ආගෝ චිත්‍රපටයට පදනම් වූ “කැනේඩියානු ගේම්” එක

පසුගිය ලිපියකින් අප ඉරානයේ ඇමරිකානු ප්‍රාණ ඇපකරු අර්බුදය ගැන සාකච්ඡා කළා. එහිදි බොහෝ දෙනෙක් විමසා සිටියේ බෙන් අෆ්ලෙක් අධ්‍යක්ෂණය කළ ඇකඩමි සම්මාන දිනූ “ ආගෝ” චිත්‍රපටයට පදනම් වූ සත්‍ය සිදුවීම ගැන යි. එම නිසා අප අද සාකච්ඡා කරන්නේ ඒ සිදුවීම් පෙළ පිළිබඳව යි.

පලා ගිය ඇමරිකානුවන් සය දෙනා

ඉරාන විප්ලවයේ ප්‍රධාන බලවේගය වූ අයතොල්ලා කොමේනිට පක්ෂපාත රැඩිකල් ශිෂ්‍යයන් 1979 නොවැම්බර් 4 දින ටෙහෙරානයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වදින්නේ එහි තවමත් රැඳී සිටි ඇමරිකානුවන් ප්‍රාණ ඇපයට ගැනීමට යි. එහෙත් ඒ සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත් වන්නේ නැහැ. කෘෂිකාර්මික සම්බන්ධීකාරක ලී ෂැට්ස් එම පිරිස අතරින් සෙමෙන් ගමන් කොට ස්වීඩන් තානාපති කාර්යාලයේ රැකවරණ ලබා ගත්තා. මේ අතර තවත් පස් දෙනෙක්, එනම් කොන්සියුලර් අංශයේ ප්‍රධානී බොබ් ඇන්ඩර්ස්, කොන්සියුලර් සම්බන්ධීකාරකයන් දෙදෙනෙක් වන ජෝ ස්ටැෆර්ඩ්, මාර්ක් ලිජෙක්, හා ඔවුන්ගේ බිරින්දෑවරුන් ටෙහෙරානයේ වීදි අතරින් විමසිල්ලෙන් ගමන් කොට බොබ් ඇන්ඩර්ස්ගේ මහල් නිවාස නවාතැනට පැමිණියා.  ඉන්පසු දින කිහිපයක් ඔවුනට සැඟවී සිටීමට සිදුවුණත් දිගින් දිගටම එය ආරක්ෂිත ස්ථානයක් නොවන බව ඔවුන් වටහා ගත්තා.

කැනේඩියානු තානාපතිවරයා පියවර ගනී

ඉරානයේ එවක කැනේඩියානු තානාපතිවරයා වූයේ කෙන් ටේලර්. ඇමරිකානු තානාපති කාර්යාලයය “ශිෂ්‍යයන්” විසින් අත්පත් කරගැනීම පිළිබඳව ඔහු මුල්වරට දැනගන්නේ ස්වීඩන් තානාපතිවරයා මාර්ගයෙන්. කෙන් ටේලර් හට මේ වන විට ඉරානයේ දෙවසරක පමණ අත්දැකීම් තිබුණා. මේ වන විට ඔහු නිරතව සිටියේ විප්ලවය නිසා කැනඩාවට සංක්‍රමණය වන ඉරාන ජාතිකයන්ගේ කටයුතු ඉක්මන් කරමින්.

මේ අතර කැනේඩියානු තානාපති කාර්යාලයේ ප්‍රධාන සංක්‍රමණ නිලධාරි ජෝන් ෂියර්ඩවුන් හට බොබ් ඇන්ඩර්ස් වෙතින් ඇමතුමක් ලැබෙනවා. ඒ ඉදිරි දින කිහිපය තුළ ආරක්ෂාව සපයාගැනීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලමින්. ඒ අනුව ෂියර්ඩවුන් තානාපති කෙන් ටේලර් වෙත තත්ත්වය වාර්තා කරනවා. කෙන් ටේලර් වහාම මෙයට එකඟ වනවා. එහෙත් ප්‍රශ්නය වන්නේ ඔවුන්ව නවත්වා ගන්නේ කොහේ ද යන්න යි. හේතුව වන්නේ ටෙහෙරානයේ ජනාකීර්ණ පෙදෙසක ඇති තානාපති කාර්යයාලයේ ඇමරිකානුවන් නවත්වා ගැනීම අනතුරුදායක වීම යි. එම නිසා ඔවුන් තිදෙනෙක් ජෝන ෂියර්ඩවුන්ගේ නිවසේ ද, තවත් තිදෙනෙක් බොබ් ඇන්ඩර්ස්ගේ නිවසේ ද නවත්වා ගැනීමට තීරණය වනවා. මේ අතර කැනඩාවේ ඔටාවා නුවර විදේශ කටයුතු අමාත්‍යාංශයට මේ පිළිබඳව දන්වා යැවීමට ටේලර් පියවර ගත්තා. ඇමරිකානුවන් පත්ව සිටි අවදානම නිසා කැනේඩියානු කාර්යයමණ්ඩලයට හා දේපළවලට හානි වීමේ හැකියාවක් තිබියදීත් ඔවුනට ආරක්ෂාව සැපයීමට අග්‍රාමාත්‍ය ජෝ ක්ලාක්ගෙන් අනුමැතිය ලැබුනා. කෙසේ වුවත් තානාපති ටේලර් වෙත උපදෙස් ලැබුණේ මේ පිළිබඳව දත යුත්තේ අත්‍යවශ්‍යම පිරිස පමණක් බව යි. මේ අතර ජාත්‍යන්තරව පිළිගත් විදේශ දූත මණ්ඩල ප්‍රඥප්තීන් බිඳ හෙලීම ගැන ඉරානයට තම විරෝධය දැක්වීමට ද කැනේඩියානු රජය අමතක කළේ නැහැ.

තානාපති කෙන් ටේලර් ධවල මන්දිරයේ දී –   Toronto Star

රාජ්‍ය තාන්ත්‍රිකයන් නිදහස් කරගැනීමේ වැඩ පිළිවෙළ ඇරඹේ.

කැනේඩියානු ආරක්ෂාව යටතේ සිටින ඇමරිකානුවන් සයදෙනා පිළිබඳව ඇතැම් ජනමාධ්‍ය වෙත වාර්තා වුණා. මෙයට හේතුව වූයේ ඉරානයේ සිටින ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් මුළු සංඛ්‍යාව ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාරේතමේන්තුව පරස්පර සංඛ්‍යා ලබා දීම යි. එහෙත් බලධාරින්ගේ මැදිහත් වීම නිසා ඒ පිළිබඳව වාර්තා කිරීම පමා කිරීමට ජනමාධ්‍යවේදීන් එකඟ වුනා. මේ නිසා හැකි ඉක්මණින් කැනේඩියානු භාරයේ සිටින ඇමරිකානුවන් ආපසු සියරට වෙත ගෙන නිව්යෝර්ක් නුවර දී හමුවූ කැනේඩියානු විදේශ අමාත්‍ය ෆ්ලෝරා මැක්ඩොනල්ඩ් හා ඇමරිකානු විදේශ ලේකම් සයිරස් වෑන්ස් තීරණය කළා.

මේ අනුව 1980 වසරේ මුල් භාගයේ ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය හෙවත් සී අයි ඒ සංවිධානයේ තාක්ෂණික අංශයේ නිලධාරියෙක් වූ ඇන්ටෝනියෝ මෙන්ඩෙස්, සහ ලියකියවිලි සම්බන්ධ විශේෂඥයෙක් කැනඩාවේ ඔටාවා නුවර වෙත පැමිණෙන්නේ විදේශ අමාත්‍ය ෆ්ලෝරා මැක්ඩොනල්ඩ් හා කැනේඩියානු නිලධාරීන් සමඟ රහස් සාකච්ඡා වටයක් සඳහා යි. එහිදී ඇමරිකානු නිලධාරින් සයදෙනා සඳහා නීත්‍යානුකූල කැනේඩියානු ගමන් බලපත්‍ර සකස් කොට රාජ්‍යතාන්ත්‍රික ගමන්මළු ඔස්සේ ටෙහෙරානයේ තානාපති කාර්යාලය වෙත යවනු ලැබුවා.

කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරි ජෝන් ෂියර්ඩවුන් ඇමරිකානු නිලධාරීන් හයදෙනාගෙන් සතරදෙනෙකු සමඟ  – Globe and Mail Canada

ආගෝ

1970 දශකයේ ඇතැම් හොලිවුඩ් චිත්‍රපට සඳහා පසුබිම්තල ලෙස ඉරානය යොදා ගනු ලැබුවා. විශේෂයෙන්ම බටහිරට මිත්‍රශීලි ප්‍රතිපත්තියක් දක්වන ෂා පාලනය යටතේ මෙවැනි ඇමරිකානු චිත්‍රපට රූගත කිරීම සිදුවුනා. සී අයි ඒ නිලධාරි ඇන්ටෝනියෝ මෙන්ඩෙස් විසින් තෝරාගත්තේ විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් චිත්‍රපට කතාවක් තෝරා ගත්තේ රහස් මෙහෙයුමක් සඳහා යි. එහිදී මැදපෙරදිග කාන්තාරයක බඳු පසුබිම්තල මෙම චිත්‍රපටය සඳහා අවශ්‍ය වුණා. එයට හේතුව එම චිත්‍රපටය පදනම් වන්නේ එබඳු ග්‍රහලෝකයක් මත නිසා. ඒ සඳහා අවශ්‍ය පසුබිම් තල සොයා බැලීම සඳහා ඉරානයට පැමිණි කැනේඩියානු චිත්‍රපටයට සම්බන්ධ පිරිසකගේ අනන්‍යතා ඇමරිකානු නිලධාරීන්ට ආරෝපණය කිරීම මෙන්ඩෙස්ගේ සැලැස්ම වුනා.

සී අයි ඒ නිලධාරි ටෝනි මෙන්ඩෙස් වර්තමානයේ – පසුබිමින් ආගෝහි ඔහුගේ චරිතය නිරූපණය කරන බෙන් ඇෆ්ලෙක්ගේ ප්‍රතිරූපයක් – Today Show

මෙම ව්‍යාජ චිත්‍රපට කතාව වඩාත් තාත්වික කිරීම සඳහා මෙන්ඩෙස් විසින් හොලිවුඩයේ ප්‍රකට වේශ නිරූපණ ශිල්පියෙකු වූ ජෝන් චේම්බර්ස්ගේ සහාය ලබා ගත්තා. ඔවුහු සන්සෙට් ගෝලවර් චිත්‍රාගාරයේ දී “ස්ටුඩියෝ සික්ස්” නම් ව්‍යාජ නිෂ්පාදන සමාගමක් ආරම්භ කළේ චිත්‍රපටය නිෂ්පාදනය සඳහා යි. එහි දුරකථන අංක සහිත ව්‍යාපාරික කාඩ් පත් නිර්මාණය කරනු ලැබුවා. ඉරානයේ සිට යමෙකු මෙම සමාගම ගැන විමසු‍වොත් පිළිතුරු දීම සඳහා ද චේම්බර්ස් හා බිරිඳ ක්‍රියා කළ බව පැවසෙනවා. තව ද (ව්‍යාජ) ස්ටුඩියෝ සික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන නවතම (ව්‍යාජ) චිත්‍රපටය ගැන පූර්ව ප්‍රචාරණ දැන්වීම් හොලිවුඩ් සඟරාවල පළ කෙරුනා. චිත්‍රපට නිෂ්පාදක සමාගමේ කැනේඩියානු ශිල්පීන් ඉරානයට ඇතුළු වූ බවට ව්‍යාජව නිර්මාණය කරන ලද වීසා ද කලින්ම ගමන් බලපත්‍ර සමගම ඇමරිකානු නිලධාරීන් වෙත ලබා දී තිබෙනවා.

ආගෝ චිත්‍රපටයේ ව්‍යාජ පෝස්ටර් – Fast Company

ගලවා ගැනීමේ මෙහෙයුම

මේ වන විට ප්‍රශ්න කිහිපයක් පැන නැගී තිබුනා. ඇතැම් මාධ්‍ය ආයතන විසින් කැනේඩියානු තානාපති නිව‍සේ සිටින ඇමරිකානු නිලධාරීන් පිළිබඳව සොයා ගෙන තිබුණා. ඔවුන් ඒ ප්‍රවෘත්තිය පල නොකළේ බලධාරීන්ගේ මැදිහත්වීම නිසා යි. එහෙත් තවදුරටත් මෙය සැඟවීම අපහසු වුණා. අනෙක් අතට තානාපතිවරයාගේ නිවස කෙරෙහි ඉරාන ආරක්ෂක අවධානය ද යොමුවන බව පෙනුනා. එම නිසා ගලවාගැනීමේ මෙහෙයුම කඩිනමින් ක්‍රියාත්මක කිරීම වැදගත් වුණා.

චිත්‍රපට සමාගමේ නියෝජිතයන් ලෙස ඉරානයට නීත්‍යානුකූල ලෙස පැමිණි ඇන්ටෝනියෝ මෙන්ඩෙස් සහ “ජුලියෝ” යන නිලධාරීන් මෙතෙක් කල් නිවාස අඩස්සි‍යේ මෙන් සිටි ඇමරිකානු නිලධාරීන් (එනම් කැනේඩියානු චිත්‍රපට ශිල්පීන්) සමග ටෙහෙරානයේ මෙහෙරබාද් අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණියා. සැකසූ ව්‍යාජ ලියකියවිලි සහ මෙන්ඩෙස් විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට කතාවේ ප්‍රබලත්වය නිසාදෝ කිසිදු අවහිරයකින් තොරව තමන් සඳහා අසුන් වෙන් කර තිබූ ස්විස් එයා ගුවන් යානයට නැගීමට ඔවුන්ට හැකිවුනා. ඒ 1980 ජනවාරි 27 වැනි දින යි. මේ අනුව මාස දෙක හමාරක “නිවාස අඩස්සියකින්” පසු ඇමරිකානු නිලධාරීන් සිය නිදහස වෙත පියනැගුවා.

මුදවා ගත් ඇමරිකානුවන් ජනාධිපති ජිමී කාටර් සමඟ – CNN

අනෙකුත් ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන්ගේ ආරක්ෂාව සඳහා මේ පුවත රහසක්ව තබා ගැනීමට විදේශ ලේකම් සයිරස් වෑන්ස් හට අවශ්‍ය වුවත් ජනවාරි 29 දින කැනේඩියානු පුවත්පත් මඟින් එය හෙළිදරව් කෙරුනා. ඉරාන ප්‍රාණ ඇපකරු අර්බුදය නිසා පීඩනයට පත්ව සිටි ඇමරිකානු ජනතාවට මෙය ඉතා ප්‍රීතිමත් පුවතක් වුණා. ඇමරිකාවේ සතර දිගින්ම කැනේඩියානු තානාපතිවරයාට සහ එම රජයට කෘතඥතාව පළ කරන පණිවිඩ ලැබුනා. තානාපති කෙන් ටේලර් ඇමරිකාවේ ජනප්‍රියතම පුද්ගලයෙක් වූවා පමණක් නොව ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රන් පදක්කම ද ඔහු වෙත පිරිනමනු ලැබුවා. එපමණක් නොව කැනඩා රජයේ සම්මාන ද ඔහු වෙත ලැබුණා. කෙසේ වුවත් මෙහෙයුම සඳහා සහභාගි වූ සී අයි ඒ සංවිධානයේ දායකත්වය හෝ ඇන්ටෝනියෝ මෙන්ඩස් ගැන 1997 වන තුරුම හෙළි කරනු ලැබුවේ නැහැ.

මූලාශ්‍රයයන්:  Encyclopedia Brittanica,

                     http://international.gc.ca

Cover : The New York Times

Related Articles