Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් සමඟ මතු වන වෙස්වලා ගත් දේශපාලනය

 ජාත්‍යන්තර මට්ටමෙන් තරගකාරී වූ ක්‍රීඩා සැලකීමේ දී ඉන්දියාව ලෝකය තුළ එතරම් දස්කම් දැක් වූ රාජ්‍යයක් නොවෙයි. මේ දක්වා ඔලිම්පික් පදක්කම් කිහිපයක් දිනා සිටියත්, ජනගහනයට සාපේක්ෂ ව ඔලිම්පික් පදක්කම්වල සාමාන්‍ය අගය අතින් ඉන්දියාව ඉතාම පහළ මට්ටමක සිටිනවා.

විශාල ජනගහනයක් සහිත ආර්ථික බලවතකු ලෙස රග්බි, පාපන්දු, මලල ක්‍රීඩා වැනි ඉහළ තරගකාරීත්වයෙන් යුතු ක්‍රීඩා වලට අවශ්‍ය භෞතික සම්පත් සහ දක්ෂයන් බිහි කිරීම ඉන්දියාවට දැවැන්ත අභියෝගයක් නොවෙයි. නමුත්, දශක කිහිපයක පටන් ක්‍රීඩාවෙන් ඉන්දියාව ජාත්‍යන්තරයට ගෙන යෑම සඳහා වැඩි වගකීමක් ඉටු කළේ ක්‍රිකට් ක්‍රිඩාව යි. කලකට ඉහත ක්‍රිකට් තරමට ම හොකී ක්‍රීඩාවෙන් ලෝකය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණත්, ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් තරමට ම ඉන්දීය වැසියන්ගේ ජීවිතය සමඟ බද්ධ ව පවතිනවා. 

ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගනිමින් ක්‍රීඩා කිරීමට කණ්ඩායම් දෙක ම උත්සහ කළා – thebridge.in

කුලය, ආගම, ප්‍රදේශය, ජාතිය අනුව ගැඹුරින් බෙදී සිටින ඉන්දියානුවන් එක්සත් කරන ප්‍රබලත ම සාධකය වන්නේ ක්‍රිකට්. එබැවින්, ක්‍රිකට් තරගයක් අතරතුර ඉන්දියාවට සහාය දැක්වීම මඟින් තම දේශප්‍රේමීත්වය උපරිමයෙන් ලෝකය හමුවේ පෙන්වීමට ඉන්දියානුවකුට හැකි වෙනවා. නමුත්, එක්තරා ප්‍රතිවාදියෙක් ඉන්දියාවේ දේශප්‍රේමීත්වය පිටිය මත දී අභියෝගයට ලක් කරනවා. ඒ පාකිස්තානය යි.

ඉන්දියාවට අමිහිරි පරාජයක්

2021 T20 ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ ව පසුගිය ඔක්තෝබර් 24 වැනිදා පැවති තරගයෙන් ඉන්දියාව පාකිස්තානය හමුවේ කඩුළු 10 කින් පරාජයට පත් වුණා. ඉන්දියාව ලකුණු 152 ක ඉලක්කයක් පාකිස්තානයට ලබා දුන් අතර, කිසිදු කඩුල්ලක් කැප නොකොට එය හඹා ගොස් ජයග්‍රහණය කිරීමට පාකිස්තානයේ බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් සමත් වුණා.

පරාජයකින් තරගාවලිය ඇරඹීම ඉන්දීය ප්‍රේක්ෂකයන්ට ඉවසිය හැකි වුවත්, පාකිස්තානයෙන් එම පරාජය ඇරඹීම ඔවුන්ට ඉවසුම් දුන්නේ නැහැ.

පාකිස්තානය ජයාග්‍රහණය කරා ගෙන ගිය අසාම්-රිස්වාන් දෙපළ –  www.espncricinfo.com 

ශාමි වෙනුවෙන් කෝලි පෙරට

 එදින තරගයට සහභාගී වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සෑම සාමාජිකයකු ම පරාජයට වග කිව යුතු වුණත්, ප්‍රේක්ෂකයන්ගේ තරග විවේචනය තනි පුද්ගලයකු මත පැටවෙන ස්වභාවයක් දකින්නට ලැබුණා. ඉන්දීය වේග පන්දු යවන්නකු වූ මොහොමඩ් ශාමි මෙලෙස ප්‍රේක්ෂකයන්ගේ වාග් ප්‍රහාරවලට ලක් වුණා.

තරගය අවසාන වී දින කිහිපයක් යනතුරුත් සමාජ ජාලා ඔස්සේ මොහොමඩ් ශාමි අපහසුතාවට පත් කිරීම නැවතුණේ නැහැ. මොහොමඩ් ශාමි ද්‍රෝහියකු බවත්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් ඔහු වහාම ඉවත් කළ යුතු බවත්, සමාජ ජාලා ඔස්සේ ඇතැමුන් අදහස් දක්වා තිබුණා.

මොහොමඩ් ශාමි – scroll.in 

 ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි එදින ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළ එක ම මුස්ලිම් සම්භවය සහිත සාමාජිකයා වන්නේ මොහොමඩ් ශාමි. මුස්ලිම් ජාතිකයන් අති බහුතරයක් වෙසෙන පාකිස්තානයට ඔහු යම් පක්ෂපාතීත්වයක් දැක් වූ බව ඇතැමුන්ගේ අදහස වුණා. විරෝධය තරමට ම මොහොමඩ් ශාමිට සහාය පළ කරමින් සහ ඔහුගේ මානසික තත්ත්වය ශක්තිමත් කරන අටියෙන් අදහස් දැක්වූ ඉන්දීය ප්‍රේක්ෂක බහුතරයක් ද සිටිනවා.

 විරෝධතා හමුවේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් මොහොමඩ් ශාමිට විශාල සහයක් ලැබී තිබුණා. ශාමි ආරක්ෂා කර ගැනීම සඳහා විරාත් කෝලි ඉදිරියට පැමිණීම එහිදී වඩාත් කැපී පෙනුණා. කෝලි ශාමිගේ විවේචකයන්ට එරෙහි ව දැඩි වාග් ප්‍රහාර එල්ල කළ අතර, ඔවුන් කොඳු ඇට පෙළක් රහිත, ඛේදනීය මිනිසුන් කොටසක් ලෙස විරාත් කෝලි හඳුන්වා දී තිබුණා.

“ආගම භාවිත කරමින් යමකුට පහර දීම මනුෂ්‍යයකුට කළ හැකි නරක ම දෙයක්. ජයග්‍රහණය වෙනුවෙන් අපි පිටියේ දී කොතරම් උත්සාහයක් ගත්තාදැ යි ඔවුන්ට අවබෝධයක් නැහැ. පසුගිය අවුරුදු කිහිපය තුළ මොහොමඩ් ශාමි තරග රැසක් ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක වූ අන්දම ගැනත් ඔවුන්ට අවබෝධයක් නැහැ. අවංකව ම ඒ වගේ මිනිස්සු වෙනුවෙන් එක විනාඩියක්වත් මගේ ජීවිතයෙන් කැප කරන්න මං සූදානම් නැහැ. ශාමි ඇතුළු කණ්ඩායමේ වෙන කිසිම කෙනෙක් ඒ වෙනුවෙන් වද වෙන්න කැමතිත් නැහැ.”

උද්ගත වූ තත්ත්වය හමුවේ විරාත් කෝලි එවැනි දැඩි ස්ථාවරයක සිටියත්, විවේචකයන් දුර්මුඛ වුණේ නැහැ.

තරග පරාජයෙන් පසු විරාත් කෝලිටත් අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වුණා – newslivetv.com 

කෝලිටත් තර්ජන!

 විරාත් කෝලි සහ ඔහුගේ බිරිය වන අනුෂ්කා ශර්මාගේ දියණිය සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා එල්ල වූ දූෂණ තර්ජනයක් ගැන දිල්ලියේ කාන්තා කොමිසම (DCW) අවධානය යොමු කොට තිබෙනවා. කෝලි-අනුෂ්කා දෙපළගේ මාස නවයක් පමණ වයසැති දියණිය ඈදා ගනිමින් සිදු කළ මෙම තර්ජනය ඉතා ලැජ්ජා සහගත බව DCW හි සභාපති ප්‍රකාශ කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නිසි පියවර වහා ම ගත යුතු බව DCW ආයතනය දිල්ලි පොලිසියට දන්වා ඇති අතර, වරදකරු හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැනටමත් අරඹා තිබෙනවා. පාකිස්තානය හමුවේ අත් වූ පරාජය සහ මොහොමඩ් ශාමි වෙනුවෙන් පෙනී සිටීම නිසා විරාත් කෝලි මෙවැනි හද පාරවන සිදුවීමකට මුහුණ දුන් බව විමර්ශකයන් සැක පහළ කරනවා.

පාකිස්තානයේ ජයග්‍රහණය ඉන්දියානුවෙක් නරඹන අයුරු – theconversation.com 

තරගාවලිය තුළ ඉන්දියාව ‍යම් ජයාග්‍රාහී මාවතකට දැන් පිවිසී තිබෙන හෙයින්, විවේචන එල්ල වීම බොහෝ සෙයින් අඩු වී ඇති අතර, ක්‍රීඩාවේ ජීව ගුණය ගැන සංවේදී වන ඉන්දියානුවන් නිසා අන්තර්ජාලයෙන් එල්ල වන අපහාසත් බොහෝ දුරට අඩු වුණා.

කෝලි ඇතුළු ක්‍රිකට් කණ්ඩායමේ සංයමය සහ ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් පෙනී සිටින ඉන්දියානුවන් නිසා “ආගම්වාදය” නමැති පන්දුව පිටියේ සීමාවෙන් ඔබ්බට යැවීමට සමත් වුණත්, ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලනික විරසකය පිටිය ආක්‍රමණය කරමින් තිබෙනවා. 

නෆීසා අටාරි –  www.bbc.com 

ගුරුවරියක් අත්අඩංගුවට

 උතුරු ඉන්දියාවේ උදායිපූර් ප්‍රදේශයේ නෆීසා අටාරි නමැති පාසල් ගුරුවරියක් තරගය අතරතුර සහය පළ කළේ පාකිස්තානයට යි. ජය සමරමින් “වට්ස් ඇප්” හරහා ඇය තැබූ සටහන ඇයගේ සිසුවකුගේ මව්පියන් දැක තිබූ අතර, මොහොතකින් එම සටහන ප්‍රචලිත වීම ඇරඹුණා. ඒ සමඟම අටාරිට සිය රැකියාව අහිමි වුණා. දින කිහිපයකට පසු ජාතික ඒකාබද්ධතාට අගතියක් වන ප්‍රකාශ සිදු කිරීමේ වරදට ඇයව අත් අඩංගුවට ගැනුණා. ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක පසු දිනෙක පෙනී සිටිමින් අටාරි පාකිස්තානයට සහය දැක්වීම වෙනුවෙන් සමාව අයැද සිටියා.

“යමෙක් මට පණිවිඩයක් එවා මා පාකිස්තානයට සහය දක්වනවාදැ යි විමසුවා. පණිවිඩයේ ඉමොජි කිහිපයක් සහ මිත්‍රශීලි වාතාවරණයක් යටතේ අපේ පණිවිඩ හුවමාරු වූ නිසා මා ‘ඔව්’ යනුවෙන් ප්‍රතිචාර දැක්වූවා. මා පාකිස්තානයට ළැදි යි කියා එයින් අදහස් වෙන්නේ නැහැ. මා ඉන්දියානුවෙක්. මා ඉන්දියාවට ආදරෙයි”

මාධ්‍ය හමුවේ අටාරි සිය අදහස් දක්වා තිබුණා. ඇප ලැබීමෙන් පසු නැවත නිවසට පැමිණි ඇය, සිය පවුලේ සමාජිකයන් සමඟ, ඇයට ගොනු වූ චෝදනාවලට එරෙහි ව සටන් කරමින් සිටිනවා.

 “පොලිසිය සිදුකර ඇති දේ සම්පූර්ණයෙන්ම වැරදි යි. යමෙකු ඔබත් සමඟ එකඟ නොවූ පමණින් එය අපරාධයක් හෝ ජාතික විරෝධී ක්‍රියාවක් වන්නේ නැහැ. මෙය ව්‍යවස්ථාවට හා අපේ නීතිවලට පටහැනි යි.”

නසීෆා අටාරි වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා සිය මතය ගෙන හැර දැක්වූවා.

හුදෙකලා සිදුවීම් රැසක්

 ලෝකයේ විශාලත ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස භාෂණයේ නිදහස අභියෝගයට ලක් කරමින්  ඉන්දියාව තුළ මෙවැනි අත්අඩංගුවට ගැනීම් කිහිපයක් පසු ගිය දින කිහිපය තුළ සිදු වුණා. මෙම සිදුවීම් හරහා පාලක භාරතීය ජනතා පක්ෂය හින්දු ජාතිකවාදයක් කරා යමින් මුස්ලිම් ජාතිකයන් අපහසුතාවට පත් කිරීමේ අලුත් ම න්‍යාය පත්‍රයකට අර අඳිමින් සිටින බව ඇතැම් නිරීක්ෂකයන් පෙන්වා දුන්නා. නමුත්, ඉන්දීය රජය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කොට තිබුණා.

 චෝදනා හමුවේ ඉන්දීය රජය ස්ථාවරය කුමනාකාරයෙන් පැවතුණත්, පාකිස්තානයට සහය දැක්වීම නිසා අපහසුතාවට පත් වූ ඉන්දියානුවන් පිළිබඳ හුදෙකලා සිදුවීම් වාර්තා වීම එයින් නතර වුණේ නැහැ. ප්‍රාන්ත තුනක බලධාරීන් ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහයේ විවිධ වගන්ති ගෙන හැර පාමින් පාකිස්තානයේ ජය සැමරූ ඉන්දියානුවන් කිහිප දෙනකු අත් අඩංගුවට ගෙන තිබුණා.

ඉන්දීය රජය ස්ථාවරය

උත්තර් ප්‍රදේශ් හි පුද්ගලයන් හත් දෙනකු රඳවා ගැනීමට ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අතර, එයින් එක් අයකුට රාජ්‍ය විරෝධී චෝදනා එල්ල වුණා. විවිධ කණ්ඩායම් අතර එදිරිවාදිකම් ප්‍රවර්ධනය කිරීම, සාමය කඩ කිරීමේ අරමුණින් හිතා මතා අපහාස කිරීම, සයිබර් ත්‍රස්තවාදය, වැනි විවිධ චෝදනා අත් අඩංගුවට ගත් පිරිස් වලට එල්ල වුණා.

ආන්දෝලනාත්මක ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයේ පාකිස්තානයට සහය දැක්වූ වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසක් රඳවා ගැනීමත් සමඟ තත්ත්වය වඩාත් උණුසුම් අතට හැරුණා. ජම්මු සහ කාශ්මීරය කලක පටන් ඉන්දු-පාකිස්තාන අර්බුදයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබීම එයට හේතුව යි.

පණ පිටින් හම ගසනු!

වෛද්‍ය ශිෂ්‍යන්ගේ සිදුවීමත් සමඟ කාශ්මීර ප්‍රදේශයේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන හිටපු නීති සම්පාදකයකු වූ වික්‍රම් රන්ධවා, වෛරී සහගත ප්‍රකාශයක් සිදු කළා. ඉන්දීය භූමියේ පාකිස්තානයට සහය දැක් වූ වෛද්‍ය ශිෂ්‍යයන් පණ පිටින් සම ගසා දැමිය යුතු බවත්, ඔවුන්ගේ උපාධි සහ පුරවැසිභාවය අහෝසි කළ යුතු බවත්, වික්‍රම් රන්ධවා පැවසුවා.

ඉන්දියාවේ ක්‍රිකට් ලෝලීන් පවා උද්ගත වූ තත්ත්වය කෙසේ හෝ සමාජ මාධ්‍ය භාවිතයෙන් ම සමනය කිරීමට උත්සහ ගන්නා අතරේ දේශපාලක‍යෙක් කාශ්මීරයේ මුස්ලිම් මිනිසුන්ට එරෙහි ව ප්‍රචණ්ඩත්වය ඉල්ලා සිටීම බොහෝ දෙනකුගේ කෝපයට හේතු වුණා. වෛරී සහගත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් වික්‍රම් රන්ධවා පොලිස් භාරයට ගත් අතර, භාරතීය ජනතා පක්ෂය ඔහුට තරයේ අවවාද කොට තිබුණා. 

සහාය ඉන්දියාවට ම විය යුතු ද?

වික්‍ම්ර රන්ධවා වැන්නවුන් ගේ ක්‍රියා භාරතීය ජනතා පක්ෂය ප්‍රතික්ෂේප කළත්, පාකිස්තානයට සහාය දැක් වූ ඉන්දීය ජාතිකයන් හෙළා දැකීම සුදුසු යන මතයේ ඔවුන් සිටිනවා. ඇතැමුන් එය දකින්නේ අපරාධයක් ලෙසට යි. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු සහ දේශපාලකයකු වන ගෞතම් ගම්භීර් පවා පාකිස්තානයේ ජය සැමරූ ඉන්දීය ජාතිකයන් අනුමත කළේ නැහැ. අත් අඩංගුවට ගත් ඇතැමුන්ට නීතිමය සහය ලබාදීම පවා ඇතැම් නීතිඥවරුන් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

 මෙම අර්බුදය හමුවේ ප්‍රධාන වශයෙන්  මත දෙකක් දරන පිරිසක් ඉන්දියාවේදැන්  බිහි වී තිබෙනවා. එක් පාර්ශවයක් පාකිස්තානයට සහය දැක්වීම ද්‍රෝහී ක්‍රියාවක් හෝ අපරාධයක් ලෙස දකින අතර, අනෙක් පාර්ශවය තමා කැමති අදහසක් දැරීමේ අයිතිය හා භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා. අමිත් වර්මා කියන්නේ මේ දෙවැනි පාර්ශවය නියෝජනය කරන පුද්ගලයෙක්. ඔහු ඉන්දියාවේ “The Seen and the Unseen” නම් ප්‍රකට පොඩ්කාස්ට් වැඩසටහනේ සත්කාරකත්වය දරන්නෙක්.

 “අපි මෙතන දකින්නේ භාරතීය ජනතා පක්ෂයේ හින්දු ඡන්ද තවත් තහවුරු කර ගැනීමේ දේශපාලන ක්‍රියාවලියක් විතර යි. ගව ඝාතනය, හින්දු-මුස්ලිම් විවාහ, පාකිස්තානයට සහය දක්වන ඉන්දියානුවන් යන මේ සියල්ල ම අපේ දේශපාලනයේ දශක ගණනාවක් තිස්සේ නිද්‍රාශීලි ව පවතින එහෙත්, ආයුධවලින් සන්නද්ධ කළ ගැටලු. මේ එකකටවත් කිසි ම හරයක් නැහැ. ඒවා මුස්ලිම් විරෝධී අදහස් කුළු ගන්වන ප්‍රශ්න විතර යි. අවාසනාවට ඒවා වේගයෙන් පැතිරෙනවා.”

අමිත් වර්මා දරන්නේ එවැනි අදහසක්. 

“ප්‍රතිවාදී ක්‍රිකට් කණ්ඩායමකට සහය දීම අපරාධයක් වුණේ කවදා ද?’

සමාජ විචාරකයෙකු සහ ක්‍රිකට් මාධ්‍යවේදිනියක වන ෂර්දා උග්‍රා විමසා සිටිනවා. ඇය එම පැනය නඟන්නේ ප්‍රබල තර්කයක් මත පිහිටා වීම විශේෂත්වයක්.

“එක්සත් රාජධානිය හෝ ඕස්ට්‍රේලියාවේ සිටින ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන් ඉන්දියාවට සහය දැක්වීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත යුතු ද? මේක පැහැදිලිව ම ආගමික වශයෙන් දෙපාර්ශවයක් කුපිත කරවන්න හිතාමතාම සිදු කළ දෙයක්”

සැබැවින් ම  ඉන්දීය පොලිසිය මෙම අත් අඩංගුවට ගැනීම් සිදු නොකළා නම්, සමාජ මාධ්‍ය තුළ හටගත් මොහොමඩ් ශාමිගේ අර්බුදය, සමාජ මාධ්‍ය හරහා ම විසඳා ගත් පසු අවසාන කිරීමට ඕනෑ තරම් අවකාශ තිබුණා.

ක්‍රිකට් යනු ඉන්දියානුවන් සහ පාකිස්තානුවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ගොඩ නඟන තෝතැන්නක්. නමුත්, දෙරටේ දේශපාලනයට එවැන්නක් අවැසි නැහැ – www.thestatesman.com 

ක්‍රිකට්, මනෝභාවය සහ දේශපාලනය

 පැහැදිලිවම ක්‍රිකට් යනු ඉන්දියාවේ සහ පාකිස්තානුවන් ගේ මනෝභාවයේ ම කොටසක්. ඉන්දීය ප්‍රේක්ෂකයන් අතිශයින් සංවේදී වූ ඇතැම් පරාජයන් හමුවේ ක්‍රියා කළ අන්දම අපේ මතකයෙත් තිබෙනවා. දේශපාලකයන් බලය උදෙසා එවැනි මනෝභාවයන් තුළට ඇතුළු වීමට විශේෂ කැමැත්තක් දක්වනවා. පාකිස්තානය තුළ පවතින තත්ත්වයේත් විශාල වෙනසක් නැහැ. උදාහරණයක් ලෙස 2016 දී තරගයක් අතරතුර විරාත් කෝලිගේ පාකිස්තාන රසිකයෙක් ඔහුට ගෞරවයක් ලෙස ඉන්දියානු ධජය දැරූ අතර, පසු ව ඔහු අත් අඩංගුවට පත් වුණා.

 ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගැනීමට කොතෙක් උත්සහ කළත්, ඉන්දියාවේ සහ පාකිස්තානයේ දේශපාලනයට එවැන්නක් අවශ්‍ය නැති බවක් පෙනී යනවා. ප්‍රකාශනයේ නිදහස හකුළමින් ඉන්දියාව සිදු කළ අත් අඩංගුවට ගැනීම් නිසා ක්‍රීඩාව තුළ දී හෝ දෙරට අතර මිනිසුන්ගේ අවබෝධය දියුණු කර ගැනීමේ අවස්‍ථාව මඟ හැරී යනවා. සරලව ම ඉන්දියාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන විට ඔවුන් අතරින් රිංගා යන්නේ “ආගම්වාදය” නොවෙයි. ආගම්වාදය ලෙස වෙස් වලා ගත් දේශපාලනය යි.

කවරයේ ඡායාරූපය: ඉන්දියානු ධජය සහ පාකිස්තාන ධජය මුහුණුවල පින්තාරු කර ගත් ක්‍රිකට් රසිකයෝ - gettyimages.com

මූලාශ්‍ර:

www.bbc.com

theconversation.com

www.aljazeera.com 

www.voanews.com

www.dawn.com 

Related Articles