Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිර කුටියේ කූරු ගණින මැලේසියාවේ හිටපු අගමැති

පසුගිය දින කිහිපය මැලේසියානු දේශපාලනයට ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් වුණා. ඒ මැලේසියාවේ හිටපු අගමැතිවරයෙක් වූ නජීබ් රසාක් අධිකරණටය සිදු කළ අවසාන අභියාචනය ප්‍රතික්ෂේප වූ නිසා යි. එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතික ව ඔහු “1MDB” මූල්‍ය වංචාවට වරදකරු බව තහවුරු කළ අතර, නජීබ් රසාක්ට වසර දොළහක කාලයක් සිර දඬුවම් විඳීමට සිදු වනු ඇති.

නජීබ් රසාක් මෙලෙස වරදකරු වූයේ මැලේසියානු දේශපාලනයේ කළු පැල්ලමක් බඳු දැවැන්ත දූෂණ වංචාවක් නිසා යි. “1Malaysia Development Berhad (1MDB)” ලෙස හඳුන්වන මෙම දූෂණ වංචාව හේතුවෙන් නජීබ් රසාක් වැරදිකරු වූයේ 2020 ජූලි මාසයේ දී යි. අභියාචනය හේතුවෙන් ඔහු ඇප මත නිදහස් වී සිටියා.

නඩු තීන්දුවෙන් පසු ක්වාලාලම්පූර් අගනුවරට නුදුරින් පිහිටි “කජාං” බන්ධනාගාරයට ඔහු රැගෙන ගිය අතර, මැලේසියාව පාලනය කළ නායකයෙක් සිරගත කළ පළමු අවස්ථාව ලෙස නජීබ් රසාක් ඉතිහාසයට එක් වුණා.

කජාං බන්ධනාගාරය – twitter.com/nylahuda 

ඒකාන්තයෙන් ම එය ජයග්‍රහණයක්!

නජීබ් ගේ සිරගත ජීවිතයේ පළමු දිනය එරට ජනතාවට එක්තරා අන්දමකින් දූෂණයට එරෙහි ව ලැබූ ජයග්‍රහණයක් බඳු වූවා. එය අනෙකුත් දේශපාලකයන්ට ද අනතුරු හැඟවීමක් වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අඟහරුවාදා ලබා දුන් තීන්දුව ඓතිහාසික අවස්ථාවක් ලෙස “ට්විටර්” පණිවිඩ හරහා මැලේසියානුවන් අර්ථ දක්වා තිබූ අතර, නජීබ් ගේ දේශපාලන විරුද්ධවාදීන් එරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ප්‍රශංසාවට ලක් කොට තිබුණා.

2020 දී මැලේසියානු අධිකරණය චෝදනා හතක් හමුවේ නජීබ් වැරදිකරු ලෙස තීන්දු කර තිබුණා. “SRC ඉන්ටර්නැෂනල්” යන සමාගමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 9.4 ක් තම පෞද්ගලික ගිණුම වෙත මාරු කර ගැනීමේ චෝදනාවක් ද ඒ අතර තිබෙනවා. වඩාත් කැපී පෙනෙන චෝදනාව වන්නේ “1MDB” මූල්‍ය වංචාව වන අතර, ඉන් මැලේසියානු ජනතාවට අහිමි වූ මුදල ඩොලර් බිලියන ගණනක්!  

“1MDB”

“1Malaysia Development Berhad (1MDB)” යනු නජීබ් රසාක් අගමැති ධූරය (2009 සිට 2018 දක්වා) හෙබ වූ සමයේ දී ගොඩනැඟූ රාජ්‍ය අරමුදලක් බව පැවසෙනවා. නව අදහස් සහ නව වර්ධන මූලාශ්‍ර සොයා යන උපාය මාර්ගික සංවර්ධන සමාගමක් ලෙස එය 2009 ජුනි මස ආරම්භ කළ අතර, අරමුදල වෙනුවෙන් පත් කළ උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා වූයේ ද නජීබ් රසාක්.

1MDB අරමුදලේ විශාලත්වය සහ අක්‍රමිකතා ගැන සංඛ්‍යාත්මක විග්‍රහයක් – poskod.my 

“1MDB” සඳහා ආයෝජන ගලා ඒම ආරම්භ කරමින් 2009 සැප්තැම්බර් මාසයේ දී හවුල් ව්‍යාපාර සමාගමක් පිහිටුවීම සඳහා මැලේසියානු රජය “PetroSaudi International” ආයතනය සමඟ ගිවිසුම්ගත වුණා. එහි දී 40% ක කොටස් නිකුතුවක් සඳහා ආයෝජනය කළ මුදල ඩොලර් බිලියන එකක්. අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක තෙල් සහ ගෑස් වත්කම් තිබෙන “PetroSaudi” ආයතනය එම හවුල් ව්‍යාපාරයෙන් 60% ක් අත්කර ගත්තා.     

කෙමෙන් කෙමෙන් වර්ධනය වූ “1MDB” වැඩසටහනට 2012 වර්ෂය බොහොම සුවිශේෂී වුණා. ඒ ක්වාලාලම්පූර් සඳහා නව මූල්‍ය දිස්ත්‍රික්කයක් ලෙස “1MDB”  ගොඩනැඟූ “Tun Razak Exchange” ව්‍යාපෘතිය නජිබ් ඇරඹීම නිසා යි. ජාත්‍යන්තර මූල්‍ය සහ ව්‍යාපාර සඳහා ක්වාලාලම්පූර් නගරයේ හදවත බඳු ප්‍රදේශයෙන් අක්කර 70 ක් මේ සඳහා වෙන් වුණා. “Tun Razak Exchange” ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ආකර්ෂණය වන සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 856.8 ක් වනු ඇතැයි එකල අපේක්ෂා කර තිබුණා.

“The Wolf of Wall Street”

 එක්සත් ජනපදයේ ආයෝජන බැංකුවක් වන “Goldman Sachs”, 1MDBට බලශක්ති වත්කම් මිල දී ගැනීමට මුදල් රැස් කිරීම සඳහා සහාය වූ අතර, එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් ලෙස දැක්වෙනවා. නව මූලෝපායික ආර්ථික මුල පිරීම් ආවරණය කිරීම සඳහා අමතර බැඳුම්කර අලෙවියකින් තවත් ඩොලර් බිලි‍යන 3 ක් රැස් කර ගැනීමට “Goldman Sachs” සහාය වුණා.       

මූල්‍ය අක්‍රමිකතාවයේ චූදිතයෙක් වූ රීසා අසීස් (වම) සහ ලියනාඩෝ ඩිකැප්‍රියෝ (දකුණ) – www.bbc.com 

“1MDB” වැඩසටහනට ආයෝජනය වන මුදල් හොලිවුඩයට පවා ළඟා වෙමින් තිබුණා. උදාහරණයක් ලෙස ප්‍රවීණ හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ප්‍රධාන චරිතය ලෙස දායක වූ “The Wolf of Wall Street” චිත්‍රපටයේ නිෂ්පාදකයෙක් වූ රීසා අසීස්, නජීබ් රසාක් ගේ සුළු පුත්‍රයකු වන අතර, ඩොලර් මිලියන සියයක වියදමින් තැනූ එම චිත්‍රපටයට මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් අදටත් විවාදයක් පවතිනවා.

“1MDB” යනු මැලේසියානු ඉතිහාසයේ සිදු වූ බරපතළ ම මූල්‍ය වංචාවක් බව අනාවරණය වූ විගස එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව රීසා අසීස් ගේ ගනුදෙනු විමර්ශනය කළා. “1MDB” නඩුව සඳහා රීසා අසීස් ද නම් වූ පසු  “1MDB” හරහා ඔහු ගේ චිත්‍රපට සමාගම්වලට මුදල් පැමිණි ආකාරය සොයා බැලෙමින් තිබෙනවා.  

අර්බුදය ඇරඹෙයි!

2015 වර්ෂය, “1MDB” අරමුදලේ සැබෑ ස්වභාවය තේරුම් ගත හැකි අන්දමේ කරුණු රැසක් හෙළිදරව් වූ වසරක් වුණා. ප්‍රථමයෙන් ම අරමුදල හරහා ගෙවීමට නියමිත ව තිබූ ණය රැසක් පැහැර හරින බව කරුණු වාර්තා වූ අතර, එල්ල වන පීඩනය හමුවේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට මැලේසියානු රජයට සිදු වුණා. ඒ අතරතුර “The Wall Street Journal” නිකුත් කළ වාර්තාවක් නිසා “1MDB” හි විනිවිදභාවය බරපතල අභියෝගයකට ලක් වූ අතර, ඩොලර් මිලියන 700 කට ආසන්න මුදලක් නජීබ් රසාක් ගේ පුද්ගලික බැංකු ගිණුම් වෙත යොමු කර ඇති බව ඉන් චෝදනා කර තිබුණා. නජීබ් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු ගැන විමර්ශන සිදු කළ නීතිපතිවරයා පවා සේවයෙන් පහ කළා. මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කරුණු හෙළි කළ මාධ්‍ය ආයතන කිහිපයක් අත්හිටුවීමටත් නජීබ් පෙලැඹුණා. 

1MDB මූල්‍ය වංචාව සැකෙවින් – twitter.com 

මූල්‍ය අක්‍රමිකතා සහ ඒ සම්බන්ධයෙන් කරුණු සොයන පාර්ශවවලට එරෙහි ව සිදු කරන මර්දනය නිසා මැලේසියානුවන් දහස් ගණනින් ක්වාලලම්පූර් නගරය රැස් වී නජීබ් රසාක්ට ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් කළා. එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව “1MDB” වෙතින් සොරකම් කළ අරමුදල් හරහා මිල දී ගත් බවට චෝදනා කෙරෙන වත්කම් අත්පත් කර ගැනීම සඳහා සිවිල් නඩුවක් ගොනු කළා. නජීබ් ගේ පුද්ගලික ගිණුම්වලට අමෙරිකානු ඩොලර් මිලියන 700 කට ආසන්න මුදලක් බැර වී ඇති බව ඒ හරහා ද තහවුරු වුණා. 2017 ජුනි මාසය දක්වා සිදු කළ විමර්ශනවලට අනුව නජීබ් රසාක්ට හිතවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔහු ගේ සහචරයන් “1MDB” හරහා අමෙරිකානු ඩොලර් බිලියන 4.5 කට වැඩි මුදලක් ලබා ගෙන ඇති බව හෙළිදරව් වුණා.

චෝදනා කොතරම් එල්ල වුව ද 2018 දක්වා සිය බලය රැක ගැනීමට නජීබ් රසාක් සමත් වුණා. කෙසේ නමුත්, 2018 පැවති මහ මැතිවරණයෙන් ඔහු පරාජයට පත් වූ අතර, “1MDB” දූෂණ වංචාව සහ එහි ප්‍රතිපලයක් ලෙස මැලේසියාව මුහුණ දෙමින් සිටි ආර්ථික අපහසුතා නිසා නජීබ්, සිය පුරවැසියන් ගේ බලවත් කෝපයට පාත්‍ර වුණා. නිදහසින් පසු ප්‍රථම වතාවට ඔහු නියෝජනය කළ “එක්සත් මැලේ ජාතික සංවිධානය” නම් දේශපාලන පක්ෂයට මැලේසියාවේ පාලන බලයත් අහිමි වුණා. මැතිවරණ පරාජයෙන් දින දෙකකට පසු නජීබ් රසාක් සහ ඔහු ගේ බිරියට රටින් පිටවීම තහනම් කළේ ඔහු ගේ දිවියේ දුෂ්කරත ම කාල පරිච්ඡේදය ආරම්භ කරමින්.

පෙට්‍රෝ සවුදි ඉන්ටර්නැෂනල් හි අධ්‍යක්ෂවරයා ව සිටි සේවියර් ජස්ටෝ, මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මැලේසියාවේ දූෂණ විරෝධී කොමිසමට සාක්ෂි ලබා දුන් ප්‍රබලයෙක් – www.aljazeera.com 

රාජකීය සමාව ලැබීමේ ඉඩක්?

මැලේසියානු ජනතාවට මෙම නඩු තීන්දුව වැදගත් වන්නේ දේශපාලකයන් ගේ මූල්‍ය අක්‍රමිකතාවලට එරෙහි ව ලැබූ ජයග්‍රහණයක් නිසා පමණක් ම නොවෙ යි. මැලේසියාවේ නීතියේ ස්වාධීපත්‍යය සම්බන්ධයෙන් ජනතාව තුළ බලවත් විශ්වාසයක් ගොඩ නැඟීමත් මේ හරහා සිදු වෙනවා.

 තවමත් නජීබ් ගේ දූෂණ වංචා විභාගය අවසාන වී නැහැ. “1MDB” රාජ්‍ය අරමුදල අවභාවිතය සම්බන්ධයෙන් දෙවන දූෂණ නඩු විභාගයක් සඳහාත් ඔහු පෙනී සිටිය යුතු යි. කරුණු කාරණා එසේ වුව ද, නජීබ් රසාක්ට රාජකීය සමාව ලැබීමේ ඉඩක් ඇති බවත් වාර්තා වෙනවා. රාජකීය සමාව සම්බන්ධයෙන් ප්‍රථම ව ජනතාව දැනුම්වත් කළේ මැලේසියාව පාලනය කළ ජනප්‍රිය නායකයෙක් වූ මහතීර් මොහොමඩ්.

නජීබ් රසාක්ගේ ආධාරකරුවෙක් අධිකරණ තීන්දුවෙන් පසු හඬා වැටෙන අයුරු – www.aljazeera.com 

නජීබ් ගේ හිතවාදීන් ගෙන් අල්-සුල්තාන් අබ්දුල්ලා රජුගේ මාලිගයට දැනටමත් පෙත්සමක් භාර දී ඇති අතර, ඊට දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් තවමත් කරුණු දැක්වීමක් සිදු නොකළ බව යි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. නජීබ් රසාක්, මැලේසියාවේ රාජකීයයන් කිහිප දෙනකු සමඟ සමීප සබඳතා පවත් වන බව විශ්වාස කෙරෙන අතර, වරෙක ඔහු රජු සමඟ ඊද් සැමරුමකට සහභාගී වන අයුරුත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණා. රාජකීය සමාව සම්බන්ධයෙන් මේ වනවිට රජ මාලිගයට පවා ජනතා පීඩනය එල්ල වෙමින් තිබෙන අතර, රාජකීයයන් ගේ තීරණය මැලේසියාවේ අනාගතයට පවා බලපානු ඇති.

කවරයේ ඡායාරූපය: නජීබ් රසාක් - www.cfr.org

මූලාශ්‍ර:

 www.aljazeera.com

www.bbc.com

www.theedgemarkets.com

www.washingtonpost.com 

Related Articles