Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අරුම පුදුම දේ ගිලින ලද මිනිස්සු

මිනිස් මනස අත්හදා බැලීමට දක්වන්නේ විශාල ලැදියාවක් වගේම ඉතා පහසුවෙන් හැඟීම් වලට නතු වෙනවා. මේ නිසා සමහර විටෙක සමහර මිනිසුන් සම්මතයෙන් පිට හැසිරෙනවා.

අපි කුඩා කාලයේ විභාගයට මුහුණ දෙන විට ආතතියෙන් මිදීම සඳහා පෑනේ ඉහළ කොටස සමහර විටෙක විකා දැමුවා ඔබට මතක ඇති. එමෙන්ම කුඩා කාලයේ බොත්තම් වැනි දේ කටෙහි රුවාගෙන අම්මාගෙන් පහර වැදුණු අවස්ථා ද නොමැත්තේ නොවේ. ඒවා බොහෝ දෙනා මුහුණ පෑ තත්ත්ව වෙද්දී තවත් විටෙක විවිධ ලෙඩ රෝග වල ප්‍රතිඵල ලෙස අමු හාල්, මැටි වැනි දේ සමහරු ආහාරයට ගත් අවස්ථා ගැන ඉතිහාසයේ අපට අසන්නට ලැබී තිබෙනවා. මේවා හේතුවෙන් සමහරුන්ට සැත්කම් පවා කිරීමට සිදු වී තිබෙනවා.

ඉහත සඳහන් හේතු ඇතුළු විවිධ හේතූන් නිසා නොයෙක් දේ උදර ගත කරගත් රෝගීන් වෛද්‍යවරුන්ට හමු වී තිබෙනවා. එලෙස පැමිණි රෝගීන් ගේ උදරයේ තිබී හමු වූ අසාමාන්‍යම ද්‍රව්‍ය කිහිපයක් ගැනයි මේ සටහන.

උදරය තුල තිබී හමු වූ හැඳි ගෑරොප්පු 78

ඩාල්මන්ගේ උදරයේ ගන්නා ලද එක්ස් රේ සටහන-CEN

නෙදර්ලන්තයේ පදිංචි කාන්තාවක වන මාග්‍රට් ඩාල්මන් එක් වරම ඉතා දැඩි උදර වේදනාවකින් පෙළෙන්නට වුණා. වහාම ඇයව රෝහල කරා රැගෙන ගිය අතර එහි දී අනාවරණය වූයේ ඇගේ උදරය තුල රිදී හැඳි හා ගෑරොප්පු 78ක් තැන්පත්ව ඇති බවයි. ඇය විසින් ඒවා ගිල දමා තිබුණු අතර එසේ කිරීමට හේතුව හෙළි කර ගැනීමට වෛද්‍යවරුන් අපොහොසත් වුණා. කෙසේ නමුත් හොද සිහියෙන් සිටි ඇයගේ මෙම ක්‍රියාව ‘PICA’ නම් රෝගී තත්ත්වය නිසා සිදු කරන්නට ඇති බව ඔවුන් විසින් නිර්ණය කළා. එම රෝගය වැළඳුණු විට ආහාර නොවන පස්, වැලි වැනි දේ ආහාරයට ගැනීමට රෝගියා පෙළඹෙනවා. විශේෂයෙන් ගර්භනී කාන්තාවන්ට ඇති වන මෙම තත්ත්වයේ දී දුහුවිළි, කුණු වැනි දේ ආහාරයට ගැනීම වාර්තා වුවත් හිතාමතාම හැඳි ගෑරොප්පු කට්ටල ගිලදැමූ අවස්ථාවක් ගැන ඊට පෙර වාර්තා වී තිබුණේ නැහැ.

විශාල කෙස් ගුලියක්

BMJ publishing group Ltd

2007 දී චිකාගෝවේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය මධ්‍යස්ථානයට 18 වියැති යුවතියක් පැමිණියේ සිය උදරය මහත් වේදනා ගෙන දෙන බව සඳහන් කරමින්. ඇයට වමනය ද පිටවී තිබූ අතර අදහාගත නොහැකි ලෙස කිලෝග්‍රෑම් 18කින් බර අඩු වී තිබුණා. එක්වරම එවැනි බර අඩු වීමක් සිදුවන්නට නම් අතක් පයක් වත් එක් වරම කපා ඉවත් කළ යුතු වෙනවා.

ඉක්මණින්ම ඇගේ උදරය එක්ස් රේ පරීක්ෂණයකට භාජනය කළ අතර ඇගේ ආමාශය තුළ යම් කිසි අඳුරු ද්‍රව්‍යයක් තැන්පත් වී ඇති බැව් දිස් වුණා. එය පිළිකාවක් හෝ ගැටිත්තක් ලෙස අනුමානය කළ වෛද්‍යවරු ඉක්මණින්ම උදරය කපා පිරික්සූ අතර ඔවුනට දැකගත හැකි වූයේ කිලෝග්‍රෑම් 4ක් පමණ බරැති, අඩියකට වඩා දිගින් යුතු හිසකෙස් ගුලියකුයි.

මැයගේ උදරයට මෙවැන්නක් පැමිණියේ කෙසේ ද යන්න කාටත් ප්‍රහේලිකාවක් වුණා. කෙසේ නමුත් අවසානයේ දී අනාවරණය වූයේ ඇය පුරුද්දක් ලෙස සිය හිසකෙස් සැපීමට හුරු වී සිටි බවයි. එය අප බොහෝ දෙනා ආතතියක් පැමිණි විට සිදු කරන නියපොතු සැපීමට සමාන තත්ත්වයක්. කෙසේ නමුත් කාලාන්තරයක් තිස්සේ මෙසේ සිදු කිරීම නිසා හිසකෙස් කොටස් ඇගේ උදරයේ තැන්පත්ව තිබෙනවා.

ගල් ගිලින ලද කත

Cobblestone නම් ගල් -selectstone.com

මිනිස් සිතේ තරහ ඇති වීම සාමාන්‍ය දෙයක්. අතිශය තාරහක් ඇති වූ විට බොහෝ දෙනා විකාරරූපී දේ සිදු කරනවා. අප බොහෝ දෙනා අඩි පොළොවේ හැප්පීම, පිඟන් පොළොවේ ගැසීම වැනි දේ සිදු කරනවා. කෙසේ නමුත් චීනයේ එක්තරා කාන්තාවක් නම් සිය තරහ නිවාගැනීමට සිදු කරන ලද්දේ ඉතාම අසාමාන්‍ය ක්‍රියාවක්. උණුසුම් විවාදයක උපරිමයට පැමිණුනු අවස්ථාවේ දී සිය හිතට නැඟුණු තරහ පිට කිරීමට ඇය විසින් සිය ගෙවත්තේ තිබුණු, ගොඩනැඟිලි බැඳීමට යොදා ගන්නා කුඩා Cobblestone නම් ගල් 20ක් ගිල දමා තිබුණා. තරහ නිවුණු පසු ඇගේ නිවැසියන් ස්වභාවික ලෙස එය පිටවනු ඇතැයි ඇයව අස්වසාලීමට උත්සාහ කළත් අවසානයේ ඒවා පිටතට ගැනීමට සිදු වූයේ සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුවයි.

කාන්දම් 30ක්

කාන්දම් පෙන්වන එක්ස් රේ සටහන -jmnews1.com

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා ප්‍රාන්තයේ 8 හැවිරිදි දැරියක රෝහල වෙත ගෙනැවිත් තිබුණේ ඇය ඉතා තදබල උදර වේදනාවකින් පෙළෙන්නට පටන්ගෙන තිබූ නිසා යි. මුල දී අතීසාරය හෝ වෙන යම් ආබාධයක් බවට සැක කෙරුනත් එක්ස් රේ සටහනක් ගැනීමෙන් පසු වෛද්‍යවරුන් හට අත්දකින්නට සිදුවුණේ ඉතිහාසයේ කිසිම දිනක තමන් දැක නැති අවස්ථාවකට යි. මේ කුඩා දැරිය ලෝහමය ද්‍රව්‍යයන් කිහිපයක් ආහාරයට ගෙන තිබූ බව පෙන්නුම් කෙරුණු අතර වැඩි වේලා යන්නට පෙර අනාවරණය වූයේ ඒවා කාන්දම් බවයි.

ලෝහ කැබලි උදරයට එක්කාසු වීම භයානක තත්ත්වයක් වුවත් කාන්දම් උදරගත වීම ඒ භයානක බව දෙගුණ තෙගුණ කරනවා. තුනී බිත්ති සහිත ආහාර ජීර්ණ පද්ධතියේ අවයව දෙකක පිහිටි කාන්දම් දෙකක් පවා එකිනෙකට ආසක්ත වී ඇලී යාම සිදුවිය හැකි නිසා සමහර අවයව ඇඹරී යාමේ අවදානමකට මේ දැරිය ලක් වී සිටියා.

එක්ස් රේ ඡායාරූපයට අනුව දැරිය දැඩි ජීවිත අවදානමක සිටියත් ඇගේ වාසනාවට එලෙස කාන්දම් ඇලීමක් සිදු වී තිබුණේ නැහැ. කඩිනම් සැත්කමක් මඟින් කාන්දම් 30ම ඉවතට ගැනීමට අවසානයේ වෛද්‍යවරුන් සමත් වෙනවා. මේ කුඩා දැරියට කිසිදු මානසික ආබාධයක් නොතිබුණු අතර නිරීක්ෂණය හා අත්හදා බැලීම කුඩා දරුවන් ප්‍රිය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදු වී තිබුණා.

දැල්ලන් බිහිකල කතක්

කුඩා දැල්ලෙක් – YouTube

කොරියාවේ එක් කාන්තාවකගේ උදරයෙන් කුඩා දැල්ලන් 12 දෙනෙක් ඉවතට ගනු ලැබුණා. ඒ වන විට 63 වන වියෙහි සිටි ඇය කිසි ලෙසකින් හිතාමතා ඔවුන්ව ශරීරගත කොටගෙන තිබුණේ නැහැ. ඇය විසින් නිසි ලෙස නොපිසූ දැල්ලන් ආහාරයට ගෙන ඇති අතර අවාසනාවට ඔවුන් නිසි ලෙස පිරිසිදු කොට ආහාරයට නොගන්නා කොටස් ද ඉවත් කර තිබී නැහැ. මේ නිසා දැල්ලෙකුගේ ප්‍රජනක පද්ධතිය ද ඇය විසින් ආහාරයට ගෙන් තිබූ අතර ඒ වන විටත් ගර්භනීව තිබූ එය මඟින් කුඩා දැල්ලන් (කීට අවස්ථා) 12 දෙනෙක් ශරීරගත වී තිබෙනවා. මින් සමහරක් හමු වී තිබෙන්නේ ඇගේ දිවේ හා කම්මුල් වල ඇතුල් පැත්තේ රැඳී තිබිය දී යි.

කවරයේ පින්තූරය – YouTube

මූලාශ්‍ර

  1. really.uktv.co.uk
  2. cracked.com

Related Articles