Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මනස්කාන්ත දූපත් කිහිපයක්

ශ්‍රී ලංකාව ද දූපතක්. අතීතයේ පටන් ශ්‍රී ලංකාවට ගොඩබට විදේශිකයින් මෙහි සුන්දරත්වය පිළිබඳ විවිධ තැන්හි විග්‍රහ කොට තිබෙනවා. ශ්‍රී ලංකාව මෙන්ම සුන්දර, එහෙත් ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා දූපත් රාශියක් ලොව පිහිටා තිබෙනවා. සංචාරයට ලැදි ඔබ සඳහා, එවැනි කිහිපයක් පිළිබඳ තොරතුරු ගෙන එන්නට අපි අදහස් කළා.

මාලදිවයින්

Joali Maldives

මාලදිවයින් සැළකෙන්නේ ලොව ඉතාමත් සුන්දර දූපත් ගොන්නක් ලෙස යි. ඉන්දීය සාගරයේ පිහිටි මේවා ගණනින් 1000කට වඩා වැඩි වෙනවා. මේ දූපත් කොරල් පර, බොකු, තුඩු හා මනස්කාන්ත වෙරළ තීරයන් ගෙන් සමවිත යි. විශේෂයෙන් වෙරළ තීරයන්ගේ සුදු වැලි හා පිරිසිදු ජලය ඉතා අලංකාර දසුන් මවන අතර ඒ ආශ්‍රිතව ජීවත් වන මුහුදු ජීවීන් එම අලංකාර තවත් තීව්‍ර කරනවා. කොරල් වර්ග 70ක් පමණ මාලදිවයින ආශ්‍රිත මුහුදු තීරයේ පිහිටා තිබෙනවා. ලොව බොහොම දෙනා මධුසමය ගතකරන්නට මෙන්ම නිවාඩුව ගත කරන්නටත් මාලදිවයින් තෝරාගන්නේ මෙහි ඇති සුන්දරත්වය නිසාම යි.

බෝරා බෝරා

boraborapearlbeachresort

බෝරා බෝරා ප්‍රංශ පොලිනීසියාවට අයත් අලංකාරතම දූපත යි. මෙම දූපතත් බොහෝ විවාහක යුවල සිය මධුසමය ගතකිරීම සඳහා තෝරාගන්නවා. එමෙන්ම මෙය ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ තෝතැන්නක් වෙනවා. බෝරා බෝරාහි පිහිටි මනස්කාන්ත කලපුව ලොව අලංකාරතම කලපුවක් ලෙස හැඳින්වෙනවා.

මාලදිවයින් මෙන්ම බෝරා බෝරා ද සුදෝසුදු වැලි සහිත වෙරළතීරයන්ට පරසිදු යි. මේවායේ ජලය ද නිල්වන්, පිරිසිදු ඒවා වෙනවා. මුහුද ආශ්‍රිතව සාදන ලද කුඩා හෝටල් මෙන්ම ජල ක්‍රීඩාවලටත් බෝරා බෝරා ප්‍රසිද්ධියක් උසුලනවා.

පලවන්

alajode.com

පලවන්, පිලිපීනයට අයත් වඩාත්ම මනස්කාන්ත දූපත යි. මෙය සමහර තැනෙක හැඳින්වෙන්නේ පිලිපීනයේ ස්වභාවික ආශ්චර්යයක් ලෙස යි. මෙහි වෙරළතීරය සැතපුම් 1240ක් දුරට විහිදී තිබෙන අතර, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් අපවිත්‍ර වී නැහැ.

ලොව නව ස්වභාවික පුදුම 7න් එකක් පලවන්හි පිහිටා තිබෙනවා. ඒ පුවර්ටෝ ප්‍රින්සෙසා භූගත නදිය යි. සැතපුම් 5ක් දිග මෙය යාත්‍රා කළ හැකි තත්ත්වයේ පවතින, ලොව දිගම භූගත නදිය යි. මෙය කේන්ද්‍රගත කොටගෙන නම් කර ඇති ජාතික උද්‍යානය 1999 වසරේ දී යුනෙස්කෝ සංවිධානය මඟින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළා.

පලවන්හි තවත් සුවිශේෂී ස්ථානයක් වෙන්නේ තුබ්බතහා කොරල් පර ස්වභාවික උද්‍යානය යි. හෙක්ටයාර 13028ක විශාලත්වයකින් යුතු මෙය වෙරළාසන්නව ජීවත් වන ජීවී වර්ග රාශියකටම රැකවරනය සලසනවා. ඊට කැස්බෑවුන්, මුහුදුබඩව ජීවත් වන පක්ෂීන් වර්ග කිහිපයක්ම ඇතුළත් වෙනවා.

ඉහත සඳහන් කළ දේවලට අමතරව පලවන් දූපත තුළ වැසි වනාන්තර, වගුරු, ගංගා, විල් හා දියඇලි කිහිපයක් ද පවතිනවා.

ගැලපගෝස් දූපත්

worldnomads.com

ඉක්වදෝරයට අයත් ගැලපගෝස් දූපත් සැලකෙන්නේ වනජීවී තෝතැන්නක් හා ලොව වඩාත් අලංකාර දූපත් කිහිපයක් ලෙස යි. ඉක්වදෝරයට සැතපුම් 621ක් දුරින්, පැසිෆික් සයුරේ ස්ථානගත ඇති ගැලපගෝස්  ප්‍රධාන වශයෙන් දූපත් 18කින් සමන්විත වෙනවා. මීට අමතරව වඩා කුඩා දූපත් තුනක් ද, මුහුදින් මතු වී ඇති ඉතා කුඩා ගොඩබිම් 100ක් පමණ ද මෙහි පවතිනවා. මින් බහුතරය කිසි දිනෙක මිනිස් පහසකින් අපවිත්‍ර නොවූ ඒවා අතර, ඒ ආකාරයෙන් ලොව පවතින ස්ථාන කිහිපයෙන් එකක් වෙනවා.

ගැලපගෝස් දූපත් තුළ ඒකදේශික සත්ත්ව විශේෂ රාශියක් ජීවත් වෙනවා. ගැලපගෝස් ඉබ්බා, මුහුදුබඩ තලගොයා, ගැලපගෝස් සීල්, ගැලපගෝස් පෙන්ගුයින් සහ ගැලපගෝස් උකුස්සා එවැනි විශේෂ අතරින් ප්‍රධාන කිහිපයක් වෙනවා. මේ විශේෂ එහි පරිසර පද්ධතිය තුළ කිසිදු බාහිර තර්ජනයකට ලක් නොවී සුරැකිව පවතිනවා. මේවා වෙනත් බාහිර විශේෂ සමග මුසු වී නැති නිසා විශේෂ ලක්ෂණ දරනවා.

වනජීවීන් ට අමතරව ගැලපගෝස් එහි ඇති මනස්කාන්ත වෙරළතීරවලට ද ප්‍රසිද්ධියක් උසුලනවා. මේවායේ ජලය හා වැල්ල ඉතා පිරිසිදු මට්ටමක පවතිනවා.

සැන්ටොරිනි

thomascook.com

සැන්ටොරිනි හැඳින්වෙන්නේ ග්‍රීසියට අයත් අලංකාරතම දූපත ලෙස යි. මෙය සංචාරකයින් අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ එහිදී දැකබලාගත හැකි හිරු බැසයාමේ අලංකාර දර්ශනය නිසා යි. මෙහි පිහිටා ඇති ඔයියා නගරයට පෙනෙන හිරු අවරට යාම, එවැනි දර්ශනයක් ලොව අලංකාරම ලෙස පෙනෙන ස්ථානයක් ලෙස හැඳින්වෙනවා.

සැන්ටොරිනි සිය වෙරළ තීරයන්ට ද ප්‍රසිද්ධියක් උසුලනවා. මෙහි වෙරළ තීරය කළු හා රතු පැහැති වැල්ලෙන් යුක්ත අතර පිරිසිදු ජලය පවතිනවා. මේවායේ ජල ක්‍රීඩා කිරීමට සුදුසු වාතාවරණයක් පවතිනවා. මීට අමතරව සැන්ටොරිනි හි කුඩා කඳු ගැටවල මුදුනෙහි ඉදි කර ඇති, සුදු වර්ණ ආලේපිත ගොඩනැගිලි ද චමත්කාරජනක දසුනක්. සැන්ටොරිනි සැලකෙන්නේ ඡායාරූප ශිල්පීන් හට ඉතා සුදුසු, විචිත්‍ර වර්ණවලින් සුසැදි දූපතක් ලෙස යි.

ක්‍රීට්

travelpassionate.com

ක්‍රීට් දූපත ග්‍රීසියට අයත් විශාලතම දූපත යි. එමෙන්ම එය ඉතා අලංකාර දූපතක් ලෙස ද සැලකෙනවා. මෙය වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ පාරාදීසයක් බඳු, පිරිසිදු ජලය සහිත වෙරළ තීරයන් නිසා යි. ක්‍රීට් දූපතෙහි වෙරළ තීරය සැතපුම් 650කට වඩා දිගු වෙනවා. මීට අමතරව මෙහි අලංකාර කඳු ගැට, නිම්න හා තීව්‍ර බෑවුම් වැනි දේ ද දැකගන්නට පිළිවන්.

ක්‍රීට් දූපතෙහි බිම් සැකැස්ම ඉතා අසමාකාර යි. මේ නිසා එහි සෑම තැනකම පාහේ තරණය කළ හැකි මට්ටමේ කඳු ගැට වැනි දේ පිහිටා තිබෙන අතර ඒවා කඳු නගින්නන්ට ඉතා සතුටුදායක අත්දැකීම් ලබා දෙනවා. වයිට් කඳු පන්තිය, ඉඩා කඳු පන්තිය මෙන්ම ඩික්ටි කඳු ද ඔවුන් අතර වඩා ජනප්‍රිය පෙදෙස් වෙනවා.

ක්‍රීට් දූපත දියඇලිවලට පෙම් බඳින්නන්ට ඉතා සුදුසු ස්ථානයක් වෙනවා. මෙහි විවිධ උසින් යුක්ත දිය ඇලි සිය ගණනක් දැකගත හැකියි. මෙහි ශාක විවිධත්වය ද ඉතා ඉහළ වන අතර ශාක විශේෂ 2000ක් පමණ පවතිනවා. ඉන් 300ක් පමණ ඒකදේශික වෙනවා. මේවාට අමතරව ක්‍රීට් දිවයින තුළ වනාන්තර, කුඩා දූපත් හා ස්වභාවික ගුහා වැනි දේ ද දැකගන්නට පුළුවන්.

ඉතින් සංචාරය කරන්න කැමති ශ්‍රී ලාංකිකයින්ට නිවාඩුවක් අල්ලලා ගිහින් එන්න හොඳ සංචාරක නිකේතනයන් තමයි මේ.

කවරයේ පින්තූරය- Elia Locardi/blamethemonkey.com

Related Articles