ශ්‍රී ලංකාවට නෑකම් කියන මැඩගස්කරය

මැඩගස්කරය අප්‍රිකාණු මහාද්වීපයට නැඟෙනහිරින් පිහිටි තරමක් විශාල දූපතක්. දකුණු  අර්ධගෝලයේ පිහිටා තිබුණත් මේ භූමි ස්කන්ධය කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන නෑකම නම් සුළු පටු නැහැ. එහි පරිසරය, ස්වභවික සම්පත් පමණක් නොවේ ජීවී ප්‍රජාවගේ පවා ශ්‍රී ලංකාවවේ ඒ ඒ සාධක වලට යම් යම් සමාන කම් පෙන්වනවා. ඈත අතීතයේ ගොඩ්වානාලන්තය පිහිටා තිබූ සමයේ ශ්‍රී ලංකාව මැඩගස්කරයට යාබදව එකම භූමි ස්කන්ධයක් සේ පිහිටා තිබුණු නිසා මේ සමානකම් නිරූපණය වන බවට ශාක්ෂි සොයාගෙන තිබෙනවා.

මැඩගස්කරයත් ශ්‍රී ලංකාව මෙන්ම ස්වභාවික සම්පත් හා සොබා සෞන්දර්යයෙන් පිරුණු දිවයිනක්. සංචාරක පාරාදීසයක් ලෙස ලොව පුරාම ජනප්‍රිය නොවී තිබුණත් මෙහි සෞන්දර්යය අත්විඳීමට කාලයක් වෙන් කර ගත්තා කියා කිසි ලෙසකින් ඔහුගේ හෝ ඇයගේ කාලය අපතේ යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි තීරණය කළා ශ්‍රී ලංකාවේ මේ ලේ ඥාතියා පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්නට.

මැඩගස්කරයේ පිහිටීම

මැඩගස්කරයේ පිහිටීම -tourinmadagascar.com

මැඩගස්කරය පිහිටා ඇත්තේ අප්‍රිකා මහාද්වීපයට කිලෝමීටර 400 ක් පමණ නැඟෙනහිරට වන්නටයි. වර්ග කිලෝමීටර 587,041ක් තරම් භූමි ප්‍රමාණයකට උරුමකම් කියන මේ දිවයින ලොව සිවුවැනියට විශාලතම දිවයිනයි. අපිකා මහාද්වීපය හා මැඩගස්කරය වෙන් වන්නේ මොසැම්බික් ඕඩයෙනුයි. කිලෝමීටර 4828 ක වෙරළ තීරයකට උරුමකම් කියන මැඩගස්කරයේ අගනුවර ඇන්ටනාරිවෝ නම් වෙනවා.

මැඩගස්කරයේ ඉතිහාසය

මීට වසර 2000 කට පෙර මැඩගස්කරය පැවතියේ ජනශුන්‍ය තත්ත්වයකයි. මැඩගස්කරයට ගොඩබට මුල්ම ජන කොට්ඨාසයක් ලෙස ඉන්දුනීසියානු ජාතිකයින් ඉතිහාසගත වනවා. ක්‍රි.ව 800 දී පමණ අරාබි ජාතිකයිනුත් මැඩගස්කරයට බලා යාත්‍රා කිරීමට පටන්ගත්තා. මැඩගස්කරයට පැමිණි පළමු යුරෝපීය ජාතිකයා ලෙස පෘතුගීසි නැවියෙකු වූ දියෝගෝ ඩයස් හැඳින්වෙනවා. කෙසේ නමුත් සෑහෙන කාලයක් මේ දූවට යුරෝපීය ජාතිකයින් ඒ තරම් උනන්දුවක් නොදැක්වූ අතර ක්‍රි.ව 17 වන සියවස වන තුරුම මුහුදු කොල්ලකරුවන්ගේ තිප්පොලක් වී තිබුණා.

පැරණි සිතියමක දැක්වෙන මැඩගස්කරය – lelibertalia.com

19 වන සියවසේ මුල් භාගයේ දී මෙරිනා නම් රාජධානියක් විසින් මැඩගස්කරයේ වැඩි කොටසක් අත්පත් කරගනු ලැබුවා. ක්‍රි.ව 1890 වන විට මහා බ්‍රිතාන්‍යය මැඩගස්කරයේ තමන්ට අයිති භූමි ප්‍රදේශ සම්පූර්ණයෙන් පාහේ අත්හැරි අතර ප්‍රංශය ඒවා සිය අණසකට නතු කරගත්තා. 1940 වසර වන තුරු ප්‍රංශයටද ඉන් අනතුරුව නැවත 1942 වසරේදී මහා බ්‍රිතාන්‍යටද නතු වූ මැඩගස්කරය දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැවතත් ප්‍රංශයට භාර වෙනවා. කෙසේ වෙතත් 1960 වසරේ ජුනි 26 වනදා මැඩගස්කරය ස්වෛරී රාජ්‍යයක් බවට පත් වනවා.

මැඩගස්කරයේ භූ විෂමතාව හා දේශගුණය

මැඩගස්කරය තුල භූ විෂමතා කලාප කිහිපයක්ම පිහිටා තිබෙනවා. නැඟෙනහිර වෙරළට වඩා ආසන්නව මධ්‍යම උස්බිම් පිහිටා ඇති අතර බටහිර භූමිය ඒ තරම් තීව්‍ර නොවූ බෑවුම් වලින් සමන්විත වෙනවා. මීට අමතරව දිවයිනේ උතුරින් පිහිටි සරටනනා කඳු පද්ධතියට අයත්ව මීටර 2876 ක් උස  මරොමොකොට්‍රෝ කඳු මුදුන පිහිටා තිබෙනවා. එය මැඩගස්කරයේ උසින් වැඩිම ස්ථානයයි.

මරොමොකොට්‍රෝ කඳු මුදුන -adventurepeaks.com

මධ්‍යම කඳුකරය මීටර 800 සිට 1800 දක්වා වූ සාමාන්‍ය උසකින් පිහිටා තිබෙන අතර මෙහි පසෙහි වර්ණය නිසා ‘විශාල රතු දූපත’ ලෙසද හැඳින්වෙනවා. මැඩගස්කරය සතුව ගංගා කිහිපයක්ද ඇති අතර ඒ අනුබද්ධව සුසැදි අලංකාර දියඇළි කිහිපයකින්ද සමන්විත වෙනවා.

මැඩගස්කරයේ දියඇල්ලක් -naturalworldsafaris.com

සමස්ථයක් වශයෙන් මැඩගස්කරයෙහි පවතින්නේ උපනිවර්ථන දේශගුණයක්. දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ප්‍රධාන වශයෙන් සෘතු 2ක් බලපැවැත්වෙන අතර නොවැම්බර් සිට අප්‍රේල් දක්වා උණුසුම්, තෙත් සමයක් පවතිද්දී මැයි සිට ඔක්තෝබර් දක්වා ශීතල, වියලි සමයක් මැඩගස්කරය අත්විඳිනවා. දිවයිනේ නැඟෙනහිර වෙරළ තීරයට වඩා වැඩි වර්ෂාවක් ලැබෙන අතර සමහර ප්‍රදේශ වලට වාර්ෂිකව මිලිමීටර 3500 ක පමණ වර්ෂාවක් ලැබෙනවා. බටහිර ඉවුර මධ්‍යම කඳුකරයට හා නැඟෙනහිර වෙරළට සාපේක්ෂව වියලි කාලගුණයක් අත්විඳින අතර දිවයිනේ දකුණු කෙළවර අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව වියලිම දේශගුණයක් අත්විඳිනවා. මැඩගස්කරය සමහර විටෙක චණ්ඩ මාරුත හා කුණාටු වලටත් භාජනය වනවා.

මැඩගස්කරයේ වෘක්ෂලතා හා සත්ත්ව ප්‍රජාව

මැඩගස්කරය ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ දූපතක් වෙනවා. මෙහි මැඩගස්කරයටම ආවේණික වූ ශාක හා සත්ත්ව විශේෂ රාශියක් ජීවත් වෙනවා. ඈත අතීතයේ ගොඩ්වානාලන්තය පැවති සමයේ දකුණු ඇමෙරිකාවට සම්බන්ධව තිබූ බව විදහා පාමින් දකුණු අමෙරිකාවෙන් හමුවන සමහර ශාක විශේෂ මැඩගස්කරයෙන්ද හමු වෙනවා. මැඩගස්කරයේ ජීවත් වන ක්ෂීරපායී විශේෂ 66 ම එම දූපතටම ආවේණික වෙනවා. මැඩගස්කරය අතීතයේදී ශ්‍රී ලංකාවටද සම්බන්ධ වී පැවති බවට සැලකෙන අතර මේ නිසා මෙහි ජීවත් වන සමහර සත්ත්වයින් ශ්‍රී ලංකාවට ආවේණික සමහර ජීවී විශේෂ වලට සමීප බන්ධුතාවක් දක්වනවා.

මැඩගස්කරයේ ලෙමුර් සතුන් ශ්‍රී ලංකාවේ උණහපුළුවන් ට සමීප බන්ධුතාවක් දක්වනවා -naturalworldsafaris.com

අතීතයේදී මැඩගස්කරය සම්පූර්ණයෙන්ම පාහේ වන වැස්මකින් ආවරණය වී තිබුණා. නමුත් කැලෑ ගිණි තැබීම හා වී වගා කිරීම සඳහා බිම් එලි කිරීම නිසා වර්තමානය වන විට ඉන් වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. මධ්‍යම කඳුකරය හා සරටමනා කඳු පද්ධතිය ආශ්‍රිතව වැසි වනාන්තර දැකගත හැකියි. භූමියේ බටහිර පෙදෙසේ වැඩිමනක්ම තෘණ භූමි දැකගත හැකියි. දකුණු අන්තයේ ඇති ශාක විශේෂ කාන්තාරික දේශගුණය සඳහා වූ අනුවර්තන පෙනවනවා.

මැඩගස්කරයේ දැනට ඉතිරි වී ඇති වනාන්තර තුළ විවිධ ශාක විශේෂ රාශියක් හමු වනවා. මේ දූපත සතුව ඕකිඩ්, කෙසෙල්, අඹ, පොල්, වැනිලා ඇතුළු විශේෂ 900 කට පමණ අයත් ශාක රාශියක් තිබෙනවා. යටත්විජිත සමයන් හීදී වගා කරන ලද යුකැලිප්ටස් ශාකද මෙහි දකින්නට පිළිවන්.

මැඩගස්කරයේ සංචාරක ස්ථාන

මැඩගස්කරය සංචාරකයින් අතර වඩාත් පරසිඳු සොබා සෞන්දර්යයෙන් සපිරි පාරාදීසයක් ලෙසයි. වසර පුරාවට මෙහි ස්වභාවික පරිසරයේ හැඩතල දැකබලා ගැනීමට නන් දෙසින් ජනයා මැඩගස්කරයට පැමිණෙනවා.

රැනොමෆානා ජාතික උද්‍යානය

nomadtours.co.za

රැනොමෆානා ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ මැඩගස්කරයේ දකුණු දිගට වන්නටයි. මෙය දිවයිනේ සුප්‍රසිද්ධම ජාතික උද්‍යානයක් වෙනවා. මෙහි නැඟෙනහිරට වන්නට කඳුකරයෙන් කඩා හැලෙන දිය දහරාත් හොඳින් වැඩුණු තුරු ගොමුත් දැකගන්නට පිළිවන්. මේ ජාතික උද්‍යානය Golden Bamboo Lemur නම් තර්ජනයට ලක් වූ සත්ත්වයාගේ වාස භවන වෙනවා.

Golden Bamboo Lemur -jodoc.us

ඉසාලෝ ජාතික උද්‍යානය

naturalworldsafaris.com

ඉසාලෝ ජාතික උද්‍යානය එහි විශේෂිත භූ විෂමතා ලක්ෂණ වලට ප්‍රසිද්ධියක් උසුළනවා. මැඩගස්කරයේ මධ්‍යම කඳුකරයෙන් දකුණු දිගට වන්න්නට පිහිටා ඇති මෙහි තෘණ භූමි, තීව්‍ර බෑවුම් සහිත ගල් කඳු මෙන්ම කුඩා විල්ද පිහිටා තිබෙනවා.

Tsingy de Bemaraha

starry-starry-nights.com

යුනෙස්කෝ ලෝක උරුමයක් වන මේ රක්ෂිතය තුළ හුණුගල් වලි සුසැදි පර්වත රාශියක් පිහිටා තිබෙනවා. දිවයිනේ බටහිර වෙරළාසන්නව පිහිටා ඇති මෙහි කඩොලාන වනයක්ද පිහිටා තිබෙනවා. මෙය ලෙමුර් සත්ත්වයින් විශේෂ 7 කටම වාසභවන සපයනවා.

නොසි බේ

naturalworldsafaris.com

කුඩා දූපතක් වන නොසි බේ මැඩගස්කරයේ සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනා තිබෙන ස්ථානයක් වෙනවා. මෙහි ඇති නිස්කලංක, පිරිසිදු වෙරළ මේ ඉහළ සංචාරක ආකර්ෂණයට හේතු වශයෙන් හඳුනාගත හැකියි.

බයෝබැබ් මාවත

Family without borders.com

ඉතා රමණීය නෙත් රසඳුනක් මවන මේ බයෝබැබ් ශාක පෙළ සංචාරක ආකර්ෂණය නොමඳව දිනාගැනීමට සමත්ව තිබෙනවා. වසර 800 ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන මේ ශාක ඝණ වනයක් මැද පිහිටා තිබී ඇති අතර පසුව වනය එළි පෙහෙළි වීමත් සමඟ මෙලෙස තෘණ භූමියක් මත ශේෂ වී තිබෙනවා.

මැසොආලා ජාතික උද්‍යානය

travelmadagascar.org

මැඩගස්කරයේ ඊසානදිග පෙදෙසේ පිහිටා ඇති මැසොආලා ජාතික උද්‍යානය වර්ග සැතපුම් 250ක් පමණ වන වැසි වනාන්තරක් හා  තවත් පරිසර පද්ධතීන්ගෙන් සමන්විත උද්‍යානයක් වෙනවා. මෙහි ලෙමුර් විශේෂ 10 ක, ආයි ආයි නම් ප්‍රයිමේටාවන්ගේ මෙන්ම විශේෂ රාශියක පක්ෂීන් හා උරගයින්ගේ වාස භවන වෙනවා.

කවරයේ පින්තූරය – madagaskar.com

Related Articles