Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මානුෂීය අර්බුදයක් වූ එක්සත් රාජධානි බලශක්ති බිල්පත් වැඩි වීම

එක්සත් රාජධානියේ බලශක්ති බිල ඔක්තෝබර් මාසයේ සිට සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය ගෘහස්ථ ගෑස් සහ විදුලි බිලක් 80% න් පමණ ඉහළ යනු ඇති. මෙම තීරණය ගෙන තිබෙන්නේ “Ofgem (Office of Gas and Electricity Markets)” නියාමකය වන අතර, එය එක්සත් රාජධානියේ ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියා කරමින් රට තුළ ක්‍රියාත්මක වන ගෑස් සහ විදුලි සමාගම් නියාමනය කිරීම සහ අධීක්ෂණය කරනවා. 

“Ofgem” නියාමකයේ මූලික අරමුණ වන්නේ පාරිභෝගික අවශ්‍යතා ආරක්ෂා කිරීම යි. විශේෂයෙන් ම බලශක්ති අවශ්‍යතා හමුවේ වඩාත් අවදානමට ලක් විය හැකි සමාජ ස්ථර හඳුනා ගනිමින් ඔවුන්ට සාධාරණව සැලකීම “Ofgem” හි ප්‍රධාන කාර්යභාරයක් ලෙස ප්‍රකාශ වන අතර, හරිත සංකල්ප ඔස්සේ ප්‍රතිලාභ ලබා දීමත් ඔවුන් ගේ අරමුණු අතර තිබෙනවා. එහෙත්, මෙවර “Ofgem” ගත් තීරණය ගැටලු රාශියකට අත වැනීමක් බඳු යි.

එක්සත් රාජධානියේ ගෑස් අවශ්‍යතාව පූර්ණය වන අයුරු – www.arrowcommunications.co.uk

එක්සත් රාජධානිය මේ වනවිට බලශක්ති අර්බුදයක් දක්වා ගමන් කරමින් සිටින අතර, මාසික ආදායමෙන් සැලකිය යුතු කොටසක් බලශක්ති අවශ්‍යතා සඳහා වෙන් කිරීමේ හැකියාවක් බොහෝ මිනිසුන්ට නැහැ. අසාමාන්‍ය බලශක්ති බිල්පත් වැඩි වීම මානුෂීය අර්බුදයක් දක්වා ම ගමන් කිරීමේ අවදානමක් ඇති බව ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. එළඹෙන අවසාන මාස කිහිපය තුළ එක්සත් රාජධානිය ශීත සෘතුවට සූදානම් විය යුතු බැවින්, එරට බලශක්ති අවශ්‍යතා කැපී පෙනෙන අන්දමින් ඉහළ යෑම ඊට හේතුව යි.

“කරන්ට් වදින” බිලක්!

එක්සත් රාජධානියේ ගෘහස්ථ බලශක්ති බිල්පත් මිල සීමාවේ වාර්ෂික සාමාන්‍ය අගය පවුම් 1971 ක් පමණ වෙනවා. එම මිල සීමාව සැප්තැම්බර් 30 දක්වා බලපැවැත්වෙන අතර, ඔක්තෝබරයේ සිට පවුම් 3549 දක්වා ඉහළ යනු ඇති. පසුගිය වසර කිහිපය තුළ බිල්පත් මිල සීමාවේ වාර්ෂික අගය පවුම් 1100 ක් වැනි අගයක තමයි පැවතුණේ.

විචලනය වන බලශක්ති ගාස්තු හේතුවෙන් අපහසුතාවට පත්වන මිලියන ගණනක් වූ ගෘහස්ථ ඒකක සඳහා “Ofgem” ලබා දුන් පිළිතුරක් ලෙස “මිල සීමාව” හැඳින්විය හැකි යි. එය 2019 ජනවාරි මස පළමුවැනි දා පටන් ක්‍රියාත්මක වෙනවා. නිවැසියෙක් භාවිත කරන සෑම ගෑස් සහ විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදලේ සීමාවක් එමඟින් ඇති කරන අතර, උපරිම ස්ථාවර දෛනික ගාස්තුවක් ද නියම වෙනවා.

ගෘහස්ථ ඒකකවල ස්වභාවය අනුව බලශක්ති බිල්පතත් වෙනස් වෙනවා. පරිභෝජනයේ සීමා අනුව ඒ වෙනස් වීම පාලනය කළ හැකි යි – www.bbc.com 

 ඔක්තෝබර් පටන් පැනවෙන පවුම් 3549 මිල සීමාව යනු උපරිම බලශක්ති බිල්පත් අගය නොවෙ යි. වාර්ෂික ගෘහස්ථ බලශක්ති පරිභෝජනය කිලෝවොට්-පැය 12,000 ක් ලෙස උපකල්පනය කරමින් වර්තමාන මිල සීමාවේ තිබෙන සාමාන්‍ය ගෘහස්ථ බිල්පතක අගය කොපමණ ගුණයකින් වැඩිවේ ද යන්න ඉන් පෙන්නුම් කෙරෙනවා. ඒ අනුව මිල සීමාව පැනවූ 2019 වර්ෂයට සාපේක්ෂ ව තුන් ගුණයකට අධික මුදලක් බලශක්ති පරිභෝජනය උදෙසා වෙන් කිරීමට එක්සත් රාජධානියේ මිනිසුන් ට සිදු වේවි.

රුසියාවෙන් නොයැපෙන යුගයක්

කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර වැඩිවීමත් සමඟ මුළු ලෝකය ම අකර්මණ්‍ය වූ කාලපරිච්ඡේදයක් ගත කළ අයුරු ඔබට මතක ඇති. සංචරණ සීමා පැනවීම නිසා බලශක්ති අවශ්‍යතාව යම්තාක් දුරකට එම අවධියේ දී අවම වුවත්, සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ ඉල්ලුම වැඩි වී බලශක්ති ප්‍රභවවල තොග මිල ඉහළ යෑම ඇරඹුණා. එය යම්තාක් දුරකට පාලනය කළ හැකි හෝ තාවකාලික මිල වැඩි වීමක් ලෙස පෙනෙන්නට තිබුණා. රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ බලශක්ති අර්බුදයක් ගෝලීය මට්ටමෙන් නිර්මාණය වුණා. එහි බලපෑම සෘජු ව එල්ල වූයේ යුරෝපා කලාපයට යි. රුසියාවේ සැපයුම් හරහා යුරෝපයේ බලශක්ති අවශ්‍යතාව සැලකිය යුතු මට්ටමකින් ඌණ පූර්ණය වන බැවින්, පවත්නා ගෝලීය දේශපාලන උණුසුම යුරෝපා කලාපයට අහිතකර බලපෑම් එල්ල කළා.

බලශක්තිය අරභයා රුසියාව මත යැපීමේ යුගය හමාර කිරීමට ඇතැම් යුරෝපා රටවල් උත්සහ කළේ මේ අතරතුර යි. ඒ ව්‍යායාමය තවමත් සාර්ථක වී නැහැ. එහි වන්දිය ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය පුරවැසියා මත පැටවෙන පසුබිමක් යුරෝපය පුරා නිර්මාණය වෙමින් තිබෙන අතර, එක්සත් රාජධානියේ තත්ත්වය ඉන් වඩාත් කැපී පෙනුණා.

බලශක්ති අර්බුදයෙන් පීඩා විඳින එකම යුරෝපීය රට එක්සත් රාජධානිය නොවෙයි. මේ පින්තූරයෙන් දැක්වෙන්නේ ජර්මනියේ බර්ලින් වීදියක අර්ධ වශයෙන් දැල්වෙන වීදි ලාම්පුවක් – www.thehindu.com 

ඉදිරිය තවත් භයානක යි.

ගැටලුව උග්‍ර වන්නේ එළඹෙන ශීත සෘතුව ආරම්භ වීමත් සමඟ යි. එම කාලය තුළ නිවාස උණුසුම් කිරීම වැනි අමතර අවශ්‍යතා නිසා විදුලිය සහ ගෑස් වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට එක්සත් රාජධානියට සිදු වෙනවා. මීළඟ ශීත සෘතු දෙක සඳහා ගෑස් සහ විදුලි මිල ස්ථාවර සීමාවක් තුළ පවත්වා ගැනීම වෙනුවෙන් රජයට පවුම් බිලියන 100 ක් පමණ වැය විය හැකි බව පැවසෙනවා. එය වසංගත සමය තුළ මිලියන ගණනක ගේ වැටුප් ගෙවීමට වැය කළ මුදලටත් වඩා වැඩි අගයක්.

 මෙම වසර මුල දී බදු කප්පාදු, බිල්පත් සඳහා වට්ටම් පැනවීම සහ සෘජු ගෙවීම් හරහා 90% න් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ බලශක්ති බිල්පත්වලින් ගෘහස්ත ඒකක ආරක්ෂා කිරීමට රජය වෙහෙසුණා. ලෝක වෙළඳපොළේ බලශක්ති ප්‍රභවයන් හි මිල ඉහළ යෑමත් සමඟ තවදුරටත් ඒ පීඩනය සමඟ සටන් කිරීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. ඔක්තෝබරයේ සිට ක්‍රියාත්මක වන බිල්පත් වැඩි වීමෙන් පවා මිල ස්ථාවර කිරීමේ පිරිවැයට විශාල රුකුලක් නොලැබෙන අතර, එම පිරිවැය තවදුරටත් ඉහළ යෑම පමණක් සිදු වේවි. උදාහරණයක් ලෙස 2023 අප්‍රියෙල් දක්වා බිල්පත්වල අපේක්ෂිත වැඩිවීම්වලින් ගෘහස්ථ ඒකක ආරක්ෂා කිරීමට තවත් අමතර පවුම් බිලියන 23 ක් වැයවන අතර, 2024 අප්‍රියෙල් වනවිට එම අගය බිලියන 90 ක් දක්වා ඉහළ යනු ඇති. ඊට අනුරූප ව පරිභෝජකයාටත් පිරිවැයෙන් කොටසක් දරා ගැනීමට සිදු වෙනවා.

“විශාල පිරිසකට මෙම තත්ත්වය සැබැවින්ම භයානක වේවි. කොවිඩ් වසංගතයටත් වඩා මේ ගැටළුව බරපතල යි.”

“Scottish Power” බලශක්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කීත් ඇන්ඩර්සන් දරන්නේ එවැනි මතයක්. ඔහුට අනුව බිල්පත් වැඩිවීම විශාල ජාතික අර්බුදයක් දක්වා ගමන් කළ හැකි යි.

“Ofgem” ප්‍රධාන මූලස්ථානය ඉදිරිපිට විරෝධය පාන විරෝධතාකරුවෙක් – www.theguardian.com 

පීඩනය සහ අවදානම

ඈන් සවුත්ගේට් යනු පෙර ගෙවුම් ක්‍රමවේදයක් මත බලශක්තිය ලබා ගන්නා පාරිභෝගිකයෙක්. ඇය ඇතුළු බොහෝ දෙනකුට ඔක්තෝබර් මාසයේ මිල සංශෝධනය ඉතා ම පීඩාකාරී පුවතක් ලෙස දැනුණා.

“මම කදුළු සමඟ සටන් කළ යුතු යි. ළමයින් එය දකිනවාට මම කැමති නැහැ.”

තනිකඩ මවක් සහ පූර්ණ කාලීන ශිෂ්‍යාවක් ලෙස අර්ධ කාලීන රැකියාවෙන් ඇයට ලැබෙන්නේ මූලික අවශ්‍යතා සඳහා සෑහෙන මුදලක් පමණ යි. ශීත සෘතුවේ දී උද්ගත වන අධික බලශක්ති අවශ්‍යතාව සහ මිල සංශෝධනය එකට සැලකීමේ දී ඇතිවන පීඩාකාරී සිතිවිලි මානසික සෞඛ්‍යයට බලපාන බව ඇය පවසනවා. ඇය දැනටමත් බොහෝ වියදම් කප්පාදු කරමින් සිටින අතර, බලශක්ති බිල්පත් අඩු කළ හැකි ක්‍රමවේදයක් ගැන අදහසක් ඇයට නැහැ.

මිල සීමාව වෙනස් වූ සැටි සහ පුරෝකථනය – www.bbc.com 

“අපිට එක කාමරයක් තුළ වැඩි කාලයක් ගත කිරීමට සිදු වේවි. තවත් කළ හැකි දෙයක් ගැන මම දන්නේ නැහැ.”

අඩු ආදාම්ලාභීන්ට පමණක් නොව මධ්‍යම ආදායම් ලබන ස්ථරයට පවා මෙම බිල්පත් අගය ඔරොත්තු දෙන්නේ නැහැ. ඊට පිළිතුරක් වශයෙන් ශීත සෘතුවේ දී බලශක්තිය ඉතිරි කර ගැනීමේ ක්‍රියාකාරකම්වලට ඔවුන් උනන්දු වුවහොත්, සෞඛ්‍ය ප්‍රශ්න රාශියක් ඇති වීමේ අවදානමක් තිබෙනවා.

 එරට ජාතික සෞඛ්‍ය සේවයේ ප්‍රධානීන් පවසන පරිදි බොහෝ මිනිසුන් එළඹෙන ශීත සෘතුවට මුහුණ දීම සඳහා ආහාර වේල් සීමා කරමින් නිවාස උණුසුම් කිරීමේ වියදම්වලට මුදල් ඉතිරි කිරීමට පෙලැඹිය හැකි යි. අඩු ආදායම්ලාභීන් ශීතලේ ම කාලය ගත කිරීමට ඉඩ ඇති අතර, ඉතා අප්‍රසන්න තත්ත්ව තුළ ජීවත් වීම හරහා භයානක ප්‍රතිපල අත් වෙන්න පුළුවන්.

එක්සත් රාජධානියේ ඉහළ යන බලශක්ති බිල්පත් වලට එරෙහි විරෝධතා වරින් වර සංවිධානය වුණා – www.dw.com 

සෞඛ්‍ය සේවා මිලත් ඉහළට

 එක්සත් රාජධානියේ නිවාසවලින් තුනෙන් එකක් පමණ දැනටමත් විදුලි උඳුන් භාවිතය අවම කර තිබෙනවා. “Financial Fairness Trust” කළ අධ්‍යයනයකට අනුව ස්නානය කරන වාර ගණන පවා මිනිසුන් අවම කර තිබෙන අතර, නිවාසවලින් අඩක් පමණ තාපක ක්‍රියාකාරීත්වය සීමා කරමින් උෂ්ණත්වය අඩුකර තිබෙනවා. භයානක ම කාරණය වන්නේත් එය යි. නිවර්තන කලාපයේ ජීවත් වන මිනිසුන්ට සාපේක්ෂ ව ඔවුන්ට ශීතල දරා ගැනීමේ හැකියාවක් තිබුණත්, සෘතුවක් අවසාන වනතුරු එවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම ශාරීරික ව යෝග්‍ය වන්නේ නැහැ.

“මිනිස්සු තමාගේ බිල්පත අවම කර ගැනීමට බොහෝ දේ කරමින් සිටිනවා. නමුත්, ඒවා කෙසේ හෝ ඉහළ යන පසුබිමක් තමයි තියෙන්නේ. බ්‍රිතාන්‍ය රජය ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගත යුත්තේ ඒ නිසා යි.”

  ඒ “Financial Fairness Trust” සිදුකළ අධ්‍යනයට සම්බන්ධ වූ ජෙමී එවන්ස් ගේ අදහස යි. ඔහු බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහායකයෙක් වශයෙන් සේවය කරනවා.

මිල සංශෝධනය නිසා බලපෑමට ලක්වන්නේ ගෘහස්ථ ඒකක පමණක් නොවෙයි. කුඩා ව්‍යාපාර සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය එහි සෘජු බලපෑමට හසු වෙනවා. උදාහරණයක් ලෙස වකුගඩු අකර්මණ්‍යතාවකින් පෙළෙන ඩෝන් වයිට්, වැඩිවන බිල්පත් අගය නිසා තවදුරටත් සිය ජීවිතාරක්ෂක ප්‍රතිකාරය ලබාගත නොහැකිවේයැ යි බියකින් පසු වෙනවා. සතියකට පස් වතාවක් කාන්දු පෙරහන් ක්‍රියාවලියට ඇය සම්බන්ධ විය යුතු අතර, ඒ සඳහා දැරිය යුතු මිලට අසාමාන්‍ය ලෙසින් වැඩි වීමට නියමිත බලශක්ති බිල්පත් අගයත් එකතු වූ විට ඇති වන්නේ දරාගත නොහැකි තත්ත්වයක්.

රිෂී සුනාක් සහ ලීස් ට්‍රස් – www.bbc.com 

අර්බුද මැද එන නව අගමැති

 එක්සත් රාජධානිය තුළ මේ වනවිට දේශපාලන අස්ථාවරභාවයක් ද හට ගෙන තිබෙනවා. බලශක්ති අර්බුදය මත පදනම් වූ විවිධ ඉල්ලීම් රජය කරා ගලා එමින් තිබෙන්නේ මෙවැනි පසුබිමක් මැද යි. ඉදිරි මාස කිහිපය ඇතුළත රජයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුණහොත්, කුඩා පරිමාණ අවන්හල් සහ තැබෑරුම් වැසී යෑමේ අවදානමක් මතු වී ඇති බැවින්, ව්‍යාපාරිකයන් දැනටමත් රජය වෙත පීඩනය එල්ල කරමින් සිටිනවා.

මෙම පීඩනය සෘජු ව එල්ල වන්නේ බෝරිස් ජොන්සන් ඉවත් ව යෑමත් සමඟ හිස් වන අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරඟ වදින ලීස් ට්‍රස් සහ රිෂී සුනාක්ට යි. ඊළඟ අගමැති එක්සත් රාජධානිය භාර ගන්නේ අර්බුද රැසක් මැද බැවින්, බෝරිස් ජොන්සන්ට වඩා අතිශයින් වගකීම් සහගත නායකයෙක් වීම අත්‍යාවශ්‍ය කරුණක්. නැතහොත්, ඉදිරි මැතිවරණවල දී කොන්සර්වේටිව් පක්ෂයේ බලය බිඳ වැටීමේ අවදානමක් පවා ඉස්මතු වේවි.

කවරයේ ඡායාරූපය: අර්බුද හමුවේ අපකීර්තියට පත් බෝරිස් ජොන්සන් ආකාරයෙන් පෙනී සිටින විරෝධතාකරුවෙක්. ඔහු අත රැඳි විරෝධතා පුවරුව බොහෝ දේ පවසනවා - cosmosmagazine.com

මූලාශ්‍ර:

edition.cnn.com

www.thehindu.com

 www.bbc.com

 www.nationalworld.com

www.moneysavingexpert.com 

Related Articles