මධ්‍යධරණි මුහුද සිඳ දමා දියත් කිරීමට ගිය ‘ඇට්ලන්ට්‍රෝපා ව්‍යාපෘතිය’

තාක්ෂණයේ දියුණුව සමග ලොව සමහර රටවල් තම රටෙහි භූමි ස්කන්ධය තදාසන්න ව ඇති නොගැඹුරු මුහුදු තීර ගොඩකර කෘත්‍රිම ලෙස ගොඩබිම් ස්ක්න්ධ තැනීමට උත්සුක වී තිබෙනවා. සීඝ්‍රයෙන් වැඩිවන ජනගහනය හේතුවෙන් පවතින භූමියෙහි ඉඩ මදි වීම හෝ නගර අලංකරණ කටයුතු මෙන්ම සංචාරක ආකර්ෂණය සඳහාත් මේ ‘මුහුදු ගොඩකිරීම්’ සිදුවෙනවා. වර්තමානයේ කොළඹ නගරය කේන්ද්‍රගත කොට ක්‍රියාත්මක කෙරෙන ‘පෝට් සිටි’ ව්‍යාපෘතිය ඊට හොඳ උදාහරණයක්.

මුහුදු ගොඩකර ඉදිකිරීම් සිදුකිරීම ලොව බොහෝ දෙනාට අලුත් දෙයක් වූවාට 1920 දශකයේ දීත් මෙවැනි ම ව්‍යාපෘතියක් යෝජනා වූවා. ‘ප්‍රොජෙක්ට් ඇට්ලන්ට්‍රෝපා‘ හෙවත් ඇට්ලැන්ට්‍රෝපා ව්‍යාපෘතිය යනුවෙන් නම් කෙරුණු එහි විශේෂත්වය වන්නේ එයට අනුව මධ්‍යධරණි මුහුදේ සැලකිය යුතු ප්‍රමාණයක් ගොඩවීමට තිබූ නිසා යි. කෙසේ නමුත් හේතු ගණනාවක් නිසා අද වන තුරුත් එය ක්‍රියාත්මක වී නැහැ.

පෝට් සිටි’ ව්‍යාපෘතිය- portcitycolombo.lk

ඇට්ලැන්ට්‍රෝපා ව්‍යාපෘතිය කරළියට පැමිණීම

ජර්මානු ගෘහනිර්මාණ ශිල්පියෙකු වූ හර්මන් සෝගල් (1885-1952) සංස්කෘතිය, අවකාශය, හා ලෝක දේශපාලනය පිළිබඳ දාර්ශනිකයෙකු ද වුණා. ඔහු අනාගතයේ ලොව නැඟී සිටින සුපිරි බලවතුන් තුන් කොට්ඨාසයක් පිළිබඳ ව පෙරැයීම් කළා. ඇමෙරිකාව හා චීනය ඇතුළු නැගෙනහිර ආසියාව ඉන් දෙකක් වූ අතර, අනික යුරෝපය වුණා. ඉන් දුර්වල ම එක ලෙස ඔහුට පෙනී ගියේ යුරෝපය යි.

යුරෝපය අනෙකුත් සුපිරි බලවතුන් දෙදෙනාට සාපේක්ෂ ව දුර්වල වීම වැළක්වීමට ක්‍රමෝපායන් ද ඔහු කල්පනා කළා. මේ සඳහා කාර්මික අතින් ස්වයංපෝෂී වීම අත්‍යවශ්‍ය බව ඔහුට වැටහී ගිය අතර, ඒ සඳහා වැඩි වැඩියෙන් තාක්ෂණික ව්‍යාපෘති දියත් කළ යුතු වුණා. මේ සඳහා යුරෝපයට තිබූ විශාලතම අභියෝගය වූයේ භූමි ප්‍රමාණයේ සීමාසහිත බව යි.

මධ්‍යධරණි මුහුදෙන් පිළියම් සෙවීම

යුරෝපයේ නැඟී සිටිම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් සේ පෙනී ගිය කාර්මීකරණය සිදුකිරීමට සුදුසු අමතර භූමි ස්කන්ධයන් හඳුනාගැනීමට සෝගල් දසත වෙහෙසුණා. දැනට පවතින භූමි ස්කන්ධයන් යොදාගැනීම එතරම් සාර්ථක නොවන බව ඔහුට පෙනී ගියත් යුරෝපයෙන් හා අප්‍රිකාවෙන් වැඩිමනක් ම වට වී තිබෙන මධ්‍යධරණි මුහුද ‘යම් වෙනසකට බඳුන් කර’ එම අව්ශ්‍යතාවය සපුරාගත හැකි බව ඔහුට වැටහුණා.

ඇට්ලැන්ට්‍රෝපා පළමු අදියර- bigthink.com

අන් සාගරවලට සාපේක්ෂ ව මධ්‍යධරණි මුහුදෙහි වැඩියෙන් නොගැඹුරු ස්ථාන ඇති අතර, එයට වැඩිපුර ම ජලය සැපයෙන්නේ ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධිය ඔස්සේ අත්ලාන්තික් සාගරයෙන් හා කළු මුහුදෙන් බව සෝගල් හඳුනාගන්නවා. කෙසේ නමුත් ප්‍රදේශයේ පවතින පරිසර ස්වභාවයන් හේතුවෙන් දැඩි වාෂ්පීභවනයක් ද මෙහි සිදුවන අතර, මේ හේතුවෙන් එහි ජල මට්ටම නොවෙනස් ව පවතින බව ඔහු අධ්‍යයනය කළා. යම් හෙයකින් ඉහත කී ස්ථාන දෙකෙන් මධ්‍යධරණි මුහුදට ජලය සැපයීම අවහිර කළහොත් කෙටි කලෙකින් එහි විශාල කොටසක් සිඳී යා හැකි බවත්, එලෙස මතුවෙන භූමිය කාර්මික කටයුතු සඳහා යොදාගත හැකි බවත් ඔහු අනුමාන කරනවා. මීට අමතර ව මේ ස්ථාන දෙකෙහි මෙගා වොට් 110,000ක පමණ ධාරිතාවකින් යුතු ජල විදුලි බලාගාර පද්ධති දෙකක් ද ඉදිකිරීමට ඔහු සැලසුම් කරනවා. වැඩි දුරටත් මේ ව්‍යාපෘතිය කරගෙන යාමේ දී මධ්‍යධරණි මුහුද සිඳී යාමෙන් මතුවන භූමි ස්කන්ධවල ජනයා පදිංචි කරවිය හැකි බවත්, එනයින් වර්ධනය වන ජනගහනය නිසා අනාගතයේ ඇති විය හැකි ‘පදිංචියට සුදුසු’ ඉඩකඩ ගැටලුවලටත් විසඳුමක් ලැබෙනු ඇතැ යි ඔහු අනුමාන කළා. යුරෝපා හා අප්‍රිකා මහාද්වීප යා කරමින් තැනෙන මේ නව මහාද්වීපය ඔහු නම් කළේ ‘ඇට්ලැන්ට්‍රෝපා’ ලෙස යි. මීට අමතර ව යුරෝපීය සරු බිම්වලින් ලබා ගන්නා ජලයෙන් සහරාව අස්වැද්දීමට ද ඔහුගේ සිතෙහි අදහසක් තිබුණා.

ඇට්ලැන්ට්‍රෝපා දෙවන අදියර- bigthink.com

1929 වසරේ සෝගල් මේ අදහස් ඇතුළු කර පර්යේෂණ ග්‍රන්ථයක් එළිදක්වනු ලැබුවා. එය ‘මධ්‍යධරණි මුහුදෙහි ජල මට්ටම අවම කිරීම, සහරාව අස්වැද්දීම’ යන අනුමාතෘකාවලින් යුතු වුණා. මීට අමතර ව මේ ව්‍යාපෘතියේ සාර්ථකභාවය අනුව මධ්‍යම අප්‍රිකාවේ විශාල විල් කිහිපයක් තනා, ඒවා මඟින් අප්‍රිකා මහාද්වීපයට ම සරිලන ජල විදුලි ධාරිතාවක් නිපදවීමේ හැකියාව පිළිබඳවත් ඔහු එහි සාකච්ඡා කර තිබුණා.

ව්‍යාපෘතිය සඳහා එල්ල වූ අභියෝග

සෝගල් විසින් ගෙන එන ලද යෝජනා ඉතා හොඳ ඒවා බවට ලොව පුරා පිළිගැනුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගිකත්වය හා අවදානම් සාධක පිළිබඳ ව ද තදබල ලෙස විමසා බැලුණා. ජිබ්‍රෝල්ටා සමුද්‍රසන්ධියේ පටුම සමුද්‍ර තීරයේ පළල කි. මී. 14ක් පමණක් වූවත් සෝගල්ට මධ්‍යධරණි මුහුද අත්ලාන්තික් සාගරයෙන් වෙන් කරන බැම්ම බැඳීමට අවශ්‍ය ව තිබුණේ එම ස්ථානයට කි. මී. 30ක් පමණ මධ්‍යධරණි මුහුද දෙසට වන්නට යි. මෙම බැම්ම මීටර 300ක් උස් විය යුතු අතර, එහි පාදම කි. මී. 2.5ක පමණ පළලකින් යුතු විය යුතු වුණා. එකල තිබූ නවීනතම තාක්ෂණය යටතේ වුවත් සේවකයින් 200,000ක ප්‍රමාණයකට එය සම්පූර්ණයෙන් සාදා නිම කරන්නට වසර 10ක් ගතවන බැව් ඇස්තමේන්තු කෙරුණා. මීට අමතර ව මෙම බැම්මට ඉහළින් මීටර 400ක උසින් යුතු තවත් ඉදිකිරීමක් ද කළ යුතු ව තිබුණා. මේ දැවැන්ත ව්‍යාපෘතිය ඉදිකරන්නට තවත් බාධාවක් ලෙස පෙනී ගියේ අමුද්‍රව්‍ය හිඟතාව යි. මේ සඳහා කොන්ක්‍රීට් ටොන් මිලියන ගණනක් අවශ්‍ය වූ අතර, ලොව එතරම් කොන්ක්‍රීට් ප්‍රමාණයක් තිබේදැ යි යන්න පවා නිසි ලෙස පැවසිය නොහැකි කරුණක් වුණා.

weld.de

ඇට්ලැන්ට්‍රෝපා ව්‍යාපෘතිය නිසිලෙස ක්‍රියාත්මක වී නම් මධ්‍යධරණි මුහුදෙහි ජල මට්ටම මීටර 100 කින් පමණ පහළ යාමට නියමිත ව තිබූ අතර, ව. කි. මී. 576,000ක පමණ නව භූමි ප්‍රමාණයක් පෑදෙනු ඇතැ යි ඇස්තමේන්තු කෙරුණා. එය ශ්‍රී ලංකාව මෙන් 8 ගුණයකටත් වඩා විශාල භූමි ප්‍රමාණයක්. කෙසේ නමුත් මේ හේතුවෙන් මෙතෙක් කල් සංචාරක හා ධීවර කර්මාන්තය හොඳින් සිදු කෙරුණු සමුද්‍රාසන්න නගර කිහිපයක් කෙරෙන් මුහුද ඉවතට ඇදී යාම නිසා ඒවායේ ස්වභාව සෞන්දර්යයට, දේශගුණයට, හා ආර්ථික කටයුතුවලට ද තදබල පහරක් වැදීමට නියමිත ව තිබුණා. අනෙක් අතට යම් කිසිහෙයකින් ජනය පදිංචි කෙරුණු පසු මෙම බැමිවලට සිදුවන හානියක් නිසා අත්ලාන්තික් සාගරයෙන් හා කළු මුහුදෙන් මුහුදු ජලය නැවත මධ්‍යධරණි මුහුදට කඩා වැදුණහොත් සිදුවන ජීවිත හා දේපළ හානිය කිව නොහැකි තරම් විශාල අගයක් වෙනවා.

ඇට්ලැන්ට්‍රෝපා ව්‍යාපෘතිය දින නියමයක් නොමැති ව කල් යයි.

ඇට්ලැන්ට්‍රෝපා ව්‍යාපෘතිය පෙර කී අභියෝග හා අවදානම පිළිබඳ වූ සාධක හේතුවෙන් ක්‍රියාත්මක වීම දවසින් දවස කල් ගියා. අනෙක් අතින් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් මීට අවධානය යොමු කිරීමට යුරෝපීයයන්ට ලැබුණේ අඩු අවස්ථාවක්. කෙසේ නමුත් සෝගල් එය ක්‍රියාත්මක කිරීමට දිගින් දිගටම උත්සාහ කළා. 1952 වසරේ ඔහුගේ මරණය සිදුවන විටත් ඔහු සිටියේ ඒ පිළිබඳ ව්‍යාපෘති වාර්තා සකසමිනුයි.

සෝගල්ගේ මරණයත් සමග ඇට්ලැන්ට්‍රෝපා ව්‍යාපෘතිය පිළිබඳ වූ කසු කුසුව කෙමෙන් කෙමෙන් ලෝක අවදානමෙන් වියැකී ගියා. එනමුත් අනාගතයේ යම් දිනෙක වඩා දියුණු තාක්ෂණයක් ඔස්සේ මෙය ක්‍රියාත්මක වීමේ යම් හැකියාවක් නොපවතින්නේයැ යි කිසිවෙකුට කිව නොහැකියි.

 

කවරයේ පින්තූරය - aquarianagegm.blogspot.co.uk

Related Articles