මිනිසා අතින් සිදුවූ මහා පාරිසරික විනාශයන් 3ක්

මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට වන හානිය ඉතා විශාලයි. අක්‍රමවත් ඉදිකිරීම් සහ අපද්‍රව්‍ය බැහැරකිරීම් ඉතා හානිදායක ප්‍රතිඵල ළඟා කරවන හැසිරීම්. එයට ආසන්නම උදාහරණයක් ලෙස මීතොටමුල්ල නාය යෑම හෝ උමා ඔය ඉදිකිරීම් කටයුතු පෙන්වා දිය හැකියි. එම ව්‍යාපෘතියේ යම් යම් දෝෂයන් නිසා බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස ‍රැසක් ඉරිතලා ගොස්, පානීය ජලය ලබාගන්නා ළිං පවා සිඳී ගොස් ඇති බව අද වන විට නොදන්නා අයෙක් නැහැ. මේ ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ එවැනි විවිධ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා ලොව පුරා සිදුවූ පාරිසරික විනාශයන් ගැනයි.

බොස්ටන්හි උක්පැණි ගැල්ම

මෙය 1919 තරම් ඈත කාලයක එක්සත් ජනපදයේ, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බොස්ටන්හි සිදුවූ කර්මාන්ත අනතුරක් වන අතර “මහා උක්පැණි ගැල්ම” ලෙස ද හැඳින්වෙනවා.

උක්පැනි ගැල්මෙන් විනාශ වූ නගරය (The Atlantic)

අනතුර සිදුවුණේ 1919 වසරේ ජනවාරි 15 වන දා එක්තරා ආසවනය කිරීමේ කර්මාන්තශාලා පරිශ්‍රයකයි. උක්පැණි (molasses) යනු ඉතා උකු, තද දුඹුරු පැහැ දියරයක් වන අතර මෙය පැසවීම මගින් මත්පැන් නිපදවීම සිදු කෙරෙනවා. මෙහි පැසෙන උක්පැණි ගබඩා කර තිබුණේ විශාල ටැංකියකයි. අඩි 50ක් උස, අඩි 90ක් පළල (සිව්මහල් ගොඩනැගිල්ලක් තරමේ) මේ ටැංකියේ ඝණ මීටර 8700ක උක්පැණි ගබඩා කර තිබුණා. බොහෝ දිනක් තිස්සේ මෙම ටැංකියේ පැලුම්වලින් උක්පැණි වෑස්සෙමින් තිබුණත්, එය අලුත්වැඩියා කරනවා වෙනුවට පැලීම් සැඟවීමේ අරමුණින් දුඹුරු පැහැය ආලේප කෙරුණා.

ගිනි නිවන භටයින් ගිලී සිටින්නේත්, ඉනිමඟ වැසී තිබෙන්නේත් උක්පැණිවලිනි (The Atlantic)

1919 ජනවාරි 15 වනදා පරිසරයේ තිබූ අධික උෂ්ණත්වයත්, පැසීමේදී එකතු වූ කාබන් මොනොක්සයිඩ් අැතුළු වායුවල පීඩනයත් නිසා ටැංකිය ප්‍රසාරණය වීමෙන් එහි මුරිච්චි ගැලවී ටැංකිය පිපිරී ගියා. පිපිරීමෙන් මීටර 8ක් උස, පැයට කිලෝමීටර 56ක වේගයෙන් ගමන් කළ උක්පැණි ‍රැල්ලක් ඇතිවුණා. අවට ගොඩනැගිලි මෙම ‍රැල්ල නිසා පාදමෙන්ම ගැලවී විනාශ වූ අතර අසල දුම්රිය අංගනයක තිබූ දුම්රිය මැදිරියක් එසවී, පෙරළී ගියා. බොහෝ අෑතකට පොළව අඩි 2 – 3ක් පමණ උසට ඇලෙන සුළු, උකු, දුඹුරු පැහැ උක්පැණියෙන් වැසී ගියා.

පුවත්පත් සිරස්තල (Symon Sez)

මේ අනතුර නිසා මරණ 21ක් සිදුවූ බව වාර්තා වෙනවා. එසේම නගරය පිරිසිදු කිරීම සඳහා මිනිස් පැය 87,000ක් වැය වූ බව සඳහන්. උක්පැණි ටැංකිය අයිතිකාර සමාගම මෙම අනතුරෙහි වගකීම බාරගැනීම මුලින් ප්‍රතික්ෂේප කළත්, කරුණු ඔප්පු වූ විට වරද පිළිගැනීමට ඔවුන්ට සිදුවුණා. සිදුවූ අලාභහානිවලට ඔවුන් වන්දිද ගෙවා තිබෙනවා.

පීනියර් විලෙහි කැනීම් අනතුර

එක්සත් ජනපදයේ ලුයිසියෑනා ප්‍රාන්තයේ පිහිටි මිරිදිය ජලාශයක් වූ පීනියර් විල, 1980 දී ඛණිජ තෙල් කැණීමකදී සිදුවූ අනතුරක් නිසා ඉතා ගැඹුරු කරදිය ජලාශයක් බවට පත්වුණා.

පීනියර් විල අක්කර 1,125 පුරා පැතිර තිබෙන, සාමාන්‍ය ගැඹුර අඩි 3 – 6 අතර වූ ජලාශයක්. 1980 නොවැම්බර් 20 වන දා ඛණිජ තෙල් නිධියක් කැණීම සඳහා පැමිණි ටෙක්සාකෝ සමාගම වැරදීමකින් පීනියර් විල පතුලේ තිබූ ආකර ලුණු නිධියක් තුළට කැණීම සිදුකළා.

පළමුවෙන් ලුණු නිධිය තුළට කාන්දු වන්නට වූයේ සුළු ජල ප්‍රමාණයක් නමුත් පැය කීපයක් තුළ එම සිදුර විශාල වී විල මැද දිය සුළියක් හට ගැනුණා. මේ මහා දිය සුළිය මගින් තෙල් කණින යන්ත්‍රත්, පාරු 11කුත් අවට අක්කර 65ක ප්‍රදේශයක තිබූ ගසුත් පොළව තුළට ඇදගන්නට වුණා. ඒ විශාල ආකරය තුළ ඇතිවූ පීඩනය නිසා අඩි 400ක් පමණ උස ජල කඳක් ඉහළට විදි බව කියැවෙනවා.

ඉතා උස ජල කඳක්. (Cracked.com)

පොළොව අභ්‍යන්තරයේ තිබූ ආකරවලට ජලය පිරීමත් සමඟ විල හිස්වන විට, විලේ වැඩි ජලය මුහුදට ගලා ගිය ඇල දිගේ මුහුදු ජලය විලට ගලා එන්න පටන් ගත්තා. මේ ගලා ඒම නිසා ලුයිසියෑනා ප්‍රාන්තයේ උසම දිය ඇල්ල මෙම ඇලත් විශාල ආකර සිදුරත් අතර ඇති වුණා. (උස අඩි 164ක්) මේ ජලය නිසා විල නැවත පිරුණත්, එය අවසානයේදී කරදිය විලක් බවට පත් වුණා.

මේ අනතුරින් කිසිදු මනුෂ්‍යයෙකු අනතුරට පත්වුණේ නැතත්, සිදු වූ හානියට වන්දියක් ලෙස අදාළ ලුණු ආකරය අයිති සමාගමටත්, අවට ප්‍රදේශවාසීන්ටත් ඩොලර් මිලියන 32ක් ගෙවීමට ටෙක්සාකෝ සමාගමට සහ කැණීම් කොන්ත්‍රාත්කරුවන්ට සිදුවුණා.

වයොං වේල්ලේ “සුනාමිය”

වයොං වේල්ල (HighestBridges.com)

ඉතාලියේ වෙනීසියට කි. මී. 100ක් පමණ උතුරින් වයොං ගංගාව හරස් කරමින් මොන්ටි ටොක් කන්ද අල්ලා බැඳි මහා වේල්ලේ කටයුතු අවසන් කෙරුණේ 1959 වසරේ දීයි. ලොව උසම වේලිවලින් එකක් වන එය මීටර 262ක උසින් යුක්තයි. 1963 දී එහි ඉදිකිරීමේ දෝෂ නිසා ඇතිවුණු නායයාමක් සහ සුනාමියක් නිසා ජීවිත 2000කට ආසන්න ගණනක් විනාශ වී ගියා.

වයොං වේල්ල තනනු ලැබුවේ ආද්‍රියාතික බලශක්ති සංස්ථාව (SADE) මගින්. එහි අයිතිකරු දෙවන ලෝක යුධ සමයේ ඉතාලියේ ඇමතිවරයෙකුව සිටි නිසා යුද්ධයෙන් පසුව ආණ්ඩුව බිඳවැ‍ටුණද, නව ආණ්ඩුවල ද සහයෙන් ව්‍යාපෘතිය අරඹනු ලැබුවා. ප්‍රදේශවාසීන් එම ව්‍යාපෘතියට විරුද්ධ වුව ද, ආණ්ඩුවේ සහ පොලිසියේ සහය ඇතිව විරෝධතා මර්දනය කෙරුණා. වේල්ල තැනුමට පෙර ඒ ප්‍රදේශයේ පරිසර වාර්තා ලබාගත් බවත්, කන්ද ස්ථාවර බවත් SADE ප්‍රකාශ කළා.

1964 දී මඩෙන් පිරුණු ද්‍රෝණිය දිස්වූ අයුරු. (ඡායාරූපයේ පහත කොටසේ, සුදු පැහැ ප්‍රදේශ අවසන් වන සීමාවේ දැක්වෙන වක්‍රය වයොං වේල්ලයි. (History of Geology)

වේල්ල ඉදිකිරීම අරඹා වසර දෙකකට පසු 1959 දී අවට පාරවල පැලීම් සහ ඉරිතැලීම් ඇතිවුණු නිසා පරිසරවේදීන් විසින් මෙම ව්‍යාපෘතිය අනතුරුදායක බවත්, ඔවුන්ගේ පරීක්ෂණවලින් කන්ද අස්ථාවර බව තහවුරු වූ බවත් බලධාරීන්ට දැනුම් දුන්නත්, ඒ දැනුම් දීම් නොසලකා හැරුණා. 1960 වන විට ගංගා ද්‍රෝණිය පිරවීම ආරම්භ වූ අතර, ඒ වන විට වේල්ල ආණ්ඩුවේ පාලනයට පවරාගෙන තිබුණා.

1960 පමණ සිටම අවට ප්‍රදේශයේ සුළු නාය යෑම් සහ භූ චලන ඇතිවුණා. මේ පිළිබඳව වාර්තා කළ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව රජය නඩු පැවරුවේ ඔවුන් ජනයා කලබලයට පත් කරවන බව පවසමිනුයි. නමුත් රජය වේල්ලේ කටයුතු නැවත්වූයේ නැහැ.

1963 ඔක්තෝබර් 9 වන දා රාත්‍රී දහය පසුවද්දී වේල්ලේ ඉංජිනේරුවන් ගසුත්, ගලුත් සමඟ මොන්ටි ටොක් කන්ද වේගයෙන් පහතට වැටෙන අයුරු දුටුවා. ඝණ මීටර 260,000,000ක පස් සහ මඩ නිසා තත්පර 45ක් තුළ ගංඟා ද්‍රෝණිය සම්පූර්ණයෙන්ම පිරී ගිය අතර එහි ‍රැස්කොට තිබූ ජලය ඝණ මීටර 50,000,000ක් අඩි 820ක් උස සුනාමි ‍රැල්ලක් අාකාරයෙන් පහළ ගම්මාන වෙත කඩාවැදුණා. පහළ තිබූ ගම් 5 ක් මුළුමනින්ම යට වී ගියා. මේ ‍රැල්ල නිසා පුද්ගලයින් 1910 දෙනෙක් මරණයට පත් වී තිබෙනවා. පවුල් 350ක සාමාජිකයින් මුළුමනින්ම විනාශ වී ගියා.

Longarone නම් ගම්මානය තිබූ තැන දක්නට ලැබුණේ මඩ සහ සුන්බුන් පමණයි. (Italy On This Day)

අනතුරෙන් පසු රජය එය නොතකා හරින්නට උත්සාහ කළේ එය “ස්වභාවික ව්‍යසනයක්” ලෙස අර්ථ දක්වමිනුයි. නමුත් ආණ්ඩුවට විරුද්ධ කොමියුනිස්ට් පක්ෂයකිනුත්, මාධ්‍යවලිනුත් දිගින් දිගටම එල්ල වූ පීඩනය නිසා නඩු විභාගයක් පැවැත්වුණා. එහිදී SADE සහ ජාතික විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් කීපදෙනෙකුට එරෙහිව නඩු තීන්දුව ප්‍රකාශ වුණත්, ඉතාලි ආණ්ඩුව SADEට එරෙහිව නඩු පැවරුවේ නම් නැහැ.

පරිසරයට වන බලපෑම නොසලකා අප සිදුකරන ක්‍රියාවන්ගෙන් හානිවන්නේ අපටමයි. තමන්ට තාවකාලිකව ලැබෙන සුළු ලාභ ප්‍රයෝජන සහ වරප්‍රසාද සලකා, මේ ක්‍රියාවලීන්වල දිගුකාලීන අහිතකර බලපෑම් නොසලකා හැරියොත් පාඩු සිදුවන්නේ තමාටම බව අප සිහිතබාගත යුතුයි.

කවරයේ රූපය: (Greenfield Geography)

වැඩිදුර මූලාශ්‍ර:

  1. The Atlantic
  2. BBC

Related Articles