Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ත්‍රස්තවාදී පිහි පහර හමුවේ නවසීලන්ත නීතිය සිදුරු වුණා ද?

නවසීලන්තය කියන්නේ පුද්ගල නිදහස උපරිමයෙන් ම අගයමින් සමාජය තුළ සාමකාමීත්වය මනා ලෙස පවත්වා ගෙන යන රාජ්‍යයක්. මේ හේතුව නිසා ම සාමකාමීත්වය බිඳ වැටෙන යම් අකටයුත්තක් නවසීලන්තයේ සිදු වුණොත්, මුළු ලෝකයේ ම අවධානය නවසීලන්තය දෙසට යොමු වෙනවා. එවැනි ආන්දෝලනාත්මක සිදුවීමකට පසුගිය සැප්තැම්බර් 3 වැනිදා ඔවුන් මුහුණ දුන්නා. එයින් පසු නවසීලන්තයේ ආරක්ෂාව සහ ත්‍රස්තවාදය පිටුදැකීම වෙනුවෙන් ගොඩනඟා ගත් නීතිමය පසුබිම ගැන ආපසු හැරී බලන්න එරට බලධාරීන්ට සිදු වී තිබෙනවා.

ඕක්ලන්ඩ් නගරයේ පිහි ඇනුම්

 පසුගිය තුන්වැනිදා ඕක්ලන්ඩ් නගරය ආශ්‍රිත ව පිහිටි නිව් ලින් ප්‍රදේශයේ සුපිරි වෙළඳසලක සිටි සාමාන්‍ය පුරවැසියන් පිරිසකට පිහි ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රහාරය ආරම්භ වී තත්පර හැටක් ඇතුළත ප්‍රහාරකයාට වෙඩි තබා ඝාතනය කිරීමට පොලීසියට හැකි වුණා. පොලිසිය වෙඩි තැබීමට පෙර ප්‍රහාරකයා සාප්පුවෙන් ලබාගත් පිහියක ආධාරයෙන් භාණ්ඩ මිලට ගැනීමට පැමිණි පුද්ගලයන්ට පහර දුන් අතර, අවම වශයෙන් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන්, එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව තහවුරු කළා.

 “අද දහවල් 2.40 ට පමණ දරුණු අන්තවාදියකු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා. මෙය ප්‍රචණ්ඩ ප්‍රහාරයක්. නිරර්ථක ක්‍රියාවක්. ඒ ගැන මට ඇත්තටම කනගාටු යි”

 ජසින්ඩා ආර්ඩන් තම ශෝකය එලෙසින් ප්‍රකාශ කළා. පොලිසිය අතින් ඝාතනය වූ අන්තවාදියා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයකු බව හෙළි වීමත් සමඟ ශ්‍රී ලංකාව තුළත් මෙය දැඩි ව කතාබහට ලක්වූ සිදුවීමක් වුණා. ISIS මතවාදී ආධාරකරුවකු ලෙසින් හඳුනා ගත් ප්‍රහාරකයා ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව නවසීලන්ත බලධාරීන් කලක පටන් දැන සිටියා. රාජ්‍ය ආයතන ගණනාවක් යටතේ නිරන්තර අධීක්ෂණය යටතේ සිටි පුද්ගලයකු වුවත්, ඔහුට යම් හානියක් සිදු කිරීමේ අවකාශය ලැබුණා.

ප්‍රහාරය සිදුවූ ස්ථානයේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරියෙක් – www.bbc.com 

පුරවැසියන්ගෙන් ප්‍රශ්නාර්ථයක්

 ප්‍රහාරකයා පිළිබඳ ව කලක පටන් දැඩි අධීක්ෂණයකින් සිටියත්, බලධාරීන් ඔහුට එරෙහිව පියවර නොගත්තේ ඇයිද යන්න පිළිබඳව ගැටලු මතු වුණා. විසි හතර පැයේ ම සහ දවස් හත පුරා ම පුද්ගලයකු නිරීක්ෂණය කරමින් සිටියත්, සෑම විට ම ඔවුන් අසලට ළඟා විය නොහැකි බව වගකිව යුතු බලධාරීන් එවිට ප්‍රකාශ කර තිබුණා. කාර්ය මණ්ඩලය හැකි ඉක්මනින් මැදිහත් වූ නිසා හානියේ බරපතලකම අවම කර ගැනීමට හැකි වූ බවත්, ප්‍රහාරකයා තමා අවට පරිසරය ගැන නිරන්තර සුපරික්ෂාවෙන් සිටි පුද්ගලයකු බවත්, ඔවුන් තවදුරටත් පවසා තිබුණා.

 නිරීක්ෂණය පලදායී වීම පිණිස යම්කිසි දුරස්ථභාවයක් අදාළ පුද්ගලයා වෙතින් ආරක්ෂක අංශ පවත්වා ගත යුතු නිසා එම අවකාශය ප්‍රහාරකයා ප්‍රයෝජනයට ගත් බවක් පෙනෙන්නට තිබෙනවා. අන්තවාදී අදහස් දරන මෙම පුද්ගලයා ප්‍රහාරය කර ඇත්තේ සාමුහික සැලසුමක් අනුව නොව, පුද්ගලික සැලසුමක් අනුව බව තහවුරු කර තිබෙනවා. මේ හේතුවෙන් අවදානම තවදුරටත් නොපවතින බව බලධාරීන් විශ්වාස කරනවා.

ප්‍රහාරය සිදුවූ ප්‍රදේශයේ පිහිටීම – www.the-sun.com 

ගැටලුව එතනින් අවසන් නැහැ

 ත්‍රස්තවාදය හමුවේ නවසීලන්තයට අමිහිරි අත්දැකීමක් ලැබුණු පළමු අවස්ථාව මෙය නොවේ. 2019 දී සිදුවූ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය එයට හොඳ ම නිදසුනක්. එම ප්‍රහාරයෙන් ආගමික ස්ථානයක සිටි බැතිමතුන් 51 දෙනකුට ජීවිතය අහිමි වුණා. අවුරුදු දෙකක් ඇතුළත තවත් එවැනි කුරිරු ක්‍රියාවක් සිදුවීමෙන් පෙනී යන්නේ නවසීලන්තයේ භූගෝලීය හුදෙකලාව සහ සාමකාමී රාජ්‍යයක් ලෙස අත්කර ගත් කීර්ති නාමය තවදුරටත් අන්තවාදයට එරෙහි ආරක්ෂාවක් නොවන බව යි. අන්තවාදය වැලැක්වීමේදී පවතින ත්‍රස්ත විරෝධී නීතියේ දුර්වලතා ඒත් සමඟ ම ඉස්මතු වී තිබෙනවා.

 ත්‍රස්තවාදය මර්දනය කිරීමේ නවසීලන්ත නීතිවල ශීඝ්‍ර වෙනස්කම් පසුගිය කාලයේ සිදු වුණත්, ඉන් ඔබ්බට ගොස් නවසීලන්තයේ නීතිය හා ප්‍රතිපත්ති පිළිබඳ අනෙකුත් අංශ නැවත සමාලෝචනය කිරීමේ වැදගත්කම ගැන කතිකාවතක් ඇති වෙමින් තිබෙනවා. පිහි ඇනුම් සිද්ධියෙන් පසුව ත්‍රස්තවාදී තර්ජනයක් ලෙස සැලකෙන පුද්ගලයන්ට එරෙහි ව දැඩි පියවර ගැනීමට හැකිවන පරිදි අදාළ නීතිවල වෙනස්කම් සම්මත කරවා ගැනීමට අගමැති ජසින්ඩා ආර්ඩන් මේ මස අවසානයේ දී බලාපොරොත්තු වෙනවා.

පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ප්‍රහාරකයා ඝාතනයට ලක් වුණා – www.theguardian.com 

 ඕක්ලන්ඩ් සුපිරි වෙළඳසලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරු පැය 24 පුරා ම අධීක්ෂණය යටතේ සිටි අතර, ත්‍රස්තවාදය හා සම්බන්ධ වෙනත් වැරදි හේතුවෙන් ඔහු මෑතක දී සිරගත කොටත් තිබුණා. එහෙත්, විනිසුරුවරයා සඳහන් කළ පරිදි ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කිරීම වර්තමාන නීතිය යටතේ වරදක් නොවන හෙයින්, ඔහු රඳවා තබා ගැනීමට නොහැකි වුණා.

සම්මත කිරීමට නියමිත නව නීති ගැන  කරුණු මේ වනවිටත් ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා. මීට අමතර ව, මෙවැනි ප්‍රහාරයන් වලක්වා ගැනීම සඳහා කළ හැකි වෙනස්කම් තේරීම් කාරක සභාවක් මඟින් සලකා බලමින් සිටින බව ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කළා. එම වෙනස්කම් නවසීලන්තයේ අනාගත ආරක්ෂාව සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇති.

අවම වශයෙන් හය දෙනෙක් ප්‍රහාරයෙන් තුවාල ලැබුවා –  www.the-sun.com 

පියවර ගත යුතු අංශ තුනක්

ත්‍රස්තවාදය හා සම්බන්ධව පවතින නීති වලට අමතර ව, නැවත සමාලෝචනය කළ යුතු තවත් නීති හා ප්‍රතිපත්ති අංශ දෙකක් අවධානයට ලක් විය යුතු බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙනවා.

 ප්‍රසිද්ධ ස්ථානවල තියුණු ආයුධ සමඟ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ පුද්ගලයන්ට තර්ජනය කිරීම නවසීලන්තයේ නීතියට කොහොමත් විරුද්ධ යි. සාමාන්‍ය භාවිතයේ පවතින එහෙත්, පුද්ගලයකුට හානියක් කළ හැකි තියුණු ආයුධ විකිණීම සහ  ප්‍රවේශ වීම සම්බන්ධ නීතිමය පසුබිමක වැදගත්කම මෙහිදී මතුකර තිබෙනවා.

 ආරක්ෂාවට ඉහළ මට්ටමේ අවදානමක් එල්ල කළ හැකි සංක්‍රමණිකයකු නවසීලන්තයේ වාසය කළේ කෙසේ ද යන්න ඊළඟ ගැටලුව යි. ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව හඳුනා ගත් පුරවැසියකු නොවූ පුද්ගලයෙක් වහා ම පිටුවහල් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයකට නොපැමිණීමේ ගැටලුව නවසීලන්ත පරිපාලනයට එල්ල වී තිබෙනවා. එහිදී ආමන්ත්‍රණය වන නීති මාලාවත් නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව දැන් මතු වී තිබෙනවා.

 සරණාගතයන් සම්බන්ධයෙන් නවසීලන්තය සලකා බලන කරුණු සහ සරණාගතයන්ගේ පුද්ගලික ඉතිහාසය වඩාත් පරීක්ෂාවෙන් සොයා බැලීමත් මෙම කාරණාවලට ඇතුළත්. නවසීලන්තයේ ජාතික ආරක්ෂාව තුළ තිබෙන ලොකුම හිඩැස මෙය විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

ප්‍රහාරය සිදුවූ වෙළඳ සංකීර්ණයේ ඇතුළත දර්ශන කිහිපයක් – www.newshub.co.nz 

අභියෝගයට ලක්වූ සරණාගත නීතිය

 ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසලට ප්‍රහාර එල්ල කළ අන්තවාදියා පිටුවහල් කිරීමට නවසීලන්තය වසර ගණනාවක සිට උත්සහ කොට තිබෙනවා. ප්‍රහාරය එල්ල කළ දිනය වනතුරු ම පිටුවහල් කිරීමේ උත්සාහය සඵල නොවීම පිටුපස පැහැදිලිව ම නීතියේ ශක්තිමත්භාවය අභියෝගයට ලක් වෙනවා. එමෙන් ම, මෙම සිදුවීම හරහා නවසීලන්තයේ සරණාගත නීතියත් අර්බුදයකට ලක් වුණා.

 ප්‍රහාරකයා ශිෂ්‍ය වීසා මත නවසීලන්තයට පැමිණ තිබුණත්, යම් කාලයකට පසු එරට සරණාගතභාවය ලබා දෙන ලෙස ඔහු ඉල්ලීමක් කොට තිබුණා. 2013 දී ඔහු අපේක්ෂා කළ සරණාගතභාවය ලබා දීමට නවසීලන්ත රජය ක්‍රියා කළා. අවුරුදු තුනක් ගත වීමට මත්තෙන් ප්‍රහාරකයාගේ නියම ස්වභාවය ඉස්මතු වෙන්න පටන් ගත්තා. 2016 වසරේදී ඔහු ෆේස්බුක් හරහා අන්තවාදය සහ ත්‍රස්ත ප්‍රහාර වලට සහය දක්වන අදහස් සමාජගත කොට තිබුණා. පොලීසිය ඔහුගේ ක්‍රියාකලාපය ගැන දෙවරක් අනතුරු හඟවා තිබුණත්, සමාජ ජාලා හරහා අන්තවාදී අදහස් ප්‍රචාරය කිරීම ඔහු නැවැත්වූයේ නැහැ.

2019 වසරේ සිදුවූ ක්‍රයිස්ට්චර්ච් සිදුවීමේ අමිහි‍රි මතකයෙන් නවසීලන්තය පාඩම් රැසක් ඉගෙන ගත්තා – www.theguardian.com 

 2017 දී ඕක්ලන්ඩ් ප්‍රහාරකයා එම නගරයේ ම ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණා. ඔහු ISIS සංවිධානයට සහය දැක්වීම සඳහා සිරියාව බලා යෑමට සූදානම් වූ බව නවසීලන්ත ආරක්ෂක අංශ සැක කළා. පරීක්ෂණවලදී අන්තවාදියා සතු ව දඩයම් පිහියක් සහ තහනම් ප්‍රචාරක සටහන් පවා සොයාගත් අතර, ඕක්ලන්ඩ් පිහි ඇනුම් සිද්ධිය වන තෙක් ම ඔහු අතින් නීතිය කඩවන යම් යම් දේවල් සිදු වුණා.

 2019 පෙබරවාරියේදී අන්තවාදී ප්‍රහාරකයාගේ සරණාගතභාවය අවලංගු වූ අතර, සරණගතභාවය සම්බන්ධ නඩුව විසඳෙන තුරු ඔහු සිරගත කිරීම සුදුසු බව නිලධාරීන් දැනුම් දුන්නා.  නමුත්, එසේ කිරීමට නීතිමය හේතු නොමැති නිසා පොලිස් නිලධාරීන් 30 දෙනෙකුට පැය 24 පුරා ඔහු පිටුපස සිටීමට සිදු වුණා. ප්‍රහාරයෙන් පසු ජසින්ඩා ආර්ඩන් ප්‍රහාරකයා ඉදිරිපත් කළ සරණාගත ලියවිලි වංචනික ඒවා බව ප්‍රකාශ කළා. ඉදිරියේදී සංක්‍රමණිකයකුට සරණගතභාවය හරහා තම රට තුළ රැඳී සිටීමට අවසරය ලබා දීමේ දී නවසීලන්තය වඩාත් ප්‍රවේශම් සහගතව කටයුතු කිරීමට ඉඩ තිබෙනවා.

සාර්ථක නමුත්, හිඩැස් ඇත

 නවසීලන්තයේ ත්‍රස්තවාදය මර්නදය කිරීමේ පනත ඉක්මනින් පරිණාමය වීම කෙරෙහි අමෙරිකා එක්සත් ජනපදය මුහුණ දුන් සැප්තැම්බර් 11 ප්‍රහාරයත් බලපෑවා.  තර්ජනයේ ස්වභාවය සහ තර්ජනයට මුහුණ දීමේ අවශ්‍යතාව මත මෙම පනත කිහිප වතාවක් ම සංශෝධනය කිරීමට නවසීලන්ත පරිපාලනය ක්‍රියා කළ අතර, නූතන සංශෝධන සඳහා 2019 දී ක්‍රයිස්ට්චර්ච් හි පල්ලියකට එල්ල වූ ප්‍රහාරයත් දැඩි ව බලපා තිබෙනවා.

2019 ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය හමුවේ වින්දිතයන් වූ මිනිසුන් සනසන අගමැතිනී ජසින්ඩා ආර්ඩන් – www.irishtimes.com 

 ක්‍රයිස්ට්චර්ච් පල්ලියට ප්‍රහාර එල්ල කළේ ආගමික අන්තවාදය නොව දක්ෂිණාංශික අන්තවාදය යි. දැන් නවසීලන්තය තුළට ආගමික අන්තවාදයත් පැමිණ තිබෙනවා. ඒ අනුව ඉදිරි කාලය නවසීලන්තයට අභියෝගාත්මක විය හැකි යි. ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් පසු නවසීලන්ත ආරක්ෂක අංශ අනාගත අවදානම සඳහා හොඳින් සූදානම් වුණා. එහෙත්, පසුගිය තුන්වැනිදා ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළ සිදුවූ පිහි ඇනුම් සිද්ධියත් සමඟ ආරක්ෂාවේ හිඩැස් තවමත් පවතින බව නවසීලන්තයට අවබෝධ වී තිබෙනවා. එම හිඩැස් මූලිකව ම පැමිණ තිබෙන්නේ ආරක්ෂක අංශවල දුර්වලතාවයෙන් නොව නීතිමය පසුබිමින් බව පෙනී යනවා.

 ඉතිරි හිඩැස් ටිකත් වසා ගැනීමට නවසීලන්තය ලහි ලහියේ ක්‍රියා කරන හැටි සැබවින්ම ප්‍රශංසනීය යි.  ඕනෑම රටක් වේදනාත්මක සිදුවීමකට මුහුණ දුන් පසු එයින් පාඩම් ඉගෙන ගෙන අනාගතය සුරක්ෂිත කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුත්තක්. අගමැති ජසින්ඩා ආර්ඩන්  ප්‍රමුඛ වත්මන් නවසීලන්ත රජයත් දැන් වෙහෙසෙන්නේ ඒ වෙනුවෙන්.

කවරයේ ඡායාරූපය: නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් සහ පොලිස් කොමසාරිස් ඇන්ඩෲ කෝස්ටර් ඕක්ලන්ඩ් ප්‍රහාරය සම්බන්ධ සාකච්ඡාවකට එක්වී - www.theguardian.com

මූලාශ්‍ර: 

news.sky.com 

www.abc.net.au

edition.cnn.com

www.bbc.com

www.theguardian.com

apnews.com 

Related Articles