Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කලාතුරකින් පිහිටන අසාමාන්‍ය ශරීර ලක්ෂණ ඇති පුද්ගලයින් කීපදෙනෙක්

මිනිසුන් කිසිවෙකුත් සර්වසම නැහැ. එක් අයෙකුට දිගු උල්වූ නාසයක් පිහිටන විට දී තවකෙකුට බුන් නාසයක් පිහිටිය හැකියි. මේ වෙනස්කම් විවිධ ජනවර්ග අතර පමණක් නොව එකම පවුලක සහෝදර සහෝදරියන් අතර පවා ඇති වෙනවා. ඒ නිසා අපි පුද්ගලයින්ව දුටු පමණින් අන් අයගෙන් වෙන් කොට හඳුනාගන්නවා.

යම් යම් වෙනස්කම් තිබුණත් සමස්ථයක් වශයෙන් අප කාගේත් සිරුර බොහෝ දුරට එක හා සමාන වෙනවා. නමුත් අප අතරින් සමහරකුට අපි කිසිවෙකුට නොමැති අසාමාන්‍ය දේහ ලක්ෂණ පිහිටනවා. එය කාටත් තිබෙන අවයවයක අසාමාන්‍ය වර්ධනයක් හෝ ගුණනයක් විය හැකි අතර, සමහර විටෙක අසාමාන්‍ය අවයවයක හෝ ශරීර කොටසක වර්ධනයක් විය හැකියි. තමන්ගේ වාසනාවට හෝ අවාසනාවට එම සුවිශේෂී කුලකයට වැටුණු පහත දැක්වෙන මිනිසුන් ගැන කරුණු ඔබේ දැනුම පොතට එක් කරගන්න.

අමතර ඩී. එන් ඒ වර්ණදේහයක් සහිතව උපන් දරුවා

topnews.net.nz

ඇල්ෆි ක්ලෑම්ප් නම ළදරුවා මෙලොව එළිය දකිද්දී අන්ධව සිටි අතර තවත් ආබාධ ගණනාවකින්ම පෙළුණා. මේ දරුවාව නිවසට රැගෙන යාමෙන් පසු සති හයක් වයස් පිරුණු විට එක් වරම ඔහුගේ හුස්ම ගැනීම නැවතීමත්, තොල් පෙති නිල් පැහැ ගැන්වීමත් නිසා ඔහුගේ දෙමවුපියන් විසින් වහාම ඔහුව රෝහලට රැගෙන එනවා.

මේ රෝගී තත්ත්වය එක්වරම හඳුනාගත නොහැකි වූ නිසා වෛද්‍යවරුන් මීට හේතුව සොයා බලන්නට ඉටාගෙන පර්යේෂණ ගණනාවක් දියත් කළා. මේ අනුව ඔවුනට සොයා ගැනීමට හැකි වූයේ පුදුමාකාර කරුණක්. මේ දරුවාගේ 7 වන ක්‍රෝමසෝමය සතුව අමතර වර්ණදේහයක් ඇති බව ඔවුනට තහවුරු වුණා. මෙය අපූර්ව පිහිටීමක් වුණා. ඇල්ෆි ළදරුවාගේ මේ අසාමාන්‍ය ‘රෝගී තත්ත්වය’ ට ඒ වන විට නාමයක් පවා නොතිබූ අතර මින් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වේද නොවේද යන්නවත් නිර්ණය කිරීමට ඔවුන් සතුව දත්ත තිබුණේ නැහැ. කෙසේ වෙතත් ප්‍රතිකාර වලින් පසුව ඔහුට පෙනීම ලැබෙන අතර විවිධ ප්‍රතිකාර ලබමින් වුවත් වර්තමානය වන විට ඔහු හොඳින් ජීවත් වනවා.(1)

ලොව දිගම දෙපා සහිත කාන්තාව

Getty images

රුසියානු ජාතික ස්වෙට්ලානා පන්ක්‍රතෝවා ලොව දිගුම දෙපා හිමි කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනවා. ඇය ලොව උසම කාන්තාව නොවුණත් ඇගේ පාද සෙන්ටිමීටර 132 ක් හෙවත් අඩි 4 කුත් අඟල් 4ක් දිගු වෙනවා. ඒ කෙසේ වෙතත් ඇයගේ උඩු කය සාමාන්‍ය තරමේ වීම නිසා සම්පූර්ණ උස සෙන්ටිමීටර 196 ක් හෙවත් අඩි 6 කුත් අඟල් 5 ක් වෙනවා. ඇයගේ පාවහන් වල ප්‍රමාණය ඇමෙරිකානු ක්‍රමයට අංක 13 හෙවත් යුරෝපීය ක්‍රමයෙන් 46 ප්‍රමාණය වෙනවා. පන්ක්‍රතෝවා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී 1992 වසරේ සිට 1995 දක්වා පැසිපන්දු ක්‍රීඩා කළා. (2)

පපුවේ අමතර පාද පිහිටි දරුවා

Youtube.com

2010 වසරේදී ඉන්දියානු දෙමවුපිය යුවලකට දාව දීපක් පවන් නම් දරුවෙක් මෙලොව එළි‍ය දුටුවා. ඔහුගේ ශරීරයට අනුබද්ධව අර්ධව වැඩුණු කළලයක කොටස් තිබුණු අතර පැහැදිළිව සෑදුණු පාද දෙකක් හා තවත් කුඩා පාද හෝ අත් දෙකක්ද ඔහුගේ පපු ප්‍රදේශයෙන් ඉදිරියට නෙරා තිබුණා. මේ පිහිටීම නිසා ඔහු දේවත්වයෙන් පිදීමට ඔහුගේ අසල්වැසියන් උත්සුක වුණා.

කෙටි කලකින්ම නන් දෙසින් ජනයා බිහාර් ප්‍රාන්තයේ පිහිටි දීපක්ගේ නිවසට ඇදී එන්නට පටන් ගත්තේ ඔහු විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස හඳුන්වමින්. ඒ කෙසේ නමුත් මින් අපහසුතාවයට ලක් වූ ඔහුගේ දෙමවුපියන් සැත්කමකින් ඔහුගේ අමතර අත් දෙක හා පාද දෙක ඉවත් කර දැමීමට උත්සුක වුණා. බැංගලෝරයේ රෝහලක් එම සැත්කම නොමිලේ කර දීමට ඉදිරිපත් වූ අතර වර්තමානය වන විට දීපක් සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. (1)

ලොව විශාලම අත

pinterest.com

චීන ජාතික ලියු හුවා ඉතා දුර්ලභ රෝගී තත්ත්වයකින් පීඩා විඳිනවා. මේ නිසා ඔහුගේ වම් අතෙහි මහපට ඇඟිල්ල අඟල් 10.2 දක්වා වර්ධනය වී තිබුණු අතර දබරැඟිල්ල අඟල් 12ක් ආසන්නයටම වර්ධනය වී තිබුණා. මේ අවයව දරාගත නොහැකිව ඔහුව රෝහල් ගත කරන අතර වෛද්‍යවරුන් විසින් පැය කිහිපයක් වෙහෙස වී රාත්තල් 11 ක පමණ අස්ථි හා මාංශ කොටස් ඔහුගේ අතෙන් ඉවත් කරනවා. (2)

මුහුණු දෙකක් ඇති දරුවා

i.imgur.com

චීනයේ හුනෑන් ප්‍රාන්තයේ සාමාන්‍ය පවුලකට දාව උපන් කැන්කැන් නම් ළදරුවාගේ මුහුණෙහි පිහිටීම ඉතා අසාමාන්‍ය වුණා. මුහුණෙහි ඇති වී තිබූ විකෘතියක් නිසා ඔහු කෙරෙන් දිස් වුණේ ඔහු වෙස් මුහුණක් පැළඳ සිටිනවා වැනි සෙයකුයි. හිසෙහි ඉදිරිපස ඇතිව තිබූ අමතර අස්ථි වැඩීමක් නිසා ඔහුගේ උඩු තොල, නාසය, හා දෙ ඇස්, මුඛය හා යටිහනුවට වඩා ඉදිරියට නෙරූ වෙනම තලයක පිහිටා තිබුණා.

මේ තත්ත්වයට ප්‍රතිකාර කිරීම ඉතාම වියදම්කාරී දෙයක් ලෙස ඇස්තමේන්තු වුණු අතර වාසනාවකට ඒ මුදල සොයා ගැනීමට කැන්කැන්ගේ දෙමව්පියන්ට හැකි වුණා. (1)

ලොව දිගම කණෙහි කෙස්

metro.co.uk

ඉන්දියාවේ සුළු ව්‍යාපාරිකයෙකු වන රාධ්කාන්ත් බජ්පායි ට 2003 වසරේදී ලොව දිගුම කණෙහි කෙස් ඇති තැනැත්තා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළු වීමට අවස්ථාව උදා වුණා. ඒ වන විට ඔහුගේ කණෙහි රෝම සෙන්ටිමීටර 13.2 ක් තරම් දුරකට වැවී තිබුණා. ඒ කෙසේ නමුත් තව දුරටත් ඒ වාර්තාව අලුත් කිරීමට බජ්පායි සැදී පැහැදී සිටියා. සිය කණෙහි රෝම වලට ප්‍රතිකාරද කළ ඔහු සෙන්ටිමීටර 25ක් තරම් දිගකට ඒවා වවාගෙන තිබුණා. (2)

තුන් නිවුන් දරු උපතක් සිදු කළ ගර්භාෂ දෙකක් ඇති කාන්තාව

oddee.com

ඉතාමත් අසාමාන්‍ය තත්ත්වයක් ලෙස පෙණුනත් ඇත්තෙන්ම ලොව වෙසෙන සෑම කාන්තාවන් 1000 ටම එක් අයෙකුට ගර්භාෂ 2ක් පිහිටනවා. හැනා කර්සි නම් කාන්තාව, ඇයගේ සොහොයුරිය මෙන්ම, මවටත් ගර්භාෂ දෙක බැගින් පිහිටා තිබුණත් හැනා ඉතිහාසගත වන්නේ සිය ගර්භාෂ දෙකම ආධාරයෙන් තුන් නිවුන් දරු උපතක් සිදු කිරීම නිසායි.

2006 වසරේදී 23 වියැති මේ කාන්තාව ඩෙවන්, රූබි හා ටිලී නමින් තුන් නිවුන් දරු උපතක් සිදු කළ අතර මින් ඩෙවන් හා රූබි පමණක් සම නිවුන්නු වුණා. ටිලී අනෙක් ගර්භාෂයේ පිළිසිඳගෙන තිබුණු අතර වෛද්‍යවරුන් පවසන අන්දමට මෙවැනි උපතක් සිදුවීමේ සම්භාවිතාව මිලියන 25 කට 1ක් තරම් වනවා. (1)

තවත් මෙවැනිම රසබර තොරතුරු සමඟින් දෙවන කොටසින් හමු වෙමු.

කවරයේ පින්තූරය- Youtube.com

මූලාශ්‍ර

  1. oddee.com -9 People Who Have Extra Body Parts
  2. oddee.com -10 Most Extreme Body Parts

Related Articles