Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමෙරිකානු සිහිනයට ජීවිත පරදුවට තබන අනවසර සංක්‍රමණිකයෝ

 ඩෙනිස් සැනබ්‍රියා යනු අමෙරිකා එක්සත් ජනපදයේ නැෂ්විල් ප්‍රදේශයේ සේවය කරන වඩු කාර්මිකයෙක්. එක්තරා දිනක සුපුරුදු රාජකාරිවල යෙදෙන අතරතුර ඔහුගේ ජංගම දුරකථනය නාද වුණා. එය මෙක්සිකෝවට අයත් දුරකථන අංකයක් බව ඔහුට අවබෝධ වුණා. දුරකථනය තුළින් ඔහුට අසන්න ලැබුණේ හොඳ පණිවිඩයක් නම් නොවේ.

තම සහෝදරයා වන ඩේවිඩ් සහ ඩේවිඩ්ගේ සිවු හැවිරිදි කුඩා දියණිය කිමෙනා පැහැරගත් බවත්, ඔවුන් පණ පිටින් දැකීමට අවශ්‍ය නම් ඉදිරි දින අට තුළ අමෙරිකානු ඩොලර් 7500 ක මුදලක් අවශ්‍ය බවත්, මෙක්සිකෝවේ නාඳුනන කටහඬ ඩෙනිස්ට දැනුම් දුන්නා.

ඩේවිඩ් සැනබ්‍රියා සහ ඔහුගේ දියණියගේ සිදුවීම සංක්‍රමණිකයන් මුහුණ දෙන ගැහැටවල එක් පැතිකඩක් පමණ යි.
 – www.nbcnews.com 

 අනන්‍යතාව සැඟවූ කප්පම්කරු ඩෙනිස්ගේ සිතට කොපමණ භීතියක් ගෙනාවදැ යි අමුතුවෙන් පැවසිය යුතු නැහැ. සතියක් පුරා ඩෙනිස්ට තම සොහොයුරා සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ අතර, හොන්ඩුරාස් රාජ්‍යයේ සිට මෙක්සිකෝ දේශසීමාව දක්වා ඔවුන් රැගෙන ආ ජාවාරම්කරු සම්බන්ධ කර ගැනීමේ උත්සාහයත් ව්‍යර්ථ වුණා. පැය දෙකකට පසු නැවත දුරකථනය නාද වූණා. එවර ඩෙනිස් ඇමතුවේ ඩේවිඩ් ම යි. අදාළ කප්පම් මුදල නියමිත කාලය ඇතුළත ගෙවීම සඳහා උපරිම උත්සාහයක් ගන්නා ලෙස ඩේවිඩ් ඔහුගෙන් අයැ ද සිටියා. 

කබලෙන් ළිපට ඇද වැටීම

 2020 වසරේ නොවැම්බර් මාසයේ දී හොන්ඩුරාස් රාජ්‍යයට බලපෑ “ඊටා” සහ “අයෝටා” නම් සුළි කුණාටු ද්විත්වය නිසා එහි වැසියන්ට විශාල අලාභහානි සිදු වුණා. ඩේවිඩ්ගේ පවුල යැපුණු බෝංචි සහ ඉරිඟු වගාවට අත් වුණෙත් ඉතා ඛේදනීය ඉරණමක්. එක ළඟ බලපෑ දරුණු සුළි කුණාටු සහ දිනෙන් දින වැඩිවන දේශපාලන කැලඹීම් නිසා හොන්ඩුරාස් සිට එක්සත් ජනපදය දක්වා පලා යන පිරිස සැලකිය යුතු ලෙස වැඩි වුණා. ඩේවිඩ් සහ ඔහුගේ කුඩා දියණියත් ඒ “පලා යන ප්‍රවාහයට” එකතු වූ දෙදෙනෙක්. අමෙරිකානු සිහිනය හිසේ දරා ගනිමින් ජීවිතය උරගා බලන්නට ඔවුන් තෝරාගත්තේ භයානක මාර්ගයක්. 

දුෂ්කරතා මැද එකිනෙකාගේ උපකාර ලබා ගන්න සංක්‍රමණිකයන් – www.theatlantic.com 

 මාසයක් පුරා ඩේවිඩ් සහ ඔහුගේ දියණිය අතහැර දැමූ නිවෙස්, දුම්රිය මාර්ග අද්දර සහ ගස් යට ගිමන් හරිමින් මෙක්සිකෝවට ගමන් කළා. ගමන අතරමඟ සංක්‍රමණිකයන්ගේ තාවකාලික පැල්පත්වලින් ආහාරයට ලැබෙන ඕනෑම දෙයක් භාර ගන්න ඔවුන් පසුබට වුණේ නැහැ. උතුරු මෙක්සිකෝවේ මොන්ටෙරි ප්‍රදේශයට ළඟා වූ වහා ම ඔවුන් ට්‍රක් රථයකට නංවා ගත් අතර, එහි තවත් අනවසර සංක්‍රමණිකයන් අට දෙනකු සිටියා. නගර සීමාව අසල දී සන්නද්ධ පුද්ගලයන් කිහිපදෙනකුගේ නියෝගය මත ට්‍රක් රථය නැවැත්වීමට සිදු වුණා. අනතුරුව සංක්‍රමණිකයන් සියල්ලන් ම සන්නද්ධ කල්ලියේ පරීක්ෂාවට බඳුන් වුණා.

 සංක්‍රමණිකයන් සියල්ල ම එක්තරා ගබඩාවකට ගෙන ගිය පසු සන්නද්ධ පුද්ගලයෙක් ඔවුන්ගේ ජංගම දුරකථන ඉල්ලූ අතර, එක්සත් ජනපදයට පැමිණීම සඳහා ඔවුන්ට උදව් කරන ඥාතීන් ගැන තොරතුරු විමසා තිබෙනවා. ප්‍රදේශය හරහා ගමන් කිරීමට නම් මුදල් ගෙවිය යුතු බවත්, අදාළ මුදල අමෙරිකාවට සංක්‍රමණය වූ ඥාතියා හරහා ලබා දිය යුතු බවත්, ඔවුන් පවසා සිටියා. අපරාධ කල්ලියක පැහැර ගැනීමකට තමා සහ තම දියණිය ලක් වූ බව ඩේවිඩ්ට අවබෝධ වුණේ එවිට යි. දින දෙකක් ඔවුන්ට සිරගත ව සිටීමට සිදු වුණා. පසුව, කාන්තාරයේ පිහිටි කඳවුරකට ඔවුන් ගෙන ගියා. ප්‍රාණ ඇපයේ සිටි තවත් සංක්‍රමණිකයන් පනස් දෙනකු පමණ එම කඳවුරේ සිටින බව ඩේවිඩ්ට අවබෝධ වුණා.

අනවසර සංක්‍රමණිකයන් රියෝ ග්‍රාන්ඩේ ගංගාව තරණය කරන ස්ථානය – www.bbc.com 

මරණය අබියස..

 අමෙරිකාවට සංක්‍රමණය වුණත්, ඩෙනිස් සිටියේ දැවැන්ත ජීවන අරගලයක යෙදෙමින්. තමා සතු ව මුදල් නොමැති බව පැවසූ සෑම අවස්ථාවකදී ම අපරාධ කල්ලි සාමාජිකයන් ඩේවිඩ්ට දරුණු ලෙස පහර දුන්නා. නියම කළ දිනය දක්වා කප්පම් ගෙවීමට නොහැකි වූ සිරකරුවන් කිහිපදෙනකු කඳවුරේදී ම ඝාතනයට ලක් වුණා.

“දිගු පිහියකින් ඔවුන්ව කැබලි කර දැමුවා. මට කළ හැකි එකම දෙය වුණේ එම ඝාතන ඉදිරියේ මගේ දුවගේ දෑස් සහ දෙකන් වසා දැමීමට හැකිතාක් උත්සහ කිරීම පමණ යි. නැත්නම් ඒවා දරුණු මතක විදිහට ඇයගේ ජීවිතය සමඟ හැමදාම රැඳේවි”

ඩේවිඩ් තම අත්දැකීම පසු කලෙක පැහැදිලි කොට තිබුණා.

 ඉන්පසු මරා දැමුණු මිනිස් සිරුරු පිසිනු ලැබූවේ ඉතිරි ව සිටි සංක්‍රමණිකයන්ගේ ආහාරය ලෙසට යි. මරා දැමුණු පුද්ගලයන් කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි වන පරිදි අතුරුදහන් කරවීම එහි අරමුණ වුණා.

ඩෙනිස් සැනබ්‍රියා තම සහෝදරයා බේරාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවා – www.nbcnews.com 

ඩෙනිස්ගේ අරගලය

 අදාළ කප්පම් මුදල සෙවීමට ඩෙනිස්ට සෑහෙන අරගලයක් කිරීමට සිදුවුණා. ඩොලර් 4000 ක මුදලක් ඔහු ණයක් වශයෙන් ලබා ගත් අතර, ඉතිරි මුදල සෙවීම සඳහා ලැජ්ජාව පසෙක ලා ඔහු මහමඟට බැස්සා. සහෝදරයාගේ තත්ත්වය පැහැදිලි කරන දැන්වීම් සමඟ ඩෙනිස් මිනිසුන්ගෙන් මුදල් උපකාර පැතුවා. සතියක් ඇතුළත තවත් ඩොලර් 3500 ක් එකතු කර ගැනීමට ඔහු සමත් වුණා.

 ඩේවිඩ් සහ කිමෙනා නිදහස් වූ අතර, ඔවුන් දෙදෙනා රියෝ ග්‍රෑන්ඩ් ගංගාව බලා පයින් ම පිටත් වුණා. ගංගාව තරණය කිරීමෙන් ඔවුන්ට එක්සත් ජනපදයට ඇතුළු වෙන්නට හැකියාව ලැබෙනවා. දියණිය පිට තබාගෙන ඔහු ඒ අභියෝගයත් ජය ගත්තා. ගංගාව තරණය කොට විනාඩි පහකට පසු දේශසීමා මුර සංචාරකයන්ට ඔවුන් මුණ ගැසුණු අතර, මායිම අසල පිහිටි ආගමන රැඳවුම් මධ්‍යස්ථානය වෙත පියා සහ දියණිය ගෙන යෑමට නිලධාරීන් ක්‍රියා කළා.

කොළොම්බියාව සහ පැනමාව හරහා මධ්‍යම අමෙරිකාවේ ඝන වනාන්තර මැදින් ගමන් කිරීමට සංක්‍රමණිකයන්ට සිදු වෙනවා.
–  www.theatlantic.com 

යන අතරතුර ඩේවිඩ් මුර සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියේ එකම එක දෙයක් පමණ යි. ඔවුන් නැවත පිටුවහල් කිරීමට අවශ්‍ය නම් කෙළින්ම හොන්ඩුරාස් වෙත යවන ලෙසත්, මෙක්සිකෝවට පිටුවහල් නොකරන ලෙසත්, ඩේවිඩ් අයැද සිටියා. ඩේවිඩ්ට මෙක්සිකෝව යනු නරක සිහිනයක් පමණ යි.

දැවැන්ත මානව අර්බුදයක්

 අමෙරිකා-මෙක්සිකෝ දේශ සීමාව ආශ්‍රිත ව පවතින අනවසර සංක්‍රමණික ගැටලුව ලෝකයේ දැවැන්තම මානව අර්බුදවලින් එකක් ලෙස හැඳින්විය හැකි යි. එම ගැටලුව පවතින්නේ අද ඊයෙක සිට නොවෙයි. අමෙරිකාව සහ මෙක්සිකෝව වරින් වර මෙම අර්බුදයට මුහුණ දෙනවා. කාලයත් සමඟ මෙක්සිකෝව, කැරීබියන් දූපත්, මධ්‍යම හා දකුණු අමෙරිකානු කලාප තුළ එක්සත් ජනපදය ඉලක්ක කරගත් මිනිස් ජාවාරම සරුවට ම පැතිරුණු අතර, ජාවරම්කරුවන් නිසා සංක්‍රමණිකයන් විවිධ හිරිහැරවලට අතරමඟ දී මුහුණ දෙනවා.

අමෙරිකානු සිහිනය කරා.. – www.theguardian.com 

 ඩේවිඩ් සහ කිමෙනා මුහුණ දුන් සිදුවීම මේ ගැහැටවල එක් පැතිකඩක් පමණ යි. මිනිස් ජාවාරම්කරුවන් මෙක්සිකෝ-අමෙරිකා දේශ සීමාව ආසන්නයේදී අපරාධ කල්ලි සඳහා මුදල් ගෙවිය යුතු යි. මුදල් ගෙවූ පසු ඔවුන්ගේ බල ප්‍රදේශය හරහා සංක්‍රමණිකයන් ගෙන යෑමට අවසර ලැබෙනවා. ඇතැම් ජාවාරම්කරුවන් තම සංක්‍රමණිකයන් අතරමඟ දමා පලා යනවා. එවිට ඔවුන්ගේ මුදල  කප්පමක් ලෙස ගෙවීමට සංක්‍රමණිකයන්ට සිදු වෙනවා.

 ඩේවිඩ් මුහුණ දුන් අත්දැකීම්වලට අනවසරයෙන් පැමිණෙන සියලු දෙනා මුහුණ දෙන්නේ නැහැ. නමුත්, සෑම අනවසර සංක්‍රමණිකයකුට ම පවසන්නට තමන්ගේම කියා කතාවක් තිබෙනවා. ඒ කතා තුළින් පැන නඟින සමාජ, දේශපාලනික හා ආර්ථික අර්බුද තනි ලිපියකින් විස්තර කළ නොහැකි තරමට ම සවිස්තරාත්මක යි, සංකීර්ණ යි.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල හිඟකම නිසා සංක්‍රමණිකයන් ඒවා මෙක්සිකෝවෙන් සපයා ගන්නවා – www.theguardian.com 

මෑත ඉතිහාසය තුළ ඇතිවූ දැවැන්ත ම සංක්‍රමණික අර්බුදයකට අමෙරිකා එක්සත් ජනපදය දැන් මුහුණ දෙමින් සිටිනවා. පසුගිය ජූලි මාසයේ දී එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ රඳවා ගෙන සිටින සංක්‍රමණිකයන් සංඛ්‍යාව විසිඑක් වසරකට පසු දෙලක්ෂය ඉක්මවා ගියා. මෙම තත්ත්වය පසුගිය සැප්තැම්බරයේදී වඩාත් උග්‍ර අතට හැරුණා.

බලාපොරොත්තුවේ ගංගාව

 සති කිහිපයකට පෙර සංක්‍රමණිකයන් 10,000 ක් පමණ දෙරට යා කරන පාලමක් යටට රැස්වීමත් සමඟ වර්ධනය වෙමින් පවතින මානුෂීය අර්බුදයක් කරා මෙම ගැටලුව ගමන් කළා. මෙම පාලම අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩෙල් රියෝ සහ මෙක්සිකෝවේ සියුඩාඩ් අකුනා යන ප්‍රදේශ සම්බන්ධ කරමින් දිව යනවා. ඒ අසල තිබෙන තාවකාලික කඳවුර පසුගිය දිනවල පුදුමාකාර වේගයකින් වර්ධනය වුණා. දෙරට වෙන් කරමින් ගලා යන රියෝ ග්‍රාන්ඩේ ගංගාව තරණය කර පැමිණෙන සංක්‍රමණිකයන් පාලම යට ගිමන් හරින්නේ ඉතා දුෂ්කර ජීවන තත්ත්වයක් මැද යි.

 මෙම සංක්‍රමණිකයන්ගෙන් බොහෝමයක් හයිටි ජාතිකයන් වෙනවා. ඒ අතර මධ්‍යම අමෙරිකානු කලාපයේ සංක්‍රමණිකයන් ද සිටිනවා. කලක පටන් එක්සත් ජනපදය ඉලක්ක කරගත් සංක්‍රමණිකයන්ගේ ජනප්‍රිය සහ අවසාන ප්‍රයත්නය වන්නේ රියෝ ග්‍රාන්ඩේ ගංඟාව තරණය කිරීම යි. ඉන්පසු තම බලාපොරොත්තු දේශසීමාවේ සිටින ආරක්ෂ අංශ වෙත භාර දී ඔවුන් දෛවයට ඉඩ දෙනවා. මේ වනවිට සංක්‍රමණිකයන් 195,000 ට වැඩි ප්‍රමාණයක් දේශසීමාව අසල දී මෙක්සිකානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කරමින් පාලනය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.

මධ්‍යම අමෙරිකාව හරහා සංක්‍රමණය සිදුවන රටාව-  sanmigueltimes.com

නිහඬ නික්මයෑම

 අමෙරිකා එක්සත් ජනපදය මුහුණ දෙන සංක්‍රමණික අර්බුදයේදී හයිටියෙන් වන බලපෑම කැපී පෙනෙන මට්ටමින් වර්ධනය වී තිබෙනවා. දරුණු ගණයේ භූමිකම්පා සහ අවිධිමත් දේශපාලනය නිසා පසුගිය දශක කිහිපය තුළ හයිටිය විනාශයේ පතුලට ම ළඟා වුණා. හයිටිය මිනිස් වාසය සඳහා තවදුරටත් සුදුසු රටක් නොවෙයි. එහි වැසියන්ට ඇති එකම විසඳුම වන්නේ වෙනත් රටක සරණාගතයන් වීම යි.

2010 ඇතිවූ දරුණු භූමිකම්පාවෙන් පසු හයිටි වැසියන් දහස් ගණනක් දකුණු අමෙරිකානු රටවල් කරා සංක්‍රමණය කිරීම ඇරඹුණා. පසුකාලීනව දකුණු අමෙරිකානු කලාපය තුළ ඇතිවූ සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුද නිසා ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වුණේ එක්සත් ජනපදය යි. ඒ අතරට දකුණු හා මධ්‍යම අමෙරිකානු කලාපයේ අනවසර සංක්‍රමණික රැල්ලත් එකතු වී ලෝක බලවතාට දැනෙන අර්බුදයක් බවට එය පරිවර්තනය වුණා.

 2021 වසර හයිටි රාජ්‍යය කබලෙනුත් ළිපට වැටුණු අවුරුද්දක් වුණා. බොහෝ කාලයකට කලින් ආර්ථික පරිහානියට පත් වූ හයිටියට ගෝලීය වසංගතයත් සමඟ එන අර්බුදවලට මුහුණ දෙන්නට හැකියාවක් නැහැ. පසුගිය අගෝස්තුවේ ඇතිවූ දරුණු භූමිකම්පාව සහ හයිටි ජනපති යොවෙනල් මොයිස් ඝාතනය කිරීමෙන් ඇති වූ අර්බුදත් සමඟ නව සංක්‍රමණික රැල්ලක් හයිටියෙන් ඇරඹුණා. ඔවුන් දැන් කෙමෙන් කෙමෙන් මෙක්සිකෝව හරහා රියෝ ග්‍රාන්ඩේ ගංගාවට ළඟා වෙමින් සිටිනවා. ඒ අනුව සංක්‍රමණික රැල්ල පාලනය කිරීම සඳහා එක්සත් ජනපදයට පෙරට වඩා වැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී තිබෙනවා.

 මුළු ලෝකය ම ඇෆ්ගනිස්තානයෙන් පලායෑමට උත්සහ දරන සරණාගතයන් ගැන අවධානය යොමු කර තිබෙනවා. එහෙත්, මෑතක සිට හයිටිය මූලික කරගත් සංක්‍රමණික රැල්ල ගැන ඇත්තේ සාපේක්ෂ ව අඩු අවධානයක්. සැබැවින් ම එය නිහඬ නික්ම යෑමක් බඳු යි.

සංක්‍රමණිකයන් පලවා හරින එක්සත් ජනපද දේශසීම මුර භටයන් – www.theguardian.com 

බයිඩන් පාලනයේ ප්‍රතිචාරය

 එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ අර්බුදයට ප්‍රමාණවත් ලෙස විසඳුම් දීමට බයිඩන් පරිපාලනය අපොහොසත් වුවහොත්, බොහෝ මිනිසුන් එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කළ හැකි බව ග්වාතමාලාවේ දූෂණ විරෝධී ක්‍රියාකාරීන් අනතුරු අඟවනවා. ඔවුන්ගේ ඇස්තමේන්තුව අනුව තවත් සංක්‍රමණිකයන් මිලියනයක් ඉදිරියේ දී එක්සත් ජනපද දේශසීමාව කරා පැමිණීමට නියමිත ව තිබෙනවා.

මේ දක්වා හයිටි ජාතිකයන් හයදහසක් පමණ දේශ සීමා කලාපයෙන් පිටුවහල් කිරීමට එක්සත් ජනපද පරිපාලනය කටයුතු කර තිබෙනවා. තවත් බොහෝ පිරිසක් එක්සත් ජනපදයේ රේගු සහ දේශසීමා ආරක්ෂක අංශය භාරයේ සිටින අතර, ඔවුන්ටත් ඉදිරියේදී පිටුවහල් වීමට සිදුවනු ඇති. පිටුවහල් කිරීමට බියෙන් තවත් පුද්ගලයන් 8,000 ක් මෙක්සිකෝව වෙත ගොස් තිබෙනවා. රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කරන අන්දමට ඔවුන්ගේ ඉරණම අපැහැදිලි යි.

අත් නොහරින අමෙරිකානු සිහිනය

 අසුන් පිට නැඟී පැමිණෙන දේශසීමා මුර සංචාරක භටයන් රියෝ ග්‍රාන්ඩේ ගංගාව තරණය කොට පැමිණෙන සංක්‍රමණිකයන් නැවත මෙක්සිකෝව වෙත පලවා හැරීමේ ක්‍රියා මේ වනවිට සිදු වෙමින් පවතිනවා. සංවේදී මානුෂීය ගැටලුවක් නිසා මානව හිමිකම් සංවිධාන දේශසීමා ආසන්නයේ සිදුවන අකටයුතුකම් ගැන සැලකිල්ලෙන් සිටින බවටත් වාර්තා වෙනවා.

 සංක්‍රමණික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන නීතිවේදීන් සහ ප්‍රගතශීලි ඩිමොක්‍රටික් නායකයන් ගෙන් ජෝ බයිඩන්ගේ පරිපාලනයට චෝදනා එල්ල වෙමින් තිබෙනවා. සරණාගතභාවය පතා පැමිණෙන අයට රැකවරණය ලබා නොදීමෙන් බයිඩන් පරිපාලනය ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරන බව ඔවුන් පවසනවා.

රියෝ ග්‍රාන්ඩේ හරහා වැටී ඇති පාලම අසල රැස්ව සිටින සරණාගතයෝ – www.theatlantic.com 

 බයිඩන් පරිපාලනය අර්බුදයේ හේතු මූලයට විසඳුම් සෙවීමට අපොහොසත් වී ඇති බව මධ්‍යම අමෙරිකානු කලාපයේ සමාජ ක්‍රියාකාරීන් පවසනවා. විවේචන සහ පීඩනය හමුවේ ධවල මන්දිරය උත්සාහය අතහැරීමේ අවදානමක් ගැනත් ඔවුන් බියට පත් ව සිටිනවා.

 නුදුරේදීම ග්වාතමාලාව, එල් සැල්වදෝරය සහ හොන්ඩුරාස් රාජ්‍යවල සමාජ ආර්ථික වැඩසටහන් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4 ක මුදලක් ප්‍රදානය කිරීමට එක්සත් ජනපද රජය සූදානමින් සිටිනවා. මුදල් ප්‍රදාන ලබා ගන්නා රටවල පුරවැසියන්ට තම රටේ ම රැඳී සිටීමට දිරි ගැන්වීම එහි අරමුණ යි. කමලා හැරිස් මේ ක්‍රියාදාමය සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරමින් සිටිනවා. අයර්ලන්තය, ෆින්ලන්තය, ජපානය, දකුණු කොරියාව වැනි රටවලින් පවා කමලා හැරිස් මෙහිදී පරිත්‍යාග අපේක්ෂා කරන බව වාර්තා වෙනවා. කෙසේ නමුත්, මෙක්සිකෝ-එක්සත් ජනපද දේශසීමාවෙන් පහළ ගොඩනැඟෙමින් පවතින ආර්ථික පීඩනය හමුවේ සංක්‍රමණිකයන් තම “අමෙරිකානු සිහිනය” ලෙහෙසියෙන් අත් නොහරිනු ඇති. 

කවරයේ ඡායාරූපය: හයිටි සංක්‍රමණිකයන් රියෝ ග්‍රාන්ඩේ ගංගාව තරණය කරමින් - www.theatlantic.com

මූලාශ්‍ර:

www.nbcnews.com

abcnews.go.com

www.bbc.com/news

english.elpais.com 

www.aljazeera.com 

www.foxnews.com 

Related Articles