Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කඳු නම් ඉතින් නේපාලය තමයි

සුදුපාට හිම තියෙන ලස්සන කන්දක් උඩට නැගලා, නිල්පාට අහස යට විනාඩියක් හෝ ඉන්නට ඇත්නම්. කවුරු හරි කඳු නැගපු පිංතුරයක් දැක්කා ම අපිට එහෙම හිතෙනවා. ලෝකයේ උසම කඳු 10න් 8ක් ම නේපාලයට මායිම් වෙනවා. මේ කඳු මුදුන්වලට ම යන්න බැරි වුණත් හිම තියෙන දෙසට ගිහින් ඒ ආශ්වාදය විඳලා එන්න අපි හැමෝටම වගේ යටිහිතේ ආසාවක් ඇති වෙනවා.

කන්දක් තෝරාගනිමු

‘කඳු නම් ඉතින් නේපාලය තමයි’ කියන තරමට ම නේපාලය කඳුවලට ප්‍රසිද්ධ යි. නේපාලයේ සාමාන්‍යයෙන් ජනප්‍රිය කඳුවැටි කිහිපයක් ම පිහිටා තිබෙනවා. මේ නේපාලයේ කඳු නැගීම කියන්නේ සෑම විට ම එවරස්ට් ගිරිහිස තරණය තරම් ම මහා අමාරු දෙයක් නෙමෙයි. සාමාන්‍ය අයට නගින්න පුලුවන් විදියට පහසු කරලා තියෙන ට්‍රැක් ගණනාවක් නේපාලයේ තියෙනවා. ලොව පුරා ඉන්න සංචාරකයින් පහසුවෙන්, ලාබෙට කන්දක් නැගලා විනෝද වෙලා යන්න නේපාලයට එනවා. එවරස්ට් කලාපයේ ජනප්‍රිය ම කඳු තරණය තමයි එවරස්ට් බේස් කෑම්ප්.

අතරමඟ හමුවන එල්ලෙන පාලමක්

එදා එඩ්මන්ඩ් හිලරි සහ ටෙනසි නෝගේ නම් එවරස්ට් නැග්ගේ කත්මන්දු ඉඳන් ම පයින් ම ගිහින්. අද ඒ බාගයක් දුර යන්න ලුක්ලා එයාපෝට් එකට පොඩි ගුවන් යානයක් යොදවා තිබෙනවා. මේ ගුවන්ගමනින් පස්සේ එවරස්ට් බේස් කෑම්ප් එක දක්වා ගමනට මුහුදු මට්ටමේ සිට මීටර 5,000ක් ද ඉක්මවන තැන් ඇතුළත් වෙනවා. ඒ වගේ ම පහළ පොකරා සීමාවේ ඇති අන්නපූර්ණා කියන්නෙත් සංචාරකයින් අතර ජනප්‍රිය තැනක්. අන්නපූර්ණා හි ඇති කඳුවැටි පහළ පෙදෙස කොළ පාට සීමාවේ සිට ඉහළ හිම මිදුණු සීමාව දක්වා පැතිරෙනවා. ලෑන්ටෑන් කඳු පන්තියත් කත්මන්දු ආසන්න ව ඇති තරමක් වියළි කඳුකර කලාපයක්. නේපාලයේ මැදට වන්නට වගේ මකාලු ලෝත්සේ නමින් තවත් කඳුවැටියක් තියෙනවා. ඒ වගේ ම ඊශාන දිගින් ඉන්දියාවට මායිම් ව කන්චෙන්ජුන්ගා කඳු වැටියත් කඳු තරණය කරන අය අතර ප්‍රචලිත යි.

කෑම බීම, ඉදුම් හිටුම් ආදිය කොහොමද?

නේපාලයේ කඳු තරණය කිරීමේ දී කෑම්ප් කරන්න අවශ්‍යතාවයක් එන්නේ මීටර 6000කට වඩා වැඩි උස කඳු වැටි තරණය කරනවා නම් පමණයි. සාමාන්‍යයෙන් මීටර 5000ක් සහ ඊට පහළ ස්ථානවලට ළඟාවෙන ජනප්‍රිය ට්‍රැකින්වල දී අපිට කුඩා නවාතැන්පොළවල් ගමන අතරමඟ දී ම හමුවෙනවා. එම ස්ථානවල පිහිටුවා ඇති ගෙස්ට් හවුස් වැනි තැන්වල සාමාන්‍ය මට්ටමේ නවාතැන් පහසුව තියෙනවා. හෝටල්වල තරම් සුපිරි නැතත් කෑම්පින්වලට වඩා හොඳ මට්ටමක නවාතැන් බොහෝ ‘ටී හවුස්’ හෙවත් මේ නවාතැන්වල දී අපිට හමුවෙනවා. එම ස්ථානවලින් ආහාර ලබාගැනීම, ජලය ලබාගැනීමට හැකියාව තියෙන නිසා විශාල බැක් පැක් එකක්, ජලය, සහ අවශ්‍ය ටෙන්ට් රැගෙන යෑම නේපාලයේ සාමාන්‍ය ට්‍රැකින්වල දී අවශ්‍ය නැහැ.

‘ටී හවුස්’ එකක උදෑසන කෑම වේලක්

මේ ටී හවුස්වල ගාස්තු අපේ සිරිපාද ගමනේ දී වගේ ඉහළට යන්න යන්න වැඩි වෙනවා. ඒත් මීටර 3000 ආසන්න උස වල දී පවා ආහාර වේලක් නේපාල රුපියල් තුන්හාරසීයකට වඩා වැඩි වෙන්නේ නැහැ.

අවසර ලබාගැනීම

නේපාලයේ කඳු තරණයේ දී විශේෂ අවසර පත් දෙකක්වත් ලබාගන්නට වෙනවා. එවරස්ට් බේස් කෑම්ප් යනවා නම් සාගර්මාතා වනෝද්‍යානය සඳහා එක් අවසර පතකුත්, නේපාල කඳු නගින සංගමයේ එක් අවසර පතකුත් ලබාගන්නට සිදුවෙනවා. පොකරා ආසන්න අන්නපූර්ණාව තරණය කරද්දිත් එසේ ම අවසර ගන්නට සිදුවෙනවා. මේ අවසරපත් ගැනීමේ දී ලාංකික අපි දකුණු ආසියාතිකයින් නිසා අපිට යම් සහනයක් ලැබෙනවා. මේ අවසර පත් දෙක වෙනුවෙන් නේපාල රුපියල් 2000ක් පමණ සාමාන්‍ය අයෙකුට වියදම් වෙනවා. මේ අවසර පත් ලබාගැනීම හරහා ඔවුන් ලබන ආදායම පඩිපෙළවලින් යුතු මාර්ග සකස් කිරීම, මඟ සලකුණු යෙදවීම සහ ඒ වනෝද්‍යානවල තත්ත්වය වැඩිදියුණු කිරීම ට ඔවුන් යොදාගන්නවා.

ටී හවුස් එකක්

මාර්ගෝපදේශකයෙකු ලබාගැනීම

නේපාලයේ දී කන්ඩායමක සහායට මාර්ගෝපදේශකයෙකු ලබාගන්නට හැකියි. ඒ වගේ ම ලොකු මලු අරන් යනවා නම් පෝටර් කෙනෙක් ද ලබාගන්නට හැකියි. මාර්ගෝපදේශකයෙකු සාමාන්‍යයෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් 25කට වගේ ලබාගන්නට හැකියි. පෝටර්වරයෙක් නම් ඩොලර් 17කට වගේ වෙන්කරගන්නට හැකියි. කොහොම වුණත් මේ මාර්ගෝපදේශකයින් කියන්නේ හොඳ වගේම නරක ප්‍රතිඵල උදාකරන කට්ටියක්. අපි මැප් එකක් බලාගෙන තනියෙම යනවාට වඩා රටතොට මාර්ග ගැන දන්න මාර්ගෝපදේශකයින් අපිව ලස්සන තැන් බලන්න, ගම්මාන බලන්න එක්කරගෙන යනවා. ඒ වගේ ම බොහෝවිට මේ මාර්ගෝපදේශකයින් මඟ හම්බෙන ටී හවුස් සහ අපි ව එක්කරගෙන යන තැන්වලින් අත යටින් ගාණක් ගන්නවා. ඇත්තට ම ජනතාව අතර ටිකක් ජනප්‍රිය ට්‍රැක් එකක් නම් නිසි අවසර ලබාගෙන, මැප් එකක් අරගෙන ගමනේ යෙදෙන්නටත් හැකියාව තියෙනවා.

සලකුණු කර ඇති මාර්ගය

දවසකට ඩොලර් 25ක් තරම් අඩු මුදලකට දවස් 6ක් පමණ යන්න තිබෙන ට්‍රැක් එක සමහර අය අන්තර්ජාලයෙන් වෙන්කරගෙන සම්පූර්ණ ගමනට ම ඩොලර් 900 -1000ක් වැනි අතිවිශාල ගෙවීමක් කරන අවස්ථා තිබෙනවා. කෙසේ වෙතත් අතරමඟ දී හමුවෙන ටී හවුස්වල සේවය වැඩිමිල පැකේජ හරහා යන අයටත්, අඩුමිල යන අයටත් කියා ලොකු වෙනසක් නැහැ. මුදල ගැන සලකනවා නම් කලින් විස්තර බලාගෙන නේපාලයට ගොස් මාර්ගෝපදේශකයෙකු කුලියට ගැනීම හෝ තනිව ම යන්නට සැලසුම් කිරීම අන්තර්ජාලයෙන් පැකේජ වෙන්කරගෙන යනවාට වඩා ලාභදායක යි.

කාලය තෝරාගැනීම

අපේ රටේ තිබෙන බොහොමයක් කඳු එක රැයකින් නැග බහින්නට පුළුවන්. ඒත් නේපාලයේ එහෙම බැහැ. දවස් ගණන් ගතවෙන ට්‍රැක් තිබෙනවා. වර්ෂාව හැම කාලෙක දී ම නැති වුණත්, නේපාලයට වහින කාලයට ඒ අදාළ කලාපය ගොඩ ගලන්න තරම් තදට වහිනවා. ඒ වගේ ම එවරස්ට් බේස් කෑම්ප් වගේ යන්න නම් සිසිරයෙන් පසු කාලය හෝ පෙර කාලය වඩාත් හොඳයි. සිසිරය හෙවත් ශීත කාලයේ දී නේපාලයේ කඳුවැටිවල පහළ කොටස්වල පවා හිම තිබෙනවා. එවිට මීටර 1000ක පමණ සීමාවක හිම තිබෙන නිසා මුල සිට ම ශීතලෙන් පීඩා විඳිමින් ගමන් කරන්නට සිදුවෙනවා. අගෝස්තු වැනි ගිම්හාන කාලයක දී හිම රැඳී ඇත්තේ ඉහළ ම කලාපයේ පමණයි.

හිම මිඳී ඇති කඳු මුදුන

වර්ෂා කාලය වුවත් හැම කලාපයට ම එක වගේ වැස්ස නැහැ. උදාහරණ විදියට අන්නපූර්ණා සීමාවට සහ දකුණුදිග නේපාලයට තදින් වැස්ස තිබෙන ජුනි – අගෝස්තු මෝසම් සමයට කඳුවලට එහා පැත්තේ තිබෙන අපර් මෂ්ටෑන්ග් ඩොල්පා වගේ පැතිවලට වර්ෂාපතනයක් නැහැ. ඉතිං ඒ කාලයට කඳු තරඟයට කැමති අයට එම පළාත් තෝරාගන්නට පුළුවන්.

අවශ්‍ය අඩුම කුඩුම

ලංකාව කියන්නේ හිම කඳු තිබෙන රටක් නෙමෙයි. හිම කබා, හිම සපත්තු, ස්ටික් ආදිය වැඩි මිලට මෙහෙන් සොයාගෙන යනවාට වඩා කත්මන්දු හෝ පොකරාවලට ගොස් ඒවා සොයාගැනීම වඩාත් පහසු යි. කත්මන්දුවල කඳු නගින සංචාරකයින් අතර ප්‍රකට තමෙල් කලාපය සහ පොකරා හි විල අසබඩ කඩසාප්පු ඇතැමෙක සංචාරකයින්ට අවශ්‍ය කඳු නගින ආම්පන්න ආදිය අඩු මිලට මෙන්ම බද්දට ගන්නටත් හැකියාව තිබෙනවා..

නේපාල ජනතාව ගමන් බිමන් යන කැබ් රථයක්

ශරීර සෞඛ්‍යය

කඳු නගින්නට යම් සෞඛ්‍යමය හැකියාවක් තිබෙන්නට ඕනි. කවදාවත් කඳු නැගපු නැති, කිසිදු කය වෙහෙස වන රාජකාරියක නිරත නොවන අයෙක්ට කඳු නැගීම නොව දිනකට කිලෝමීටර 5-6ක් ඇවිදීමත් ටිකක් අමාරු යි. නේපාලයේ කඳු නගිද්දි දවසකට කිලෝමීටර 5-6ක කොටසක් පැය 5-6ක් ගෙවලා විවේක ගෙන නගින විදියට තමයි ට්‍රැකින්වල ටී හවුස් සහ ඒ නවාතැන්පොළවල් සැලසුම් කර තිබෙන්නේ. සාමාන්‍ය පුද්ගලයෙකුට ඒ ගමන යන්නට ලොකු අපහසුවක් නැහැ.

පොකරා විල් තීරය

ඉතා ඉහළ හිම කඳු තරණයක් රූපවාහිනියේ දකිද්දි “අනේ අපි ඉතිං කවදා නගින්න ද ඕවා” කියා දුක්වන්නට වුවමනා නැහැ. සැබැවින් ම හරියට සැලසුම් කරලා විස්තර කියවා බලලා ගියොත්, අපිට තරමක් අඩු මිලට හිම කන්දක් තරණය කිරීමට හැකියාවක් තියෙනවා. ලෝකයේ අඩුමිල බැක්පැක් සංචාරකයින්ගේ පාරාදීසයක් වන නේපාලයට, වසරකට ලක්ෂ ගණනක් ලොව වටා සංචාරකයින් කඳු තරණය කිරීමේ අරමුණින් ම ඇදී එනවා. අපි අතර ජනප්‍රිය ම නේපාල ස්ථානය බුදුන් උපන් ලුම්බිණිය වුවත්, ලුම්බිණියෙන් එහාට කඳුකර නේපාලය සැබැවින් ම සුන්දර අත්දැකීමක්. නේපාල ගමනක දී කඳු නගින්නට වගේ ම ජන ජීවිතය, සංස්කෘතිය, පරිසරය, වෝටර් රාෆ්ටින්, පැරා ග්ලයිඩින් වගේ අත්දැකීම් රැසක් ඔබට විඳගන්නට ද පුළුවන්.

Related Articles