Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රංගිරෝවා හි පිහිටි ස්වභාවික මින්මැදුර

ගෘහ අලංකරණයට හිතැති ඕනෑ ම අයෙකු තමන්ගේ නිවසේ සුරතල් මසුන් සිටින පුංචි මාළු ටැංකියක් හෝ නිවස තුළ ම කුඩා මත්ස්‍ය විලක් නඩත්තු කිරීමට අමතක කරන්නේ නැහැ. විවිධ පැහැයෙන් දිලිසෙමින්, ඒ මේ අත පිහිනා යමින් විනිවිද පෙනෙන දියෙහි දිය කෙළින මත්ස්‍යන් සොබාදහමේ දායාදයක්. මත්ස්‍යයන්ට ප්‍රිය කරන සංචාරක ඔබ නැරඹිය යුතු ම ස්ථානයක් මේ ලිපියේ අවධානයට යොමු වනවා. ලොව පවත්නා දැවැන්ත ම ස්වභාවික මින්මැදුර ලෙස මෙය හැඳින්වීමට හැකියි. රංගිරෝවා හි පිහිටි මෙම ස්වභාවික මින්මැදුර ගුවනින් නරඹන්නෙකුට ඇති වන්නේ විස්මය දනවන හැඟීමක්. එහි සුන්දරත්වය සැබැවින් ම අත්විඳීමට නම් කිමිඳී නැරඹීම අත්‍යවශ්‍ය යි. මෙම ස්වභාවික මින්මැදුර සහ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ රංගිරෝවා කලපුව ආශ්‍රිත ව යි. රංගිරෝවා හි  පවත්නා ප්‍රධාන ගම්මාන දෙකක් වන ඇවටෝර්යු (Avatoru) සහ ටිපියුටා (Tiputa) සිට විනාඩි 5ක පමණ කාලයක් බෝට්ටුවෙන් ගමන් ගත් තැන මෙම සුන්දර ඉමට ළඟා විය හැකියි.

රංගිරෝවා දූපත අවට ස්වභාවික මින්මැදුරු කලාපය (Silversea)

මෙම ප්‍රදේශයේ කිමිදෙන්නන්ට දැඩි ව සහ ඝන ව වැඩුණු මෙන්ම තවමත් මෘදු ව පෝෂණය වන කොරල් පර දැක ගැනීමට හැකියාව පවතිනවා. මෙහි පවත්නා මත්ස්‍ය විවිධත්වය අතිශයින් සුවිශේෂී යි. ඉතා කුඩා සීමාවක් තුළ පවා විවිධත්වයෙන් යුත් මත්ස්‍ය වර්ග විශාල ගණනක් මෙහි දී දැක බලා ගැනීමට පුළුවන්. මෙම කලපු දියෙහි කිමිදෙන්නෙකුට දිය යට දී sergeant major, double-saddle butterfly fish, සහ sixbar wrasse යන මත්ස්‍යයන් සුලබ ව දැක බලා ගැනීමට පුළුවන්. එපමණක් නොවෙයි, Blacktip reef sharks යන මත්ස්‍ය වර්ගය ද මෙම භූමියෙහි නිරන්තර සැරිසරනු දැකගත හැකියි. ප්‍රංශ පොලිනීසියාවේ (French Polynesia), මෝටු නියුහි නියුහි (Motu Nuhi Nuhi) හි, රංගිරෝවා කලපුවෙහි, ටීපියුටා පාස් (Tiputa Pass) ප්‍රදේශය හරහා විහිදී පවතින කොරල් පරය කේන්ද්‍ර කොට ගනිමින් මෙම ස්වභාවික මින්මැදුර පැතිරී පවතිනවා. මෙම ප්‍රදේශය වඩාත් ප්‍රචලිත වන්නේ කිමිඳුම් ක්‍රීඩාව සඳහා යි. මෝරුන්, මඩු වර්ගයට අයත් මන්ටා රේස් සහ ඊගල් රේස් මසුන්, සහ ඩොල්ෆින් යන මත්ස්‍යයන් නැරඹීම මෙවන් කිමිඳීම්වල මූලික අරමුණ යි. ඊට අමතර ව කොරල් පර ආශ්‍රිත ව වාසය කරන බැරකියුඩා (barracuda) මත්ස්‍ය රංචු සහ ට්‍රිවැලීස් (trevallies) යන මත්ස්‍ය රංචු නැරඹීමටත් කිමිඳුම්කරුවන් වැඩි ප්‍රියතාවක් දක්වනවා.

මත්ස්‍ය අභිජනන කලාපය ගුවනට දිස් වන ආකාරය (Tahiti Legends)

මනා පුහුණුවකින් යුත් කිමිඳුම්කරුවන්ට නම් මෙම කලපුවෙහි ඕනෑ ම ඉසව්වක කිමිඳිය හැකියි. නමුත් එතරම් දක්ෂ නොවන කිමිඳුම්කරුවන් නිරන්තරයෙන් තමන්ට කිමිඳීමට තරම් ආරක්ෂිත ප්‍රදේශයක් තෝරා ගත යුතු යි. Rangiroa යන නමෙහි අර්ථය වන්නේ “long sky” හෙවත් “දීර්ඝ අහස” යන්න යි. නමුත් මෙකී අහසක් වන් නීල වර්ණ දිය ගැඹරේ රජ කරන්නේ අන් කිසිවෙකුත් නොව, අපූර්වත්වයෙන් යුත් මත්ස්‍ය කණ්ඩායම් ය. රංගිරෝවා හි කලපු දිය තුළ කොරල් පර ආශ්‍රයෙන් බිහි වූ ගුහාවන් හි මෝරුන් මෙන්ම රෙඩ් ස්නැපර්ස් (Red Snappers) මත්ස්‍යයන් ද ගැවසෙනවා. එමෙන්ම නැපෝලියන් මසුන් රංචු දුසිම් ගණනින් මෙහි දී දැකගත හැකියි. මෙම කලපු දියෙහි කිමිඳෙන්නන්ට කැස්බෑවන්, ඩොල්ෆින් මසුන්, මෝරුන්, මඩුවන් වැනි මත්ස්‍යයන් අතර කිමිදෙමින් පිහිනා යෑමට පුළුවන්. නොවැම්බර් සහ පෙබරවාරි අතර කාල පරාසය තුළ මෙහි සංචාරයේ නිරතවන්නන්ට ‘මිටි හිස සහිත මෝරුන්’ (Hammerhead sharks) දැකබලා ගැනීමට අවස්ථාව උදා වනවා. සැප්තැම්බර් මාසය තුළ දී නම් මන්ටා රේස් මසුන් දැකබලා ගැනීමේ වාසනාව සංචාරකයන්ට උදාවනවා. සැප්තැම්බර් මාසය වූ කලී මන්ටා රේස් මසුන් මෙම කලපුවෙහි සිට ඔවුන්ගේ ගමනාන්තය වන හවායි දක්වා සංක්‍රමණය වන අවධිය යි.

මත්ස්‍ය රංචු සමග පිහිනමින් (topdive.fr)

Hotel Kia Ora Resort & Spa, Hotel Maitai Rangiroa, Motu Teta යනු මෙම ප්‍රදේශයෙහි පවත්නා සංචාරකයන්ට සේවාවන් සපයන හෝටල් කිහිපයක්. කලපුවෙහි පවත්නා මසුන් නැරඹීමට ප්‍රකට ස්ථානයන් දෙකක් ලෙස ටීපියුටා පාස් සහ ඇවටෝර්යු පාස් (Avatoru Pass) හඳුනාගැනීමට පුළුවන්. ඇවටෝර්යු හි කිමිඳීමට පවත්නා සුදුසු ම ස්ථානයන් ලෙස නැපෝලියන්, මෝර සහ මන්ටා පෙදෙස (Sharks & Manta point), ටූනා පෙදෙස (Tuna point), කුඩා ගුහාවන්, සහ කුඩා මුහුදු උමං මාර්ග දැක්විය හැකියි. මෝටු ෆාරා (Motu Fara) හෙවත් මාහියුටා පෙදෙස (Mahuta point) හි කිමිඳීමට පවත්නා සුදුසු ම ස්ථානයකි. එහි සබ්මැරීන උමං මාර්ග දෙකක් පවතින අතර, ඒවායෙහි ද කිමිඳිය හැකිවාක් මෙන්ම එසේ කිමිදෙන අතර බැරකියුඩා, ජැක්, සර්ජන්ස් (surgeons), ගරුපා වැනි මත්ස්‍යයන් ද දැකබලා ගත හැකියි. ටිපියුටා පාස් කලාපයෙහි වෙනස් ප්‍රදේශයන් තුනක් දැකගත හැකි අතර, ද වෝල් (The wall), බැරකියුඩා පෙදෙස (Barracudas point) සහ මෝර පෙදෙස (Sharks point) යනු එකී විශේෂිත ප්‍රදේශයන් තුන යි. මෝටු නියුහි නියුහි දී විචිත්‍රවත් සහ වෛර්ණ කොරල් පර දැකගත හැකියි.

දිය යට සුන්දරත්වය (Wanderlust Travel Magazine)

රංගිරෝවා කලාපය තුළ වසර පුරා ම කිමිඳීම් කටයුතුවල නිරත විය හැකියි. සාමාන්‍යයෙන් එකී මුහුදු සීමාවෙහි උෂ්ණත්වය පවතින්නේ ෆැරන්හයිට් 79ත් 83ත් අතර යි. කෙසේ නමුත් සංචාරකයන් මෙහි කිමිඳීම් කටයුතුවල නිරත වන කාලයන් තුනක් පවතිනවා. එකී කාලයන් තුන නම්; manta ray season හෙවත් සැප්තැම්බර් මස මුල සිට ඔක්තෝම්බර් මස මැද භාගය දක්වා කාලයත්, hammerhead shark season හෙවත් ජනවාරි සහ පෙබරවාරි මාසයනුත් වසරේ ඉතිරි කාලයත් වනවා. නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසයන් මෙම ප්‍රදේශයට වැසි පවත්නා කාලයන් වන අතර, ජූලි සහ අගෝස්තු යනු මෙම ප්‍රදේශයෙහි සුළං අධික කාලය යි. සංචාරකයන් සංචාරය සඳහා කාලය තේරීමේ දී මෙකී දේශගුණික හා කාලගුණික තත්ත්වයන් පිළිබඳ ව ද සැලකිලිමත් විය යුතු යි.  ප්‍රංශ පොලිනීසියාවේ දූපත් අතර පවත්නා රංගිරෝවා දූපත අවට මෙම මින්මැදුරු කලාපයට ටාහිටි (Tahiti) සිට ගුවනින් ළඟා වීමට ගත වන්නේ පැයක පමණ කාලයක් පමණයි.

මසුන් සහ කොරල් පර (BBC)

දකුණු පැසිපික් සාගරයෙහි මෙන්ම, ලෝකයෙහි ද පවත්නා අතිශයින් විශාල මෙම ස්වභාවික දායාදය හෙවත් රංගිරෝවා කලපුව සැතපුම් 40ක් දිගින් යුක්ත වන අතර, පළලින් සැතපුම් 20ක් පමණ වෙනවා. ගැඹුරින් එය අඩි 150ක් පමණ වනවා. මෙය පැසිපික් සාගරය හා සම්බන්ධ වන්නේ ඇවටෝර්යු සහ ටිපියුටා යන සමුද්‍ර සන්ධීන් හරහා යි. මෙම දියෙහි පවත්නා ගල්පරය මීටර් 1200ක් පමණ ගැඹුරට විහිදී තිබෙනවා.

 

කවරයේ පින්තූරය: රංගිරෝවා මින්මැදුරු කලාපය (Lonely Planet)

මූලාශ්‍රයයන්:

  • Rangiroa, divetahitiblue.com
  • Rangiroa, tahiti.com
  • Great snorkel experience at the Aquarium, tripadvisor.com
  • Try Snorkeling In Rangiroa Aquarium, travelpulse.com
  • The Aquarium, snorkeling-report.com
  • Motu Nuhi Nuhi – The Aquarium, lonelyplanet.com
  • Aquarium and / or drift snorkel, tripadvisor.com.ph
  • RANGIROA IN DETAIL, lonelyplanet.com
  • french-polynesia.greatestdivesites.com
  • yestahiti.com
  • Best Diving in Rangiroa, diveglobal.com

Related Articles