හොල්මන් අවතාර වලට සුප්‍රසිද්ධ ස්ථාන කිහිපයක්

සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් ‘හොල්මන්’ හෝ භූතාත්ම පිළිබඳ ලොව අති බහුතර රට වල විවිධ විශ්වාසයන් තිබෙනවා. එසේම ඒ ඒ රටවල වැසියන් විසින් ඇතැම් ස්ථානයන් හා ගොඩනැගිලි අවතාර වලින් ගැවසීගත් ඒවා හැටියට නම් කොට තිබෙනවා. මේ ස්ථාන හෝ ගොඩනැඟිලි වටා ඒවාටම අනන්‍ය වූ අතීත කතා ද ගෙතී තිබෙනවා. මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නට අදහස් කළේ අවතාර වලින් ගැවසීගත් ඒවා හැටියට ලොව වටා ප්‍රසිද්ධියට පත් එවැනි ස්ථාන කිහිපයක් ගැන තොරතුරු යි.

ඕල්ඩ් චැන්ගි රෝහල – සිංගප්පූරුව

gov.sg

හොල්මන් අවතාර ගැවසෙනවායැයි සැලකෙන බොහෝ ස්ථානයන්ට සාපේක්ෂව මෙම ස්ථානය අලුත්. 1935 දී ඉදි කරන ලද, සිංගප්පූරුවේ ඕල්ඩ් චැන්ගි රෝහල දෙවන ලෝක යුද්ධ කාලයේ දී යොදා ගැණුනේ සිරකරුවන් රඳවා තැබූ වධකාගාරයක් ලෙස යි. ජපාන බුද්ධි අංශ විසින් පවත්වාගෙන ගිය මෙය ලෝක යුද්ධයෙන් පසු රෝහලක් ලෙස ස්ථාපිත කරනු ලැබූ අතර, 1997 වසරේ දී සම්පූර්ණයෙන්ම වසා දැමෙනවා. වර්තමානය වන විට මෙහි වධ දී මරා දැමුණු සිරකරුවන්ගේ භූතාත්ම මෙන්ම රෝහලේ දී මියගිය රෝගීන්ගේ ආත්මයන් ද සැරිසරන බව සිංගප්පූරුවේ ජනතාවගේ මතය යි. මෙය සම්පූර්ණයෙන් භාවිතයෙන් ඉවත් කිරීමට මේ විශ්වාස හේතු වූ බව පැවසෙන අතර, බරාඳ වල සැරිසරන මහල්ලෙකුගේ භූතාත්මයත්, නිතර කාමර වලට පැමිණෙන කාන්තාවකගේ භූතාත්මයත් මේ ස්ථානය අරබයා නිතරම කියැවෙන භූතාත්ම වෙනවා. මීට අමතරව කුඩා දරුවන්ගේ භූතාත්ම හා දෙවන ලෝක යුද්ධයේ දී මියගිය සෙබළුන්ගේ භූතාත්මත් මෙහි සැරිසරන්නේ යැයි අත්දැකීම වලට මුහුණ දුන් අයවලුන් පවසනවා. මීට අමතරව නිතරම පාහේ මර ලතෝනි ද ඇසෙන්නට වූ නිසා 1997 වසර වන විට මෙය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කිරීමට සිංගප්පූරු රජය තීරණය කළාලු.

මවුන්ඩ්ස්විල් සිරගෙදර

canyouactually.com

වසර සියයකට වඩා පැරණි අතීතයකට උරුමකම් කියන මවුන්ඩ්ස්විල් සිරගෙදර පිහිටා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියාවේ යි. මෙහි ඉතා දරුණු සිරකරුවන් රඳවා තිබූ අතර ඉතා දැඩි දඬුවම් පමුණුවන හා බොහෝ සිරකරුවන් මරා දැමුණු ස්ථානයක් හැටියට ප්‍රසිද්ධියක් උසුළනවා. නිතරම පාහේ මෙහි සිරකරුවන් ඉතා අඩු වාතාශ්‍රය සහිත කුඩා කුට වල රඳවා තිබූ අතර මේ නිසා කළකෝලාහල නිතර සිදු වී තිබෙනවා. මෙහි දී මරා දැමුණු බොහෝ සිරකරුවන් එල්ලීමෙන් හෝ විදුලි පුටුවේ හිඳුවා මරණයට පත් කොට තිබෙනවා. එමෙන්ම සිරකරුවන් අතර ඇති වූ ගැටුම් වලින් මියැදුණු ගණනත් සුළු පටු නැහැ. මේ සිරගෙදර 1995 වසරේ දී වසා දැමුණු අතර වර්ජිනියා වැසියන්ගේ විශ්වාසය වන්නේ මෙහි මියගිය බොහෝ දෙනාගේ ආත්මයන් තවමත් මෙහි සැරිසරන බවයි.

නෝර්වේ හි අකර්ෂුස් බලකොටුව

dreamstime.com

නෝර්වේ හි ඔස්ලෝ නුවර පිහිටා ඇති මෙම බලකොටුව ඉදි කර තිබෙන්නේ 14 වන ශතවර්ෂයේ යි. මෙය ඉතිහාසය පුරාවට බන්ධනාගාරයක් ලෙස භාවිතා කර ඇති අතර පසුකාලීනව නාසි හමුදා විසින් ද භාවිතා කොට තිබෙනවා.

මෙම බලකොටුව නෝර්වේහි භූතාත්ම වලට වැඩිම ප්‍රසිද්ධියක් උසුළන ස්ථානය වෙනවා. විශේෂයෙන්ම මෙහි දොරටු මුර කරන බලු අවතාරය ඉන් සුවිශේෂී යි. ඉතා විශාල කළු බල්ලකුගේ ඡායාවක් දොරටු අතර සැඟවී යනු බොහෝ දෙනා දැක තිබෙනවා. මීට අමතරව අශ්ව අවතාර ද සමහරුන් විසින් දැක තිබෙනවා. මෙම බලකොටුව තුලින් මර ලතෝනි නික්මීමත් නිතරම පාහේ දිස් වන්නේ යැයි පැවසෙන හිස නැති කාන්තා රුවත් නිසා බොහෝ දෙනා මෙහි යාමට පැකිලීමක් දක්වනවා.

ට්‍රාන්ස් ඇලගනි මානසික රෝහල

Wikimedia Commons

බටහිර ප්‍රාන්ත රෝහල ලෙස ද හඳුන්වනු ලබන මේ රෝහල පිහිටා ඇත්තෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ වන අතර ඉදි කරනු ලැබ ඇත්තේ 1864 වසරේ දී යි. මෙහි ඉතා දැඩි මානසික රෝග වලට ගොදුරුවූවන් විසූ අතර බොහෝ දෙනා මිය ගොස් ද තිබෙනවා. මෙය 1994 වසරේ දී වසා දැමුණා. කෙසේ නමුත් මෙහි භූතාත්ම රාශියක් වසර ගණනාවක් තිස්සේ සිරවී සිටින බව ඇමෙරිකානු වැසියන් විශ්වාස කරනවා. මෙය කාලයක් හමුදා මූලස්ථානයක් ලෙසද යොදාගෙන තිබෙනවා. වර්තමානය වන විට භූතාත්ම ගවේෂණය කිරීම සඳහා ද පිරිස මෙහි පැමිණෙනවා.

සුභ පැතුම් මාළිගය – දකුණු අප්‍රිකාව

Ossewa/Wikimedia Commons

පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම මඟින් 17 වන සියවසේ දී ඉදි කරන ලද මේ මාළිගය පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් ප්‍රදේශයේ යි. මෙය දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට යොදාගෙන තිබෙනවා.

මෙහි දිස් වූ පළමු භූතාත්මය 1915 වසරේ දී වාර්තා වී තිබෙනවා. මෙහි ගොස් සිටි අයෙකුට මාළිගයේ වහලයේ සිට උස් පුද්ගලයෙක් පහළට පනිනු දර්ශනය වී තිබෙනවා. ඉන් පසු මෙය කිහිප වතාවක්ම කිහිප දෙනෙකුටම දර්ශනය වී තිබෙනවා. මීට අමතරව ආගන්තුකයන් වෙත කඩා පණින කළු සුනඛයෙක් ද දර්ශනය වන්නට පටන් ගෙන තිබෙනවා. මින් අනතුරුව ඝණ්ඨා කුළුණ තුලින් ඝණ්ඨා නාදය ද සමහර විටෙක නික්මෙනවා. මෙම කුළුණ වසර සියගණනකට පෙර සම්පූර්ණයෙන් මුද්‍රා තබා තිබෙන්නේ එහි සිටි ආරක්ෂකයෙක් ඝණ්ඨා ලණුවෙන් ගෙළ වැලලාගෙන මිය යාමත් සමඟ යි. මීට අමතරව අළු පැහැ ඇඳුමින් සැරසුණු කාන්තාවක් ද මෙහි සැරිසරන බව පැවසෙනවා. කෙසේ නමුත් මෙහි කැණීම් කටයුතු වල දී හමු වූ කාන්තා මළ සිරුරක් නිසි ආගමික වතාවත් වලින් අනතුරුව භූමදානය කිරීම සිදු කොට ඇති අතර ඉන් අනතුරුව එම කාන්තාව දර්ශනය වීම නැවතී තිබෙන බව කියවෙනවා.

මූන් රිවර් ස්කාගාරය

pinterest.co.uk

මූන් රිවර් ස්කාගාරය පිහිටා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියාවේ සැවන්නා නුවර යි. මෙය බියර් කර්මාන්තශාලාවක් බවට පත් කළේ 1999 වසරේ මුත් මෙම ගොඩනැඟිල්ලට ක්‍රි.ව 1821 දක්වා විහිදෙන දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මෙය එකල හෝටලයක්ව පැවති අතර ඇමෙරිකානු සිවිල් යුද්ධය ඇවිළුණු සමයේ ඒ හා සබැඳි ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් සිදු වූ ස්ථානයක්. මෙහි මිනීමැරුම් පවා සිදු වී තිබෙන අතර මෙහි බියර් බෝතල් අදෘෂ්‍යමාන බලවේගයක් විසින් විසි කළ හා බිඳ දැමූ අවස්ථා මෙම කර්මාන්තශාලාවේ සේවයේ නියුත්තන් අත්විඳ තිබෙනවාලු. මීට අමතරව එහි සක්මන් කරන ‘ටෝබි’ නැමති අවතාරයත් සැවන්නා නුවර ඉතා ප්‍රසිද්ධ යි.

කවරයේ පින්තූරය -Thousand Wonders

මූලාශ්‍ර

  1. kayak.co.uk
  2. travelchannel.com

Related Articles