Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නයගරාව සුන්දර කරන මල් ඔරලෝසුව

කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය උතුරු ඇමරිකා මහද්වීපය තුළ පිහිටා තිබෙන විශාලතම රටවල් ද්විත්වය යි. එම රටවල් දෙක වෙන් වන දේශ සීමාවේ සුප්‍රකට නයගරා දිය ඇල්ල පිහිටා තිබෙනවා. ලොව දක්නට ලැබෙන සුන්දරම දිය ඇලි අතුරින් එකක් වන නයගරා ඇල්ල නැරඹීමට සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙනවා. එම සංචාරකයන් නයගරාවේ සුන්දරත්වය විඳගැනීමෙන් පසුව අනිවාර්යයෙන්ම නරඹන තවත් ස්ථානයක් තිබෙනවා. ඒ නයගරා උද්‍යානය තුළ පිහිටා තිබෙන අලංකාර මල් ඔරලෝසුව යි. 

දිය ඇලි තුනක් එකතු වී සෑදුණු නයගරා ඇල්ල 

ඊරි විලේ සිට ඔන්ටේරියෝ විල දක්වා ජලය රැගෙන යන නයගරා ගංඟාවෙන් හෝර්ස්ෂූ, බ්‍රයිඩ්ල් වේල්, සහ ඇමරිකන් යන දිය ඇලි ත්‍රිත්වය නිර්මාණය වී තිබෙනවා. එම දිය ඇලි එකතු වීමෙන් සෑදී ඇති නයගරා දිය ඇල්ල උසින් මීටර් 51ක් සහ පළලින් මීටර් 1204ක් වන විට එහි ජල ඝනත්වය තත්පරයට මීටර් 2400ක් පමණ වනවා. මීට වසර 18000කට පමණ පෙර පැවති අයිස් යුගයේ දී මෙම ප්‍රදේශය ඝනකම් අයිස් තට්ටුවකින් වැසී තිබුණා. එම අයිස් තට්ටුව දියවීම හේතුවෙන් පංච මහා විල් සහ නයගරා ගඟ නිර්මාණය වුණා. ඉන් අනතුරුව නිර්මාණය වුණු නයගරා දිය ඇල්ල වසර 12000ක් පමණ පැරණි යි. රටවල් දෙකක් වෙන් කරන නයගරා දිය ඇල්ලට ආසන්නයෙන් පිහිටා තිබෙන ප්‍රධාන නගර වන්නේ ඔන්ටේරියෝ සහ නිව්යෝක් යන නගර දෙක යි. 

සුන්දර නයගරා දිය ඇල්ල (gettyimages)

මල් ඔරලෝසුව පිහිටා තිබෙන ස්ථානය 

නයගරා දිය ඇල්ලේ සිට ඔන්ටේරියෝ නගරය දෙසට කි. මී. 10ක් පමණ ගිය විට ඇඩම් බෙක් පළමු සහ දෙවන බලාගාර හමුවනවා. ඉන් ඇඩම් බෙක් පළමු බලාගාරය 1922 වසරේ දීත්, දෙවන බලාගාරය 1954 වසරේ දීත් ඉදිකර තිබෙනවා. ඊට අමතරව එම ප්‍රදේශය ආසන්නයේ ඔන්ටේරියෝ බලාගාරය පිහිටා තිබෙන ආකාරය දැකිය හැකියි. නව ඔන්ටේරියෝ බලාගාරය 1999 වසරේ දී ඉදිකර තිබුණත් ඊට පෙර එම ප්‍රදේශයේ පැරණි ඔන්ටේරියෝ බලාගාරයක් ක්‍රියාත්මක වුණා. 1906 වසරේ ආරම්භ කළ එම බලාගාරය 1999 වසරේ දී අක්‍රීය කරනු ලැබුවා. එම බලාගාර කිහිපය ආසන්නයේ ඉදිකර ඇති නයගරා උද්‍යානය තුළ සුප්‍රසිද්ධ නයගරා මල් ඔරලෝසුව නිර්මාණය කර තිබෙනවා.

නයගරා උද්‍යානය (Niagara parks)

මල් ඔරලෝසුවේ ඉතිහාසය

1940 දශකයේ අග භාගය වන විට ආචාර්ය රිචඩ් ලැන්කැස්ටර් හර්න් නම් ඉංජිනේරුවා පැරණි ඔන්ටේරියෝ බලාගාරයේ කළමනාකරු මෙන්ම ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙසින් කටයුතු කළා. පැරණි ඔන්ටේරියෝ බලාගාරය අසල පිහිටා තිබුණු සුන්දර නයගරා උද්‍යානය තුළ මල් ඔරලෝසුවක් ඉදිකිරීම පිළිබඳව මුලින්ම කල්පනා කළේ ලැන්කැස්ටර් ඉංජිනේරුවා යි. 1885 වසරේ දී ආරම්භ කළ නයගරා උද්‍යානය තුළ එවැනි මල් ඔරලෝසුවක් ඉදිකිරීමේ අදහස ඔහුට පහළ වුණේ එඩින්බරෝ මල් ඔරලෝසුව දැකීමෙන් පසුව යි. 1903 වසරේ දී ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර ඉදි කළ එය ලොව පැරණිම මල් ඔරලෝසුව බවට පත් වුණා. 

එඩින්බරෝ මල් ඔරලෝසුව අධ්‍යයනය කළ රිචඩ් ලැන්කැස්ටර් ඊට වඩා විශාල ඔරලෝසුවක් නයගරා උද්‍යානයේ ඉදිකරනු ලැබුවා. 1950 වසරේ දී වැඩ නිමා කළ එම මල් ඔරලෝසුව අයත් වුණේ පැරණි ඔන්ටේරියෝ බලාගාරයට යි. එම නිසා ඔරලෝසුවේ මුහුණතේ ඉලක්කම් 12 වෙනුවට ONTARIO HYDRO යන අකුරු 12 සටහන් කර තිබුණා. නමුත් 1977 වසරේ දී නයගරා උද්‍යානයට ඔරලෝසුවේ නඩත්තු කටයුතු භාරදීමත් සමගම එහි NIAGARA PARKS යනුවෙන් සටහන් කරනු ලැබුවා. එම නිසා වර්තමානය වන විට මල් ඔරලෝසු මුහුණතේ සටහන් කර තිබෙන්නේ NIAGARA PARKS යන අකුරු 12 යි.

ONTARIO HYDRO ලෙස සටහන් කර තිබුණු අවධියේ රූපයක් (Hippostcard)

ඔරලෝසුව පිළිබඳව තවදුරටත් 

එඩින්බරෝ මල් ඔරලෝසුවේ විෂ්කම්භය අඩි 10ක් වන විට මෙම මල් ඔරලෝසුවේ විෂ්කම්භය අඩි 40ක් පමණ වනවා. නයගරා මල් ඔරලෝසුවේ අඩි 38ක් පමණ පළලින් යුත් භූමි ප්‍රදේශයක් පුරා විවිධ මල් වර්ග දක්නට ලැබෙනවා. එසේම ඔරලෝසුව වටා තිබෙන ජල උද්‍යානය එහි අලංකාරය තවත් වැඩිකර තිබෙනවා. නයගරා මල් ඔරලෝසු මුහුණත තුළ සුදුසු ආකාරයට මල් වර්ග වැවීම කරනු ලබන්නේ නයගරා උද්‍යානයේ සිටින උද්භිද විද්‍යාඥයන්ගේ අධීක්ෂණය යටතේ යි. සාමාන්‍යයෙන් මෙම ඔරලෝසුවට යොදාගන්නා මල් පැළවල ස්වරූපය වසරකට දෙවරක් වෙනස් කරයි. ඒ අනුව සිසිර සමයේ අළු පාටින් පැහැයෙන් දිස්වන මල් ඔරලෝසුව වසන්තයේ දී හරිත පැහැයෙන් දිස්වන්නේ වියෝලා මල් නිසා යි. දළ වශයෙන් මල් පැළ 24000 කින් පමණ සමන්විත මෙම ඔරලෝසුව වඩාත් අලංකාර වන්නේ එහි සිටුවා ඇති සියළුම පැළවල මල් හටගැනීමෙන් පසුව යි.  

නයගරා මල් ඔරලෝසුව වර්තමානයේ දී දිස්වන අයුරු (Niagara Falls)

භාවිතා කර තිබෙන තාක්ෂණය

මෙම ඔරලෝසු මුහුණත තුළ දක්නට ලැබෙන පැය කටුව අඩි 14.5ක දිගකින් යුක්ත වන විට මිනිත්තු කටුව අඩි 17.5ක දිගකට සාදා තිබෙනවා. ඊට අමතරව මෙහි මුහුණතේ දක්නට ලැබෙන තත්පර කටුව අඩි 21ක පමණ දිගකට නිර්මාණය කර තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එසේම මෙම ඔරලෝසුවේ කටු තුනෙහි බර රාත්තල් 1250ක් පමණ වනවා. ශබ්දවාහීනී යන්ත්‍රයක් මඟින් සෑම විනාඩි 15කට වරක්ම මෙහි ඔරලෝසු නාදය විසුරුවා හරිනවා. එම කාර්යය සඳහා අශ්වබල 5කින් යුත් යන්ත්‍රයක් භාවිතා කරනවා. මෙහි ඔරලෝසු යාන්ත්‍රණය තෙල්වල ධාවනය වන අතර එය 2 hp-three-phase squirrel cage මෝටරයක් මඟින් මෙහෙයවනු ලබනවා. නමුත් දැන් එය 1500 RPM synchronous මෝටරයකින් ක්‍රියා කළ හැකි ආකාරයට සකස් කර තිබෙනවා. නයගරා මල් ඔරලෝසුව නිර්මාණය කළ අවධියේ එහි සියළුම තාක්ෂණික කටයුතු සිදුකරනු ලැබුවේ පැරණි ඔන්ටේරියෝ බලාගාරයේ කාර්යය මණ්ඩලය යි. 

මල් ඔරලෝසුවේ කටු (gettyimages)

දැනට වසර 43ක සිට නයගරා මල් ඔරලෝසුව නඩත්තු කරන්නේ නයගරා උද්‍යානයේ කාර්යය මණ්ඩලය යි. මෙම මල් ඔරලෝසුවේ මුල් අයිතිකරුවන් වුණු පැරණි ඔන්ටේරියෝ බලාගාරය අද එහි දක්නට නැහැ. එසේම මෙය නිර්මාණය කළ ඉංජිනේරුවරයා වුණු  රිචඩ් ලැන්කැස්ටර් ද අද ජීවතුන් අතර නැහැ. නයගරා මල් ඔරලෝසුව සෑදීමට දායක වුණු සියළුදෙනාම අද ජීවතුන් අතර නොසිටියත් ඔවුන් කළ විශිෂ්ට නිර්මාණය තව දිගු කලක් යන තුරු නොනැසී පවතිනු ඇති. 

කවරයේ ඡායාරූපය- නයගරා මල් ඔරලෝසුව (clifton hill) 

මූලාශ්‍රයයන්- niagarafallsinfo.com

Related Articles