Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නේටෝවේ අර්බුදයක් ඇති කළ තුර්කියේ විරසකය

රුසියානු-යුක්‍රේන අර්බුදය දවසින් දවස තීව්‍ර වෙමින් ඉදිරියට ඇදෙනවා මිසක එහි අවසානයක් තව ම පෙනෙන්නට නැහැ. යුද්ධයට සක්‍රීය ව සහභාගී වී ඇත්තේ රටවල් දෙකක් වුවත්, ලෝකයේ රටවල් බොහෝමයක් වක්‍රාකාරයෙන් මෙම යුද්ධයට සම්බන්ධ වී සිටිනවා. එහි ප්‍රතිපලත් ලෝකයට වක්‍රාකාරයෙන් දැනෙන යුගයක් තමයි මේ ගත වෙන්නේ.

ද්වීපාර්ශවික ගැටුම් දිනෙන් දින තියුණු වන වාතාවරණය මැද යුද බිය යුක්‍රේන දේශසීමා අතික්‍රමණය කිරීමේ අවදානම ගැනත් ඇතැමුන් අවධානය යොමුකර තිබුණා. යුරෝපාකරය ඒ අතරින් විශේෂ යි. යුද්ධයේ අතුරු ප්‍රතිපල ලෙස හටගත් උද්ධමනය සහ බලශක්ති අර්බුද යුරෝපා රටවලට සෘජු ව දැනුණු අතර, අනාගතයේ දවසක යුද්ධයට මැදි වීමේ අවදානම ගැනත් ඔවුන් සැලකිලිමත් වුණා. මෙතෙක් නේටෝ සංවිධානයේ සාමාජිකයන් නොවූ ෆින්ලන්තය සහ ස්වීඩනය කඩිනමින් නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සහ දරන්නේත් ඒ නිසා යි.

කෙසේ නමුත්, ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ නේටෝ සාමාජිකත්වය සම්බන්ධයෙන් දැන් නේටෝ සංවිධානය අභ්‍යන්තරයේත් අර්බුදයක් ඇති වී තිබෙනවා. අර්බුදයට හේතු වී ඇත්තේ තුර්කිය යි.

තුන් ඈඳුතු අර්බුදයක්

සාමාජික රටවල් 30 න් සමන්විත නේටෝ සංවිධානයට නව සාමාජිකයෙක් එක් වන්නේ නම් ඊට සියලු සාමාජික රටවල් එකඟ විය යුතු යි. එහෙත්, ෆින්ලන්තය සහ ස්වීඩනය සම්බන්ධයෙන් කලක පටන් පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් මුල් කර ගනිමින් තුර්කිය ඔවුන් ගේ සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලියට බාධා එල්ල කළා. දැනට පවතින වාතාවරණයට අනුව ෆින්ලන්තයේ සාමාජිකත්වය සම්බන්ධයෙන් තුර්කිය ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ හැකියාවක් තිබුණත්, ස්වීඩනය සම්බන්ධයෙන් තුර්කිය දරන්නේ දැඩි ස්ථාවරයක්.

යුරෝපය තුළ නේටෝ සංවිධානය ස්ථාවර වී ඇති අයුරු – www.axios.com

1984 දී තුර්කි රාජ්‍යයට එරෙහි ව ආයුධ අතට ගත් තහනම් කුර්දිස්තාන් කම්කරු පක්ෂයේ (PKK) සටන්කාමීන්ට ස්වීඩනය සහ ෆින්ලන්තය රැකවරණ සපයා දීමේ චෝදනාව අර්බුදයට හේතු වුණා. මේ අතරින් තුර්කියේ දෝෂාරෝපණයට වැඩියෙන් ම ලක් වන්නේ ස්වීඩනය යි.

කුර්දිස්තාන් කම්කරු පක්ෂය, තුර්කියේ පමණක් නොව එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය පවා ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස හඳුනා ගෙන තිබෙනවා. තත්ත්වය එසේ වුවත්, ස්වීඩනය සහ ෆින්ලන්තය තුළ සිටින කුර්දි සටන්කාමීන් සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීමට දෙරටේ ආණ්ඩු අපොහොසත් වී ඇති බව යි තුර්කිය පවසන්නේ.

පැරණි තරහ ඔඩු දුවා යෑමක්

දැනට පවතින තත්ත්වය අනුව නේටෝ සාමාජිකත්වය සම්බන්ධයෙන් ෆින්ලන්තය සහ ස්වීඩනයේ තත්ත්වය වෙන වෙනම සලකා බැලීමට තුර්කිය තීරණය කර තිබෙනවා. එහි දී ෆින්ලන්තයේ සාමාජිකත්වය සම්බන්ධයෙන් තුර්කි රජයට විශාල ගැටලුවක් නොමැති බව යි එරට විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ. කෙසේ නමුත්, ස්වීඩනය සහ ෆින්ලන්තයට එකවර නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම අතිශයින් වැදගත් බව ෆින්ලන්ත විදේශ අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. ස්වීඩනය සම්බන්ධයෙන් ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික ගැටලු කිහිපයක් තුර්කියට පවතින බැවින්, ෆින්ලන්තයේ යෝජනාව පිළි ගැනිමට තුර්කි රජය උත්සුක වන්නේ නැහැ.

තුර්කි රාජ්‍ය තන්ත්‍රයට එරෙහිව විරෝධය දක්වන කුර්දි ජනයා – www.timesofisrael.com

නේටෝ සාමාජිකත්වය සම්බන්ධයෙන් තුර්කිය, ෆින්ලන්තය සහ ස්වීඩනය අතර පවතින මේ තුන් ඈඳුතු අර්බුදය, අද ඊයෙක ඇති වූවක් නොවෙයි. නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමේ තීරණය ප්‍රකාශයට පත් කළ දිනයේ පටන් උක්ත නෝ(ර්)ඩික් රාජ්‍යයන්ට එරෙහි වීමට තුර්කිය ක්‍රියා කළා. 2019 දී සිරියාවේ මිලිටරි මෙහෙයුමක් වෙනුවෙන් තුර්කියට ආයුධ අලෙවි කිරීම අත්හිටුවීමට ස්වීඩනය ගත් තීරණය සඳහන් කරමින් තුර්කිය මෙම විරසකය ආරම්භ කළ අතර, පසුව එය කුර්දි සටන්කාමීන්ට රැකවරණය සපයා දීමේ චෝදනාව දක්වා ඉදිරියට ගෙන යෑමට ඔවුන් ක්‍රියා කළා.

විරෝධය මැද ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය සඳහා 2022 මැයි මස 18 වැනිදා ඉල්ලුම් කළ ද වත්මන් නේටෝ සාමාජිකයන් තිස් දෙනා ගේ ඒකමතික අනුමැතිය ලබා ගැනීම සඳහා සති දෙකක කාලයක් බලා සිටීමට සිදු වුණා. තුර්කිය සිය නිෂේධ බලය භාවිත කිරීමේ උත්සාහය කරළියට පැමිණියේ මේ අතරතුර යි.

පොරොන්දු කඩ කිරීම

2022 ජුනි 28 වැනි දින මැඩ්‍රිඩ් නුවර පැවති නේටෝ සමුළුව ඇරඹීමට පැය හතරකට මත්තෙන් තුර්කිය, ස්වීඩනය සහ ෆින්ලන්ත රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර සාකච්ඡාවක් පැවතුණු අතර, එහි ප්‍රතිපලයක් වශයෙන් නිෂේධ බලය ඉවත් කර ගැනීමට තුර්කි රජය තීරණය කළා. මෙහි දී එකඟතාවයේ කොටසක් වශයෙන් කුර්දි සටන්කාමීන් සහ කුමන්ත්‍රණකරුවන් 33 දෙනකු ස්වීඩනයෙන් සහ ෆින්ලන්තයෙන් පිටුවහල් කිරීමේ ඉල්ලීමක් ඉදිරිපත් කළ බව තුර්කියේ අධිකරණ අමාත්‍යවරයා නිවේදනය කර සිටියා.  

තුර්කි ජනපති රිසෙප් තායිප් එර්ඩෝවන් – www.bbc.com

2022 දෙසැම්බර් 19 වැනිදා මැඩ්‍රිඩ් හි ගොඩනඟා ගත් එකඟතාව අභියෝගයට ලක් කරමින් තුර්කි මාධ්‍යවේදියෙක් ස්වීඩනයෙන් පිටුවහල් කිරීම ස්වීඩන් ශ්‍රේෂ්ඨාධිකරණය අවහිර කළා. තවමත් තුර්කියේ ජනපති ධූරයේ රැඳී සිටින රිසෙප් තායිප් එර්ඩෝවන්, 2016 දී බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණයට සහාය දැක්වූ පුද්ගලයෙක් ලෙස එම මාධ්‍යවේදියා චෝදනා ලබා සිටි අතර, බාධා කිහිපයක් ගෙනහැර පාමින් මාධ්‍යවේදියා තුර්කියට භාර දිය නොහැකි බව ස්වීඩන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඉන් දින කිහිපයකට පසු එනම්, දෙසැම්බර් 22 වැනිදා තුර්කි විදේශ අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ නේටෝ සාමාජිකත්වය සම්බන්ධයෙන් සිය රටේ සහය ලබා ගැනීම සඳහා ස්වීඩනය සිදු කළ යුතු කැප කිරීම්වලින් අඩක්වත් ඉටු කර නොමැති බව යි.

අර්බුදය තීව්‍ර කළ දක්ෂිණාංශිකයා

ජනවාරි මාසය පුරා නේටෝ සාමාජිකත්ව ගැටලුව උග්‍ර වෙමින් පැවතුණු අතර, තුර්කියේ උදහස යම් තරමකින් අව ම කර ගැනීමට ෆින්ලන්තය සමත් වුණා. එහෙත්, ස්වීඩනය තුර්කියේ ඉල්ලීම්වලට එකඟත්වයක් පළ කර නැහැ. මේ අතර දක්ෂිණාංශික අදහස් ඇති ස්වීඩන්-ඩෙන්මාර්ක් ක්‍රියාකාරිකයෙක් වන රස්මස් පලුඩාන්, ස්වීඩනයේ අගනුවර පිහිටි තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූවා. තුර්කියේ බහුතර ආගමික විශ්වාසයට පහර වැදෙන අයුරින් ඔහු හැසිරුණු බැවින්, ස්වීඩනය සහ තුර්කිය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හිඩැස තවදුරටත් පුළුල් වුණා.

ස්වීඩනයට විරෝධය දක්වන තුර්කි ජනයා – www.abc.net.au

තුර්කියට එරෙහි ව විරෝධයට පෑමට අවසර දීම සම්බන්ධයෙන් තුර්කිය නැවතත් ස්වීඩනයට චෝදනා කළ අතර, රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් මැදට ආගම වැනි සංවේදී සහ සන්දර්භයට අදාළ නොවන මාතෘකාවක් රැගෙන ඒම ගැනත් තුර්කි රජය සිටියේ අමනාපයෙන්. ඊට ප්‍රතිචාරයක් වශයෙන් ඉස්තාන්බුල් නගරයේ පිහිටි ස්වීඩන් කොන්සල් කාර්යාලය ඉදිරිපිට රැස් වූ තුර්කි විරෝධතාකරුවන් ස්වීඩන් ධජයට ගිනි තබමින් සිය අප්‍රසාදය ප්‍රදර්ශනය කළා.

තුර්කි ජනපති ස්වීඩනයේ සිටින සැකකරුවන් නැවත සිය රටට භාරදෙන ලෙස දිගින් දිගට ම බල කරන අතර, නේටෝවේ සාමාජිකයෙක් වීමේ බලවත් අවශ්‍යතාවය මත ස්වීඩන් රජය ඉදිරියේ දී ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යත් අවධානයෙන් සිටිනු ඇති.

ෆින්ලන්තයට සහ ස්වීඩනයට නේටෝව වැදගත් ඇයි?

ස්වීඩනය සහ ෆින්ලන්තය දිගු කලක් මුළුල්ලේ යුදමය වශයෙන් විධිමත් නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කළා. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ පසු තම ස්ථාවරය තවදුරටත් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් දෙරටට ම ගැටලු මතු වූ අතර, ඔවුන් ගේ භූ දේශපාලනික පසුබිම පවතින්නේත් යම් අවදානමක යි. ෆින්ලන්තය සහ රුසියාව කිලෝමීටර් 1300 ක පමණ දේශසීමාවකින් වෙන් ව තිබීම සහ ස්වීඩනයට අයත් දූපතක් වන “ගොට්ලන්ඩ්”, රුසියාවේ කලිනින්ග්‍රෑඩ් නම් පෙදෙසට කිලෝමීටර් 300 ක් පමණ ආසන්නයෙන් පිහිටා තිබීම, අවදානමට හේතු වී තිබෙනවා. ඒ අනුව නේටෝ සංවිධානයේ සාමුහික ආරක්ෂණ එකඟතාවකට ඇතුළත් වෙමින් අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කර ගැනීම දෙරටේ අරමුණ යි.  

භූ දේශපාලනික වැදගත්කමක් දරණ බෝල්ටික් මුහුද සහ ඒ ආශ්‍රිත රටවල් – ontheworldmap.com

අනෙක් අතට, නේටෝ සංවිධානයටත් ස්වීඩනය සහ ෆින්ලන්තය නිත්‍ය සාමාජිකයන් ලෙස බඳවා ගැනීමේ විශාල අවශ්‍යතාවක් තිබෙනවා. රාජ්‍යයන් දෙකට ම සාපේක්ෂ ව ඉහළ හමුදා ශක්තියක් ඇති අතර, ඒ ශක්තිය ආකාර දෙකකින් ප්‍රදර්ශනය වීමත් විශේෂත්වයක්. ස්වීඩනය සතු ව ශක්තිමත් ගුවන් හමුදාවක් සහ බෝල්ටික් මුහුදේ පාරිසරික තත්ත්වවලට ගැළපෙන සබ්මැරීන් බළ ඇණියක් තිබෙනවා. ෆින්ලන්තයට භට පිරිස් 285,000 න් සහ යුද ටැංකි 650 කින් සූදානම් වීමේ හැකියාවක් තිබෙනවා. ඔවුන් නේටෝ සංවිධානයට එක් වූ වහාම එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන්ට ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් බෝල්ටික් මුහුදේ බලය විදහා දැක්විය හැකි යි.

සම්පූර්ණ නොවූ යුද සැලසුම

ෆින්ලන්තයට පමණක් සාමාජිකත්වය පිරි නැමීම සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් තුර්කිය වෙතින් ලැබීම, නේටෝව ලබා ගත් අසම්පූර්ණ ජයග්‍රහණයක් ආකාරයෙන් පෙනෙන්නට තිබෙනවා. එය සම්පූර්ණ ජයග්‍රහණයක් වීමට නම් ස්වීඩනය උපාය මාර්ගික භූමියක් ලෙස භාවිත කරමින් ෆින්ලන්තය ආරක්ෂා කිරීමේ හැකියාව නේටෝවට තිබිය යුතු යි. තුර්කියේ විරසකය උක්ත සැලසුමේ ප්‍රධාන සතුරා බවට පත් වී අවසන්.

ස්වීඩනයේ නේටෝ සාමාජිකත්වය තුර්කිය ස්ථිරව අවහිර කළහොත්, ෆින්ලන්තයටත් විකල්ප ක්‍රම සෙවීමට සිදු වෙනවා. උපාය මාර්ගික මිතුරෙක් ලෙස තුර්කියේ වැදගත්කමත් සුළුපටු නැහැ. එබැවින්, නේටෝ සාමාජිකයන්ට තුර්කිය වෙත බලපෑම් එල්ල කිරීමේ හැකියාවකුත් නැහැ.

බෝල්ටික් කලාපයේ බල‍ය තහවුරු ක‍ර ගැනීම සඳහා ස්වීඩනය සහ ෆින්ලන්තයේ හමුදා ශක්තිය නේටෝ සංවිධානයට ඉතා වැදගත්- www.bloomberg.com

නේටෝවේ සාමාජිකත්ව ගැටලුව විසඳීම සම්බන්ධයෙන් තුර්කියේ ඉදිරි සහභාගීත්වය මන්දගාමී විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. 2023 යනු තුර්කියට මැතිවරණ වර්ෂයක් වන බැවින්, එරට දේශපාලනය අතිශයින් කාර්යබහුල අවධියකට පා තබමින් සිටීම ඊට හේතුව යි. ස්වීඩන් රජයත් තුර්කියේ ඉල්ලීම් ඉටු කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ සියලු සිදුවීම් අතරේ රුසියාව දිගින් දිගට ම යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරමින් කලාපීය ආරක්ෂාවට අභියෝගයක් වෙමින් සිටිනවා.

කවරයේ ඡායාරූපය: තුර්කියේ ස්ථාවරය හේතුවෙන් ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ නේටෝ සාමාජිකත්ව අපේක්ෂාව අවදානම් අඩියකට වැටී තිබෙනවා - www.wsj.com

මූලාශ්‍ර:
www.reuters.com
www.nato.int
www.aljazeera.com

Related Articles