Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පේරුවෙහි වැලි කඳු අතර සැඟවුණු පාරාදීසය

ගිනියම් සුළං රැළිවලින් ගත පුළුස්සා හරින, ඇතැම්විට ප්‍රචණ්ඩකාරී වැලි කුණාටු ඇති කරවන කාන්තාරයට තිබෙන්නේ සිත ගත දවා හරින පෙනුමක්. දිය බඳුනක් ගෙන උගුරු කිහිපයක් මුවට හලා ගැනීමට තරම් පිපාසිත සිතුවිල්ලක් ඇති කරවන පෙනුමක්. එවන් ගිනියම් කතරක් මැද සුන්දර ජල උද්‍යානයක පැවැත්මත් බෙහෙවින්ම අපූර්වාකාර යි. විස්මය දනවනසුලු යි. පීරු රටේ ලීමා නුවරට දක්ෂිණ දෙසින්, පැය පහක ගමනකින් අනතුරුව ළඟා විය හැකි ඉසව්වක පිහිටා තිබෙන ක්ෂේම භූමියක් වන හුවාකචිනා නගරය, පේරුවේ වැලි කඳු අතර අහම්බෙන් මුණගැසෙන මායාවක්. දකුණු ඇමරිකාවේ පිහිටා තිබෙන එකම කාන්තාර ක්ෂේම භූමියත් මෙය වනවා. මේ කරා ළඟා වන බොහෝ සංචාරකයන්ට දැනෙන්නේ තමන් මේ දකින්නේ මිරිඟුවක්දැ යි හැඟීමක්. 

මෙම භුමියට පැමිණෙන පුද්ගලයන්ට අවශ්‍ය නම් ගුවන් මාර්ගයෙන් ගොස් නස්කා රේඛාවන් දැකබලා ගැනීමට ද පුළුවන්. එමෙන්ම පෙන්ගුයින්ලා නැරඹීමටත්, මුහුදු සිංහයන් නැරඹීමටත් බෝට්ටු සවාරිවල නිරතවීමටත් හැකියාව පවතිනවා.

ක්ෂේමභූමි නගරය රාත්‍රියට දිස්වන ආකාරය (Reddit)
වැලි කඳු මත සිට බලනකල ක්ෂේමභූමි නගරය දිස්වන ආකාරය (Pinterst)

මෙම අපූරු ක්ෂේම භූමියට ඇතුල් වන්නෙකුට දැනෙන්නේ කිසියම් මායාවකට ඇතුල් වන්නාක් මෙන් වුවත් එය එසේ නොවන බව වැටහීමට ගත වන්නේ ඉතා සුළු කාලයක්. මෙය බාහිර ලෝකයෙහි පවත්නා නගරයක් මෙන්ම අතිශයින්ම සාමාන්‍ය නගරයක්. වෙනසකට පවතින්නේ මෙය වැලි කතරක හුදෙකලා වී පැවතීම පමණ යි. නමුත් මෙම නගරය බාහිර ලෝකය සමඟ අඛණ්ඩව සිය ගනුදෙනු පවත්වා ගන්නවා. වැලි කඳු අතර මධ්‍යයේ පවත්නා මෙම අපූරු නගරය තුළ සංචාරකයන්ට නවාතැන් පහසුකම් සපයන මධ්‍යස්ථාන මෙන්ම මධුවිතෙන් සප්පායම් වීම සඳහා අවශ්‍ය බටහිර පන්නයට සකසන ලද සුරාසැල් ද පවතිනවා. විශේෂයෙන්ම සංචාරකයන් අතිශයින් ප්‍රිය කරන දෙයක් තමයි පේරුවේ හුවාකචිනා නගර‍ය වටා පැතිරී පවත්නා මහා වැලි සාගරයෙහි උණුසුම දරාගත හැකි දුරක් සැරිසරා, ඉනික්බිතිව සවස් කාලයෙහි එහි ඉස්මත්තේ හිඳගෙන, ඈත දිස්වන බටහිර අන්තයෙන් හිරු අවරට යන ආකාරය විවේක සුවයෙන් යුක්තව බලා සිටීම. හිරු අවරට යත්ම වැලි තලාව මත චිත්‍රණය වන රන් පැහැය සැබැවින්ම සංචාරකයන්ගේ මනස සුවපත් කරන ආකාරයේ දසුනක්.

ක්ෂේමභූමියේ ඉදිකර තිබෙන දැවැන්ත ගොඩනැගිලි (theculturetrip.com)
ක්ෂේමභුමියෙහි පිහිටි කලපුවෙහි තිබෙන බෝට්ටු සවාරි යා හැකි යාත්‍රා (theculturetrip.com)

1960 කාලවකවානුවේ දී පීරු රාජ්‍යය වෙත පැවතියේ ඉතා අධික සංචාරක ආකර්ශනයක්. ඊට හේතුව වූයේ පාම් ශාකයන්ගෙන් වටවූ වැලි කඳු මධ්‍යයේ පිහිටි ක්ෂේම භූමියේ පිරී තිබෙන දිය දහරින් ස්නානය කළ විට ලෙඩ රෝග සුව වන බවට පැතිර ගිය විශ්වාසය යි. ක්‍රම ක්‍රමයෙන් ජනතාව අතර පැතිර ගිය මෙකී විශ්වාසය හේතුවෙන්ම ධනවත් පීරු වැසියන් සිදු කළේ මෙම ක්‍ෂේම භූමිය කරා පැමිණ ඔවුන්ගේ ස්ථීර වාසස්ථාන සහ සංචාරකයන්ට නවාතැන් සැපයීම පිණිස හෝටල්, ලැගුම්හල් යනාදිය ද මෙම භූමියේ ඉදිකිරීම යි. මෙම ක්ෂේම භූමිය සහ එහි මධ්‍යයේ පිහිටා තිබෙන විල වටා ඉතා සිත් ඇදගන්නාසුළු පුරාවෘත්තයක් ගොඩනැගී තිබෙනවා. 

කාන්තාරය පුරා ගමන් කළ හැකි සැහැල්ලු සංචාරක රථ (theculturetrip.com)

එකී වෘත්තාන්තයට අනුව ඈත අතීතයේ දී “හුවකේ චිනා” නමැති කන්‍යාවක් යුද සෙබලෙකු සමග ප්‍රේමයෙන් වෙලී හිඳ තිබෙනවා. කෙසේ නමුත් මෙම යුද සෙබලා යුද්ධයෙන් මියගිය බව ආරංචි වූ මෙකී කන්‍යාව ඉතා වේදනාවෙන් මහා හඬින් වැලපීමට පටන්ගෙන තිබෙනවා. එම වේදනාව හදවතේ දරාගෙන ඔවුන් දෙදෙනා නිතර හමුවූ ස්ථානය දැකබලා ගැනීමට ගිය ඇයට කැඩපතකින් ඇගේ පෙම්වතාගේ රුව පෙනී තිබෙනවා. ඔහුගේ රුව දැකීමෙන් බියට පත් වන ඇය කලබලයෙන් දිව යෑමට පටන් ගෙන තිබෙනවා. එහිදී ඇය අතින් ඇගේ කැඩපත ගිලිහී වැටී එය මෙම කලපුව බවට පත් වු බවත්, හුවකේ එම කලපුවෙහි කිමිදී ගොස් දිය කිඳුරියක වූ බවත් පුරාවෘත්තය පවසනවා.

වැලි මත ලිස්සා යෑමේ ක්‍රීඩාවෙහි නිරත වන සංචාරකයෙක් (theculturetrip.com)

මෙම අපූරු කලපුවෙහි බෝට්ටු සවාරි යෑම සඳහා ක්ෂේමභූමි වාසීන් විසින් සංචාරකයන් උදෙසාම බෝට්ටු සේවයක් පිහිටුවා තිබෙනවා. එපමණක් නොවෙයි, පීරු වැලි කඳු අතර ගමන් කළ හැකි සැහැල්ලු වාහන සේවයෙහි නැගී වැලි සුළං පහර විඳිමින් සංචාරයේ නිරත වීමටත් මෙම භූමියට පැමිණෙන සංචාරකයින් වඩාත් ප්‍රිය කරනවා. පැයකට ඩොලර් පනහක පමණ මුදලක් වැය කිරීමට හැකියාව පවතින ඕනෑම සංචාරකයෙකුට කුඩා සැහැල්ලු රථයක් කුලියට ගෙන ගොස් වැලි කඳු අතර සංචාරය කර අපූරු අත්දැකීමක් විඳගැනීමේ හැකියාව පීරු ව්‍යාපාරිකයන් විසින් සලසා තිබෙනවා. එසේ නොමැති නම් මෙවන් සැහැල්ලු රථයක කණ්ඩායම් වශයෙන් නැගී සංචාරය කිරීමේ හැකියාව ද පවතිනවා. 

රෝලර් කෝස්ට් අත්දැකීම ලබා ගත හැකි වාහන (the culturetrip.com)
වැලි කඳු තරණය කිරීම (theculturetrip.com)

මෙම ක්ෂේම භූමිය වටා පිහිටා තිබෙන වැලි කඳු මත සංචාරකයන් නිරත වීමට ප්‍රිය කරන තවත් ක්‍රීඩාවක් පවතිනවා. ඒ, වැලි මතින් ගමන් කළ හැකි කුඩා බෝඩ් කැබැල්ලක නැගී ශරීරයේ සමතුලිතතාව පවත්වා ගනිමින් පහළට ලිස්සා යෑම යි. කාන්තාරයේ වැලි තලාව සමතලා භුමි‍යක් නොවෙයි. එය ඇතැම් තැනෙක විශාල බෑවුම් සහිත යි. එකී බෑවුම් කෙලවර වන්නේ යළිත් ඉහළට උස්වන වැලි කන්දකින්. මෙකී වැලි කඳු සහ බෑවුම් මතින් මෙම පුවරුව මත නැගී ශරීරයේ බර සමතුලිත කරගනිමින් ගමන් කිරීම පහසු කටයුත්තක් ‍නොවුණත් මෙම ක්‍රීඩාව සඳහා දක්ෂතාවයක් දක්වන, පුහුණු පුද්ගලයන් එකී ක්‍රීඩාවෙහි නිරත වීම මඟින් විශාල සතුටක් භුක්ති විඳිනවා. මෙම වැලි පුවරුව මත දෙපයින් සිටගෙන වැලි කඳු මතින් ලිස්සා යෑමට අසමත්, නුපුහුණු පුද්ගලයන්ට, පුවරුව මත දිගා වී ලිස්සා යා හැකියි.

ඉර බැසයාම නිරීක්ෂණය කිරීම (theculturetrip.com)

ඒ වගේම පීරු වැලි කඳු නිම්නයේ දී ත්‍රාසජනක ‘රෝලර් කෝස්ටර්’ අත්දැකීමක් ලබා ගැනීමටත් සංචාරකයන්ට හැකියාව පවතිනවා. මඟීන් කිහිප දෙනෙකුට ගමන් කළ හැකි කුඩා ට්‍රක් රථයක් වැනි වාහනයට නගින සංචාරකයන් සියලු දෙනාව බියට පත් කරවාලමින්, එය වැලි කඳු සහ පල්ලම් දිගේ වේගයෙන් ධාවනය කරගෙන යෑමට දක්ෂ රියදුරන් සමත් වනවා. ඉතින් මේ අත්දැකීමත් ත්‍රාසයට ප්‍රිය කරන බොහෝ සංචාරකයන් විසින් නොවරදවාම විඳගන්නක්. හුවාකචිනා  නගරය වටා ක්ෂිතිජය දක්වා ඈතට විශාල වැලි කඳු විහිදී තිබෙනවා. ඒවා දෑසට දක්වන්නේ ඉතාමත්ම මනරම් දර්ශනයක්. කඳු නැගීමට ප්‍රිය කරන සංචාරකයන්ට මෙම වැලි කඳු නැග ඒ මතින් ඇවිද යාමේ හැකියාවත් පවතිනවා. කෙසේ නමුත් එය එතරම් පහසු කාර්යයක් නම් නොවෙයි. 

සංචාරක හෝටල් (theculturetrip.com)

ත්‍රාසජනක අත්දැකීම් ගණනාවක් විඳගැනීමේ රිසින් මෙහි පැමිණෙන විදේශ සංචාරකයන්ගේ ආහාර පාන අවශ්‍යතාවන් ඉෂ්ඨ කිරීමට, ඔවුන්ට සංග්‍රහ සත්කාර දැක්වීමට, මඟ පෙන්වීමට මෙන්ම ඔවුන්ට සවුදිය පිරීමට අවශ්‍ය සියලු ආකාරයේ වයින් සංචිත සැපයීමට ද පේරුහි වැලි කඳු අතර පවතින මෙම පාරාදීසයේ ජීවත්වෙමින් හෝටල් යනාදී ව්‍යාපාර කටයුතුවල නිරත වන හුවාකචිනා වැසියන් කටයුතු කරනවා. 

කවරයේ පින්තූරය (Reddit)

මූලාශ්‍රයයන්:

  • Huacachina, lonelyplanet.com

  • 10 Reasons Why You Should Visit Peru's Huacachina, theculturetrip.com

  • Huacachina, huacachina.com

  • Huacachina Travel Guide 2020, peruhop.com

  • 11 Awesome Things to Do in Huacachina in Peru, learningtobreatheabroad.com

Related Articles