Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිශා රැසකට විසිරී ගිය “One Direction”

කලින් කලට ලෝකය තුළ උන්මාදයක් වන තරමට ජනප්‍රිය වන ගීත බිහිවෙනවා. ඇතැම්විට ඒ ජනප්‍රිය රැල්ල අපේ රටටත් ගොඩවදින අවස්ථා තියෙනවා. Backstreet Boys සංගීත කණ්ඩායමේ Quit Playing Games (With My Heart) ගීතය, මයිකල් ජැක්සන්ගේ Earth Song ගීතය, Ed Sheeran ගායකයාගේ Shape of you ගීතය ලෝකය පුරා උන්මාදයක් ඇති කළ ගීත අතරින් කිහිපයක්. එලෙස ජනප්‍රිය වූ ඇතැම් ගීතවල යූටියුබ් නැරඹුම් වාර ගණන බිලියනය ඉක්මවාගොස් තිබෙනවා. 

2011 වර්ෂයේ අගභාගය වන විට එවැනි උන්මාදයක් ඇති කිරීමට සමත් වූ ගීතයක් බිහි වෙනවා. එම ගීතය ලෝකයට මුදා හැරෙන්නේ “What makes you beautiful” නමින්. මේ ගීතය නිසා එවකට යන්තම් අවුරුදු 18 සම්පූර්ණ කළ තරුණයින්ගෙන් සැදි සංගීත කණ්ඩායමක් එක රැයින් ලෝකය පුරා ජනප්‍රිය වීම සිදුවෙනවා. ආරම්භයේ දී සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සැදුම්ලත් මේ සංගීත කණ්ඩායම හඳුන්වන්නේ One Direction, නැත්නම් 1D යන කෙටි නාමයෙන්.

කණ්ඩායමේ සාමාජිකයන් (වමේ සිට දකුණට, ලුවිස් ටොම්ලින්සන්, ලයම් පේන්, සෙයින් මලික්, නියෝල් හොරාන්, හැරී ස්ටයිල්ස්)

ඔබත් One Direction රසිකයෙකු නම් මේ ලිපියෙන් ඔවුන් සංගීත කණ්ඩායමක් ලෙස එක්වුණ හැටි, සංගීත ක්ෂේත්‍රයේ ඔවුන්ගේ ගමන්මඟ වගේම වර්තමානයේ දී ඔවුන්ගේ තත්ත්වය ගැනත් දැනගත හැකියි. ඔබ මේ සංගීත කණ්ඩායම ප්‍රිය නොකරනවා නම් ඔවුන්ගේ තොරතුරු දැනගෙන සිටීම ඊටත් වඩා වැදගත් වේවි!

තරගයක් නිසා ඇතිවුණු මිතුදමක්

එක්සත් රාජධානිය මුල් කරගනිමින් ලෝකයේත් අතිශයින් ජනප්‍රිය වූ ප්‍රාසාංගික වැඩසටහනක් තමයි “The X Factor” කියන්නේ. එම වැඩසටහන හරහා දක්ෂ ගායකයින් රැසක් ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයට එක් වුණා. මෙම ප්‍රාසාංගික වැඩසටහනේ සත්වන අදියරේ දිනයක් වූ 2010 ජූලි මස 23 වැනිදා යම් විශේෂ දෙයක් සිදුවුණා. ගායනා තරගයට තනි තනිව ඉදිරිපත් වූ තරගකරුවන් පස්දෙනෙකු, තරගයේ ඊළඟ වටයට යාමට තරම් ප්‍රමාණවත් දස්කම් නොපෙන්වන බව විනිසුරුවරුන් විනිශ්චය කරනවා. නියෝල් හොරාන්, සෙයින් මලික්, ලයම් පේන්, ලුවිස් ටොම්ලින්සන්, සහ හැරී ස්ටයිල්ස් මෙලෙස ඊළඟ වටයට යෑමට අසමත් වූ තරුණයන්. නමුත් විනිසුරු මඬුල්ලේ සිටි සයිමන් කොවෙල් නම් සාමාජිකයා බොහොම බුද්ධිමත් තීරණයක් අරගන්නවා. ඔහු එම තරුණයන් පස්දෙනා පසෙකට කැඳවා වෙනස්ම යෝජනාවක් කරනවා. මෙම තරුණයන් පස්දෙනා වෙන වෙනම තරග කරනවාට වඩා කණ්ඩායමක් ලෙස තරග කිරීම වඩාත් සුදුසුයැ යි ඔහු යෝජනා කරනවා. යන්තමින් දහඅට වැනි වියට පා තැබූ මේ තරුණ ගැටවුන් තම අනාගතය වෙනුවෙන් සයිමන් කොවෙල් කළ මේ යෝජනාව ඉතා ඉහළින් පිළිගන්නවා.  

ඒ අනුව තරගයෙන් ඉවත් නොවී තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මේ තරුණයන්ට තවත් අවස්ථාවක් ලැබෙනවා. එදා සයිමන් කොවෙල්ගේ තීරණය සහ ඔහුගේ උපකාරය නොවන්නට, ඉතා කෙටි කලකින් සංගීත ලෝකයම අතික්‍රමණය කිරීමට තිබූ අවස්ථාව මෙම තරුණයන්ගෙන් ගිලිහි යෑමට බොහෝි ඉඩ තිබුණා. ඔවුන් තරගය අතරතුරේම One Direction නමින් කණ්ඩායමක් පිහිටුවාගෙන නැවත තරගයට අවතීර්ණ වී බොහොම කෙටි කලකින් ජනප්‍රියවීමට පටන් ගන්නවා. අවසාන වටයන්හි දී ඔවුන් තියුණු ලෙස සටන් වැදුණත්, ඔවුන්ට The X-Factor සත්වන අදියර ජයග්‍රහණය කිරීමට හැකි වුණේ නැහැ. නමුත් ඔවුන් තරගාවලියේ තුන්වැනි ස්ථානයට පත්වෙනවා. එකල මේ වැඩසටහන විකාශය වන අතරතුරේ මේ තරුණයන් පස්දෙනා අතර මිතුදම් දළුලා වැඩෙන ආකාරය ප්‍රේක්ෂයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක්වුණා. තරගයේ තුන්වැනි ස්ථානයට පත්වීම වෙනුවෙන් ත්‍යාගය ලෙස ඔවුන්ට සයිමන් කොවෙල් සමග යුරෝ මිලියන දෙකක ගණුදෙනුවකට බැඳෙන්න අවස්ථාව ලැබෙනවා. එයින් උපරිම ප්‍රයෝජන ගත් ඔවුන් අද දක්වා සංගීත ක්ෂේත්‍රය තුළ ආ ගමන්මඟ සැබැවින්ම විශ්මයජනක යි.

One Direction කණ්ඩායමට ජීවය දුන් සයිමන් කොවෙල් සමග කණ්ඩායම් සාමාජිකයන්/rollingstone.com/

කුළුදුල් ඇල්බමයෙන්ම අති සාර්ථකත්වයට

2011 වර්ෂයේ දී One Direction කණ්ඩායම තම ප්‍රථම සංගීත එකතුව “Up All Night” නාමයෙන් නිකුත් කළා. ඔවුන් කණ්ඩායමක් ලෙස නිල වශයෙන් නිකුත් කළ පළමු ගීතය වූ What Makes You Beautiful ගීතය අඩංගු වුණෙත් මේ ඇල්බමයේ යි. ඔවුන්ගේ ප්‍රථම ඇල්බමය ලෝකයට නිකුත් වුණේ වාර්තා රැසක් අලුත් කරමින්. ඒ අතර නිකුත් කළ කුළුදුල් ඇල්බමයෙන්ම “බිල්බෝර්ඩ් හොට් 200” නම් සංගීත දර්ශකයේ පළමු ස්ථානය දිනාගත් පළමු බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායම බවට One Direction පත්වීම කැපී පෙනෙනවා. ඔවුන් දෙවනුව නිකුත් කළ Take Me Home සංගීත ඇල්බමයෙන් ඔවුන්ගේ දක්ෂතාවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළා. ඔවුන්ගේ තුන්වන ඇල්බමය “Midnight memories” 2013 වර්ෂයේ නිකුත් වූ අතර, එම සංගීත එකතුව ඔවුන්ගේ සාමාන්‍ය ශෛලියෙන් තරමක් වෙනස් වූ ආකාරයක් ගනු ලැබුවා. එහිදී 80 දශකයේ බටහිර සංගීතයේ දක්නට ලැබුණ ඇතැම් ලක්ෂණ ඔවුන් බොහෝ සාර්ථක ලෙස මෙම සංගීත ඇල්බමයට එකතුකර තිබුණා.

සාමාන්‍යයෙන් යුරෝපයෙන් බිහිවූ ගායකයෙකුට හෝ සංගීත කණ්ඩායමකට ඇමරිකා එක්සත් ජනපදයේ රසික පදනමක් ගොඩනඟා ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. එක්සත් ජනපදය තුළ එලෙස රසික පදනමක් සාදාගැනීමට හැකි නම් අන්තර්ජාතික ලෙස ජනප්‍රියත්වයක් ලබා ගැනීම පහසු බව පිළිගැනෙනවා. එතරම්ම ශක්තිමත් සංගීත කර්මාන්තයක් එරට සතුවීම එයට හේතුව යි. යුරෝපයෙන් බිහිව එක්සත් ජනපදයේ සංගීත කර්මාන්තය ආක්‍රමණය කළ අතළොස්සක් වූ ගායන ශිල්පීන් අතර One Direction සංගීත කණ්ඩායමත් ඉහළින්ම තිබෙනවා. එක්සත් ජනපදයේ සාර්ථකම සහ ජනප්‍රියම සංගීත දර්ශකයක් වන බිල්බෝඩ් ගීත දර්ශකය තුළ පිට පිට හතර වතාවක් ඔවුන්ගේ මුල් සංගීත ඇල්බමයන් හතර ප්‍රථම ස්ථානයට පත්වුණා. One Direction සංගීත කණ්ඩායම දැනට නිකුත් කළ අවසාන ඇල්බමය වන Made in A.M. පමණක් එම ගීත දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්වුණා.

One direction කණ්ඩායම අතිශයින් ජනප්‍රියවීමට හේතු වූ What makes you beautiful ගීතයේ ඇල්බම් කවරයක්/deviantart.com/summertimebadwi/

 

සෙයින් මලික් නික්මයයි

One Direction කණ්ඩායමට ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම පැමිණීමට ගතවූයේ බොහොම කෙටි කාලයක් පමණ යි. ඔවුන් කණ්ඩායමක් ලෙස ක්‍රියාකාරීව සිටි වසර හයක පමණ කාලය තුළ ඔවුන්ගේ ජනප්‍රියත්වය බිඳකින්වත් අඩුවුණේ නැහැ. නමුත් කණ්ඩායම තුළ යම් යම් අර්බුද එම කෙටි කාලය තුළ ඇති වෙමින් තිබුණා. එහි උච්චතම අවස්ථාව එළඹුණේ “FOUR” ඇල්බමය නිකුත්වීමෙන් පසුව යි.

One Direction සංගීත කණ්ඩායමේ සිටි ආකර්ෂණීයම පෙනුමක් හිමි තැනැත්තෙකු ලෙස සෙයින් මලික් සැලකෙනවා. සංගීත කණ්ඩායම තම ස්වර්ණමය අවධිය පසුකරගෙන යන අතරතුර ඔහු කණ්ඩායම හැරයාම රසිකයන්ගේ විශ්මයට හේතු වුණා. මානසික ආතතිය හේතුවෙන් ඉදිරියේ දී නියමිතව තිබූ සංචාරයකට සහභාගී නොවීමට සෙයින් මලික් ගත් තීරණයෙන් සතියකට පසුව ඔහු තම සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

“One Direction සංගීත කණ්ඩායම සමග මා ගතකළ අවධිය මා සිතුවාටත් වඩා විශාල එකක්. නමුත් වසර පහකට පසු සංගීත කණ්ඩායමෙන් ඉවත්වීමට සුදුසුම කාලය එළඹ ඇති බව මට සිතෙනවා. මගේ තීරණයෙන් කණ්ඩායමට ආදරය කරන රසිකයන් අධෛර්යයට පත්වෙනවා නම් ඒ වෙනුවෙන් මා සමාව ඉල්ලා සිටිනවා. නමුත් මේ අවස්ථාවේ මගේ හදවතට නිවැරදියැ යි හැඟෙන දෙය සිදුකිරීමට අවශ්‍ය යි. අධික ජනප්‍රියත්වයෙන් ඉවත්ව, පුද්ගලික ජීවිතයට ඉඩ දෙමින්, විවේකීව අවුරුදු 22ක සාමාන්‍ය තරුණයෙකු ලෙස ජීවිතය  ගත කිරීම මගේ බලාපොරොත්තුව යි. මට මගේ ජීවිතයේ යහළුවන් හතරදෙනෙකු ඉන්නවා. ලුවී, ලියම්, හැරී, සහ නියෝල් ලෝකයේ හොඳම සංගීත කණ්ඩායමක් ලෙස One Direction ඉදිරියට ගෙන යන බව මම දන්නවා”

සෙයින් මලික් තම නික්මයෑම ගැන අදහස් දක්වා තිබුණේ එලෙසින්.

සෙයින් මලික් කණ්ඩායමෙන් ඉවත්වූ පසු ඉතිරි සාමාජිකයන් සතර දෙනා සුපුරුදු පරිදි One Direction කණ්ඩායම ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වෙහෙසුණා. ඒ අනුව සෙයින් මලික්ගේ සහභාගීත්වය නොමැති පළමු ඇල්බමය ලෙසින් Made in the A.M. 2015 වර්ෂයේ දී නිකුත් වෙනවා. සෙයින් මලික් නොමැති තත්ත්වයේ දී පවා මෙම ගීත ඇල්බමය අලෙවිය අතින් ඉහළ සාර්ථකත්වයක් ලබා ගන්නා අතර, ප්‍රමුඛ පෙළේ සංගීත දර්ශකයන් රාශියක ඉහළ ස්ථානයන් ලබා ගැනීමට සමත් වෙනවා. නමුත් One Direction වටා එක්රොක් වී සිටි රසිකයන් වික්ෂිප්තයට පත් කරවමින් Made in the A.M. සංගීත ඇල්බමයෙන් පසු One Direction කණ්ඩායම විසිර යනවා.

One Direction තම ජනප්‍රියත්වයේ උපරිම තලයේ සිටියත්, සෙයින් මලික් කණ්ඩායම හැර යනවා/vogue.com/

 

නිමා නොවෙන විවේකයක්

Made in the A.M. ඇල්බමය නිකුත්වීමෙන් පසු කණ්ඩායමේ සාමාජිකයන් දිගු විරාමයක් ලබා ගන්නා බව ලෝකයට නිල වශයෙන් ප්‍රකාශ කළා. නමුත් එම ප්‍රකාශයෙන් වසරකටත් වඩා අඩු කාලයක දී ඔවුන්ගේ පටිගත කිරීමේ කොන්ත්‍රාත්තුව අළුත් නොකිරීමට තීරණය වූ බව පුවත්පත් හරහා වාර්තා වුණා. සාමාන්‍යයෙන් One Direction දිනපතා පුවත් මවන සංගීත කණ්ඩායමක්. ඒ නිසා මොවුන්ගේ විසිර යෑම ගැන විවිධාකාරයේ කටකතා පැතිර යාමට පටන් ගත්තා. සංගීත කණ්ඩායමක් ලෙස සක්‍රීයව සිටි කාලයේ දී ඔවුන් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ පිරිසක් වුණා. ලැබී තිබූ අධික ජනප්‍රියත්වය සහ මහද්වීප කිහිපයක් පුරා පැතිර යන ලෙස සංවිධානය කළ ප්‍රසංග මාලාව හේතුවෙන් සාමාජිකයන්ගේ පෞද්ගලික ජීවිතය මුළුමනින්ම පාහේ ඔවුන්ට අහිමි වන තත්ත්වයක් උදා වී තිබුණා.   

කණ්ඩායමේ විසිරයෑම ගැන වරින් වර සාමාජිකයන් විවිධාකාරයේ අදහස් දක්වා තිබුණා. ඔවුන් අධික වෙහෙසට පත්වී සිටි බවත්, කාර්යබහුලත්වය නිසා සාමාජිකයන් අතර විටින් විට විවේචනයන් සහ තර්ක විතර්ක ඇතිවූ බවත් වරෙක කණ්ඩායම් සාමාජික නියෝල් හොරාන් මාධ්‍යට පවසා තිබුණා. ඒ අනුව ඔවුන් සියලු දෙනාම එක්තරා දිනෙක එකට වාඩිවී බොහොම සුහද ලෙස පවතින තත්ත්වය ගැන සාකච්ඡා කළ බවත්, ඔවුන්ගේ අනාගත සැලසුම් සහ අළුත් යමක් කිරීමට එකිනෙකා තුළ ඇති අභිලාෂයන් ද සැළකිල්ලට ගෙන මෙලෙස විසිර යාමට තීරණය කළ බව නියෝල් තවදුරටත් පවසා තිබුණා. සාමාජිකයන් සියළු දෙනාගෙම පොදු අදහස වුණේ තවදුරටත් ඔවුන් කණ්ඩායමක් ලෙස සිටියහොත්, පවතින පීඩාකාරී වාතාවරණය හමුවේ කණ්ඩායම අසාර්ථක වීමේ වැඩි ඉඩක් පවතින බව යි. කෙසේ නමුත්, පසුකාලීනව ඔවුන් කණ්ඩායමක් ලෙස එකට සිටි කාලයේ දී ඇති වුණ ගැටුම්, හිත් නොහොඳකම් ගැන වරින් වර මාධ්‍යට ප්‍රකාශය ලබා දී තිබුණා.

හැරී ස්ටයිල්ස් Dunkirk චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා/cosmopolitan.com/

“මම පමණටත් වඩා මත්පැන් පානයට හුරුවෙලා හිටියා. එය එන්න එන්නම නරක තත්ත්වයට හැරුණු අතර, එහි උපරිම අවස්ථාවේ දී මම මේ නරක පුරුද්දට සම්පූර්ණයෙන්ම නතු වෙන්නට යන බව මට තේරුණා. මම මත්පැන් පානය කළේ මා විසින්ම මා වෙනුවෙන් තැනූ පිස්සු ලෝකයෙන් බේරී සිටීමට යි. මේ වෙනුවෙන් කුමක් කළ යුතු ද කියා මම දැනගෙන හිටියේ නැහැ. පළමු චිකිත්සක සැසියේ දී මම කැමති දේවල් හෝ මා සම්බන්ධයෙන් කිසිම දෙයක අවබෝධයක් මට තිබුණේ නැහැ. ඒක ඉතාම බියජනක තත්ත්වයක්. මගේ වෘත්තිය කොතරම් දුරකට මට කරගෙන යන්න පුළුවන් වේවි ද කියලා මම බය වුණා. සාර්ථකත්වයට කවුද බය කියලා ඔබට අහන්න පුළුවන්. නමුත් සාර්ථකත්වය මා සතු හොඳම දේවල් කිහිප අවස්ථාවක දී මගෙන් උදුරා ගන්නා විට අහිමි වෙන දේවල් ගැන මම සැලකිලිමත් වෙන්න ඕනේ.”

ලයම් පේන් නම් සාමාජිකයා කණ්ඩායම තුළ තිබූ කාර්යබහුලත්වයෙන් පැන නැඟුණු මානසික පීඩාව ගැන GQ සඟරාවට වරක් එලෙස කරුණු දක්වා තිබුණා.

තම තමන්ගේ මාර්ග ඔස්සේ…

අද වන විට තාවකාලිකව ක්‍රියාකාරීත්වය අත්හිටවූ සංගීත කණ්ඩායමක් ලෙස තමයි One Direction පවතින්නේ. ඔවුන් නැවත එක්වන කාලයක් ගැන පැහැදිලි සඳහනක් නැහැ. අද වනවිට මෙම කණ්ඩායමේ සියළු සාමාජිකයන් තම තමන්ගේ ඒකපුද්ගල සංගීත නිර්මාණකරණයේ නියැලී සිටිනවා. මුලදිම කන්ඩායමෙන් ඉවත් වූ සෙයින් මලික් Mind of Mine, Icarus Falls, යන ඒකපුද්ගල ඇල්බම මඟින් ඉහළ සාර්ථකත්වයක් අත්කර ගත්තා. කණ්ඩායමේ තවත් ආකර්ෂණීය සාමාජිකයෙකු වූ හැරී ස්ටයිල්ස් සිය නමින්ම නිකුත් කළ ඇල්බමයෙන් අති සාර්ථකත්වයකට ළඟා වුණා. එමෙන්ම ඔහු දැන් රංගන ශිල්පියෙකු ද වෙනවා. ක්‍රිස්ටෝෆර් නෝලන් අධ්‍යක්ෂණය කළ “Dunkirk” චිත්‍රපටයෙන් හැරී ස්ටයිල්ස් නළුවෙකු ලෙස ඉමහත් අවධානයකට පාත්‍ර වුණා. ඉදිරියේ දී ඔහුගේ තවත් සිනමා නිර්මාණ පැමිණීමට නියමිත යි.

කණ්ඩායමේ‍ අයිරිෂ් සම්භවයක් සහිත එකම සාමාජිකයා වූ නියෝල් හොරාන්, මේ සියල්ලන්ටම වඩා වෙනස් ආරක් ගත් සංගීත රටාවකින් තම ඒකපුද්ගල ගීත නිර්මාණයන් රසිකයන් වෙනුවෙන් දායාද කළා. ඔහුගේ Flicker සහ Heartbreak Weather යන ඒකපුද්ගල ඇල්බමයන් ඉතා ඉක්මණින් රසිකයන් වැලඳ ගත්තා. මීට අමතරව ලුවිස් ටොම්ලින්සන්, ලයම් පේන් යන සාමාජිකයන් ද අද ඒකපුද්ගල සංගීතකරණයෙන් සාර්ථක වී සිටිනවා.

කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ට වඩා නියෝල් හොරාන් ඒකපුද්ගල ගායකයෙක් ලෙස තරමක් වෙනස් ශෛලියක් අනුගමනය කරනවා/vocal.media/

 

කොහොම නමුත්, අන්තර්ජාතික තලයේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉතාම කෙටි කලකින් සාර්ථකත්වයේ ගිනිසිළු දල්වා, ඉක්මණින්ම නිවී ගිය සංගීත කණ්ඩායමක් ලෙස One Direction හැඳින්විය හැකියි. නමුත් ඒ සාර්ථකත්වයේ ප්‍රතිඵල ඔවුන් තවමත් බුක්ති විඳිමින් සිටිනවා. අදටත් ලොව පුරා විසිරී සිටින ඔවුන්ගේ රසිකයන්, නැවතත් One Direction කණ්ඩායම පිහිටුවා ගෙන පැමිණේවි කියන බලාපොරොත්තුවෙන් මඟබලා සිටිනවා. එයට හේතුව වන්නේ ඔවුන් තවමත් නිල වශයෙන් විසිරී ගොස් නොමැති නිසා යි.

ඉතින්, One Direction කණ්ඩායමේ ඔබ වඩාත්ම ප්‍රිය කරන ගීතය කුමක් ද?

Cover photo: teenvogue.com

මූලාශ්‍රයයන්: j-14.com/

music.avclub.com/

gulfnews.com/

usmagazine.com/

insider.com/

Related Articles