දූවිල්ල සහිත යපස් පුරවපු ගැල් මත නැගලා. මෙම දුම්රියට අමුණා ඇති එකම මඟී ප්‍රවාහන මැදිරිය බොහොම ඉක්මණින් මඟීන්ගෙන් පිරී යන නිසා, හොඳම විකල්පය වන්නේ යපස් පුරවා ගත් ගැල් මත නැඟී ගමන් කිරීම යි. නිකමට හිතන්න, දහවල් කාලයේ දී අධික අව් රශ්මියකින් සහ රාත්‍රී කාලයේ කාන්තාරවලටම ආවේණික වුණ අධික සීතල මැද්දේ විවෘත​ භාණ්ඩ ගැලක් මත ගෙවෙන කිලෝමීටර හත්සියයක ගමනක් ගැන..!

යපස් පතල් වල සිට ගමනාරම්භය සනිටුහන් කරන දුම්රිය/wildmanlife.com

මෙම දුම්රිය ගමනේ අනතුරුදායකබව රැඳී ඇත්තේ කටුක කාන්තාර දේශගුණය මත විතරක්ම නොවෙයි. එහි යපස් ගොඩගසා ඇති අන්දම සහ යපස්වල ඇති මෘදුබව නිසා, ඒවා මත නැග ගමන් කිරීම ඉතා අවදානම් ක්‍රියාවක්. මෙම අවදානම නොසලකා හැරපු බොහෝදෙනෙක් ගමන් කරන ගැල් මතින් ලිස්සා වැටී මියගොස් තිබෙනවා.

කෙසේ නමුත් සියළු දුෂ්කරතා විඳගෙන, මෙහි ජීවත් වන වැසියන්ට මේ අනතුරුදායක ගමන යන්න සිදුවෙනවා. මොරිටේනියාව අති දුෂ්කර, කාන්තාර පිරි රටක් නිසා මේ දුම්රිය මාර්ගය අවට පිහිටි ගම්මාන සහ වෙළඳ නගර අතර මාර්ග සම්බන්ධතා නැහැ. ඉතින් මේ යපස් ගෙනියන දුම්රිය තමයි මේ කාන්තාරබද වැසියන් ලෝකයට විවෘත කරන එකම මඟ වෙන්නේ. ඔවුන්ට විවිධ අවශ්‍යතා නිසා මේ දුම්රිය භාවිතා කරන්න සිද්ධ වෙනවා. ආහාර නිෂ්පාදන, බැටළුවන්, සහ අනෙකුත් භාණ්ඩ නගර කරා ප්‍රවාහනය කොට අලෙවිකර ගැනීම පූර්ණකාලීන රැකියාව කරගත් මිනිසුන් රාශියක් මෙම දුම්රියේ ගමන් කරනවා. ඔවුන් සතියකට කිහිප වතාවක් මෙම දුම්රියෙන් ගමන් කරන අතර, වැලි කුණාටු, අතිශය උණුසුම් දින සහ සීතල රාත්‍රීන් හරහා පැය ගණනාවක දුෂ්කර ගමනක් නිහඬවම විඳදරා ගන්නේ ජීවන සටන ඒ හැම පීඩාවකට වඩා ඉහළින් තිබෙන නිසා යි. ඒ වගේම නිශ්චිත නොවන ස්ථාන කිහිපයක මෙම දුම්රිය නතර කරන බැවින්, එම නතර කරන ස්ථාන අත්දැකීමෙන් දන්නා ගම්වැසියන් මෙම දුම්රිය කරා පැමිණ තම නිෂ්පාදන අලෙවි කිරීම හෝ හුවමාරු කරගැනීම සිදුකරනවා.

දුම්රියත් එක්ක බැදුණ දුෂ්කර ජන ජීවිතය/damianbrowne.com/

බොහෝ මොරිටේනියානු වැසියන් තවමත් ජීවත්වන්නේ ගම්බදව යි. එහෙත් නිසරු කාන්තාර පරිසරයෙන් හෙම්බත් වූ ගොඩාක් මිනිසුන් දැන් දැන් නගර කරා ඇදෙන්න පටන් අරගෙන තිබෙනවා. ඒ නිසා බොහෝමයක් දෙනාට තම සමීපතමයන් තාවකාලිකව හැරදමා ජීවිතය සොයන්න සිදුවී තිබෙනවා. එම පුද්ගලයින්, කලක් ගතවී මඳ අස්වැසිල්ලක් ලැබුණ පළමු අවස්ථාවේම නුවාඩිබූ වරාය නගරය හැරදමා, නැවතත් පතල් කරා පිටත්ව යන දුම්රියේ හිස් වූ භාණ්ඩ ගැල්වල නැඟී තම උපන් ගම්බිම් කරා එනවා.

ඒ අනුව මොරිටේනියානු ආර්ථිකයේ කොඳු නාරටිය දිගේ ඇදෙන මෙම දුම්රිය ඉටු කරන්නේ ආර්ථික මෙහෙවරක් පමණක්ම නොවෙයි. බොහෝමයක් මිනිසුන්ගේ ජීවිත මෙම දුම්රිය ගමන හා විවිධාකාරයෙන් බැඳී තිබෙනවා. ඇතැම්විට ඔබ පුදුම වෙනවාත් ඇති මෙම මිනිසුන් මේ තරම් අවදානම් ගමනක් සතිපතා යෑමට තරම් අසරණ වී ඇත්තේ ඇයි කියලා. නමුත් සංවර්ධනයක අරුණැල්ලක්වත් නොවැටුණු දූෂිත රාජ්‍යයන් තවමත් මේ ලොව තුළ පවතින බව අපට පිළිගැනීමට සිදු වෙනවා. මොරිටේනියාව කියන්නේ බොහෝ කාලයක් දේශපාලනික සහ සමාජීය අර්බුදවලින් පීඩාවට පත්වූ රටක්. මේ දුෂ්කර දුම්රිය ගමන එම පීඩාවේ සංකේතයක් වගේ කියලත් හඳුන්වන්න පුළුවන්.

සංචාරකයන් අතරත් ජනප්‍රිය වූ කාන්තාර ගමන

එක දිගට දවස් කිහිපයක් ලැබෙන නිවාඩුවක් ඉලක්ක කරගෙන සංචාරයක යෙදෙන්න තියෙනවා නම් අපි කවුරුත් කැමතියි. ඒ සංචාරය බොහෝවිට ගතට සිසිලසක් දැනෙන මධ්‍යම කඳුකර ප්‍රදේශයට හෝ අතීත ශ්‍රී විභූතිය විහිදී ඇති රජරට පළාත්වල, හෝ මුහුදුබඩව සිදු කරන්න තමයි අපි ගොඩක් වෙලාවට උත්සුක වෙන්නේ. නමුත් ලෝකයේ අනෙකුත් රටවල්වල වගේම ශ්‍රී ලාංකික අපි අතරත් ත්‍රාසජනක, දුෂ්කර සංචාරයන්ට කැමති උදවියත් ඉන්නවා. ඉතින් එවැනිම විදෙස් සංචාරකයන් අතර පසුකාලීනව මේ මොරිටේනියානු කාන්තාර දුම්රිය සංචාරයත් ප්‍රචලිත වෙනවා. ඔබත් ලෝකය දෙස වෙනස්ම කෝණයකින් දකින, වෙනස්ම අත්දැකීම් ලබා ගන්න කැමති සංචාරකයෙක් නම් මෙතනින් එහාට කරන විස්තර කිරීම මතුවට ප්‍රයෝජනවත් වේවි. මේ අති දුෂ්කර දුම්රිය ගමන සාර්ථකව නිම කළ ඇතැම් විදේශිකයන් විසින් ලබා ගත් අත්දැකීම්, උපදෙස් මාලාවක් ලෙස ඔවුන්ගේ සංචාරක සටහන්වල දක්වලා තිබෙනවා.    

මෙම යපස් ප්‍රවාහන දුම්රි‍යේ දිග කිලෝමීටර් දෙකකටත් අධික යි/bbc.com/

 

ඒ අනුව ඔවුන්ගේ මූලිකම සහ වැදගත්ම උපදෙස වන්නේ මේ සංචාරයට ස්වදේශික මඟපෙන්වන්නෙකු එකතු කරගන්නා ලෙස කරන ඉල්ලීම යි. එමෙන්ම මොරිටේනියාවේ අන්තර්ජාල සේවා දුර්වල නිසා ගමන් බිමන්වලට අදාළ සිතියම් කලින්ම බාගතකර තබා ගැනීම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මොරිටේනියාවේ වෙරළාශ්‍රිත ප්‍රදේශවල දී දුරකථන සම්බන්ධතා ගැන එතරම් වධවීමට අවශ්‍ය නොවුණත්, කෙමෙන් කෙමෙන් රටේ මධ්‍යයට ගමන් කරන විට මෙම සබඳතා දුර්වල වෙනවා. සංචාරකයෙකු ලෙස මෙම ගමනට එක් වන කෙනෙකු, දන්නා ශිෂ්ඨාචාරයෙන් තාවකාලිකව ඈත්වන නිසා, තොරතුරු සන්නිවේදනය ගැන සැළකිලිමත් වෙන එක වැදගත් කාරණාවක්.

අනෙක් වැදගත් කාරණය වන්නේ සංචාරකයෙකු ලෙස මෙම ගමන පටන් ගත යුතු ස්ථානය යි. මෙම ගමන ගිය බොහෝ පිරිසක් නිර්දේශ කරන්නේ, ගමනාරම්භක ස්ථානය වශයෙන් නුවාඩිබූ නම් වරාය නගරය තෝරා ගන්නා ලෙසට යි. ගමනේ නියම අත්දැකීම ලැබෙන්නේ දුම්රියට අමුණන ලද  විවෘත ගැලක් තුළ ගමන් කිරීමෙන් නිසා නුවාඩිබූ නගරයෙන් ගමන ආරම්භ කිරීම වාසිදායක යි. මොකද දුම්රිය යපස් පතල් කරා ගමන් කරන්නේ හිස් භාණ්ඩ ගැල් සමග යි. ඒ නිසා ඔබටම වෙන් වූ ගැලක් තුළ ගමන් කිරීමට අවස්ථාව උදා වෙනවා. අනෙක් අතට යපස් පිරවූ ගැලක ගමන් කරනවාට වඩා එය ආරක්ෂිත යි වගේම, දැඩි හිරුගෙන් සහ නිරන්තරයෙන් සුළඟට ගසා ගෙන එන වැලිවලින් ආරක්ෂා වෙන්නත් පුළුවන්. භාණ්ඩ ගැල තුළ ඉදිකර ඇති ඉණිමඟ භාවිතා කිරීමෙන් වඩා හොඳ දර්ශනයයක් ලබා ගැනීමට ද හැකි වෙනවා.

සංචාරකයෙකු ලෙස මෙම ගමන ඉතා දුෂ්කර සහ අවදානම්සහිත වූ චමත්කාරජනක අත්දැකීමක්/offbeattravelling.com

 

කාන්තාරය සැමවිටම උණුසුම්යැ යි සිතුණත්, සත්‍ය වශයෙන්ම රාත්‍රී කාලයේ දී කාන්තාරය බොහොම ශීතල ස්වභාවයක් ගන්නවා. ඒ නිසා ගමන වෙනුවෙන් උණුසුම රැකදෙන ඇඳුම්, බ්ලැන්කෙට්ටු රැගෙන යාම වැදගත්. මේ ගමනේ දී ගමන් මළුවලට ඇතුළත් කරන දේවල් හැකිතාක් අවම කරන එක නුවණට හුරු යි. රැගෙන යන භාණ්ඩ අතරට ජලය, පළතුරු, සහ ක්ෂණිකව ගත හැකි සරල ආහාර හැකිතාක් රැගෙන යාම අනිවාර්යයෙන්ම කළයුත්තක්.

කොහොම නමුත් මේ දක්වලා තියෙන්නේ සරල සහ මූලික උපදෙස් කිහිපයක් පමණ යි. මෙවැනි ගමනක් යාමට මත්තෙන් සංචාරකයෙක් ලෙස අධ්‍යයනය කළ යුතු කරුණු රාශියක් තියෙනවා. ගමනේ දී මුහුණපාන දුෂ්කරතා ගැන පමණක් නොව අදාළ රටේ සමාජීය, දේශපාලනික සහ සංස්කෘතික​ තොරතුරු වටහා ගැනීම ඉතා වැදගත් වෙනවා. උදාහරණයක් ලෙස මොරිටේනියාව කියන්නේ මානව හිමිකම් අමු අමුවේම උල්ලංඝණය වෙන රටක්. තවමත් වහල් සේවය සිදුකරගෙන යන රටක් ලෙස මොරිටේනියාව ලෝකය පුරා දෝෂ දර්ශනයට ලක් වෙලා තිබෙනවා. එසේම රටවැසියන් සංචරකයින්ව මංකොල්ලකෑමේ ඉඩකුත් නැහැ කියන්න බැහැ.

ඉතින් ඔබත් ත්‍රාසජනක සහ දුෂ්කර බව විඳිමින් කරන සංචාරවලට කැමති පුද්ගලයෙකු නම්, ඔන්න තියෙනවා අවස්ථාවක්. හැබැයි ප්‍රවේසමෙන්!

cover photo: wildmanlife.com

මූලාශ්‍රයයන්:

youngpioneertours.com

goworldtravel.com

bbc.com

Related Articles