මිනීකන්නන්ගේ දේශයක් වූ රුසියාවේ නසිනෝ දූපත

සෑම වසරකම කුඩා කණ්ඩායමක්, රුසියාවේ “ටොම්ස්ක්” නම් නගරයේ සිට කිලෝමීටර් 550ක් වයඹ දෙසින්, ඕබ් ගංගාව මැද පිහිටි එක්තරා දූපතකට යනවා. මේ දූපත නසින්ස්කි හෝ නසිනෝ දූපත ලෙසත් හැඳින්වෙනවා. ඔවුන් මෙලෙස දූපතට පැමිණෙන්නේ දූපතේ පිහිටුවා ඇති ලී කුරුසය පාමුල මල් වඩමක් තබා ලෝක ඉතිහාසයේ මෑත කලෙක සිදු වූ දරුණු අමානුෂික ඛේදවාචකයක් සිහිපත් කිරීම සඳහා යි. වර්ෂ 1933 ග්‍රීෂ්ම ඍතුවේ දී මේ කුඩා දූපතේ සිදුවූ සිදුවීම් දාමයක් නිසා, ලෝකය නසිනෝ දූපත “මිනීකන්නන්ගේ දූපත” ලෙසත් හඳුන්වන්න පටන් ගත්තා.

රුසියාවේ සයිබීරියාව නම් අතිශය කටුක දේශගුණයක් සහිත පරිසරයක් මැද පිහිටි මේ දූපත ඉතිහාසයේ සිටම මිනිස් පහස ලබා ඇත්තේ ඉතාම කලාතුරකින්. බොහෝ විට එම දූපතට පැමිණි එකම අමුත්තන් පිරිස වන්නේ, ගස්වල පොතු එකතු කිරීම සඳහා පැමිණෙන ඔස්ටියැක් නම් ස්වදේශික ජන කොට්ඨාශයේ සාමාජිකයන් පමණ යි. එලෙස හුදෙකලාවටම නතුවී තිබුණ මෙම දූපත ලේ වැකුණු ඉතිහාසයකට උරුමකම් කීවේ කෙසේ ද?

අඳුරු ඉතිහාසය සිහිපත් කරන නසිනෝවේ කුරුසය/cipdh.gob.ar

ස්ටාලින්ගේ මර්දන ප්‍රතිපත්තිය

1929 දී එවකට සෝවියට් සමූහාණ්ඩුවේ පාලකයා වූ ජෝසප් ස්ටාලින්, යුක්‍රේනයේ කුලාක්වරු ඉදිරියේ යම් ගැටළුවකට මුහුණ දෙමින් සිටියා. කුලාක්වරු කියන්නේ ඉඩම් අක්කර 8කට වඩා හිමි ඉඩම්හිමියන්ට. මෙම කුලාක්වරු ස්ටාලින්ගේ සාමූහිකකරණ ප්‍රතිපත්තියට එරෙහිව කුඩා පරිමාණයේ කැරැල්ලක නිරත වෙමින් සිටියා. රට තුළ විශාල සමූහ ගොවිපළ ඇති කිරීම සඳහා වූ ස්ටාලින්ගේ අභිප්‍රායට එදිරිව යමින්, කුලාක්වරු තම සතුන්, ගොවි උපකරණ, සහ ආවුද විනාශ කිරීමට පෙළඹුණා. ඒවා සෝවියට් පරිපාලනයට භාර දෙනවා වෙනුවට විනාශ කිරීම හරහා, කුලාක්වරු ස්ටාලින් පරිපාලනය කෙරෙහි වූ තම විරෝධය දැක්වූවා.

 

කුලාක්වරු සෝවියට් සමූහාණ්ඩුව තුළ ඉඩම්හිමි ධනවතුන් පිරිසක් ලෙස දිවි ගෙවූ අතර, ඔවුන්ගේ විරෝධතා හමුවේ ස්ටාලින් පරිපාලනය කුලාක්වරු රාජ්‍යයේ සතුරන් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙම ධනවත් ගොවීන් පමණක් නොව, ස්ටාලින්ගේ ප්‍රතිපත්තිවලට එකඟ නොවන ඕනෑම කෙනෙකු තම සතුරෙකු ලෙස සැළකීමට ජෝසප් ස්ටාලින් දෙවරක් සිතුවේ නැහැ. තමා ගොඩනැඟීමට යන සමාජ ක්‍රමයට විරුද්ධ වන ඕනෑම කෙනෙකු දරුණු ලෙස මර්දනය කිරීමට පෙළඹුණු ස්ටාලින්ගේ ක්‍රියාකලාපයන් හමුවේ, අභ්‍යන්තර ගමන් බලපත්‍රයක් නොමැති වීම යන කාරණා හමුවේ පවා පුද්ගලයන් අත්අඩංගුවට පත්වුණා. මෙහි අවසාන ප්‍රතිඵලය වුණේ ලක්ෂ ගණනක් ජනයා ස්ටාලින් ගේ විරුද්ධවාදීන් ලෙස සළකා අත්අඩංගුවට ගැනීම යි.

පෙර කී අභ්‍යන්තර ගමන් බලපත්‍රය රුසියාවේ සාර් රජ පෙළපතේ හඳුන්වාදීමක්. මිනිසුන් තමන් සේවය කරන භූමිය තුළම රඳවා තබා ගැනීමේ උපායමාර්ගයක් ලෙස මෙම බලපත්‍රය යොදා ගැණුනා. පසු කලෙක ජෝසප් ස්ටාලින් පවා අභ්‍යන්තර ගමන් බලපත්‍රය ගෙන ආවේ මෙම අරමුණම පෙරදැරි කරගෙන බව කියවෙනවා. රජය විසින් වැදගත්යැ යි සැලකුණු පිරිස සඳහා මෙම ගමන් බලපත්‍රය නිකුත් කෙරුණු අතර, එවැන්නක් ලබා ගැනීමට අපොහොසත් වූ තැනැත්තෙක් පූර්ණ වශයෙන් සෝවියට් පුරවැසියෙකු නොවන බව සළකනු ලැබුවා. මේ ගමන් බලපත්‍රය හැඳුනුම්පතක් වූ නිසාවෙන්, රජය පුරවැසියන්ට ලබා දෙන ඇතැම් අයිතිවාසිකම් ද මෙම බලපත්‍රය නොමැති අයට හිමි වුණේ නැහැ.

වර්ෂ 1933 වන විට මෙලෙස අධිකව සිදු වූ අත්අඩංගුවටගැනීම් නිසා, සිරකරුවන් රැඳවූ “ගුලාග්” නම් රැඳවුම් කඳවුරු පද්ධතිය පිරී යන්නට පටන් ගත්තා. එයට විසඳුමක් ලෙස සෝවියට් සමූහාණ්ඩුවේ තවමත් ස්ටාලින්ගේ පාලනයට අකමැති සතුරු ප්‍රදේශවල ගොවිතැන සඳහා සිරකරුවන් පිටුවහල් කිරීමට යෝජනා වුණා. එමඟින් ඔවුන්ට දඬුවම් සමගම, රටේ ආහාර අර්බුදයටත් විසඳුමක් ලැබෙනු ඇතැ යි ස්ටාලින්ගේ පරිපාලනය සිතුවා. මෙම උපකල්පනය මත, අත්අඩංගුවටගැනීම් තවත් වැඩිවූ අතර මිනිසුන්ව මහමඟ පැහැරගැනීම්වලට පවා ලක් වුණා.

දූපතේ සිරකරුවන් බොහෝමයක් ස්ටාලින් පාලනට විරුද්ධ වූ අය යි/ilawjournals.com/

මෙලෙස අත්අඩංගුවට පත් වූ මිලියන දෙකක් තරම් වූ විරුද්ධවාදීන් පිරිසක් 1933 අප්‍රියෙල් වන විට අතිශය කටුක දේශගුණයක් පවතින සයිබීරියාවට දුම්රියේ නංවා පිටුවහල් කරනු ලැබුවා. පිටුවහල් කළ පිරිස වහලුන් මෙන් තම නව ජීවිතය ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

ටොම්ස්ක් වෙත පැමිණි වහලුන් නොවන වහලුන්

පිටුවහල් කළ සිරකරුවන් ගෙන් 90,000ට ආසන්න පිරිසක්, 1933 අප්‍රියෙල් මාසය තුළ මධ්‍යම රුසියාවේ දුරබැහැර නගරයක් වූ ටොම්ස්ක් වෙත ගෙන එනු ලැබුවා. එලෙස ගෙන එන අතරේ දී සිය ගණනක් වූ සිරකරුවන් විවිධ හේතු නිසා මරණයට පත්වුණා. මෙතරම් විශාල පිරිසක් සඳහා ටොම්ස්ක් නගරය කිසිදු පෙර සූදානමකට ලක්ව නොතිබුණු නිසාත්, ගෙන එනු ලැබූ පිරිස කලබලයට පත් වී ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් නිර්මාණය වීමට තිබූ ඉඩකඩ නිසාත්, බලධාරීන් සිරකරුවන් රැඳවීමට කර්කශ සහ පාළු ස්ථානයක් තෝරා ගත්තා. ඒ අනුව ඕබ් ගඟ මධ්‍යයේ මිනිස් පහස කලාතුරකින් ලද නසිනෝ දූපත, සිරකඳවුරක් මෙන්ම සමූහ ගොවිපලක් ද ලෙස එලෙසින් කරළියට පැමිණුනා.

මුල් වාරයේ, නසිනෝ දූපත කරා යැවූ සිරකරුවන් පන්දහසක් දැව ප්‍රවාහනය කරන යාත්‍රා හතරක පටවා, ඕබ් ගඟ දිගේ කිලෝමීටර් 800ක් පමණ පහළට ප්‍රවාහනය කිරීම ඇරඹුණා. කෑම සඳහා මෙම සිරකරුවන්ට දවසකට ලැබුණේ ග්‍රෑම් 300ක් බරැති පාන් ගෙඩියක් වන අතර එය ජර්මනියේ පවත්වා ගෙන ගිය කූප්‍රකට අවුෂ්විට්ස් කඳවුරේ සිරකරුවන්ට දුන් කෑම වේල ප්‍රමාණයේ බව සඳහන් වෙනවා. ඒ වනවිටත් අසනීප තත්ත්වයන් හා සාගින්න නිසා පුද්ගලයන් 27 දෙනෙකු ගමන අතරතුරේ දී මිය ගොස් තිබුණා.

(අවුෂ්විට්ස් ගැන මේ ලිංකු හරහා ගොස් බලන්න: සරලව​ සිංහලෙන්: අවුෂ්විට්ස් වධ කඳවුර, ​අවුෂ්විට්ස් සංහාරය සැඟවීමට දැරූ නාසි ප්‍රයත්නය)

1933 මැයි මස 18 වන දින මෙම සිරකරුවන් පිරිස නසිනෝ දූපත වෙත ළඟා වුණා. පිරිසෙන් පන්දහසකට ආසන්න මේ විශාල සිරකරුවන් කණ්ඩායමෙන් ඉක්මණින්ම ගැලවීමට අවශ්‍ය වූ නිසාම, දූපතට කිසිදු සැපයුමක් ලබාදීමට ටොම්ස්ක්හි බලධාරීන් අපොහොසත් වුණා. සිරකරුවන් දූපතට පැමිණියේ නවාතැන් පහසුකම් හෝ මඩුවක් හෝ තනා ගැනීමට අවැසි ගොඩනැගිලි ද්‍රව්‍ය ද නොමැතිව යි. එදින රාත්‍රියේම සිරකරුවන් 295 දෙනෙකු අධික ශීතල මැද එළිමහනේ නිදාගත් නිසා මියැදුණා. පසුදා උදෑසන, සිරකරුවන් වෙනුවෙන් පාන් තැනීමට වෙහෙසකාරී නිසා සෑම සිරකරුවෙකුටම අමු පාන් පිටි ග්‍රෑම් 200 බැගින් ලබා දීමට තීරණය කෙරුනා. ඉතිරි පාන් පිටි ටොන් විස්ස, ගඟෙන් එගොඩ පිහිටි කඳවුරේ තබා ගැනීමට ඔවුන් තීරණය කළා. පාන් සාදාගැනීමට කිසිදු පහසුකමක් නොතිබූ නිසා අධික කුසගින්නේ සිටි සිරකරුවන්, අපිරිසිදු ගංගා ජලය සමග පාන් පිටි මිශ්‍ර කොට අමුවෙන්ම ආහාරයට ගැනීමට තරම් අසරණ වුණා. ඒ හේතුවෙන් අතීසාරය වැළඳී තවත් බොහෝ පිරිසක් අකාලයේ මිය ගියා.

නසිනෝ දූපත උඩු ගුවනේ සිට දර්ශනය වන අයුරු/cultofweird.com

දින කිහිපයක් ඇතුළත නසිනෝ දූපතේ සිරකරුවන්ට කෑමට කිසිවක් නොතිබූ නිසා සොල්දාදුවන් දූපත වෙත ආහාර ප්‍රවාහනය කිරීමට පටන් ගත්තා. එහෙත්, එලෙස ආහාර රැගෙන ආ පළමු දිනයේම කුසගින්නේ සිටි සිරකරුවන්, සොල්දාදුවන්ට පහරදීමට පටන් ගත් අතර සොල්දාදුවන් ඔවුන්ට වෙඩි තැබීමට පටන් ගත්තා. මේ ආරවුල්වල ප්‍රතිඵලයක් ලෙස සිරකරුවන් 150 දෙනා බැගින් වූ කණ්ඩායම්වලට වෙන් කොට, ඒ ඒ කණ්ඩායම්වලින් පත් කළ නියෝජිතයන් මා‍ර්ගයෙන් ගං ඉවුරේ සිට දූපතට ආහාර රැගෙන ඒමට බලධාරීන් තීරණය කළා. මෙලෙස පත් කළ නියෝජිත සුළුතරය තම පැවැත්ම උදෙසා උදා වූ අවස්ථාව දැක, ආහාර උදෙසා රැගෙන ආ පිටිවලින් කොටසක් තමා සන්තකයේ තබා ගැනීමට ක්‍රියා කළා. ආරක්ෂකයන්, ඔවුන්ගේ පැත්තෙන් මෙම වංචනික ක්‍රියා නැවැත්වීමට කිසිවක් කළේ නැහැ. කිලෝමීටර් තුනක දිගකින් සහ මීටර් හයසියයක පළලින් යුතු නසිනෝ දූපත නම් කුඩා බිම්කඩේ සිරවී සිටි පන්දහසකට ආසන්න පිරිසක් මෙලෙස සියළු භෞතික සහ මානසික පීඩාවන්වලින් පරිපීඩිතව කල් ගත කළා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස නසිනෝ දූපත මිහිපිට අපායක් බවට ඉක්මණින්ම පරිවර්තනය වුණා.

මිනී කන්නන්ගේ දූපතක් වූ නසිනෝ

මැයි 25 වැනි දින කඳවුරේ වෛද්‍යවරයෙකුට යම් භයානක දසුනක් දැක ගැනීමට ලැබුණා. දූපතේ මිය ගිය සිරකරුවෙකුගේ අත් පා අතුරුදහන් වී ඇති බව නිරීක්ෂණය කළ එම වෛද්‍යවරයා වහාම ටොම්ස්ක් නගරයේ උසස් නිළධාරීන්ට එය දැනුම් දෙනු ලැබුවා. නමුත් දුටු දේ නොසලකා හරින ලෙස බලධාරීන් ගෙන් එම වෛද්‍යවරයාට නියෝග ලැබුණ අතර ඔවුන් සෝවියට් සමූහාණ්ඩුවට නුසුදුසු, සිරකරුවන් ලෙස පමණක් ලෙස සැලකූ නිසා කිසිවෙක් ඔවුන් කෙරෙහි අවධානය යොමු කළේ නැහැ. සොල්දාදුවන් ඉතා අමානුෂික ලෙස මෙම සිරකරුවන්ට සැළකූ අතර ඔවුන්ව හිතුමතේ මරා දැමීම, කුසගින්නෙන් පෙළෙන සිරකරුවන්ට පාන් කැබලි විසි කරමින් අවඥා කිරීම, පාන් කැබැල්ලක් වෙනුවෙන් දූපතේ සිරවී සිටින කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක්කිරීම වැනි පහත් ක්‍රියා සිදු කළා. කිසිවෙකු හෝ දැඩි ශීතල මධ්‍යයේ ඕබ් ගංගාව තරණය කොට එගොඩ වීමට තරම් වාසනාවන්ත වුවහොත්, කඳවුරු බැඳ සිටි සොල්දාදුවන් විනෝදයට කරන දඩයමක් සේ සළකා ඔවුන්ට වෙඩි තබනු ලැබුවා.

අධික කුසගින්න නිසා සිරකරුවන්ට තම සගයන්ව ආහාරයට ගැනීමට සිදු වුණා/historycollection.com

මැයි 27 වැනිදා තවත් සිරකරුවන් දහසක් පැමිණීමත් සමග දූපතේ තත්ත්වය තවත් නරක අතට හැරුණා. මෙතරම් සිරකරුවන් පිරිසක්, ශීතල දේශගුණයක් සහිත වගුරු බිමක් වැනි දූපතක දිවි ගෙවීම අතිශය දරුණු තත්ත්වයක් නිසාම සිරකරුවන් තම ජීවන අරගලය උදෙසා කුමක් හෝ කළ යුතුව තිබුණා. අවසානයේ සිරකරුවන් කල්ලි ලෙස සංවිධානගත වී දිවයින පුරා සැරිසරමින් ආහාර සඳහා දුර්වලයන් ගොදුරු කර ගැනීම, ආහාර සඳහා මිනී මැරීම සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. උක්ත වෛද්‍යවරයා කළ නිරීක්ෂණය අනුව කළ උපකල්පනය සනාථ කරමින් දූපත අමු අමුවේම මිනිසුන් මරා අනුභව කරන ම්ලේඡයන්ගේ දූපතක් බවට වේගයෙන් පරිවර්තනය වුණා.

නසිනෝවේ ම්ලේඡත්වය ඇසින් දුටුවන්

දිවි ගලවාගත් එක් සිරකරුවෙක් වසරකට පසු මේ මිනීමස් බුදීම ගැන මෙලෙස අදහස් ප්‍රකාශ කර තිබුණා.

“මම අනුභව කළේ අක්මාව සහ හදවත පමණ යි. ඒක ඉතා සරල දෙයක්. අපි විලෝ ගහේ අතුවලින් මස් පුච්චන්න පහසු වෙන්න ලී කූරු සාදා ගත්තා. කපාගත් මස් කැබලි, දල්වා ගත් ගිනිමැල මඟින් පුළුස්සා ගෙන කෑමට ගත්තා. මම තෝරා ගත්තේ මරණය පෙනි පෙනි සිටිමින් ඉන්න දුර්වල මිනිසුන් පමණ යි. ඔවුන් දින දෙක තුනක් ඇතුළත ජීවිතයෙන් සමුගන්නා බව පැහැදිලියි. තවත් දින කිහිපයක් දුක් විඳ විඳ ඉන්නවාට වඩා ඔවුන්ට ඒක පහසුවක්”

ස්වදේශික ඔස්ටියැක් කාන්තාවක් ද තමා කුඩා වියේ දී නසිනෝ දූපත සම්බන්ධයෙන් විඳි අත්දැකීමක්  පසුකලෙක හෙළිදරව් කොට තිබුණා. ඇයට අනුව එක්තරා රාත්‍රියක නසිනෝ දූපතේ සිරබත් කන කාන්තාවක් ඔවුන්ගේ නිවසට ගෙනා බවත්, ඇයගේ දෙකකුල් රෙදිකඩකින් ඔතා තිබූ නිසා එය ඉවත් කළ විට ඇයගේ කකුල් කෙණ්ඩා ප්‍රදේශයෙන් කපා තිබෙන සැටි දුටු බව ඇය ප්‍රකාශ කර තිබුණා. වින්දිතයාට අනුව දූපතේ සිරකරුවන් පිරිසක් විසින් ආහාර වෙනුවෙන් එම කකුල් කපා ගෙන තිබුණා.

නමුත් මේ සෑම හෙළිදරව්වකටම වඩා නසිනෝ දූපතේ ම්ලේඡත්වය ලෝකයට නිරාවරණය වූයේ, ඒ වනවිට දහතුන් හැවිරිදි වියේ පසු වූ ඔස්ටියැක් කාන්තාවක් දුටු අති අමානුෂික සිදුවීමක් නිසා යි. ඇය දිවයිනේ සිය පවුලේ අය සමග ගස්පොතු එකතු කරමින් සිටින අතරතුර, ආරක්ෂකයෙකු සමග ගඟෙන් එගොඩ කඳවුරේ රාත්‍රිය ගත කළ කාන්තාවක් ආපසු දූපතට පැමිණෙන සැටිත්, ඇය දූපතට ගොඩබට වහාම කුසගින්නෙන් පෙළෙන සිරකරුවන් පිරිසකට අසුවන සැටිත්, මේ ඔස්ටියැක් කාන්තාව දැක තිබුණා.

“මිනිස්සු ඒ කෙල්ලව අල්ලා ගත්තා. ඊට පස්සේ පොප්ලර් ගසක ඇයව ගැට ගහලා ඇයගේ පියයුරු, මාංශ පේශීන් වගේ ආහාරයට ගත හැකි සියල්ලම ඔවුන් කපා ගත්තා. ඔවුන් හිටියේ එතරම්ම කුසගින්නකින් නිසා මොනවා හෝ කෑමට ගත යුතුව තිබුණා. ආරක්ෂකයෙක් පැමිණෙන විටත් ඇය ජීවතුන් අතර සිටියා. නමුත් අධික ලේ වහනය නිසා ඔහුට ඇයව බේර ගන්න බැරි වුණා”

නසිනෝ දූපතේ ඛේදවාචකය අළලා පසුකලෙක වාර්තා වැඩසටහනක් නිපදවුණා/amazon.com

 

එම ඔස්ටියැක් ජාතික කාන්තාව තම අත්දැකීම එලෙසින් විස්තර කොට තිබුණා. කෙසේ නමුත් එම මිනීකෑමේ සිදුවීම් සැබැවින්ම සිදුවුනාදැ යි යන්නට සාක්ෂ්‍යයකට ඇත්තේ කීපදෙනෙකුගේ කට වචනය පමණ යි. එම නිසා ඒ පිළිබඳව පැහැදිලි යමක් පවසන්නට බැහැ.

නසිනෝ දූපතේ සිරකරුවන් ගෙන් තම අභිප්‍රායන් ඉටු නොවූ නිසාත්, හටගත් භයානක වාතාවරණය නිසාත්, ස්ටාලින් පාලන තන්ත්‍රය නසිනෝ දූපතේ ගොඩනැඟූ මිහිපිට අපාය සති 13ක් තුළ වසා දැමුවා. ඒ වනවිට මුල් සිරකරුවන් හයදහස අතරින් ජීවත්වීමට වරම් ලබා සිටියේ 2200ක පමණ පිරිසක් පමණ යි.

දිවි ගලවාගත් අය ඉක්මනින් වෙනත් වැඩ කඳවුරුවලට නැව්ගත කළ අතර, මුරකරුවන් නැවත ටොම්ස්ක් වෙත කැඳවා, මේ තිරශ්චීන ක්‍රියාව ලෝකයෙන් සඟවා දැමීමට උපරිමයෙන් ක්‍රියා කළා. කෙසේ නමුත්, නසිනෝ දූපත, නැතහොත් රුසියාවේ ආඥාදායකයත්වයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ මිනී කන්නන්ගේ දූපත, පැහැදිලිවම රුසියානු ඉතිහාසයට එල්ල වූ කළු පැල්ලමක් ලෙස අදටත් ඕබ් ගඟ මැද හුදෙකලාව සිටිනවා.

Cover photo: නසිනෝ දූපතේ පැරණි පින්තූරයක්/alchetron.com/Nazino-affair

මූලාශ්‍රයයන්: medium.com

rferl.org/

express.co.uk

Related Articles