Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුරුත්වය වෙනස් වන අපූරු තැන් පහක්

අප සාමාන්‍ය ජීවිතයේ දී අත්දකින ස්වභාවික නීති, එහෙම නැති නම් අපි පාසලේ දී ඉගෙනගන්නා ගුරුත්වය පිළිබඳ නියමයන්, වලට පටහැනිව ක්‍රියාත්මක වන ස්ථාන තිබෙන බව ඔබ දැනගෙන සිටියා ද? මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එවන් ඇල වූ බිත්ති සහිත ගෙවල්, ආනත තලයක් දිගේ ඉහළට පෙරලෙන බෝල වැනි අපූරු සංසිද්ධීන් අත්විඳීමට හැකි ස්ථාන පහක් පිළිබඳව යි.

නොපෙනෙන බලවේගයක් ද, නැති නම් දෘෂ්ටි මායාවක් ද?

බැලූ බැල්මට පැහැදිලි කළ නොහැකි සංසිද්ධීන් සිදුවන ස්ථානයන් ලොව වටා විසිර පවතිනවා වගේම, ඒවා වටා විවිධ ජනප්‍රවාදත් ගොඩනැගී තිබේ. මෙවැනි, කිසිදු බාහිර බලයක් නොමැතිව පල්ලම් සහිත පාරවල් දිගේ ඉහළට ගමන් කරන වාහන, ඒකාකාර හැඩයකට නැවී ගිය ගස් සහිත වනාන්තර, හෝ මිනිසෙක් කෙලින් සිටගෙන සිටින විට දී පවා ඔහු තිරසට අංශක ගණනක ඇලයක් සහිතව සිටින බව පෙනෙනවා වැනි අපූරු සිදුවීම් බොහෝවිට අර්ථ දක්වා ඇත්තේ මළවුන්ගේ ක්‍රියාකාරකම් හෝ පිටසක්වල ජීවීන්ගේ මැදිහත් වීම් ලෙස යි. පසු කාලීනව මෙවන් පැහැදිලි කළ නොහැකි සිද්ධීන් ගුරුත්වයේ බලපෑම නිසා සිදුවන බවට මතයක් ගොඩනැගිනි. පෘථිවියේ අනෙක් ස්ථාන වල පවතිනවාට වඩා වෙනස් ගුරුත්ව බලයක් මෙම ප්‍රදේශ වල පවතින බවට මත පල විය. නමුත් මෑත කාලීනව මෙවන් ස්ථානවල සිදුකෙරුණු පර්යේෂණ හරහා මේ සියළු සිදුවීම් දෘෂ්ටි මායාවන් බව ඔප්පු කර තිබේ.

මෙවන් ස්ථාන වලට විවිධ නම් පටබැඳී ඇති අතර, මේ වන විට ලෝක ප්‍රසිද්ධ සංචාරක කේන්ද්‍රයන් බවට පත්වී ඇති මෙවන් අභිරහස් ස්ථාන කීපයක් පිළිබඳ සොයාබලමු.

පොළවට ආනතව නොවැටී සිටගෙන සිටින අයුරු. (Courtesy of www.commons.wikimedia.org)

කොස්මොස් අභිරහස් ප්‍රදේශය – Cosmos Mystery Spot

කොස්මොස් අභිරහස් ප්‍රදේශය – Cosmos Mystery Spot (Courtesy of www.tripadvisor.com)

1952 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ඩැකෝටා ප්‍රාන්තයේ බ්ලැක් හිල්ස් ප්‍රදේශයේ පිහිටි “කොස්මොස්” නමැති අත්හැර දැමූ පැරණි කූඩාරම් සමුහයක් අතර සැරිසැරූ පාසැල් ළමුන් දෙදෙනෙක් විසින් අහම්බයකින් මෙම අමුතු ප්‍රදේශය සොයාගෙන තිබේ. දැවයෙන් සාදන ලද පැරණි නිවාසයක් වන මෙය තිරසට අංශක 20ක් පමණ ආනතව පිහිටා තිබේ. පසුව 1953 වසරේ දී සංචාරක නිකේතනයක් ලෙස මහජනතාවට විවෘත කළ මෙම කොස්මොස් අභිරහස් ප්‍රදේශය තුළ විවිධාකාර අරුම පුදුම සිදුවීම් රැසක් අත්විඳීමට සංචාරකයන් හට අවස්ථාව උදා වේ. සාමාන්‍යයෙන් තිරසට ආනතව තැබූ තලයක් මත, පෙරලී යාමට හැකි වස්තුවක් තැබූ විට එය තලයේ ඉහළ සිට පහළට පෙරලෙන බව අපි දනිමු. නමුත් මේ අභිරහස් නිවාසය තුළ දී, තිරසට ආනතව පිහිටා ඇති ගෙබිම මත බෝලයක් වැනි යමක් තබා තල්ලු කළ විට එය ගෙබිමෙහි පහළ සිට ඉහළට ගමන් කරයි. එමෙන්ම, නිශ්චල වස්තුවක් ආනත පොළව මත තැබූ විට තලයේ පහළට පෙරලීමකින් තොරව එම වස්තුව තැබූ ස්ථානයේම නොසෙල්වී පවතී. මෙහි සංචාරය කරන පුද්ගලයන්ගේ වඩාත්ම සිත්ගත් අංගය වන්නේ ඔවුන් සාමාන්‍ය ලෙස තිරසට ලම්භක ලෙස සිටගෙන සිටින විට දී පවා ඔවුන් පොළවට අංශක 20ක් පමණ ඇලව සිටිනවා සේ පෙනීම යි. මෙම පැරණි නිවෙස තුළ ගමන් කරන විට නිවසේ එක් පසෙකට ආකර්ෂණය වීමක් නැතහොත් තල්ලුවී යාමක් වැනි හැඟීමක් අත්විඳීමට හැකි වේ.

ආනත තලයක් මත බෝලයක් සමබර ලෙස තිබෙන ආකාරය. (Courtesy of www.travel.mapquest.com)

අභිරහස් නිවස- House of Mystery (Oregon Vortex)

අභිරහස් නිවස- House of Mystery (Oregon Vortex) (Courtesy of www.arthurtaussig.com)

මෙයත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ, ගෝල්ඩ් හිල් නම් ප්‍රදේශයේ සාඩින් නමැති කලපුව ආසන්නයේ පිහිටි, ඉහත Cosmos Mystery Spot වැනිම නිවසකි. පොළවට ආනතව පිහිටා ඇති මෙම නිවස ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දී මහජන ප්‍රදර්ශනයට විවෘත වූ පළමුවන අභිරහස් ප්‍රදේශය බවට නම් දරයි. 1930 වර්ෂයේ දී මහජන ප්‍රදර්ශනයට විවර වීමට පෙර මෙම ප්‍රදේශය ස්වදේශික ඇමරිකානුන් විසින් “තහනම් කලාපය” ලෙස හඳුන්වා තිබේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ එකල ඔවුන් හීලෑ කරගත් පෝනින්, බල්ලන් වැනි සතුන් මෙම ප්‍රදේශයට ඇතුල්වීමට දැක්වූ මැලිකම යි. මෙවන් අභිරහස් ප්‍රදේශ තුළ සුලබ සංසිද්ධියක් වන්නේ මිනිසුන් දෙදෙනෙකුගේ සාපේක්ෂ උස ඔවුන් සිටගෙන සිටිනා ස්ථානය අනුව වෙනස් වීම යි. එනම්, එකිනෙකාට මුහුණලා සිටගෙන සිටින පුද්ගලයින් දෙදෙනෙක් ගත් විට, දකුණු පස පුද්ගලයා උසින් වැඩි වේ නම්, ඔවුන් දෙදෙනා තම ස්ථානය මාරුකරගෙන නැවත මුහුණට මුහුණලා සිටගත් විට කළින් උසින් වැඩි ලෙස පෙනුණු පුද්ගලයා (දැන් වම් පස) උසින් අඩු ලෙස දර්ශනය වේ. තව ද අපි සියළු දෙනා හොඳින්ම දන්නා පරිදි සරල අවලම්භයක් දෙපසට දෝලනය වන අතර එය වම පසට වුවත් දකුණු පසට වුවත් සමබර ලෙස දෝලනය වේ. නමුත් මෙම නිවස තුළ එල්ලන ලද අවලම්භයක් ක්‍රියාත්මක වන්නේ ඊට වෙනස් ලෙස යි. උදාහරණයක් ලෙස, නිවස තුළ නිශ්චලව එල්ලා ඇති අවලම්භය එක් පසෙකට තල්ලු කළ විට ආයාසයකින් තොරව ඒ දෙසට චලනය වන නමුත්, ඊට විරුද්ධ දෙසට චලනය කිරීමට නම් මහත් ආයාසයක් දැරීමට සිදුවේ.

මිනිසුන් දෙදෙනෙකුගේ උසෙහි සාපේක්ෂ වෙනස් වීම. (Courtesy of www.flickr.com)

ශාන්ත ඉග්නේස් අභිරහස් ප්‍රදේශය – St.Ignace Mystery Spot

ශාන්ත ඉග්නේස් අභිරහස් ප්‍රදේශය – St.Ignace Mystery Spot (Courtesy of www.tripadvisor.com)

1950 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ මිෂිගන් ප්‍රාන්තය තුළ රාජකාරියෙහි යෙදුනු මිනින්දෝරුවන් තිදෙනෙක් විසින් ප්‍රථම වරට මෙම ප්‍රදේශය නිරීක්ෂණය කොට තිබේ. ඔවුන්ගේ මිනුම් උපකරණ කිසිවන් හරියාකාරව ක්‍රියා නොකිරීම පිළිබඳව සැලකිලිමත් වූ ඔවුන් තවදුරටත් තොරතුරු විමසද්දී, අඩි 300ක පමණ වපසරියකින් යුතු ප්‍රදේශයක් තුළ මෙම බලපෑම ක්‍රියාත්මක වන බවට වටහාගෙන ඇත. තව ද ඔවුන් මෙම ප්‍රදේශය තුළ ගැවසෙන කාලය වැඩිවත්ම ඔවුන් හට කැරකිල්ල සහ අසනීප ගතියක් දැනෙන බව නිරීක්ෂණය කොට තිබිණි. මහජන ප්‍රදර්ශනයට විවෘත වීමෙන් පසු මේ ප්‍රදේශය වෙත එන සංචාරකයින් ලද අත්දැකීම් වලට අනුව අදාළ ප්‍රදේශයෙන් පිට දී උස්ව පෙනෙන පුද්ගලයන් ප්‍රදේශයට ඇතුල් වූ පසුව උස අඩු පුද්ගලයන් ලෙස දර්ශනය වේ.

ස්පූක් හිල් – Spook Hill

ස්පූක් හිල් – Spook Hill (Courtesy of www.fromgrandpasporch.com)

ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලේක් වේල්ස් නම් නගරයේ පිහිටි අපූරු ගුරුත්වාකර්ෂණ විෂමතා සහිත උස් බිම් ප්‍රදේශයක් Spook Hill ලෙස නම් කොට තිබේ. මෙම ප්‍රදේශය වටා ගෙතුණු අපූරු ජනප්‍රවාදයක් පවතී. මෙම භුමියේ වසර සිය ගණනකට පෙර වාසය කළ ස්වදේශික ඇමරිකානු ගෝත්‍රයක් සහ එම ජනතාවට තර්ජනයක් වූ දැවැන්ත කිඹුලෙක් සිට ඇත. එම ගෝත්‍රයේ නායකයා Spook Hill කඳු මුදුනේ සිට මෙම කිඹුලා මෙල්ල කිරීමට කළ සටනේ දී මොවුන් දෙදෙනාම මියගොස්, පසුව ඔවුන්ගේ ආත්මයන් මෙම කඳු අතර සැරිසරන්නට පටන්ගෙන ඇත. Spook Hill වෙත ඒ නම ලැබීමටත්, එහි සිදුවන අමුතු සංසිද්ධීන් වලටත් හේතුව ඔවුන් බව ජනප්‍රවාදයේ කියවෙයි. කෙසේ නමුත් මෙම කඳු බැවුම් මත මධ්‍යස්ත (Neutral) ගියරයේ තබා රථයක් නවතා තැබූ විට එය කන්ද පහළට ගමන් කරනවා වෙනුවට ඉහළට ගමන් කරයි. මෙම සංසිද්ධිය නිරීක්ෂණය කිරීමෙන් පසුව එම නගරය සංචාරක නගරයක් ලෙස දියුණු කර මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබේ.

ශාන්ත කෘස් අභිරහස් ප්‍රදේශය – Santa Cruz Mystery Spot

ශාන්ත කෘස් අභිරහස් ප්‍රදේශය – Santa Cruz Mystery Spot (Courtesy of www.bethrogerson.com)

ඇමරිකා එක්සත් ජනපදයේම කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා කෘස් ප්‍රදේශයෙහි, රෙඩ්වූඩ් ෆොරස්ට් නම් වනාන්තරය මධ්‍යයේ පිහිටි මෙම සංචාරක ආකර්ෂණය මහජන ප්‍රදර්ශනයට විවෘත කර ඇත්තේ 1941 වර්ෂයේ දී ය. මෙම වනාන්තරය රෙඩ්වූඩ් ශාකයන්ගෙන් සුලබ වන අතර මෙම ශාක වල ඉතා අපූරු ලක්ෂණයක් දැකගැනීමට හැකි වේ. අඩි 150ක පමණ වපසරියක් තුළ පිහිටි රූස්ස රෙඩ්වූඩ් ශාකයන් පොළවට යම් ආනතියක් සහිතව වැවී තිබීමයි ඒ. එමෙන්ම මෙම ප්‍රදේශය තුළ ජලය ගැලීමත් ආනතියක් දිගේ ඉහළට සිදුවීම විශේෂත්වයකි. Cosmos Mystery Spot සහ House of Mystery වැනිම වූ අපූරු සංසිද්ධීන් අත්විඳීමට හැකි නිවසකින් මෙම ප්‍රදේශය සමන්විත වේ.

අභිරහස විසඳීම

අභිරහස් ප්‍රදේශ වල සිදුවෙන දෑ විද්‍යාත්මක ඇසින් (Courtesy of www.sandlotscience.com)

ඉහත විස්තර කළ අභිරහස් සංසිද්ධීන් සියල්ලක්ම පාහේ වර්තමානය වන විට විද්‍යාත්මකව පැහැදිලි කර ඇත. ඇලයට සිටගෙන සිටිනා මිනිසුන්, උඩුගං ගලන වතුර යන මේ සියල්ලම ඉතා සූක්ෂමව සකස් කරන ලද දෘෂ්ටි මායාවන් වේ. මෙතෙක් විස්තර කරන ලද සියලුම අභිරහස් ප්‍රදේශ වල ප්‍රධානතම රහස වන්නේ පොළවට ආනතව සාදා ඇති කුටීරය යි. අංක 1න් දක්වා ඇත්තේ සාමාන්‍ය ලෙස සාදා ඇති නිවසක් වන අතර අංක 2න් දැක්වෙන්නේ අංශක 25 පමණ ඇලයක් සහිතව සාදා ඇති අභිරහස් නිවසක අනුරුවකි. මෙය තුළ සිදුවන දෘෂ්ටි මායාවන් වල තාත්වික බව වැඩි කිරීමට නිවසේ සීලිම පොළවට සමාන්තරව සාදා ඇති අතර, ගෘහ භාණ්ඩ එක් පසකට ඇලවී ඇති ආකාරයට නිමවා තිබේ. මෙම කුටීරයක් තුළට ගමන් කරන මිනිසෙක් සත්‍ය වශයෙන්ම පොළවට සමාන්තරව සිටගෙන සිටින නමුත් අවට ඇති විකෘති වී ගිය පරිසරය නිසා මිනිස් මොළය මඟින් එය වටහාගන්නේ ඔහු පොළවට ආනතව සිටගෙන සිටින ලෙසට යි.කුටීරයෙන් එළියේ සිටින නිරීක්ෂකයෙක් හට සත්‍ය වශයෙන්ම ඇලවූ නිවසක් තුළ සෘජු ලෙස සිටගෙන සිටිනා මිනිසුන් පෙනුනත් කුටීරය තුළ ඉන්නා නිරීක්ෂකයෙක් හට තමන් අපූරු ඉරියව්වකින් සිටිනවා සේ දැනෙන ලෙස මෙම අභිරහස් කුටි නිර්මිතය. අංක 3 සහ 4න් පෙන්වා ඇත්තේ ඉහත සංසිද්ධිය යි.

ඉහත සඳහන් අනෙකුත් අපූරු සිදුවීම් වන බෝලයක් හෝ ජලය ආනත තලයක් දිගේ උඩු අතට ගමන් කිරීමත් මෙවැනිම වූ දෘෂ්ටි මායා සිදුවීමකි (අංක 5 සහ 6). අප එදිනෙදා අත්විඳින ගුරුත්වාකර්ෂණ  බලය එලෙසින්ම ක්‍රියාත්මක වෙයි. සිදුවන්නේ අපූරු ලෙස නිර්මිත වටපිටාවක් නිසා අපගේ මනස මුළාවීමක් පමණි.

Cover image courtesy: thatoregonlife.com

Related Articles