මානව අයිතීන් සමඟ ගැටෙන කටාර් පාපන්දු ලෝක කුසලානය

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එළඹෙන නොවැම්බර් මාසයේ 21 වැනිදා සිට දෙසැම්බර් 18 දක්වා පැවැත්වීමට නියමිත යි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය කටාර් රාජ්‍යයට ලැබී ඇති අතර, කටාර් සහ තවත් රටවල් 31 ක් ලෝක කුසලානය දිනා ගැනීම වෙනුවෙන් තරග වදිනු ඇති.

 මෙම තරගාවලිය කටාර් රාජ්‍යයට පමණක් නොව මුළු මැද පෙරදිග කලාපයට ම සුවිශේෂී අවස්ථාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් මැද පෙරදිග කලාපයේ රටක් සත්කාරකත්වය දරණ ප්‍රථම අවස්ථාව මෙය වීම ඊට හේතුව යි. කෙසේ නමුත්, තරගාවලිය සඳහා කටාර් රාජ්‍යය තෝරා ගැනීම සම්බන්ධයෙන් විවිධ මතභේද හට ගත්තේ කලක සිට යි. ඒ ගැටලුකාරී වාතාවරණය තව ම අවසන් වී නැහැ. 

කටාර් ගැන සැකෙවින් දැක්වූ විස්තරයක් – www.bbc.com

වැරදි තීරණයක් ද?

 2010 වසරේ දී FIFA හි විධායක සාමාජිකයන් 22 දෙනෙක් ලබා දෙන ඡන්දයෙන් බහුතරය ජයග්‍රහණය කිරීමෙන් පසු කටාර් රාජ්‍යය 2022 සඳහා ලෝක කුසලාන සත්කාරකත්වය දිනා ගත්තා. ඔවුන් මේ මහාර්ඝ අවස්ථාව දිනා ගත්තේ අමෙරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන ප්‍රබලයන් පරාජයට පත් කරමින්. සත්කාරකත්වය දිනා ගත්ත ද කටාර් රාජ්‍යයේ ජයග්‍රහණය මතභේද රැසකට තුඩු දුන්නා. එහි පළමු වැන්න අල්ලස් චෝදනාවක් වීම විශේෂත්වයක්. තම රටට සහාය දැක්වීම වෙනුවෙන් FIFA නිලධාරීන්ට කටාර් රාජ්‍යයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3.7 ක අල්ලසක් ලැබුණු බවට චෝදනා එල්ල වුණත්, වසර දෙකක විමර්ශනයකින් පසු එම චෝදනාවලින් නිදහස් වීමට හැකි වුණා.

 අල්ලස් චෝදනාවෙන් නිදහස් වුව ද මානව නිදහස සහ අයිතීන් සම්බන්ධයෙන් කටාර් නීති පද්ධතිය ක්‍රියාත්මක වන අන්දම තරගාවලිය නැරඹීමට එන මිනිසුන්ට කෙලෙස බලපාවිදැ යි ගැටලු මතු වුණා. ලෝකයේ පැවැත්වෙන දැවැන්ත ම තරගාවලියක් වෙනුවෙන් සත්කාරත්වය දැරීමේ දී සැලසුම් කිරීමට සිදුවන්නේ භෞතික පහසුකම් පමණක් ම නොවෙයි. කටාර් වැනි ධනවත් රාජ්‍යයකට ඒ අභියෝග ඉතා පහසුවෙන් ජයගත හැකි යි.

තරගාවලිය පැවැත්වෙන කාලය අතරතුර ලෝකයේ නන් දෙසින් පැමිණෙන ප්‍රේක්ෂකයන්ගේ පෞද්ගලික නිදහස සහ කටාර් හි නීති පද්ධතිය අන්තර්ක්‍රියා කරන අන්දම මානව හිමිකම් සංවිධාන ඉතා ප්‍රවේශමෙන් විමසා බැලුවා. එමෙන් ම, තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩාංගණ, ප්‍රවාහන සහ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී විදෙස් රටවලින් පැමිණි ශ්‍රමිකයන්ට කම්කරු අයිතීන් සුරැකෙන අයුරුත් සලකා බැලුවා. මේ සියලු දේ විශ්ලේෂණය කිරීමෙන් අනතුරු ව කටාර් වෙත පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය පිරි නැමීම “වැරදි තීරණයක් ද?” යන ප්‍රශ්නය මතු වී තිබෙනවා.

කටාර් හි ක්‍රීඩාංගණයක ඉදිකිරීම් කටයුතු වලට දායක වන ශ්‍රමිකයෝ – www.euronews.com

මරණ 6500 ක්!

 සත්කාරකත්වය ලබාගෙන වසර දහයක් පමණ ගත වූ පසු කටාර් රාජ්‍යයේ වෙසෙන විදෙස් ශ්‍රමිකයන් 6500 කට  වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය හෙළි කොට තිබෙනවා. මෙලෙස මිය ගිය විදෙස් ශ්‍රමිකයන් පැමිණි රටවල් සැලකීමේ දී දකුණු ආසියාතික රටවල් ප්‍රමුඛ වීම විශේෂත්වයක් වන අතර, සත්කාරත්වය ලබාගත් 2010 දෙසැම්බරයේ පටන් සෑම සතියක ම දකුණු ආසියානු කලාපයෙන් පැමිණි කම්කරුවන් 12 පමණ සාමාන්‍ය අගයකින් මිය ගොස් ඇති බවත් වාර්තා වෙනවා. පිලිපීනය සහ කෙන්යාව වැනි අනෙකුත් රටවලින් පැමිණි ශ්‍රමිකයන්ගේ මරණ ද එකතු කළ විට මෙම අගය සැලකිය යුතු මට්ටමකින් වැඩි බවයි පැවසෙන්නේ.

 පසුගිය වසර 10 තුළ කටාර් රාජ්‍යයේ පෙර නොවූ විරූ පරිද්දෙන් ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ වුණා. 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් අලුතින් හෝ නවීකරණය කරමින් ගොඩ නැඟූ ක්‍රීඩාංගණ හතට අමතර ව, නව ගුවන් තොටුපළක්, මාර්ග ඇතුළු නව ව්‍යාපෘති දුසිම් ගණනක් නිමා කරමින් තිබුණා. පොදු ප්‍රවාහන පද්ධති සහ හෝටල් පහසුකම් ගැනත් අලුතෙන් ම සිතීමට කටාර් හි බලධාරීන්ට සිදු වුණා.

ලෝක කුසලාන සත්කාරකත්වය ලබා ගත් දා සිට කටාර් හි වෙසෙන දකුණු ආසියාතික ශ්‍රමිකයන් ගේ මරණ සංඛ්‍යාව බෙදී ගොස් ඇත්තේ මෙලෙස යි – www.statista.com 

 මියගිය බොහෝ කම්කරුවන් ලෝක කුසලානය වෙනුවෙන් සිදු කරගෙන යන යටිතල පහසුකම් ව්‍යාපෘතිවල සේවය කර ඇති බව “FairSquare Projects” හි අධ්‍යක්ෂක නික් මැක්ගීහන් පවසනවා. “FairSquare Projects” යනු ගල්ෆ් කලාපයේ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සංවිධානයක්. 2011 වසරේ සිට මියගිය සංක්‍රමණික සේවකයන් අතුරින් සැලකිය යුතු ප්‍රතිශතයක් රට තුළ රැඳී සිටි හේතුව ලෝක කුසලාන සත්කාරකත්වය බව ඔවුන් වැඩි දුරටත් පවසනවා.

මරණයේ අසාමාන්‍ය වර්ගීකරණය

ක්‍රීඩාංගණ ඉදිකිරීමට සෘජු ව ම සම්බන්ධ වූ කම්කරුවන් අතරින් මරණ 37 ක් වාර්තා වී ඇති අතර, ඉන් 34 ක් “කාර්යය හා සම්බන්ධ නොවන” යනුවෙන් තරගාවලියේ සංවිධායක කමිටුව වර්ගීකරණය කර තිබෙනවා. ප්‍රවීණයන් මෙම යෙදුමේ භාවිතය ප්‍රශ්න කර ඇත්තේ, ක්‍රීඩාංගණ ඉදිකිරීම් අතරතුර සිදු වූ කඩාවැටීම් හේතුවෙන් මිය ගිය කම්කරුවන් ගණනාවක් ඇතුළු ව රැකියාවේ දී සිදු වූ මරණ විස්තර කිරීමට එය භාවිත කර ඇති නිසා යි. මෙම සොයාගැනීම් මඟින් කටාර් හි මිලියන දෙකක් පමණ සංක්‍රමණික ශ්‍රම බළකාය ආරක්ෂා කිරීමට එරට බලධාරීන් අපොහොසත් වී ඇති බව කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රවීණයන් පෙන්වා දෙනවා. 

නේපාලයෙන් පැමිණි කම්කරුවන් පිරිසක් ලෝක කුසලාන වැඩබිම්වල සේවය කරන අයුරු. දැඩි හිරු රශ්මියෙන් බේරීම සඳහා ඔවුන් අලුයම සේවයට වාර්තා කරනවා – www.theguardian.com 

 සිදු වූ මරණ හුදෙකලා සිදුවීම් වශයෙන් සලකා බැලීමේ දී බොහෝ දුරට වැඩබිම්වල පවත්වා ගෙන යා යුතු ආරක්ෂාව හරිහැටි කළමනාකරණය නොකිරීමෙන් සිදු වී ඇති බව පෙනී යනවා. සිය දිවි නසා ගැනීම්, සිරුරු දිරාපත් වීම නිසා හේතුව සොයා ගත නොහැකි වූ මරණ ද මේ අතර තිබෙනවා. මේ සියල්ලට ම වඩා අසාමාන්‍ය කාරණය වන්නේ “ස්වභාවික මරණ” ලෙස වර්ගීකරණය කළ සිදුවීම් සැලකිය යුතු ප්‍රතිශතයක් වාර්තා වීම යි. බොහෝ දුරට මෙම ස්වභාවික මරණවලට හේතු හෘදයාබාධයකට හෝ ස්වසන අපහසුතාවකට ආරෝපණය කර තිබෙනවා. 

 ඉන්දියානු, නේපාල සහ බංග්ලාදේශ කම්කරුවන් අතර සිදුවන මරණ එකට සැලකීමේ දී 69% ක් “ස්වභාවික මරණ” යටතේ වර්ගීකරණය කර ඇති අතර, ඉන්දියාව පමණක් සැලකීමේ දී එම ප්‍රතිශතය 80% ක් ලෙස දැක්වෙනවා. සාමාන්‍යයෙන් මරණ පරීක්ෂණයකින් තොර ව සිදු කරන එවැනි වර්ගීකරණ හරහා මරණවලට මූලික හේතුව සොයා ගැනීමට නොහැකි වෙනවා. මරණ සම්බන්ධයෙන් නීත්යානුකූල වෛද්‍ය පැහැදිලි කිරීමක් ලබා දීමේ මං ඇහිරීම ඊට හේතුව යි. 

කටාර් රජයේ පිළිතුර

 2019 දී කටාර්හි දැඩි ගිම්හාන තාපය බොහෝ සේවක මරණ සඳහා සැලකිය යුතු සාධකයක් විය හැකි බව අනාවරණය වුණා. එසේ නම්, වැඩබිම් ආරක්ෂාව සම්බන්ධයෙන් එම කාරණය පවා සැලකිය යුතු වෙනවා. දශකයක් මුළුල්ලේ වාර්තා වූ විදෙස් ශ්‍රමිකයන් ගේ ඉහළ මරණ සංඛ්‍යාව මඟින් පෙනී යන්නේ කම්කරුවන් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටාර් රාජ්‍යය එතරම් වෙහෙසක් දරා නොමැති බව යි. මරණවලට අමතරව, රැකියාවලට බඳවා ගැනීමේ දී අධික මිලක් ශ්‍රමිකයා ගෙන් ලබා ගැනීමේ සිදුවීම්, පහළ ජීවන මට්ටම, අසත්‍ය වැටුප් පරිමාණ, වැටුප් ප්‍රමාද කිරීම ආදී ගැටලු රාශියක් කටාර්වලින් වාර්තා වෙනවා. ඒවා ලෝක කුසලානයට සූදානම් වීමේ වැඩපිළිවෙළ සමඟත් සෘජු ව සම්බන්ධ වෙනවා.

තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ – www.bbc.com 

 වාර්තා වන මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් කටාර් රජය පවසන්නේ එය සංක්‍රමණික ශ්‍රම බළකායේ ප්‍රමාණයට සමානුපාතික වන බව යි. කටාර් හි වසර ගණනාවක් ජීවත් වීමෙන් පසු ස්වභාවිකව මිය ගිය කම්කරු නොවන වෘත්තිකයන් ද ඊට ඇතුළත් වන බව කටාර් රජය පෙන්වා දෙනවා. අදාළ රටවලින් සංක්‍රමණය වූ ශ්‍රමිකයන් ගෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටින්නේ 20% ක් පමණක් බවත්, එම කණ්ඩායම තුළ සිදුවන මරණ අතුරින් රැකියා ආශ්‍රිත මරණ වාර්තා වන්නේ 10% ත් වඩා අඩුවෙන් බවත් කටාර් රජය වැඩිදුරටත් පවසනවා. මෙය ඉතා දීර්ඝ ව කතා කළ යුතු මාතෘකාවක්. එහෙත්, පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වන මිනිසුන් ගේ අයිතීන් කටාර් තුළ ආරක්ෂා වන අන්දමත් ලිපියෙන් සාකච්ඡාවට බඳුන් කළ යුතු වෙනවා.

ප්‍රේක්ෂකයන් අතර අවදානම් කාණ්ඩය

  සත්කාරකත්වය වෙනුවෙන් සූදානම් වූ කාල පරාසයේ මතු වූ මතභේදාත්මක වාතාවරණයට අමතර ව තරග පැවැත්වෙන කාලය අතරතුර උද්ගත විය හැකි ගැටලු ගැනත් මානව හිමිකම් සංවිධාන අවධානය යොමු කර තිබුණා. ඉන් අවධානයට ලක් වූ ප්‍රබලත ම කාරණය වන්නේ LGBTIQ+ ප්‍රජාවගේ  නිදහස කටාර් රාජ්‍යයේ තහවුරු වන අන්දම යි. කටාර් තුළ දැඩි LGBTIQ+ විරෝධී නීති පවතින අතර, කාන්තා අයිතිවාසිකම් ද අඛණ්ඩ විවාදයට ලක් වන පසුබිමක ඉහළ මට්ටමේ මානව අයිතීන් සහ නිදහස භුක්ති විඳින රටවල් පවා සහභාගී වන තරගාවලියක සත්කාරකත්වය කටාර් වෙත ලැබීම ගැටලු සහගත වුණා.

දේදුණු ධජයක් රැගෙන ක්‍රීඩංගණයකට පැමිණි ප්‍රේක්ෂකයෙක් – www.dw.com 

  LGBTIQ+ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් සහ සංවිධාන මේ වෙනුවෙන් සන්ධානගත වෙමින් තරගාවලිය ඇරඹීමට පෙර FIFA සහ කටාර් බලධාරීන්  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය  LGBTIQ+ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරී කරුණු අටක් ඉදිරිපත් කළා.

 LGBTIQ+ පුද්ගලයන් ඉලක්ක කර ගත් නීති සහ රෙගුලාසි අවලංගු කිරීම, හිරිහැර කිරීම් සහ අත් අඩංගුවට ගැනීම්වලට එරෙහි ව ආරක්ෂාව සහතික කිරීම, LGBTIQ+ ප්‍රජාව සමඟ ගනුදෙනු කිරීමේ දී සුදුසු පුහුණුවක් බලධාරීන්ට ලබා දීමේ අවශ්‍යතාව, රට තුළ, ක්‍රීඩාංගණ තුළ සිටින සියලු ම මිනිසුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහතික කිරීම, දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය විකාශනය තුළ LGBTIQ+ ගැටලු සාකච්ඡා කිරීම සඳහා වාරණයක් හෝ තහනමක් නොමැති පසුබිමක් ඇති කිරීම, යන කරුණු එහි දී ඉස්මතු කර තිබුණා.

අපි ඔවුන් පිළිගන්නවා!

කෙසේ නමුත්, මේ සා විශාල ඉල්ලීම් ගණනක් සහ තනි ප්‍රජාවක් වෙනුවෙන් කටාර් රාජ්‍යයේ නීති පද්ධතිය ලිහිල් වේයැ යි සිතිය නොහැකි යි. අනෙක් අතට, මෙවැනි තරගාවලියක සත්කාරකත්වය පැතීමේ දී සිය නීති පද්ධතිය තුළින් ම ගැටලු පැන නඟින බව කටාර් වැනි මැද පෙරදිග රාජ්‍යයන් අපේක්ෂා කළ යුතු යි.

  තරගාවලිය පැවැත්වෙන කාලය අතරතුර කටාර් බලධාරීන්ගේ ක්‍රියා කලාපය මානව හිමිකම් සංවිධාන පෙරටත් වඩා සමීප ව නිරීක්ෂණය කරනු ඇති. කිසියම් වරදක් සිදු වුවහොත්, අනාගතයේ දී පාපන්දු, ඔලිම්පික් වැනි දැවැන්ත තරගාවලිවල සත්කාරකත්වය දිනා ගැනීමේ දී මැදපෙරදිග ධනවත් රාජ්‍යවලට විශාල අභියෝග වලට මුහුණ දීමට සිදු වෙනවා. දැනටමත් ඇතැම් රටවල ප්‍රේක්ෂකයන් සහ කණ්ඩායම්වල කාර්ය මණ්ඩල සාමාජිකයන්  කටාර් වෙත පැමිණීමට මැළිකමක් දැක්වීම ඊට කදිම උදාහරණයක්. කෙසේ නමුත්, මෙම අභියෝග හමුවේ උපායශීලි ලෙස කටයුතු කිරීමේ වැදගත්මක කටාර් රාජ්‍යය අවබෝධ කරගෙන ඇතුවාට සැකයක් නැහැ.

කටාර් වෙත යාමට කැමති සමරිසි පාපන්දු ලෝලීන් වේල්සයෙන් සොයා ගැනීම දුෂ්කර වී තිබෙනවා – www.bbc.com 

ඒ අනුව LGBTIQ+ ප්‍රජාව නියෝජනය කරන සංචාරකයන් පිළි ගැනීමට කටාර් බලධාරීන් කටයුතු කරන බව වාර්තා වෙනවා. ක්‍රීඩා තරග නරඹන අතරතුර ප්‍රේක්ෂකයන්ට දේදුනු ධජය එසවීමට ඇති නිදහස සහතික කිරීම, LGBTQ+ හිමිකම් ප්‍රවර්ධනය කරන දර්ශන ඉවත් නොකිරීම වැනි එකඟතාවන් පවා කටාර් බලධාරීන් FIFA සමඟ ඇති කරගෙන තිබෙනවා.

 “ක්‍රීඩාංගණවල දේදුනු ධජය එසවීමට ඇති නිදහස හා සම්බන්ධ මාර්ගෝපදේශනයක් FIFAට තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ම නීති හා රෙගුලාසි තිබෙනවා. ඒවා කුමානාකරයේ දේවල් වුණත්, අපි සහයෝගය දක්වනවා.”

2022 පාපන්දු ලෝක කුසලානයේ ප්‍රධාන විධායක නසාර් අල්-ඛාතර් පවසනවා.

බැලූ බැල්මට ම ලෝකයේ බොහෝ තැන් වලට සාපේක්ෂ ව තමාගේ රට ගතානුගතිකයැ යි පෙණුනත්, කටාර් යනු මිනිසුන් පිළිගන්නා රටක් බව ඔහු වැඩිදුරටත් පවසනවා.

“අපේ සංස්කෘතියත් මේ ලෝකයේ පවතින තවත් එක සංස්කෘතියක්. අපිත් බලාපොරොත්තු වෙනවා මිනිස්සු අපේ සංස්කෘතියට ගරු කරාවි කියලා. මං හිතන්නේ මෙතැන සමබරතාවක් තිබෙනවා. මිනිස්සු හැම තැනම තමාට ගරු කරාවි කියන හැඟීම තිබෙනවා.”

කෙසේ නමුත්, මානව හිමිකම් ක්‍රියාකාරීන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. තරගාවලිය නැරඹීම සඳහා එන මිනිසුන් ගේ අයිතීන් රැකුණත්, කටාර් තුළ සිටින LGBTQ+ ප්‍රජාවට ඉන් උපකාරයක් නොලැබෙන බව ඔවුන් පවසනවා. කටාර් ජාතිකයෙක් වුණත්, නොවුණත්, සමානාත්මතාව එක සේ ක්‍රියාත්මක වෙනවා දැකීම ක්‍රියාකාරීන්ගේ අපේක්ෂාව යි.

ලිංගික නිදහසත් අවදානමක!

කටාර් රාජ්‍යය තුළ විවාහයෙන් පිටත සිදුවන ලිංගික සබඳතා තහනම් කරමින් ක්‍රියාත්මක වන දැඩි නීති පද්ධතියක් තිබෙනවා. විශේෂත්වය වන්නේ එම නීතිය තරගාවලිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් සහ ක්‍රීඩකයන්ට පවා බල පැවැත්වීම යි! එලෙස හැසිර හසුවන ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් වසර හතක් දක්වා වූ සිර දඬුවමකට යටත් කළ හැකි යි. කටාර් හි පුරවැසියන් දැනටමත් මේ නීතිවලට හුරු වී ඇති අතර, තරගාවලිය නැරඹීමට එන සංචාරකයන් සහ ක්‍රීඩකයන් එම නීතියට අනුගත වනු ඇතැයි කටාර් බලධාරීන් අපේක්ෂා කරනවා. ඒ අනුව ක්‍රීඩා තරගයක් අවසාන වූ පසු තමාගේ පුද්ගලික ජීවිතය ගත කරන අන්දම සම්බන්ධයෙන් ස්වයං වාරණ දමා ගැනීමට සංචාරකයන්ට සිදු වේවි.

පාපන්දු තරඟයකින් පසු මේ ආකාරයෙන් සතුටු වීමට සංචාරකයෙක් අදහස් කරනවා නම් ඒ ගැන දෙවතාවක් සිතන්න සිදු වෙනවා – beachsideteen.com 

ක්‍රීඩාවකින් වින්දනය ලැබිය හැක්කේ එය නැරඹීමෙන් පමණක් ම නොවෙ යි. තරගයක් නැරඹීමෙන් අනතුරුව සාද පැවැත්වීමේ සංස්කෘතියක් බොහෝ රටවල තිබෙනවා. සබඳතා ශක්තිමත් කර ගැනීමට හෝ අලුත් සබඳතා ගොඩ නඟා ගැනීමට ක්‍රීඩාව ආශ්‍රිත ව ගොඩ නැඟුණු මේ බාහිර ක්‍රියාකාරකම් ඉවහල් වෙනවා. එහි දී මත්පැන් භාවිතයත් සුලබ ව සිදු වෙනවා. මෙවර පාපන්දු ලෝක කුසලානය අතරතුර ඒ නිදහසටත් වැට බැඳේවි. ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් ද රට තුළ දැඩි ප්‍රතිපත්තියක් තිබීම ඊට හේතුව යි.

මෙවර පාපන්දු ලෝක කුසලානය කටාර් රාජ්‍යය තුළ පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ ප්‍රේක්ෂකයන් කනස්සල්ලට පත් වී සිටිනවා. එවැනි පසුබිමක් මැද පවා සංචාරකයන් මිලියන ගණනක් කටාර් වෙත ඇදී ඒමේ සම්භාවිතාවක් ඇත්තේ ලෝකයේ ජනප්‍රියත ම ක්‍රීඩාව පාපන්දු වීම නිසා යි. තරගාවලිය අතරතුර කටාර් රාජ්‍යයේ ක්‍රියා කලාපය මත ඉදිරියේ දී ගල්ෆ් කලාපයට ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය ලබා දෙනවා ද නැද්ද යන වගත් තීරණය වීමේ ඉඩකඩක් තිබෙනවා.

කවරයේ ඡායාරූපය: මතභේද මැද 2022 පාපන්දු ලෝක කුසලානය කටාර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත යි - www.dailysabah.com

 මූලාශ්‍ර:

www.bbc.com

www.hrw.org

www.theguardian.com 

www.amnesty.org

www.espn.in 

www.wionews.com

Related Articles