Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව භයානකම ජල ප්‍රභව

විනෝද චාරිකාවක් පිටත් වීමට මත්තෙන් අපේ සහෘදයින්ගෙන් සෑමවිට ම පාහේ ලැබෙන උපදෙසක් වන්නේ අනතුරුදායක ස්ථානවල දිය නෑමට නොයන ලෙස යි. එමෙන්ම වැව් අමුණුවල මෙන්ම මුහුදු වෙරළවලත් ‘මෙහි දිය නෑම අනතුරුදායකයි’ යනුවෙන් සඳහන් කර ඇති පුවරු ඔබ දැක ඇතිවාට සැක නැහැ.

කෙතරම් පිහිනීමට සමත්කම් දැක්වුව ද සමහර ජල ප්‍රභවවල සමහර ස්ථානවල පිහීනීමට යාම අතිශය භයානක වෙනවා. තවත් සමහර ජල ප්‍රභවයන්ට බැසීම පවා සෞඛ්‍ය ගැටලු ගෙන දෙනවා. එමෙන්ම කොයිතරම් ආරක්ෂාකාරී යාත්‍රාවක් වුව ද අනතුරට භාජනය වන්නට ඉතා වැඩි සම්භාවිතාවක් ඇති ස්ථාන මහ මුහුදේ හමුවෙනවා. මේ සටහන ලොව හමුවන එවැනි අන්තරාදායක ම ජල ප්‍රභව කිහිපයක් ගැන යි.

රියෝ ටින්ටෝ ගංගාව – ස්පාඤ්ඤය

orangesmile.com

ස්පාඤ්ඤයේ පිහිටි රියෝ ටින්ටෝ ගංගාව සුවිශේෂී එකක් වෙනවා. මෙහි ජලය යහමින් තිබුණ ද කිසි ලෙසකින් එදිනෙදා භාවිතයට ගත නොහැකි යි. මෙහි ජලය තද රතු පැහැති වන අතර එය ඉතා ආම්ලික වෙනවා. කෙතරම් ආම්ලික ද යත් මෙහි ජලයේ pH අගය 1.7-2.5 වැනි ඉතා අඩු අගයක් ගන්නවා.

අතීතයේ දී මෙම ගංගාව රන්, රිදී, තඹ වැනි ලෝහ ගැවසීගත් එකක් ව තිබූ අතර වසර 5000ක පමණ කාලයක සිට සිදුවන ඉල්ලම් ගැරීමේ කටයුතු නිසා මෙහි ජලකඳෙහි තත්ත්වය වත්මන් තත්ත්වයට පත් වී තිබෙනවා. යකඩ හා සල්ෆර් ඔක්සිකරණය කරන බැක්ටීරියා මෙහි සක්‍රීය ව සිටින නිසා ජලයට එහි වර්ණය ලැබී තිබෙනවා. මෙම ජලයේ ගැවසෙනවා තබා එයට බැසීමත් අන්තරාදායක වෙනවා. (1)

ජේකබ්ගේ ළිඳ

Carl Griffin/HotSpot media

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි ජේකබ්ගේ ළිඳ සංචාරක ආකර්ෂණය ඉතා හොඳින් ලබන ස්ථානයක්. කෙසේ නමුත් කිමිදුම්කරුවන් මෙහි දී මුහුණදෙන අන්තරාය නම් සුළුපටු නැහැ. ජේකබ්ගේ ළිඳෙහි පතුළ කොටස් කිහිපයකට බෙදුණු කුටීරයකින් සමන්විත වන අතර මෙහි ඇතැම් ස්ථානවල රොන්මඩ වැනි දේ තැන්පත් ව තිබෙනවා. කිමිදුම්කරුවෙකුගේ වැරදි පියවරක් මේවා ඇවිස්සීමෙහි සමත් වන අතර මේ හේතුවෙන් දර්ශනපථය අවහිර වී ඉන් ඉවතට පැමිණීමට ඔවුනට අපහසු වෙනවා. 1964 සිට 1984 වසර දක්වා කාලය තුළ මෙහි මරණ 8ක් වාර්තා වුණා.(2)

ඩොමිනිකා හි උණු වතුර විල

inspiredcitizen.com

ඩොමිනිකා හි ජාතික උද්‍යානයක් තුළ පිහිටා ඇති මේ විල ලොව දෙවනුවට විශාලතම උණුදිය උල්පත වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ වසරේ සෑම කාලයක ම මෙහි ජලයේ උෂ්ණත්වය ජලය නටන උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 100 ආසන්නයේ තිබීම යි. සාමාන්‍යයෙන් මෙහි ඉවුරු ආසන්න ජලයේ සෙල්සියස් අංශක 82 – 92 අතර තිබෙන මෙහි මධ්‍යයේ ජලය නටමින් පවතිනවා. මෙහි මධ්‍යයේ උෂ්ණත්වය නිසියාකාර ව නිර්ණය කිරීමට විද්‍යාඥයින්ට අපහසු වී තිබෙන්නේ නිරන්තරයෙන් ඉන් නැඟෙන හුමාලය නිසා යි. (1)

බෙලීස් හි විශාල නිල් කුහරය

chabilmarvillas.com

මෙය පිහිටා ඇත්තේ බෙලීස් හි වෙරළාසන්න සාගරයේ යි. මේ කුහරය සෑදී තිබෙන්නේ දිය යට පිහිටන විශාල කුහර පද්ධතියකිනුයි. ලොව වඩාත් සංකීර්ණ මුහුදු ගුහා පද්ධතිය සහිත මෙහි සුලබ ව සබ්මැරීන හා කිමිදුම්කරුවන් අනතුරට බඳුන් වෙනවා. මෙහි කුහරවල ගැඹුරෙහි අතරමං වීමත්, මේ තදාසන්න ව ජීවත් වන මෝරුන් වැනි සතුනුත් පහසුවෙන් ජීවිත හානි සිදු කරනවා. (2)

කිවු විල – අප්‍රිකාව

ugandasafarisadventure.com

කිවු විල රුවන්ඩාව හා කොංගෝ ජනරජය යන රටවල් දෙකට ම අයත් විශාල ජල ප්‍රභවයක් වෙනවා. මෙය නිර්මාණය වී ඇත්තේ නිම්නයක හටගත් ස්වභාවික භූ පැල්මක් නිසා යි. මෙහි උපරිම ගැඹුර මීටර 485ක් වන අතර, මේ භූ පැල්ම තුළින් විල් මතුපිටට මීතේන් වායු හා කාබන් ඩයොක්සයිඩ් ඝණ කිලෝමීටර ගණනක් වාර්ෂික ව නිදහස් වෙනවා. මීට අමතර ව මේ භූ පැල්ම හේතුවෙන් අවට කලාපයේ භූ කම්පන ඇති වීමේ අවදානමකුත් තිබෙනවා. මෙහි පිහිනීමට යන ඇතැමුන්ට කාබන් ඩයොක්සයිඩ් හා මීතේන් වායුව ආඝ්‍රාණය වීමෙන් ගැටලු පැන නගිනවා. (1)

ඊජිප්තුවේ ඩහාබ් කුහරය

diversintl.com

ඊජිප්තුවේ ඩහාබ් නිල් කුහරය ලොව අනතුරුදායක ම කිමිදුම් ස්ථානය ලෙස හැඳින්වෙනවා. පසුගිය දශකය තුළ මෙහි දී විනාශ වූ ජීවිත ගණන 150කට අධික යි. මෙයට ‘කිමිදුම්කරුවන්ගේ සුසාන භූමිය’ ලෙසට ද නමක් පටබැඳී තිබෙනවා. මෙහි පතුලේ ඇති ඉතා සංකීර්ණ ගුහාවත්, ඔක්සිජන් මඳවීමෙන් සිදුවිය හැකි අපහසුතා පහසුවෙන් ම ඇති වීමත් නිසා මෙවන් මරණ සිදුවෙනවා. (2)

කරචායි විල – රුසියාව

Peter Mikkelsen/pinterest.com

නැගෙනහිර රුසියාවේ, යූරල් කඳු පෙදෙසේ දකුණුදිගට වන්නට පිහිටි මේ විල ලොව වඩාත් ම දූෂණයට ලක් වූ ජල ප්‍රභවයක් ලෙස සැලකෙනවා. මේ විල හා තදාසන්න පෙදෙස පසුගිය සියවසෙහි දැඩි ලෙස විකිරණශීලී අපද්‍රව්‍යවලින් අපවිත්‍ර වුණා. මෙය සිදු වී ඇත්තේ රුසියාවේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන විශාල කර්මාන්තශාලාවක් මේ අසල පිහිටා තිබීම හේතුවෙන්. චර්නොබිල්වල සිදු වූ ඛේදවාචකය නිසා මෙහි දූෂිත බව කිහිප ගුණයකින් ඉහළ ගිය අතර, මෙහි ජලයට නිරාවරණය වීම සමෙහි අසාත්මිකතා සිට පිළිකා තත්ත්ව පවා ඇති වීමට ඉඩකඩ තිබෙනවා.

බර්මියුඩා ත්‍රිකෝණය

jewel92.com

යක්ෂයාගේ ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන මේ මුහුදු කලාපය පිහිටා ඇත්තේ අත්ලාන්තික් සාගරයේ යි. මෙහි දී නැව් හා ගුවන්යානා රාශියක් ඉතිහාසය පුරා අතුරුදන් ව ඇති අතර ඊට හේතුව තවමත් නිසියාකාර ව සොයාගෙන තහවුරු කර නැහැ.

කෙසේ නමුත් බර්මියුඩා ත්‍රිකෝණයේ ‘අභිරහස්’ අනතුරුවලට හේතුව ලෙස මත කිහිපයක් ම ඉදිරිපත් වී තිබෙනවා. එහි දී වඩාත් පිළිගත හැකි මතය ලෙස සැලකෙන්නේ මෙහි සාගර පත්ලේ සිට විශාල වායු බුබුළු නික්මෙන අතර ඒවා ජල මතුපිටට පැමිණ විසිරී යාමෙන් වායු කඳේ හදිසි වෙනස්වීම් ඇති වීම යි. මෙවැනි හදිසි ජල හෝ වායු කඳේ පීඩන වෙනස්වීම් යාත්‍රා සුනු විසුණු කිරීමට සමත් වෙනවා. (2)

නිල් කලපුව – මහා බ්‍රිතාන්‍යය

aggregateresearch.com

එංගලන්තයේ ඩර්බිෂයරයේ පිහිටා ඇති මේ ජල ප්‍රභවයත් ස්නානය කිරීමට හා විනෝද වීමට ඉතා නුසුදුසු එකක් ලෙස සැලකෙනවා. අතීතයේ මෙය ඉතා ජනප්‍රිය සංචාරක ස්ථානයක් වී තිබුණා.

මෙහි ජලය ඉතා භාෂ්මික වන අතර pH අගය 11.3ක් තරම් වෙනවා. මෙය සිදුවන්නේ මෙහි ජලයට ඇමෝනියා එක් වීම නිසා යි. මීට අමතර ව මෙහි මිනිස් සිරුරට අහිතකර දිලීර පවතිනවා. අද වන විටත් මීට කර්මාන්තශාලා අපද්‍රව්‍ය, සත්ත්ව මළකුණු වැනි දේ වැඩි වැඩියෙන් එක්වෙනවා. මෙහි පිහිනීම අනතුරුදායක බැවින් එය අපහසු කිරීමට මෙහි ජලය කළු පැහැයෙන් වර්ණ ගැන්වීමට තීරණය වී තිබෙනවා. (1)

කවරයේ පින්තූරය: YouTube

මූලාශ්‍රයයන්:

  1. Businessinsider.com
  2. providr.com

Related Articles