Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අසාමාන්‍ය ශරීර ලක්ෂණ සහිත තවත් පුද්ගලයින් කීපදෙනෙක්

අසාමාන්‍ය අවයව හෝ අසාමාන්‍ය ලෙස සාමාන්‍ය අවයව වැඩුණු මිනිසුන් කිහිප දෙනෙක් ගැන හරබර තොරතුරු අපි පසුගිය ලිපියෙන් ඔබ වෙත ගෙන ආවා. මින් සමහර පුද්ගලයින්ට එය ආභරණයක් වූ අතර සමහරුන්ට ජීවිත තර්ජන එල්ල කරන තරමේ තත්ත්වයක් බවට පරිවර්තනය වී තිබුණා. ඒ ලිපියේ දෙවන කොටස වන මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තවත් එවැනිම සුවිශේෂී පුද්ගලයින් කිහිප දෙනෙක් ගැන තොරතුරුයි.

හෘදයන් දෙකක් හා පාද තුනක් සහිත මිනිසා

ක්‍රි.ව 1844 ජර්මනියේ ඉපදුණු ජෝර්ග් ලිපර්ට් සුවිශේෂී දරුවෙක් වූයේ ඔහුට පාද තුනක් හා හොඳින් ක්‍රියාත්මක වන හෘදයන් දෙකක් පිහිටීම නිසායි. පාදයන් තුන පිටතින් හොඳින් නිරීක්ෂණය වුවත්, හෘද දෙකෙහි පිහිටීම අනාවරණය වුණේ 1906 වසරේදී මියගිය ඔහුගේ මරණ පරීක්ෂණය සිදු කරන විටයි. ඔහුගේ අමතර පාදයෙහි ඇඟිලි 6ක් තිබුණා. ලිපර්ට්ගේ ජීවිතයේ අවසාන කාලයේ එම පාදය ක්‍රියා විරහිතව තිබුණත් එය කාලයක් තිස්සේ හොඳින් ක්‍රියා කළා.

ෆ්‍රැන්සිස්කෝ ලෙන්ටිනි – thehumanmarvels.com

1889 වසරේ සිසිලියෙහි උපන් ෆ්‍රැන්සිස්කෝ ලෙන්ටිනි නැමැත්තාටත් පාදයන් තුනක් පිහිටා තිබුණා. ඇත්තෙන්ම ඔහුට පාද 4 ක් පිහිටා තිබුණු අතර ඉපදී නොබෝ කලෙකින්ම සිව්වන පාදය ඉවත් කරනු ලැබුවේ එය ඉතා දුර්වල තත්ත්වයක තිබූ නිසායි. ඔහුට පුරුෂ ජනනේන්ද්‍රි දෙකක් පිහිටා තිබුණු අතර තෙවන පාදයත් හොඳින් ක්‍රියා කළා. ෆ්‍රැන්සිස්කෝ විවාහ වී දරුවන්ද ලැබූ අතර 1966 වසරේදී මිය යන විට 78 වියැති වුණා. (1)

ලොව දිගම නාසය

Getty Images

ක්‍රි.ව 1949 තුර්කියේ උපත ලද මෙහ්මත් ඔසියුරෙක් හට ලොව දිගම නාසය පිළිබඳ ගිනස් වාර්තාව හිමිවී තිබෙනවා. ක්‍රි.ව 2007 දී ඔහුගේ නාසය මැන බැලූ විට එය අඟල් 3.5 ක් හෙවත් සෙන්ටිමීටර 8.8 ක දිගකින් යුතු වුණා (2)

ලොව දිගම නියපොතු

Jason Kempin /Getty Images

ඇමෙරිකා එක්සත් ජනපදයේ යූටා හි වෙසෙන කාන්තාවක් වන ලී රෙඩ්මන්ඩ් නම් තැනැත්තිය 1979 වසරේ සිට සිය අත් වල නියපොතු කැපීමෙන් වැළකී සිටිය අතර, ඒවාට හොඳින් සාත්තු සප්පායම් කළා. මේවායේ උපරිම සමස්ථ දිග මීටර 8.65 හෙවත් අඩි 28 කුත් අඟල් 4 1/2 වූ අතර ලොව දිගුම නියපොතු සම්බන්ධ ගිනස් වාර්ථාවද ඇය නමින් ලියැවුණා. නමුත් අවාසනාවන්ත ලෙස 2009 වසරේ සිදු වූ රිය අනතුරකින් ඇයට සිය නියපොතු අහිමිව ගියා. (2)

හිස් දෙකක් සහිතව ඉපදුණු දරුවා

බ්‍රසීල කාන්තාවක් වන මාරියා ඩෙ නසාරේ සිය කුස තුළ වැඩී එන්නේ නිවුන් දරුවන් දෙදෙනෙක් බව විශ්වාස කළා. ඒ කෙසේ නමුත් ප්‍රසූතියෙන් පසු හෙළි වූයේ මෙම ‘නිවුන්නු’ එකිනෙකට හාවී ඇති බව හා එකම හෘද වස්තුව, පෙනහළු, හා අක්මාව දරන බවයි. මේ නිවුන් දරුවන්ට හොඳින් වෙන් වුණු හිස් දෙකක් පිහිටා තිබුණු අතර වෙනම කොඳු ඇට පෙළක්ද පිහිටා තිබුණා. මේ දරුවන් දෙදෙනාගේ සමස්ථ උපන් බර රාත්තල් 9.9ක් වූ අතර ඔවුනට එමානුවෙල් හා ජීසස් යනුවෙන් නම් තබනු ලැබුණා. සරලවම මේ දෙදෙනා වෙන් වෙන් වශයෙන් හඳුන්වනවාට වඩා ‘හිස් දෙකේ දරුවා’ යනුවෙන් ඇමතීම වඩා යෝග්‍ය බව බෝහෝ දෙනාගේ මතය වුණා.

බංග්ලාදේශයේ සිදු වූ හිස් දෙකේ දරු උපතක් -AFP/Getty Images

මේ දරුවා සතු හිස් දෙකෙන් එක හිසක් ඉවත් කර අනෙකට වැඩෙන්නට හැරීමට සමහරු යෝජනා කළත්, එය කිරීමට නොහැකි වූයේ මේ ශරීරයේ හිස් දෙකම හොඳින් ක්‍රියාත්මක වී කිරි උරා බීම පවා හොඳින් සිදු කළ නිසායි. මෙවැනි දරු උපත් කලාතුරකින් ලොව සිදු වෙනවා. (1)

ලොව දිගුම කාන්තා රැවුල

giornalettismo.com

ලෝකයේ දිගුම කාන්තා රැවුලට උරුමකම් කියුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන කාන්තාවක් වන විවියන් වීලර් නැමැත්තියයි. ඇයගේ රැවුල දිගින් වැඩිම වූ සමයේ අඟල් 11ක් හෙවත් සෙන්ටිමීටර 27.9 ක් වූ බව සඳහන්. ගැහැණු ළමයෙකු වුවද ඇය සිය රැවුල බාන්නට පටන්ගෙන ඇත්තේ වයස අවුරුදු 7 පමණ කාලයේ සිටයි. කෙසේ නමුත් 1993 වසරෙන් පසුව ඇය විසින් සිය රැවුල තව දුරටත් වැඩීම වලක්වාගෙන තිබෙනවා. (2)

ලොව කුඩාම ඉඟටිය සහිත කාන්තාව

pinterest.com

‘සිසිවන වුවන ඉඟසුඟ ගත හැක මිටින’ යනුවෙන් පැරණි සංදේශ කාව්‍ය වල කාන්තාව වර්ණනා කර තිබෙනවා. එය අතිශ්‍යෝක්තියක් වූවත් ලොව කුඩාම ඉඟටිය දරන කාන්තාව සම්බන්ධයෙන්නම් සත්‍යයක්.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන කැතී යන්ග් නැමති කාන්තාවගේ ඉඟටිය අඟල් 15ක් තරම් කුඩා එකක් වෙනවා. ඇයගේ හැඩය පැරණි හෝරා ඝටිකාවක් සිහිගන්වන්නක්. සිය ඉඟටියේ හැඩය කැපී පෙනෙන ආකාරයෙන් ඇඳුම් ඇඳීමටත් ඇය රුචිකත්වයක් දක්වනවා. 2007 වසරේ ගිනස් වාර්තා පොතටත් ඇගේ නාමය ඇතුළු වුණා. යන්ග් වර්තමානයේ මේ වාර්තාවට හිමිකම් කීවත් ලොව එදා මෙදාතුර වාර්තා වූ සිහින්ම ඉඟටියට හිමිකම් තිබී තිබෙන්නේ ඊතල් ග්‍රැන්ගර් නම් කාන්තාවකටයි. මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වූ ඇය 1905 වසරේ ඉපිද 1982 වසරේ මියගිය අතර ඇගේ ඉඟටිය අඟල් 13 තරම් වූ බව සඳහන් වෙනවා. (2)

ද්විත්ව හෘදයාබාධයෙන් බේරුණු හදවත් දෙකක් ඇත්තා

oddee.com

ක්‍රි.ව 2010 ඉතාලියේ වෙරෝනා නඟරයේ රෝහලකට එක්තරා පුද්ගලයෙක් ඇතුළු කරනු ලැබුවා. හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් හා අඩු රුධිර පීඩනයෙන් පෙළුණු ඔහුගේ සියොළඟ දහඩියෙන් තෙත් වී තිබුණා. ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇති බව තේරුම් ගන්නට වෛද්‍යවරුන්ට වැඩි වේලාවක් ගත වූයේ නැහැ.

හෘදයාබාධයට ප්‍රතිකාර කිරීමට පරීක්ෂණ හා ප්‍රතිකාර ආරම්භ කළ වෛද්‍යවරුන්ට මුහුණ දෙන්නට සිදු වූයේ ඉතා අපූර්ව අත්දැකීමකටයි. එක්වරම දිස් වුණු ආකාරයට මේ මිනිසා සතුව හොඳින් වැඩුණු හෘදයන් දෙකක් තිබුණා.

වැඩිදුර පරීක්ෂණ කිරීමේදී ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වූයේ ඇත්තෙන්ම මොහු හදවත් දෙකක් සහිතව ඉපදී නැති බවයි. කලින් වතාවකදී ඔහුගේ නියම හදවත අකර්මන්‍ය වී ඇති අතර ඒ නිසා අළුත් හදවතක් පසෙකින් සම්බන්ධ කොට තිබුණා. පැරණි හදවත ඉවත් කොට නොතිබූ අතර පසුව අහම්බයකින් මෙන් එය නැවත නිසි පරිදි ක්‍රියාකාරී වීමෙන් එකිනෙකට වෙනස් හෘත් රිද්ම දෙකක් ශරීරය තුළ සෑදීමේ අපහසුතාවයට රෝගියා මුහුණ දී සිටියා.

වෛද්‍යවරු විසින් දැඩි වෑයමකින් රෝගියාගේ හදවත් දෙක එකම රිද්මයකට ගෙන එන්නට කටයුතු කළා. මේ අනුව ඔහු රෝහලෙන් පිටව ගියේ හොඳින්ම ක්‍රියාකාරී හදවත් දෙකක් සතුවයි. (1)

කවරයේ පින්තූරය- hideme.io

මූලාශ්‍ර

  1. oddee.com -9 People Who Have Extra Body Parts
  2. oddee.com -10 Most Extreme Body Parts

Related Articles